Sunday, March 31, 2019

අද දවසේ කවිය - 2019/04/01 - විදුලිය කැපීම සහ කොමිස් ගැහිල්ල

                             අද දවසේ කවිය 
              විදුලිය කැපීම සහ කොමිස් ගැහිල්ල



රට අඳුරට ගෙන ප්‍රශ්න රැසක් මත අර්බුද නිතියෙන් සදමින්නේ
කොමිස් ගැහිල්ලක් ගැන නිති කියැවෙයි ප්‍රශ්නය ඉහළට නැග එන්නේ
කොමිස් ගැහිල්ලයි විදුලිය කැපුමයි කොහොමද එකිනෙක ගැළපෙන්නේ
අහනට බලනට කවුරුත් නැතිවද රට නම් එක තැන පල් වෙන්නේ




අප රටේ වර්තමානයේ විදුලි අර්බුදය ලෙස හඳුන්වන්නේ දවසක් ඇතුළත වරින් වර විදුලිය කැපීමයි. සාමාන්‍ය මහජනතාව වන අපට විදුලිය යනු අර්බුදයක් ලෙස හැඟෙන එක අවස්ථාවකි, එය. අනෙක් අතට විදුලි බිල වැඩිවීමත් අපට දැනෙන්නේ විශාල අර්බුදයක් ලෙසිනි. ඒ ඇරුණු කොට අපට විදුලිය අර්බුදයක් ලෙස සිතන්නට සිදු වන්නේ රටේ  නොයෙක් පළාත්වලට විවිධ අවස්ථාවලදී නොදන්වා කරන විදුලිය තප්පාදුවය.

රටක විදුලිය යනු පාරිභෝගික භාණ්ඩයකි. වඩාත් තේරෙන ලෙසින් කීවොත් විදුලිය යනු වෙළෙඳ භාණ්ඩයකි. සාමාන්‍ය මහජනතාවට විදුලිය නිකම්  ලැබෙන්නේ නැත. ඒ සඳහා තමන් භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව මුදල් ගෙවන්නට ජනතාවට සිදුවේ.  
ඒ අනුව නොමිලේ ලබා දෙන භාණ්ඩයක්වූ විදුලිය තමන්ට අවශ්‍යවූ විට දන්වා හෝ නොදන්වා හෝ කප්පාදු කිරීමට කවර රජයකට හෝ සදාචාරාත්මක අයිතියක් ඇද්දැයි ප්‍රශ්නයක් මතුවේ. 



විදුලිය වරන්වර කැපීමට සිදු වන බාහිර හේතූන් තියෙන්නට පුළුවන. එහෙත් පැය ගණන් කරනු ලබන විදුලි කප්පාදුවට හේතුව ලෙසින් දැන් වැඩිපුරම අසන්නට ලැබෙන්නේ නිසි නිරන්තර පාරිභෝජනය සඳහා අවශ්‍ය විදුලි ප්‍රමාණය ලබා දීමට විදුලිබල මණ්ඩලය සහ රජය අපොහොසත්වී ඇති බවයි. එයින් කියැවෙන්නේ වැඩි වන විදුලි පාරිභෝජනය සඳහා සඳහා රජය විසින් නිසි සැලුසුම් කිරීමට අසමත්වී ඇති බවයි. අනෙක් පැත්තෙන් කියැවෙන්නේ එවැනි දේ සිදු වන්නේ හෝ සිදු කරන්නේ හෝ උවමනාවෙන් බවයි.

මේ තත්ත්වය සත්‍යයක්  විය හැකිද? අසත්‍යයක් නම් එවැනි චෝදනා ප්‍රතික්‍ෂෙප කළ හැකිය. එහෙත් එසේ ප්‍රතික්‍ෂෙප වන බවක්ද දකින්නට ඇත. එසේ නම් ඒ කියැවෙන තත්ත්වය සත්‍යයක් විය යුතුය.

රටට නිසි ලෙස විදුලිය සම්පාදනය කොට නොදී ඒ සඳහා සැලසුම් නොසාදා සිට වැඩි  මුදල් ගෙවා  පෞද්ගලික මූලාශ්‍ර කරා යොමු වන්නේ නම් හා ඒ මඟින් තමන්ගේ මඩි  තර කර ගන්නේ නම්  ඒ කරන්නේ ජාතික අපරාධයක් විය යුතුය. එහෙත් ඒ කිසිවක් ගැන සොයන්නට බලන්නට කිසිවකු හෝ යොමු නොවන්නේ නම් එය ඊට වඩා ජාතික අපරාධයක් බව සඳහන් කළ හැකිය.









Saturday, March 30, 2019

අද දවසේ කවිය-2019/03/31 - පරිගණක බුද්ධිය හොරකමට යොදවයි

                                 අද දවසේ කවිය
             පරිගණක බුද්ධිය හොරකමට යොදවයි.



පරිගණකය ගෙන දෝතින් පුදලා හොරකමටයි සිත දුවවන්නේ
රහස්‍ය වචනය හොරකම් කර ගෙන පද්ධති ඇතුළට රිං ගන්නේ
තම සිහි බුද්ධිය යොමු කොට හොරකම් කරනට ඇයි මේ යොමු වන්නේ
කොතැනින් හෝ රිංගා ගොස් හරහට සල්ලි සොයන්නට                                                                                                           වෙහෙසෙන්නේ 






ඒකත් අපූරු සිදුවීමකි. මෙවැනි බුද්ධි මෙහෙයවීම් දැක ගත හැක්කේ බොහෝ විට විදේශීය චිත්‍රපටිවලය. එසේ බුද්ධිය එසේත් නැති නම් දැනුම යොදවන්නේ යහපත් දේ කරන්නට නොවේය. රටට සමාජයට අයහපතක් කොට තමන්ගේ වාසිය අත්විඳින්නටය.

මේ වාර්තා වන්නේත් එවැනි සිදුවීමකි. යම් ආයතනයක සේවය කරන තමන්ගේම වැඩිමහල් සොහොයුරාගේ උදව්වෙන් පරිගණක පද්ධතියට පිවිසිය හැකි මුර පදය ලබා ගත් තරුණයෙක් ඒ ඇසුරෙන් තම සොහොයුරා සේවය කරන සමාගමේ පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළුවී ඇත.

ඒ ඇතුළු වීම හේතු කොට ගෙන ඒ සමාගමේ මෙරට හා පිටරට ඇති සමාගම් ජාලයට සිදුවූ පාඩුව රුපියල් කෝටියට වඩා වැඩි බව සඳහන් වේ.  ඒ එක පැත්තකි. අනෙක් පැත්තෙන් එසේ පරිගණක පද්ධතියට බලෙන් ඇතුළුවූ තරුණයා සමාගමේ හිමිකරුගෙන් රුපියල් ලක්‍ෂ පනහක කප්පම් මුදලක්ද ඉල්ලා ඇත. කෙසේ හෝ අවසානයේ සිදුවී ඇත්තේ සමගම් හිමිකරුගේ පැමිණිල්ල නිසා පොලීසිය විසින් අදාළ පුද්ගලයන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමයි.

මේ කටයුත්තේ ප්‍රධාන සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයක තොරතුරු තාක්‍ෂණය හැදෑරු අයෙකු බව හෙළිවී ඇත. 
වත්මන් සමාජයේ තම තමන්ට මොන අපහසුතා තිබුණත් බොහෝ තරුණ තරුණියෝ කුමක් හෝ විෂයක් ගැඹුරට හදාරන්නට පෙළඹී සිටිති. ඒ තමන්ගේ අනාගතය වඩාත් ක්‍රමානුකූලව සකස් කොට ගැනීම සඳහාය. එසේ නැතිව ඒ ලබා ගන්නා දැනුම වැරදි මඟකට යොමු කොට ඒ මඟින් වාසි ලබා ගැනීමට නොවේ.  එහෙත් ඒ අතර කලාතුරකින් හෝ තමන් තුළ ඇති විශිෂ්ට දැනුම අයථා ලෙස පරිහරණය කරන්නට පෙළඹෙන අය සිටින බවද හඳුනා ගත හැකිය.

මේ පෙළඹීම ඇති වන්නේ හොර පාරේ ගොස් ඉක්මනින් පොහොසත් වන්නට දඟලන අයට පමණි. එහෙත් ඉඳහිට හෝ ඒවාට යොමු වන්නන් දැන ගත යුත්තේ එවැනි මන්ද බුද්ධික කටයුතු සඳහා දිගු ආයුෂක් නැති බවය.



ප්‍රවීන ගායිකා ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි - 2019-03-29


Friday, March 29, 2019

අද දවසේ කවිය - 2019/03/30 - රුපියල් කෝටි අනූහතේ වියදම

                                                   අද දවසේ කවිය 
                රුපියල් කෝටි අනූහතේ වියදම














කෝටි අනූහත සුළුපටු ගණනකි දවසට වියදම් කරලන්නේ
ඒවා සුළු වැඩ අපට සල්ලි ඇත වියදම් කරනා අය දන්නේ
අරක්කු බොන්නට දුම්වැටි උරනට මත් වෙන්නටනේ උර දෙන්නේ
විශ්වාසෙටවත් ගන්නට හැකිවෙද එතනයි රටවැසියන් ඉන්නේ

ඔබට මට විශ්වාස කළ හැකිද? එක දවසකට අරක්කු බොන්නට රුපියල් කෝටි පනහක්ද, රුපියල් කෝටි නවයක ප්‍රමාණයක් බියර් සඳහාද, තවත් කෝටි තිස්අටක් දුම්වැටි සඳහාත් වැය  කරන්නට අපේ රටේ උදවිය මැළි නොවන බව පවසන්නේ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වාර්තාවකි.
මේ ගණනය කිරීම් කර ඇත්තේ සුරාබදු සහ දුම්කොල සමාගමේ දත්ත ඇසුරෙන් බවද කියැවේ. 

ඒ කෙසේ වෙතත් මේ තත්ත්වය අදහා ගත නොහැකි තරම්ය. දවසකට තියා මාසයකට හෝ මේ තරම් වියදමක් දරන්නට හැකි වීමම පුදුම සහගතය.
ඇත්තටම මේ තරම් මුදලක් මත් වෙන්නට වැය කරන්නට අපේ රටේ උදවිය අත මුදල් ඇති නම් අපේ රට දුප්පත් වන්නේ කෙසේද? අයවැය වාර්තාවලින් සාමාන්‍යයෙන් හැම අවස්ථාවකදීම වාගේ මත්පැන් දුම්වැටි හා අය කැරෙන බද්ද වැඩි කරනු ලබයි. අරක්කු බෝතලයේ දුම්වැටියේ මිල බලා ඉඳිද්දී ඉහළ නගියි. ඒත් භාවිතයේ නම් සැලකිය යුතු අඩුවක් නැති බව මේ වාර්තාව දෙස බැලූ විට තහවුරු වෙයි. 

රටේ පිරිමින්ගේ හා කාන්තාවන්ගේ එදිනෙදා චර්යා ධර්ම ගැන විවේචනය කරන්නට ගුණ දොස් ගයන්නට යෑමේ අර්ථයක් නැත. ඒ සියල්ල සිදු වන්නේ තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත නිසාය.




ඒ කෙසේ වෙතත් මත් වෙන්නට, තාවකාලික සුවය ලබන්නට දිනකට මේ තරම් මුදලක් වැය කරන ජනතාවක් ඇති රටක හෙට දවස ගැන කතා කරන්නට ඇත්තේ කුමක්දැයි තේරෙන්නේ නැත.


Thursday, March 28, 2019

අද දවසේ කවිය - 2019/03/29 - නදීමාල් එයි......

                           අද දවසේ කවිය 
            නදීමාල්  එයි......
මර්වින් පෙරේරා
අමල් පෙරේරා
                නදීමාල් පෙරේරා




පියපුතු දෙදෙනා මෙරටින් පිටවී ඩූබායි රටේ සාදෙට යන්නේ
එහේ පොලීසිය සාදය වටලා ඔක්කොම හිර බාරෙට ගන්නේ
ගියේ කොහේදැයි දැන ගෙන ගිය බව පුතු මෙහේ ඇවිදින් පවසන්නේ
යන්නේ කොහෙදැයි පියාම කී බව සීඅයිඩියටයි දන්වන්නේ

පසුගිය පෙබරවාරි පස්වැනිදා මුළු රටක අවධානය පැහැර ගත්තේ පාතාල කල්ලි නායකයකු හා මත් ද්‍රව්‍ය මෙරටට ගෙන්නා බෙදා හරින්නකු හා සමග ලාංකිකයන් විශාල පිරිසක් ඩුබායි පොලීසිය මඟින් සාදයක් වටලා අත් අඩංගුවට  ගත් බවයි. 

පසුගිය පෙබරවාරි පස්වැනිදා මුළු රටක අවධානය පැහැර ගත්තේ පාතාල කල්ලි නායකයකු හා මත් ද්‍රව්‍ය මෙරටට ගෙන්නා බෙදා හරින්නකු හා සමග ලාංකිකයන් විශාල පිරිසක් ඩුබායි පොලීසිය මඟින් සාදයක් වටලා අත් අඩංගුවට  ගත් බවයි. මේ ප්‍රවෘත්තිය තුළ තවත් වැගත් ප්‍රවෘත්තියක් සැඟවී තිබිණි. ඒ ශ්‍රී ලාංකික කලාකරුවන් තිදෙනෙකුද එසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටින බව සැළවීමයි. ගායන ශිල්පී අමල් පෙරේරාත් ඔහුගේ පුත් යොවුන් ගායක නදීමාල් පෙරේරාත් ඒ කලාකරුවන් අතරින් දෙදෙනකු විය.


මර්වින් පෙරේරා අපට සිටි ප්‍රවීණ ගායකයෙකි. සංගීතඥයෙකි. ඔහුගේ ගායනා  වර්තමානයේ වුවත් නොනැසී පවතින්නේ ඒවායේ ඇති ගුණාත්මක බව නිසාය. අමල් පෙරේරා මර්වින් පෙරේරාගේ පුත්‍රයෙකි. ඔහුද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙකි.  නදීමාල් පෙරේරා ඔහුගේ පුත්‍රයෙකි. එසේ බැලූ විට මේ ගායන උරුමය පරම්පරා තුනක් තිස්සේ පවතින්නකි.
ගායකයන්ගේ පෞද්ගලික හුරුපුරුදු  ගැන කතාවක් අපට ඇත්තේ නැත. අපට ඇත්තේ මේ ඉහළක සිට පහළට ගලා ආ මේ ගායන හැකියාමය වරප්‍රසාදය පිළිබඳ කතාවකි.  

මව් රටට එන්නට වරම් ලද නදීමාල් බලධෘරීන්ට කියා ඇත්තේ තමාගේ පියා මෙරටින් පිට වන්නට පෙර යන හේතුව ගැන තමන්ට පැහැදිලි කිරීමක් කළ බවයි. එයින් හැඟෙන්නේ රටක ජනතාව සාමාන්‍යයෙන් ප්‍රතික්‍ෂෙප කරන වාණිජමය චරිත ලක්‍ෂණ ඇති පුද්ගලයකු සහ එතැනට රැස්වන අනෙක් පිරිස පිනවීම සඳහා මුදල් වෙනුවෙන් තම සහභාගීත්වය ලබා දීම සඳහා නොබියව ගිය බවයි. 
එසේ නම් ඒ කියාපාන්නේ මුදල් ලැබේ නම් ඕනෑම වර්ගයක කටයුත්තක් වෙනුවෙන් තමා සතු කලා හැකියාව පාවා දීමට තරම් තමන් නිවට තත්ත්වයකට වැටුණු බවද? අමල් පෙරේරා ගැන මොහොතකට අමතක කළත් නදීමාල් පෙරේරා ගැන දැනෙන්නේ නම් දුකකි.
නදීමාල් තවම විසිහතර වියැතිය. ඔහු තම සීයාගේ ගීත ඉතා මැනැවින් ගයයි. එසේම තමාගේම කිව හැකි ගීතද හොඳින් ගැයීමේ හැකියාවක් ඔහු සතුය. එවැනි වර්ධනය කර ගත හැකි උපන් හැකියාවක් ඇති නදීමාල් තම පියා සහ මුදල් නිසා ජීවිතයේ යම් තැනකදී වරදක් කර ගෙන ඇත. 
ඒ වරද නිවරද කර ගෙන ඉදිරියට යාමට හැකියාව ඇත්තේද ඔහුටමය. 

Wednesday, March 27, 2019

අද දවසේ කවිය - 2019/03/28 - විදුලිය කැපීම

                             අද දවසේ කවිය 
                            විදුලිය කැපීම.



විදුලිය කැපීම බොහොම තදින් මේ දිනවලදීනේ සිදුවන්නේ
කලිනුත් කැපුණා, දැනුත් කැපෙනවා වෙනසක් නැහැ සිත දැක ගන්නේ
කාලගුණය ගැන, යන්ත්‍ර සූත්‍ර ගැන එක එක මතයන් පළ වෙන්නේ
රටක ජීවයක් රකිනට විදුලිය ඇවැසිය, නැතිදෝ එය දන්නේ 



එක අවස්ථාවක කාලගුණයේ වියලි බව ගැනද, තවත් අවස්ථාවක යන්ත්‍ර සූත්‍රද ආදී  වශයෙන් විවිධ හේතූන් දක්වමින් දීප ව්‍යාප්තව විදුලිය කැපීම මේ දිනවල සිදුවේ. පසුගිය දින කිහිපයක් තුළ ක්‍රියාත්මකවූ නොදන්වා විදුලිය කැපීමේ  කටයුත්ත, දැන් දන්වා විදුලිය කැපීමක් ලෙස අත් විඳින්නට සිදුවී තිබේ. 

 කොහොම කැපුවත් විදුලිය කැපීම යනු සමස්ත රට වැසියන්ට ඇති වන්නේදැඩි  අපහසුතාවකි. මේ තත්ත්වය විඳ දරා ගන්නට අපේ රටේ වැසියන්ට සිදුවූ  මුල්ම අවස්ථාව නොවන්නේය. බොහෝ විට අවසාන අවස්ථාවද මේ විය නොහැකිය. ඒ තරමටම ප්‍රශ්නය උග්‍ර බව පෙනීයයි.

කාලගුණික තත්ත්වයන් අපට වෙනස් කිරීමේ හැකියාවක් නැති නිසා කළ යුත්තේ ඒ වෙනස්වීම් වෙනුවෙන් රට හැඩ ගැහීමයි. ඒ සඳහා ජලාශ ඉදි කොට ඇති බව ඇත්තකි. එහෙත් ඒවාටද බලපාන්නේ කාලගුණික තත්ත්වයන්ගේ විපර්යාසය.

රජයන් මාරු වීමත්, විෂය බාර ඇමතිවරුන් මාරු වීමත් හැරුණු කොට ප්‍රයෝජනවත් සහ  වැඩදායී ක්‍රමවත් වැඩ පිළිවෙළකට රට තවමත් යොමුවී නැති බව පැහැදිලිය. ගල් අඟුරු ශක්තිය ගැනත්, පෞද්ගලික විදුලි බල සැපැයුම් ගැන කියැවුණත් ඒ කිසිවකින් විදුලි කප්පාදු  කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැකිවී ඇත.
විදුලි බල කප්පාදුව වෙනසකින් තොරව රටේ හැම තැනකටම හැම සේවාවකටම පොදුවේ ජනතාවගේ දෛනික ජීවිතයට තදින්ම බලපෑමක් ඇති කරයි
මේ එන්නේ අවුරුදු සමයයි. කුඩා කර්මාන්ත කරුවන් දැඩි  ලෙස අර්බුදයට මුහුණ දෙන තවත් හේතුවක් වන්නේ ඉදිරියට එන උත්සව සමයයි. ඒ නිසා ඇති වන අර්බුදයේ විශාලත්වය තවත් වැඩි වනු ඇත.

ඒ නිසා මේ ප්‍රශ්නය ජාතික වශයෙන් සලකා ඉදිරියේදීවත් විදුලි කප්පාදු කිරීම් නතර කර ගත හැකි ක්‍රමෝපායන් ගැන සොයා බලා ස්ථාවර කිරීම වටී.  

රොබින්සන් කෲසෝ - පස්වැනි කොටස- 2019/03/28




උදෑසන සන්සුන් වුවත් අවට තත්ත්වය ගැටළුකාරීවී තිබිණි. අවට පැතිරී තිබූ ගන මීදුම කෲසෝ ඇතුළු යාත්‍රාවේ සිටි පිරිසගේ යාත්‍රා මඟ අවහිර කොට තිබුණේය.
අද එතැන් සිට...........

රොබින්සන් කෲසෝ - පස්වැනි කොටස
අපි අපේ සියලු ශ්‍රමය යොදා යාත්‍රාව පැද ගියෙමු. දිවා කාලය ගෙවී ගොස් සවස් කාලය උදාවූ බව අපට තේරුම් ගත හැකි විය. සවසත් ගෙවී ගොස් රාත්‍රී අඳුර අවට පැතිර ගියේය. එහෙත් අප යාත්‍රා කරන්නේ කොයි දෙසකටදැයි නොදැන අපි ඔහේ අරමුණකින් තොරව යාත්‍රා කරමින් සිටියෙමු.

රාත්‍රිය ගෙවී ගොස් හිරු උදාවී ආවේය. එයින් අදහස් වන්නේ අප ඊළඟ දිනය වන විටත් සයුරේ අතරමංවී සිටින බවයි.

දවසේ උදාවත් සමග තමා අපට තේරුම් ගියේ අප මේ යාත්‍රා කරමින් සිටින්නේ වෙරළ දිශාවට නොව ගැඹුරු මුහුද දෙසට බවයි.

අප ඒ වන විට වෙරළෙන් ඈත්වී ලීග දෙකක දුරක්වත් ගැඹුරු මුහුද දෙසට යාත්‍රා කරමින් ඉන්නට ඇතැයි මට සිතිනි. 

ගන මීදුම පහවී  ගොස් හොඳින් හිරු එළිය පැතිරෙන්නට විය.  දීප්තිමත් වෙමින් තිබූ උදෑසනත් සමග අපි අලුත් බලාපොරොත්තුවක්ද සමගින් යාත්‍රාව වෙරළ දෙසට පදිින්නට පටන් ගතිමු. එහෙත් ඇත්තටම අප සිටියේ දැඩි අපහසුවෙනි. තදින්ම දැනුණු කුසගින්න යාත්‍රාවේ සිටි හැම දෙනාම දැඩිව පෙළුවේය.


ගොඩබිමට පැමිණි පසු අපේ ස්වාමියා අපට කීවේ අප මුහුණු දුන් අහඹු සිදුවීම වැනි සිදුවීම්වලට මුහුණ දීමට අනාගතයේදී වඩාත් හොඳ වාතාවරණයක් සකස් කොට ගත යුතු බවයි. ඔහු අපට තව දුරටත් දන්වා සිටියේ මින්මතු  මසුන් අල්ලන්නට යන ගමනට අනිවාර්යයෙන්ම මාළිමාවක් මෙන්ම ආහාරපානද රැගෙන යා යුතු බවයි.  

අපට යම් අවවාද දුන්සේම ඔහු යම් පියවර ගන්නටද උනන්දු විය. ඔහු වඩුවකුට උපදෙස් දුන්නේ දිගු බෝට්ටුවේ  මැදට වෙන්නට කුඩා කාමරයක් වැනි කොටසක් ඉදි කළ යුතු බවයි. එසේම ඒ ඇතුළත සෑහෙන ඉඩ ප්‍රමාණයක්ද තැබිය යුතුයැයි ඔහු තව දුරටත් දන්වා සිටියේය. එයින් ඔහු අදහස් කළේ අවශ්‍ය වෙලාවට ඒ කාමරය තුළ ඔහුට දිගාවී සිටින්නට ඇවැසි බවයි. එසේම සේවකයන් දෙදෙනකුට එහි ඉඩපහසුකම් තිබිය යුතු විය. කෑම ගැනීම සඳහා මේසයක්ද, ආහාරපාන අසුරා තැබිය හැකිසේ ලොකර කිහිපයක්ද ඒ කාමරයට අඩංගු කළ යුතු විය.

නව අංග ඇතුළත් කළ බෝට්ටුව පැද ගෙන අපි නිතර මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කළෙමු. මා මසුන් ඇල්ලීමෙහි සමතකු බව මම මේ වන විට මගේ ස්වාමියාට ඔප්පු කොට ඇත්තෙමි. ඒ නිසාමදෝ ස්වාමියා මා නැතිව මසුන් ඇල්ලීම සඳහා මුහුදේ යාත්‍රා කළේ නැත.

එක් දිනක් මගේ ස්වාමියා බෝට්ටුවේ චාරිකාවක් සූදානම් කළේය. එය ඇතැම් විට මසුන් ඇල්ලීම හෝ විනෝදය හෝ පිණිස යන මුහුදු චාරිකාවක් විය හැකියැයි මට සිතිනි. මේ චාරිකාවට දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ මුස්ලිම් ජාතිකයන්ද සහභාගී වීමට නියමිත විය. මේ චාරිකාව වෙනුවෙන් මගේ ස්වාමියා අමතර වෙහෙසක් දරමින් සූදානම් වන බව මට තේරුම් ගියේය. අමතර ආහාරපාන මෙන්ම ආයුධද මේ සූදානමට එක් කරන ලදී. ආයුධ අතර තුවක්කු තුනක්ද තිබිණි. එයින් හැඟී ගියේ මසුන් ඇල්ලීමට අමතරව පක්‍ෂීන් දඩයම් කිරීමක් සඳහාද ලකලැහැස්තියක් ඇති බවයි.

ස්වාමියා ලබා දුන් විධාන අනුව මම ගමනට සූදානම්වී සිටියෙමි. ගමනේ යෙදෙන්නට නියමිතවූ බෝට්ටුව සෝදා පිරිසිදු කළේ මාය. ගමනට සහභාගී වන අමුත්තන්ගේ අවශ්‍යතාද සියල්ල සම්පූර්ණ කොට තැබුවෙමි. 

සියල්ල සූදානම් කර ගෙන සිටි මා වෙත ස්වාමියා ආවේ තනිවමය. ඔහු මට දන්වා සිටියේ සිටියේ කලින් කතාබහ කරගත් ලෙසින් චාරිකාව සඳහා අමුත්තන් නොපැමිණෙන බවයි. ඔහු මට කීවේ වෙනදා මා සමග යන දෙදෙනා සමග ගොස් සුපුරුදු ලෙස මසුන් අල්ලා ගෙන එන ලෙසයි.

 ඒ දැනුම්දීමත් සමග මේ අවස්ථාව ගැන මා තුළ විශේෂයක් දැනෙන්නට විය. මේ ස්ථානයෙන් ගැළවී යාමේ අදහස මා සිත තුළ මෝදු වන්නට විය. මට සිතුනේ මා කුඩා නෞකාවක අණ දෙන්නකුගේ තත්ත්වයට පත්වී ඇති බවයි. 

ස්වාමියා මා සිටි තැනින් ඉවත්වී ගිය පසු මම යළිත් අඩුපාඩු ගැන සොයා බලන්නට වූයෙමි. මසුන් මරන්නට යෑම සඳහා නොවේ. දීර්ඝ මුහුදු චාරිකාවක යෙදීම සඳහාය.


  •  කෲසෝගේ ඉදිරි පියවර කෙසේවීද?  ඊළඟ කොටසින් කියවන්න. 




Tuesday, March 26, 2019

අද දවසේ කවිය - 2019/03/27 - ඇත්තටම ශිෂ්‍යත්වය අහෝසිද? නැද්ද?

                              අද දවසේ කවිය 
            ඇත්තටම  ශිෂ්‍යත්වය අහෝසිද? නැද්ද? 
රටම අවුස්සන සිසු දණ ගස්සන ශිෂ්‍යත්වෙට කිමදෝ වෙන්නේ
ශීෂ්‍යත්වය මතු අහෝසි කරනට තීරණයක් ගෙන දෝ ඉන්නේ
එහෙම කතාවක්  ජනපති පවසා ඇති බවනේ දැන් දැන ගන්නේ
ඒකත් නරකම නැති බව තේරේ ඉන්පසුවට මොනවද වෙන්නේ

 පහ වසරේ සිසුන් පෙනී සිටින ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනතාවට දන්වා සිටින්නේ ජනාධිපතිතුමාය.  පොළෙන්නරුවේදී එතුමා මේ ප්‍රකාශය කර ඇත්තේ පාසැලක උත්සවයකට සහභාගී වෙමිනි. ඒ මාර්තු මාසයේ විසිපස් වැනිදාය.
ශිෂ්‍යත්ව විභාගය නිසා මව්පියන් හා දරුවන් මුහුණ දෙන දුෂ්කරතා සලකා බලා මේ තීරණය ගෙන ඇති බව එතුමා ප්‍රකාශ කොට ඇත.

දැනට පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ මූලිකම අරමුණ වන්නේ එයින් සමත් වන දරුවන්ට වඩා හොඳ පාසැලකට යන්නට අවකාශ සලසා දීමය. එසේ නම් එයින් ගම්‍ය වන්නේ අධ්‍යාපනික වශයෙන් පහසුකම්  අසම්පූර්ණ පාසැල්  ඕනෑ තරම් පාසැල් තවමත් රට තුළ ඇති බවය. එසේ නම් රජයක ප්‍රධානතම අරමුණ විය යුත්තේ හුදෙක් පාසැල් බිහි කිරීමම නොව ඒ ඇති කරන පාසැල වැඩදායී ලෙස ස්ථාපිත කිරීමය. එවිට කොයි දරුවාටත් සමාන අධ්‍යාපනයක් ලැබිය හැකි වනු ඇත.

සිතා බැලිය යුතු අනෙක් කරුණ වන්නේ ශිෂ්‍යත්වය සමත්වූ පමණින්ම සිසු දෙමව්පිය දෙපක්‍ෂයටම සෑහීමකට පත් විය හැකිද යන්නයි. ඊට හේතුවක් ලෙස දැක්විය හැක්කේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලාභීන්ගේ සහභාගීත්වය ඉතාම අවම මට්ටමක පැවතීමයි. ඒ නිසා ශිෂ්‍යත්වය ඉහළින් සමත්වී වඩා හොඳ පාසැලකට ගොස් එහි උගත් පමණින්ම ඊට පසුව ඇති සාමාන්‍ය සහ උසස් පෙළ විභාගවලින්ද හොඳින් සමත් විය හැකි බවට පූර්ව නිගමනවලට ඒමේදී වඩාත් පරිස්සම්  සහගත විය යුතු බව පෙනේ.

'ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කරයි.' -  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පොළොන්නරුවේදී. -2019/03/25 වැනිදා  


'ශිෂ්‍යත්ව විභාගය නවත්වන එක තාම ස්ථිර නැහැ.' අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී.  -2019/03/26 වැනිදා 












Monday, March 25, 2019

අද දවසේ කවිය - 2019/03/26 - ගැටය ගෙල සිරවූ සිසුවා මරුට

                                 අද දවසේ කවිය 
                   'ගැටය ගෙල සිරවූ සිසුවා මරුට.'



(ඡායාරූපය උපුටා ගැනීමකි.)
බාලදක්‍ෂ  ගැට පුරුදු වෙන්න ගොස් ගෙල හිරවීලා මිය යන්නේ
පුහුණුව වැරැදුනු හේතුව කිමදැයි මතයක් පිටතට මතු වෙන්නේ 
ලනුවක් අර ගෙන ගෙලට ගැට දමා බාල්කයේනේ එල්ලෙන්නේ
ගෙලට ගැට දමා ගැටය උගන්නට කවුදෝ උපදේශය දුන්නේ

දහහතර හැවිරිදි පාසැල් දරුවකු නිවසේදී බාලදක්‍ෂ ගැට පුහුණු වන්නට ගොස් ගැටයක් ගෙලට දා ගැනීමන් පසු එය හිරවී මිය ගිය පුවත වාර්තා වන්නේ මීතලාව ප්‍රදේශයෙනි.  සවස් වනතුරුම පාසැලේ පුහුණු කටයුතු කොට නිවසට පැමිණ නැවතත් නිවසේදී ගැට පුහුණු වීමේදී  මේ අනතුර සිදු වී ඇති බවයි විශ්වාස කැරෙන්නේ. මෙය ඉතාම අවසනාවන්ත සිදු වීමකි.

බාලදක්‍ෂ ව්‍යාපාරයේ ගැට වර්ග පුහුණු කරන්නේ පිටත කඳවුරු බැඳීමේදී සහ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමටය. එසේම ඒවා පුහුණු කිරීමේදී යොදා ගන්නේ ගැටයක් ගසන්නට හැකි ගස් කඳක් හෝ ඒ හා සමාන ගැටයක් තද කළ හැකි කිසියම් දෘඪ කොටසකි. ඒ කෙසේ වෙතත් ගැට වර්ග පුහුණු කිරීමේදී යොදා ගන්නා විශේෂ ලනු වර්ගයම පමණක් භාවිත කරන අවස්ථා බහුලය. එසේම පුහුණු කඳවුරෙන් පිටත තමන් තනිවම පුහුණු වන්නේ නම් එසේ කළ යුතු ආකාරය ගැනද කඳවුරේදීම උපදෙස් ලබා දීම සිදුවේ. 

ඒ නිසා මේ අවාසනාවත් සිදුවීමට හේතුව හරියටම කුමක්දැයි යන්න පැහැදිලි කර ගැනීම අපහසුය. පිටතට පෙනෙන හේතුව වන්නේ සිසුවාගේ නොදැනුවත්කම හෝ නොසැලකිල්ල හෝ ඔහුගේම මරණයට හේතුවී ඇති බවයි. තමන්ගේම ගෙලට ගැටයක් දමාගෙන ඒ ගැටයේ ස්වභාවය තමන් විසින්ම අත්හදා බලන්නට යෑම දහහතර හැවිරිදි සිසු දරුවකුගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ  කටයුත්තකි.

එයින් වූයේ ලබන වසරේ අපොස විභාගයට පෙනී සිටින්නට සිටි අහිංසක දරුවකුගේ ජීවිතය අවාසනාවත් ලෙස කෙළවර වීම පමණකි.
මේ සිදුවීමෙන් තමන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි බව කවුරුත් වටහා ගැනීම වැදගත්ය. 
කිසියම්ම හේතුවක් නිසා ජීවිතයක් විනාශවී යෑම ශිෂ්ට සම්පන්න සමාජයක් කිසිවිට කෙසේවත් අනුමත නොකරන බැවිනි.




Sunday, March 24, 2019

අද දවසේ කවිය - 2019/03/25 - කාමුක ගුරාට සිරදඬුවම ලැබේ

                                 අද දවසේ කවිය 

                       කාමුක ගුරාට සිරදඬුවම ලැබේ.

පාසැල් වෙලා තුළදී ගුරුවරු මෙහෙමද පාසැලෙ හැසිරෙන්නේ
පැරැණි සිද්ධියක් නැවතත් කරළිය උණුසම් කරමින් පළ වෙන්නේ
ගුරුවරයෙක් විත් තමන්ගේ ග්‍රහනෙට ගුරුවරියකවයි අර ගන්නේ
කොළඹ  පාසැලකවූ මේ සිද්ධිය අළු ගසලා යළි නැගිටින්නේ

.මේ සිදුවීමේ කාලය වසර අටක් පමණ අතීතයට දිවෙයි. මේ කතාවට පසුබිම් වන්නේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසැලකි. ප්‍රශ්නය ඇත්තේ සමස්ත පාසැලේ සමස්ත ගුරු භවතුන් අතර නොවන බව ඉතා හොඳින් වටහා ගැනීම වැදගත්ය. එසේම වාර්තා වන තොරුතුරු වලට අනුව මේ කතාවේ කාන්තා චරිතයවූ සංගීත ගුරුවරිය අතේද වරදක් නැත. මෙහි වරද පැටවෙන්නේ මෙම ගුරුවරිය පස හඔා ආ කාමුක ගුරාටය. එසේම මේ ගුරුවරයාගේ නොපනත් කම් පැමිණිලි කරද්දී ඒ ගැන අවංකවම සොයා නොබලා පියවර ගැනීම පැහැර හැරි එවක සිටි විදුහල්පතිවරයාටය.

විටින් විට ගුරුවරයාගෙන් සංගීත ගුරුවරියට යම් යම් අතවර ඇතිවූ බව වාර්තා වන අතර ඒ සඳහා ඇගෙන් දිගටම පළ වූයේ අකමැත්තයි. තමාගෙන් පළ වන අකමැත්ත නිසා හා පළ නොවන අනුබලය නිසා ඇයට ලැබිය යුතු වැටුප් වර්ධක පවා අහිමිව ගොසු ඇත. ඊට හේතුව කාමුක ගුරාගේ හොඳම හිතවතකුවූ විදුහල්පති ගුරුවරිය පීඩාවට පත් කරන්නට ඉදිරිපත් වීමයි. මෙවැනි අහිතකර පරිසරයක් කොළඹ ප්‍රධාන විදුහලක පවතිද්දී සහ ඒ ගැන ගුරුවරිය වරින් වර පැමිණිලි කරද්දී ඒ ගැන නිසි සොයා බැලීමක් සිදුවූ බවක් පැහැදිලි නැත. අවසානයේ පැහැදිලි කළ ප්‍රතිඵලයක් ලැබුණේ ගුරුවරියටමය. ඇයට ගෙදර යන්නට තරම් තත්ත්වයක් සකස් කොට දී තිබුණේ විදුහල්පතිය.

නඩු තීන්දුව නඩුවකින්ම වෙනස් කර ගත් ගුරුතුමිය නැවත එම විදුහලටම පත්වීමක් ලැබ ආවාය. 
මේ කතාව තවත් දිගය. විදුහල්පතිත් අදාළ ගුරුවරයාත් විදුහලේ ගුරුවරියන්ට නොයෙක් ලෙස අරියාදු කිරීම මෙන්ම පාසැලට දරුවන් ඇතුළත් කරන්නට එන මවුවරුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත් බවද වාර්තා වේ. ඒ පිළිබඳව නම් අමාත්‍යාංශය පරීක්‍ෂණ ආරම්භ කොට තිබිණි.


මේ පුවතේ දරුණුම අවස්ථාව ලෙස වාර්තා වන්නේ සංගීත ගුරුතුමියව කාමුක ගුරා විසින් වැළඳ ගැනීමයි. මේ සම්බන්ධයෙන් ගුරුවරිය කළ පැමිණිල්ල මහාධිකරණයේ අවසානයේ විභාග වීය. එහි තීරණය වූයේ ඒ වන විට කොළඹම වෙනත් පාසැලකට මාරු වීමක් ලැබගොස් සිටි කාමුක ගුරුවරයාට වසරක සිර දඬුවමක් නියම වීමයි.

පසුව ඒ දඬුවම වසර පහකට අත් හිටවූ සිර  දඬුවමක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. දඩය රුපියල් 1500 කි. 2011 සිදුවූ අප්‍රසන්න සිදුවීම වෙනුවෙන් මේ තීරණය ලැබුණේ 2019 මාර්තු මාසයේය. මේ සියල්ල සිදු වන විට කාමුක ගුරාගේ මිතුරු විදුහල්පති අනිවාර්ය විශ්‍රාම දිවියට ප්‍රවිෂ්ටවී සිටියේය.


 ගුරුවරියකගේ ගෞරවය දැන දැනම කෙලෙසන්නට උත්සාහ කළ ඒ ගුරු පරපුරේම තවත් අයෙකුට මේ ලැබී ඇති දඬුවම ප්‍රමාණවත්දැයි සිතා ගන්නට නොහැකි තරම්ය.



Saturday, March 23, 2019

ශීතකරණයේ දැන්නට එපා - අද - අලිගැටපේර - 2019/03/24



                                   අලිගැටපේර  
මේ පලතුරු වර්ගය ආහාරයට සුදුසු වන්නේ හොඳටම ඉදුණු පසුය. අමු තත්ත්වයේ හෝ ඉදීගෙන එන තත්ත්වයේ අලිගැටපේර ආහාරයට සුදුසු නොවේ.
ශිතකරණයක තැබීමට සුදුසු වන්නේ ඉදුණු එහෙත් ඔබ වහාම ආහාරයට නොගන්නවා නම් පමණි.

අද දවසේ කවිය - 2019/03/24 - මතට එරෙහිව හඬ නැගෙන වග

                           අද දවසේ කවිය 
                 මතට එරෙහිව හඬ නැගෙන වග.....



තැන තැන 'මත' ඇත නිති කරදර ඇත ඒ ගැන තොරතුරු පළ වෙන්නේ
නැග එන 'මත' වෙත විරුදුව එන්නට මහජන මතයක් ළඟ එන්නේ
මේ මස තිස්එක රිවිදින උදයේ පූජාවෙන් පසු හමු වන්නේ 
'මත' වෙත තිත දෙන මහ රැස්වීමක බලයෙන් මහජන හඬ එන්නේ





මත්ද්‍රව්‍ය පිළිබඳ දිනපතාම දැකිය හැකි නොයෙක් තොරුතුරු අතරේ ඒ සඳහා එරෙහිව හඬ නගන්නට පොදු මතයක් ගොඩ නැගෙන අවස්ථාවක් පිළිබඳවද වාර්තා වේ.

මේ පොදු මතය ගොඩ නැගීම සඳහා කටයුතු කරන්නේ අතිගරු  කොළඹ රදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන්ය. එතුමාගේ සැලැස්මේ හැටියට මේ මාසයේ අවසන් ඉරිදාවූ තිස්එක් වැනිදා උදෑසන දිව්‍ය පූජාවෙන් පසු මත් ද්‍රව්‍යවලට එරෙහි මහජන පෙළපාළි කිහිපයක්  දිවයිනේ විවිධ ස්ථානවලින් පටන් ගෙන අවසානයේ මෝදර විස්ටිවයික් ක්‍රීඩාංගනයට සැපැත්වීම සිදුවේ. 
රාජ්‍ය නායකයන්ද සහභාගී වීමට නියමිත මේ මහා රැස්වීමට සියලු ආගමික නායකයන්ද සහභාගී වීමට නියමිතය.
සැලැසුම් කර ඇති මේ කටයුත්ත පැසසුමට ලක් විය යුතුය. මෙහි මූලිකම අරමුණක් ලෙස හුවා දක්වන්නේ පාසැල් දරුවන්  මතින් බේරා ගැනීම වෙනුවෙන් හඬ නැගීමය. 
ආගම්  කුලකවලට වෙන්නොවී පොදුවේ මෙවැනි තත්ත්වයක් සඳහා එකතුවීමද යහපත්ය.

එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඇත්තටම සාමාන්‍ය මහජනතාව අතරේ පමණක්ද වීම ගැන නම් ප්‍රශ්නයක් පවතී.  දකින, අසන වාර්තාවලට අනුව මත් ද්‍රව්‍ය නම් නීතියෙන් තහනම් දේ රටට ගෙන එන්නේත්,ගබඩා කරන්නේත්, බෙදා හරින්නේත් කල්ලි වාදයකට අනුවය.
තහනම් ද්‍රව්‍යයක් මෙසේ රට පුරා සංසරණය වන්නේත් කිසියම් පැහැදිලි විධි ක්‍රමයකට විය යුතුය. එවැනි සියුම් තොරතුරු අදාළ රාජ්‍ය ආරක්‍ෂක අංශවලට ලබා ගත හැකි ක්‍රමවේදයක්  පිළිබඳවද පොදු කතිකාවතක් ඔවැනි  සහයෝගීතා මතින් ගොඩ නැගේ නම් තවත් යහපත්ය. 




Friday, March 22, 2019

ගන්දූව




දැන් ශ්‍රී ලංකාවට අහිමි  කුඩා දූපත - ගන්දූව - වැලිගම මුහුදු තීරයේ පිහිටා ඇත.

අද දවසේ කවිය - 2019/03/23 - මහගම සේකර නමත් අභාවප්‍රාප්තවීද?

                                    අද දවසේ කවිය
            මහගම සේකර නමත් අභාවප්‍රාප්තවීද?




මහගම සේකර කවුද කියාලා නොදන්න අය ඇත හැම පැත්තේ
එහෙම කෙනෙක් හිටියද කියලාවත් හෝඩුවාවකුත් නැහැ ඇත්තේ
පොතපත, චිත්‍රය, සිනමාවෙන් පෑ කුසලතාව සැඟවී ඇත්තේ
සාහිත ගුරු ගැන කුමන කතාදෝ ඒකයි රට තුළ ඇති තත්තේ
  
ආචාර්ය ජයලත් මනෝරත්න කලකට පෙර ගුරුතරුව නම්වූ වේදිකා නාට්‍යය නිර්මාණය කළේ රටෙන්, සාමාජයෙන්, පාසැලෙන්, සිසු මනසින් ගිලහී යන සාහිත්‍යය නම්වූ විෂයය ගැන කාටත් මතක් කරන්නටය.  එහි එන එක චරිතයක්වූ  මුදලාලි ප්ලේටෝට තමන්ගේ සාදයකට සහභාගී වන්නට ආරාධනා කරන්නටයැයි කියයි. ඒ ඔහුගේ නොදන්නා කමය. ඒ චරිතයේ හැටියට නම් ඔහුට ඔහුගේ නොදන්නා කම ගැන සමාවක් දිය හැකිය.
එහෙත් සාහිත්‍යය විෂයය උගන්වන වර්තමාන ගුරු භවතකු මහගම සේකර ගැන නොදැන සිටීම සුබ ලකුණක් නොවේ. මහගම සේකර යනු  රජ කාලයේ ජීවත්වූ සාහිත්‍යධරයකු නොවේ. ඔහු කොළඹදී උපත ලබා ඇත්තේ 1929 අප්‍රියෙල් මස හත්වැනිදාය. 

 ඒ අනුව 2019 අප්‍රියෙල් මස හත්වැනිදා සැමරිය යුත්තේ ඔහුගේ 90 වැනි ජන්ම දිනයයි මහගම සේකර මිය ගොස් ඇත්තේ 1976 ජනවාරියේය.  දැනට වසර හතළිස්තුනකට පෙරය. අද වෙසෙන  හැම දෙනාම ඒ කාලයට අයත් නොවූවන් වුවත් සේකර වැනි අය කවදටත් ජීවත් වන්නේ තමන්ගේ කලා නිර්මාණ නිසාය. ගීත පද රචනා, කාව්‍,ය නවකතා, චිත්‍ර හා සිනමාව ඔහු ඇසුරු කළ මාධ්‍යයයන් බව අඩුම වශයෙන් ශ්‍රී ලාංකිකයන් හැටියට හෝ දැන සිටීම අවමානයක් නොවන්නේය.
එහෙත් ප්‍රශ්නය ඇත්තේ සාහිත්‍ය ගුරුවරයකු මහගම සේකර ගැන නොදැන සිටීමම නොවේ.  එතැනින් එහාට සහ මෙහාට ප්‍රශ්න රැසක් ගැන ඉඟියක් නැගේ. 
වර්තමානයේ ගුරුවරු ලෙස කටයුතු කරන ගුරුවරු තමන්ගේ විෂයය හා ඊට අනුබද්ධිත වටපිටාව ගැන හොඳින් දැනුවත්ද? හැම ගුරුවරයකුම තම විෂය නිර්දේශය පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවේ. ඒ හා සම්බන්ධ වටපිටාව ගැන නිරන්තර අලුත්වන අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය. එහෙත් එවැනි තත්ත්වයක් නැති බවට සාධක නම් අසන්නට ලැබීම කනගාටුවට කරුණකි. මේ තත්ත්වය සමස්ත ගුරු පරපුරට පොදු නොවූවත් මේ සම්බන්ධයෙන් සිහිපත් නොකොට බැරිය.


සටහන අවසන් කරන්නට පෙර තවත් කරුණක් ඇතුළත් කළ යුතුව ඇත. මුලින් සඳහන් කළ කරුණට අදාළ ප්‍රසිද්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩහටහනට වරක් ගුරු මාතාවක් සහභාගී වූවාය. 

 ඇයට ලැබුණු එක ප්‍රශ්නයක් වූයේ 'ඳුදනොඳ බිඳ - බඳ තෙද කඳ- කඳ දෙව් රජ සාමිනේ' පැදි පෙළ කාගේ නිර්මාණයක්ද යන්නයි අහෝ! ඈ එවැනි නිර්මාණයක් ගැන  දැන නොසිටියාය
එසේ නම් අප  දරුවන්ගෙන කුමක් අපේක්‍ෂා කරන්නද?

Thursday, March 21, 2019

අද දවසේ කවිය - 2019/03/22 - ඇලයාපත්තුවේ හිත හොඳ දොස්තර

                                අද දවසේ කවිය 
               'ඇලයාපත්තුවේ හිත හොඳ දොස්තර.'



කලකට පස්සේ දොස්තර කෙනෙකුන් ගැන හොඳ පුවතක් දැන ගත්තේ
ශාන්ත ගති ඇති ප්‍රියශාන්ත ගැන ඇලයාපත්තුව ගම පැත්තේ
කියැවෙන කතාව පොතකපතක ඇති චරිතෙක ගතිගුණ ගෙන ඇත්තේ 
ඒ මුත් ඇත්තට ඇත්තම සිදුවෙයි පුදුමය අහකටවී ඇත්තේ 

බීමතින් රිය පදවා මිනිසුන් යට කරන වෛද්‍යවරියන් ගැනත් හෙදියන්ගේ හිස් පලන වෛද්‍යවරු ගැනත් අසන්නට ලැබෙන මේ රටේ තමාගේ කැපවීමෙන් රෝහලක් ගොඩ ගන්නට උත්සාහ කරන වෛද්‍යවරයකු ගැනද අසන්නට, කියවන්නට ලැබීම ඇත්තටම සතුටට කරුණකි. 

ඔහු මේ උත්සාහ දරමින් සිටින්නේ රෝගීන් සුවපත් කරන්නට බව ඇත්තය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ රෝහල වටා ඇති ගම්මානවල වසන අහිංසක මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීමය. ඒ ගම්වැසියන්ගේ සිත් ශක්තිමත් කිරීමය. මේ වෛද්‍යවරයා සහ ඔහුගේ සහායක කණ්ඩායමත් නිසා තමන්ට නිරෝගී මනසක් හා ජිවිතයක් ලැබෙන බව ගම්වාසීන්ට දැන් සහතිකයක් ඇත. ඒ නිසා  ඒ ගැන සිතීම පවා ඔවුනට ජීවිතයට සහනයක් ලැබීමකි. 

 ඒ හා මතුව එන තවත් කතාකළ යුතු පැත්තක් ඇත. ඒ පැත්තේ ඉන්නේ වෛද්‍යවරයාට තම උසස් අරමුණු සඳහා යන්නට දිරි දෙන බාහිර පාර්ශවයන්ය.
 පන්සල්වල ස්වාමීන් වහන්සේලා, ආරක්‍ෂක අංශවල නිලධාරීන් අනෙක් වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය සහ ගම්වාසීන් ඒ පාර්ශවයේ සිටිති. කෙනෙක් යමක් උසස් අරමුණකින් සිදු කිරීමේදී ඊට අකුල් හෙලන සහ ඒ කටයුත්තේ යෙදී සිටින අයගේ කකුලෙන් අදින මිනිසුන් වැඩියෙන් සිටින සමාජයක මෙවැනි  යහපත් මිනිසුන්ද සිටින බව සිහි කිරීමත් සතුටකි.
ඒ අරමුණු සියල්ල සැලැසුම් කරන ආකාරයෙන්ම ඉටු කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපේ පැතුමයි.






ශීතකරණයේ දාන්නට එපා - අද - ඇපල් - 2019/03/22







                                                ඇපල් 
ඔබ ශිත කළ ඇපල්වලට කැමැත්තක් දක්වන්නේ නම් ඔබට ඇපල් ශීතකරණයේ තැබීමෙන් පසු ආහාරයට ගත හැකිය. එහෙත් එසේ කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් නොවන බවද මතක තබා ගැනීම වැදගත්ය. ශීතකරණයේ ගබඩා කොට ආහාරයට ගන්නා ඇපල්වල ස්වාභාවික ප්‍රසන්න බව නැති බව අවබෝධ කර ගත යුතුය.

ඇපල් සතියක දෙකක කාලයක් ශිතකරණයක තැබීමෙන් තොරව සමාන්‍ය තත්ත්ව යටතේ තබා ගත හැකිය. ඒ කාලය තුළ ඔබ ඒ ඇපල් ආහාරයට නොගන්නේ නම් පමණක් ශීතකරණයක තැබීමෙන් තවත් දින කිහිපයක් අදාළ ඇපල් තබා ගත හැකි බව සැලැකිල්ලට ගත යුතුය.

Wednesday, March 20, 2019

අද දවසේ කවිය - 2019/03/21 - හදිස්සි විදුහල්පති මාරුව අවලංගු වේ.

                             අද දවසේ කවිය                                      'හදිස්සි විදුහල්පති මාරුව අවලංගු වේ.' 

කිසිම හේතුවක් දක්වා නැත්තේ විදුහල්පති නම් යවා ඇතේ 
දෙමව්පියන් සැම එකමුතු වීලා ළමයින් පාසැල් යවා නැතේ
අලුතින් ආ ඒ විදුහල්පතිවත් පාසැල තුළ සිර කරන් ඇතේ
අධ්‍යාපනයේ ලොකු මහතකුගෙන් ප්‍රශ්නෙට විසඳුම ලැබෙනු ඇතේ

අඩුපාඩු ඇතත් ඒවා හැකි පමණින් හදා ගෙන විදුහල වෙනුවෙන් කැපවී කටයුතු කරන විදුහල්පතිතුමා කිසිම හේතුවක් නැතිව (නැතිවාම නොවේ) හදිසියේ මාරු කොට යවා ඇති සිද්ධිය වර්තා වෙන්නේ මහ විලච්චිය ප්‍රදේශයෙනි. 

මේ විදුහල්පති තුමා තම අවංක සේවාව ලබාදී ඇත්තේ එහි ඇති කණිෂ්ඪ විද්‍යාලයකටය. එතුමා ඒ පාසැලට පැමිණ ඇත්තේ ළඟදීය. 

පාසැලත් එහි ඇති අඩුපාඩුත් හොඳින් හඳුනා ගන්නට සමත්වූ එතුමා හැම දෙනාගේම සහාය ලබා ගනිමින් පාසැල් කටයුතු වඩාත් දියුණු කිරීමේ උත්සාහයක යෙදී ඇත. ඒ මහතාගේ හදිසි මාරුවට හේතුවී ඇත්තේ ආණ්ඩුකාරතුමකුගේ මැදිහත් වීමක් බව පසුව හැම දෙනාටම දැන ගන්නට ලැබී ඇත්තේ හැමදේම සිදුවූ පසුවයි.

ඒ  ප්‍රශ්නය විසඳා නැවතත් පළමු විදුල්පතිවරයාම නැවත පාසැලට ලබා දෙන්නට පොරෛාන්දුවී ඇත්තේ අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්ය. 
අධ්‍යාපන සේවාවේ නොවන උදවිය අනවශය මැදිහත්වීමක් එසේ ඇති නොකළා නම් ඒ කණිෂ්ඪ විද්‍යාලයේ ළමුන්ට පාසැල් දිනයක්  අහිමි  වන්නේ නැත. දෙමව්පියන් කලබල වන්නේ නැත. විදුහල්පතිවරයකු නිවාස අඩස්සියට පත් වන්නේ නැත. 

මේ හැම විය නොයුතුදේ සිදුවී ඇත්තේ කිසියම් පුද්ගලයකුගේ අනවශ්‍ය මැදිහත් වීමක් නිසා බව පැහැදිලිය.
ඇති ප්‍රශ්න විසඳනවා වෙනුවට නැති ප්‍රශ්න ඇති කරන්නට යෑම නම් නොකළ යුතු දෙයකි.




ශීතකරණයේ දාන්නට එපා - අද චොකලට් සහ හේසල් ගෙඩි තැවරුම - 2019/03/21


             චොකලට් සහ හේසල් ගෙඩි තැවරුම 

මෙම තැවරුම තමන් ආහාරයට ගන්නා විවිධ ද්‍රව්‍ය වෙනුවෙන් භාවිත කළ හැකිය. මෙම තැවරුම සහිත බඳුන ශීතකරණයේ තැබූ විට සිදු වන්නේ තැවරුම මිදුණු ස්වභාවයකට පත් වීමයි. එසේම ඊටම ආවේණික රසයද නැතිවී යයි.
මෙම තැවරුම අඩංගු විවෘත නොකළ බඳුන් දෙමාසයක පමණ කාලයක් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තබා ගත හැකිය. විවෘත කරන ලද බඳුන් ආසන්න වශයෙන් මාසයක කාලයක් පෙර තත්ත්වය යටතේම තබා ගත හැකිය. ශීතකරණයක ගබඩා කිරීම අවශ්‍ය නොවේ.

රොබින්සන් කෲසෝ - හතරවැනි කොටස


කෲසෝගේ ජීවිතය දුක්ඛිත විය. ඔහු කොල්ලකරුවන්ගේ වහලකු විය. තමන්ට ලැබෙන සියලු දුක් කම්කටොළු  සියල්ල නිහඬව විඳ දරා ගන්නට ඔහුට සිදු විය. ඒ එසේ වුවත් ඔහුගේ සිතේ සැඟවී ඇති එකම බලාපොරොත්තුවක් තිබිණි. ඒ ලැබෙන පළමු අවස්ථාවේදීම මේ ස්ථානයෙන් ගැළැවී පලා යන්නටය. 
කෲසෝ තමන්ගේම වචනයෙන් කමන් මුහුණ දෙන තත්ත්වය විස්තර කරන්නේ මෙසේය. 
"මගේ ස්වාමියා මා ඔහුගේ නිවසට කැටුව ගියේය. ඔහු මුහුදු යන අවස්ථාවලදී මටද ඔහු හා යන්නට ලැබෙනු ඇතැයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ විශ්වාසය තුළ සැඟැවුණු අදහසක් තිබිණි. එවැනි දීර්ඝ මුහුදු චාරිකාවකදී ස්පාඤ්ඤ හෝ පෘතුගීසි හෝ නැවකට අප හමුවනු  ඇතැයි මම සිතුවෙමි.  


එවැනි අවස්ථාවකදී මට නියත වශයෙන්ම නිදහස ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි. 
එහෙත් මගේ ඒ අපේක්‍ෂාව එතරම් ඉක්මනකින් ඉටු වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඔහු මුහුදු යන  විට මා වෙරළේ රඳවා තැබීය. මට ඔහුගේ නිවසේ වහලකුසේ  කටයුතු කරන්නට සිදුවිය. ඔහු සිය මුහුදු ගමන නිමා කොට නිවසට පැමිණි පසු මා ඔහුගේ නැවේ කුඩා කාමරයට යැවූයේ නැව ආරක්‍ෂා කිරීමේ  වගකීම මට පවරමිනි.

මේ වහල්බවින් හා මේ ස්ථානයෙන් ගැළැවී යාම සඳහා ප්‍රතිඵලදායී ලෙස කුමක් කළ යුතුදැයි මම නැවත නැවතත් කල්පනා කරන්නට වූයෙමි.   අනෙක් වහලුන් අතරේ මට මිත්‍රයන් සිටියේ නැත.  ඉංගිරිසි, අයර්ලන්ත, ස්කොට්ලන්ත ජාකිකයන් කිසිවකු සිටියේ නැත.මට සිටියේ මා පමණකි.සෑහෙන කාලයක් තිස්සේ ගැළැවී පලා යාමේ සිතිවිල්ල මට මා තුළම සිර කර ගෙන සිටිය යුතු විය. එසේම ඒ අදහස ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්නට තරම් ධෛර්යයක්ද මා තුළ තිබුණේ නැත.

දෙවර්ෂයක කාලයකින් පසු වහල් බවින් මිදී යාමේ අදහස මගේ සිත තුළ තදින් බලපවත්වන්නට වූයේ කිසියම් නිශ්චිත නොවූ තත්ත්වයක් උදාවූ නිසාය. 
මගේ ස්වාමියා සතියකට වතාවක් දෙකක් හෝ ඇතැම් විට ඊට වැඩි වතාවක් හෝ මුහුදේ මාළු බාන්නට යන සිරිතක් විය. මෙසේ මාළු බාන්නට යන්නට ඔහු යොදා ගන්නේ කුඩා යාත්‍රාවකි. සාමාන්‍යයෙන් එවැනි යාත්‍රෘ යොදා ගන්නේ නැවක් සහ ගොඩ බිමක් අතර සම්බන්ධතාව රැකීම සඳහාය. මාළු බාන්නට යන මෙවැනි ගමන් සඳහා සූරී නම් තරුණයාද කැටුව යයි. 
සූරී සහ මා එක්ව බෝට්ටුව පැද යන්නේ සතුටිනි. අපේ ස්වාමියාද අප හා එක්ව සතුටු වෙයි. මුහුදේ මාළු ඇල්ලීම පිළිබඳව මා දක්‍ෂයකු බව මේ වන විට මම සනාථ කොට ඇත්තෙමි. ස්වාමියා මාළු බෑමට එක් නොවන්නේ නම් ඒ වෙනුවට ඔහුගේ හිතෛෂියකු සූරී  සහ මා සමග එවනු ලබයි.

අප කිසිසේත් නොසිතූ තත්ත්වයකට මුහුණු දුන්නේ මුහුද ශාන්ත බවක් පෑ එක් උදෑසනකදීය.  එදාද අප මුහුදු ගියේ සුපුරුදු ලෙස මාළු බාන්නටය. ගන සැරේට මීදුම නැග හාත්පස පැතිරී තිබූ අතර අප යාත්‍රා කරමින් සිටියේ මුහුදු වෙරළේ සිට අඩ ලීගයක තරම් දුරින්යැයි දුරින්යැයි මම සිතුවෙමි. 

මීදුම අප හිතුවාටත් වඩා ගන වෙමින් තිබිණි. අපට වෙරළ තීරය පවා නොපෙනෙන තරම් විය. යන්නේ කොයි දෙසටද යා යුත්තේ කොයි දෙසටදැයි සිතා ගන්නටවත් බැරි තරම් විය.  

කෲසෝ සහ පිරිසට මුහුණ දෙන්නට වූයේ කවරාකාර තත්ත්වයකටද? ඊළඟ කොටසින් කියවන්න.  































Tuesday, March 19, 2019

අද දවසේ කවිය - 2019/03/20 - අධිනීතිඥ නාගානන්ද මහතාට උසාවි තහනමක්.

                           අද දවසේ කවිය                             'අධිනීතිඥ නාගානන්ද මහතාට උසාවි තහනමක්.'

සිරි ලංකාවේ තවත් තීන්දුවක් ඊයේ දිනයෙදි පළ වෙන්නේ
මහතා නාගානන්දට විරුදුව තහනමක්ය ඒ පළ වෙන්නේ
අවුරුදු තුනකට උසාවි එනු බැහැ  කියලයි ඒකෙන් කියැවෙන්නේ
වරදක්වීලා ඇති බව කියැවේ ඒකයි තහනම පැනැවෙන්නේ



අධිනීතිඥ නාගානන්ද යනු මෙරට සුප්‍රසිද්ධ නීතිවේදියෙකි. මෑතක සිට ඔහු තවත් ප්‍රසිද්ධව සිටින්නේ සාමාන්‍ය මහජනයාගෙන් සැඟවී ගත් එහෙත් සමාන්‍ය මහජනතාවටද වැදගත් යම් තොරතුරු සම්බන්ධයෙන් සත්‍යය නිරාවරණය කරන්නට ඉදිරිපත්වීම නිසාය.  ඔහු අන්තර්ජාලය හරහා කළ තොරතුරු විග්‍රහයන් සාමාන්‍ය ජනතාවට ගෝචර වන ආකාරයේ විය.
මේ අවස්ථවේදී ඔහුට එල්ලවී ඇත්තේ දැනට ශ්‍රේෂ්ඪාධිකරණයේ විනිසුරුතුමකු ලෙස කටයුතු කරන මහතකුට අපහාස වන හා මහජනතාවට ඒ මහතා කෙරෙහි අප්‍රසාදයක්  ඇති වනසේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම යන චෝදනාවයි.
 නාගානන්ද මහතා අත්දැකීම් බහුල පළපුරුදු නීතිවේදියකු වූවත් ඒ මහතා අතින්ද යම් ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව පැහැදිලිය. ඔහුට දඬුවමක් ලබාදී ඇත්තේ ඊට සරිලන ලෙසින් විය යුතුය. 
ඒ නිසා වරදක් පසුපස දඬුවමක් හඹා යන බව අධිකරණ තීන්දුවෙන් පැහැදිලි වේ.

වැලිගම හෝරා කිහිපයක්......... A few hours at Weligama......



වැලිගම හෝරා කිහිපයක් .......... A few hours at Weligama......




අපේ රටේ අයත් අපේ රට ගැන දන්නා පිටරට උදවියත් ශ්‍රී ලංකාවේ දකුණු පලාත ගැන හොඳ අවබෝධයකින් යුතුය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය යනු රට වටා ඇති මුහුද ආසන්නයෙන් හෝ මුහුද මායිම් කොට ගෙන පිහිටා ඇති කලාපයකි. මේ කලාපය අපේ රට තුළ ප්‍රකටව ඇති කරුණු අතරින් වඩාත්ම මූලික කරුණක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි.

අවුරුද්දක කාලයක් සැලැකිල්ලට ගත් විට මුළු අවුරුද්ද පුරාම රට තුළට සංචාරකයන් ඇදී ඒම එකාකාරව සිදු වන්නේ නැත. අප දැනුවත්වූ පරිදි අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට ඔක්තෝබරය දක්වාවූ කාලසීමාව තුළ රටට සංචාරකයන් එන්නේ නැත. ආවත් සාපේක්‍ෂව අඩුවීමක් පෙන්වයි.   




'වැලිගම' යනු 'වැලි බහුල වශයෙන් ඇති ගමයි.' කටවහරට අනුව එසේ කීවත් එහි නියම අරුත වන්නේ සහ නියම අරුත විය හැක්කේ වැලිගම වෙරළ තීරය අධික වැලි ප්‍රමාණයකින් යුතු වීමයි. 
වැලිගම අයත් වන්නේ මාතර දිස්ත්‍රික්කයටය.

ඓතිහාසික වශයෙන්ද වැදගත් වන ස්ථාන කිහිපයක් උරුම කොට ගත් වැලිගම නගරය මුහුදු මට්මෙන් අඩි තිහක පමණ උසකින් පිහිටා ඇත. 

වැලිගම නගරය ආශ්‍රිත ප්‍රධාන කර්මාන්ත වන්නේ සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තයයි.

Weligama city is situated in the southern province of Sri Lanka. Weligama is about 144 kilometers away from Colombo.
You can reach there by bus, by train or by using your own transport without difficulty.
Weligama belongs to the Matara District and the town is about 30 feet above from the sea level.
'Sandy Village' is the colloquialism for Weligama. But the real meaning would be the seashore which contains heavy sand capacity. 
Main industries are tourism and fishing.
  

                                        

ධීවර කර්මාන්තය

  

 වැලිගම අවට මුහුදු තීරය මසුන් ඇල්ලීමේ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. විවිධ වර්ගවල ධීවර යාත්‍රා මේ කර්මාන්තයේ යෙදෙයි. මේ නිසාම අවට අවන්හල් සඳහා විශේෂයෙන්ම සංචාරකයන් වෙනුවෙන් මුහුදු ආහාර සපයා ගැනීමේ පහසුවක් ඇතිවී තිබේ.  

Fishing Industry
Fishing has become as one of the popular industry in Weligama. The sea around this area is providing much suitable environment for this industry. Various types of boats are involving in this industry. This industry is making facility for providing seafood especially for tourists who engage with their meals at the hotels and the restaurants nearby.

 වැලිගම ගත කළ හෝරා කිහිපයේදී වඩාත්ම නැඹුරු වූයේ සංචාරක ව්‍යාපාරයටය. එහිදී වඩාත්ම උත්සාහ ගත්තේ සංචාරක ව්‍යාපාරය හා  සබැඳි ව්‍යාපාරවල නිරත තරුණ ව්‍යවසායකයන් හමුවටය. මේ ගමනේදී අපට එවැනි දෙදෙනෙකු හා කතාබස් කරන්නටත් තොරතුරු දැන ගන්නටත් ලැබිණි.

When we were at Weligama much considered about tourism in that area. Apart from that had an attempt to meet young entrepreneurs who highly involved with tourism in Weligama.

අප මුලින්ම හමු වූයේ ඉෂාන් හර්ෂණ ගුණරත්නයි. ඔහු විසිනව වියැතියි. මේ ඔහු සංචාරක ව්‍යාපාරය හා එක්ව ගත කරන පස්වැනි වසරයි.

ඔහුගේ මුල්ම ප්‍රයත්නය වූයේ වැලිගම සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා  මඟීන් කැටුව යාම සහ ඒමය. ඒ සඳහා ඔහු සතු වූයේ එක් වෑන් රථයක් පමණි. මේ ආකාරයට කටුනායක යෑම ඒම ඔහු එක සීරුවට වසර දෙකක් තිස්සේම කළේය එසේ ගෙවී ගිය කාලය නිකරුණේ අතීතයට එක් වුණා පමණක් නොවීය. ඒ කාලය ඔහුට ඔහුගේ අනාගතය තීරණය කරන පදනමක් දමා ගැනීමට ප්‍රයෝජනවත් විය. හේතුව ඒ කාලය තුළදී ඔහුට දේශීය හා වීදේශීය වශයෙන් විශාල මිනිස් සබඳතා ප්‍රමාණයක් හදා ගන්නට හැකි වීමයි.

කාලය ඉකුත්ව යද්දී ඔහුට ලැබෙන විදෙස් ඉල්ලීම් ප්‍රමාණයේ වැඩි වීමක් ඇති විය. ඊට හේතුව ලෙස ඔහු දක්වා සිටින්නේ තමා විසින් තම අනුග්‍රාහකයන්ට ලබා දෙන සේවාවේ තත්ත්වය හොඳ මට්ටමක පැවැතීමයි. මේ නිසා කාර්ය බහුලත්වයද ඉහළ යන්නට විය. තනි වාහනය ඉහළ යන ඉල්ලුමට ප්‍රමාණවත් නොවුණු නිසා අත ඇති වාහනය විකුණා ලැබූ මුදල් හා කල්බදු ලීසිං ක්‍රමය මිශ්‍රව යොදා ගෙන වාහන දෙකක් මිලට ගත්තේය.
මෙසේ වාහන දෙකක් ආසන්න කාලසීමා තුළදී මිලදී  ගන්නටත් හේතුවක් තිබිණි. ඒ හේතුව නම් ඔහුට ඇලෙක්ස් නම් පෘතුගීසි ජාතිකයා දැන හඳුනා ගන්නට ලැබීමයි.

ඇලෙක්ස් රටවල් අටක 'මුහුදු රළ මත ලිස්සා යෑම' හුරු කරවන කඳවුරු දහඅටක් පවත්වා ගෙන යන්නෙකි. ශ්‍රී ලංකාවේ වැලිගම මුහුදු තීරයද එම ජල ක්‍රීඩාව සඳහා උචිත ලෙස සැලැකේ. ඒ අනුව ඒ ක්‍රීඩාවට ඇලුම් කරන සංචාරකයන් ඉෂාන් හරහා ලංකාවට යොමු කරවන්නට ඇලෙක්ස් මුල් විය. අලුත් වාහන දෙකක්ම මිලදී ගැනීමට සිදු වූයේ මෙසේ ලංකාවට එන සංචාරකයන්ගේ සුවපහසුව වෙනුවෙනි.
ඒ සම්බන්ධය හරහා ලෝකයේ අදාළ රටවලින් සංචාරකයන් මෙරටට ඒම නිශ්චිත කාලවකාවනුවකින් තොරවම සිදු වෙයි. ඔවුන් වෙසෙසින්ම වැලිගමට එන්නේ මුහුදු රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ යෙදෙන්නටය. 

තවත් යම් කාලයක් ගත වන විට සංචාරකයන්ගෙන් තමාට ලැබෙන පැමිණිලි ඔස්සේ කල්පනා කොට තවත් දිශාවකට යොමු වන්නට ඉෂාන්ට අවශ්‍ය විය. ඔහු ප්‍රවාහනය කරනු ලබන සංචාරකයන්ගෙන් නැගෙන ප්‍රධානම මැසිවිල්ල වූයේ තමන්ට ලැබෙන වාසස්ථානවල ඇති ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයි. 

ඒ අනුව තමන්ගේම සංචාරක නිවස්නයක් තනා ගැනීම පිළිබඳ කල්පනාවෙන් බරවූ ඉෂාන් එවකට තමන් පෙළුෑ අපහසුතා මැද වුවත් වැලිගම නගර මධ්‍යයට ආසන්නයෙන් පර්චස් දහයක ඉඩකඩක් මිලදී ගත්තේය. සියලු පහසුකම් සහිතව, කාමර පහක් ඇති 'ඞ්රීම් පැරඩයිස්' සංචාරක නිවස්නය එහි ඉදි විය. 2016 ඔක්තෝබර් මාසයේ සිට එය විදෙස් සංචාරකයන් සඳහා විවෘතය.  එදා අපහසුම්කම් මැද කටයුතු ආරම්භ කළත් අද වන විට ඔහු ණය බරින් තොරය.

ඔහු අදටත් සුපුරුදු ලෙස සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතු විධිමත් ලෙස පවත්වා ගෙන යයි. ඒ සඳහා ඔහු රථවාහන හැසිරවීම පිළිබඳ නව තාක්‍ෂණයද උපයෝගී කර ගනියි.

මේ යොවුන් ව්‍යවසායකයා තමන් අද රැඳී සිටින තත්ත්වය ගැන අතිශය තෘප්තිමත්ය. ඔහුගේ මතු අපේක්‍ෂාව වන්නේත් තම කටයුතු වඩාත් ශක්තිමත්ව පවත්වා ගනිමින් සිය ව්‍යාපාරයේ ඵල ප්‍රයෝජන පතන අයට උපරිම සේවාවක් ලබා දීමය. 


We met one young entrepreneur at Weligma who envolve with tourism in the same area.
He is Ishan  Harshana Gunarathna and he is twenty-nine years old. He owned private vehicle service known as Ishan Tours. He provides transportation for tourists to come to Weligama city. As well as he owned a guest house which consists of five rooms and other necessary facilities.




වැලිගම සංචාරක නගරයේදී අපට ඊළඟට මුණ ගැසුණේ තවත් තරුණ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් දෙකක් ඇති බව පැහැදිලි කර ගත හැකි විය.
 මුල් කොටසින් කැරෙන්නේ සිය වෙළෙඳ භාණ්ඩය අලෙවි කිරීමයි. දෙවැනි කොටසින් කැරෙන්නේ අලෙවිකිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. මතුපිටින් බැලූ විට නම් එහි ඇති අමුත්තක් නැත.
එහෙත් ඔහුගේ ව්‍යාපාරයේ ස්වභාවය ගැන සලකා බැලූ විට නම් එහි යම්කිසි වෙනසක් ඇති බව පෙනේ.
ඔහුගේ වෙළෙඳ භාණ්ඩ මැණික්ය. ඔහුගේ නිෂ්පාදන වන්නේ ස්වර්ණාභරණය.
සංචාරකයන් සමග  වාණිජමය වශයෙන් ගනුදෙනු කිරීම සඳහා මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන මෙම තරුණ ව්‍යාපාරිකයා නමින් රෙහාන් ෂාරක ජයවීරය.


රෙහාන් දසවස් සපිරූ පළපුරුදුකම් ඇත්තෙකි. කාලයක් වෙනත් ප්‍රධාන  ගණයේ ආයතන වෙනුවෙන් සිය සේවා දායකත්වය ලබා දුන් රෙහාන් පසුව තීරණය කළේ තම සීයාගෙන් සහ පියාගෙන් ලද ආභාෂයත්, උරුමයත් ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේම කියා කිව හැකි ව්‍යාපාරයක් පටන් ගන්නටය. ඒ අදහස ඵල දරන්නට පටන් ගෙන දැන් පස් වසරක් ගෙවී යමින් පවතී.

විවිධ රටවලින් ශ්‍රී ලංකාවේ  වැලිගම නගරයට යන එන සංචාරකයෙන්ගේ රුචිකත්වය රෙහාන්  හොඳින් හඳුනා ගෙන ඇත.  ඒ නිසා මැණික් ලෙසින් හෝ ඔවුන්ගේ ඉල්ලීමට අනුව නිමවා දෙන ආභරණයකින් හෝ ඔවුන් අවංකවම තෘප්තිමත් කිරීමේ සතුටත්, වගකීමත් රෙහාන් විසින් දරනු ලබයි.

Rehan Sharaka Jayaweera is another young entrepreneur who met at Weligma. He is having a business which involves with gem and jewelry manufacturing. This skill he has he owned from his grandfather and his father as well. 
As he says he got this skill because for the influence of his parents and as an inheritance.  
Rehan knows the taste of tourists coming from various countries to Weligama . Therefore he is always ready to fulfill their requirements by selling gems or made jewelry by his own.






(IMPORTANT- Some photographs have obtained from the internet.)









Monday, March 18, 2019

අද දවසේ කවිය - 2019/03/19 - සිසු කන පැලීම




                             අද දවසේ කවිය 
'සිසු කන පැලීම.'



(an internet picture)
සිරි ලංකාවේ ගුරු පරපුර ගැන තව දුර පැමිණිලි මතු වෙන්නේ
දහයේ වසරේ සිසුවකුගේ කන රත් කොට ඇති බව හෙළිවෙන්නේ
කනේ අමාරුව වැඩිවී සිසුවා සැත්කම්වලටත් යොමු වෙන්නේ 
ඇත්තම පසුබිම හොයලා බලලා පියවර ගතහොත් හොඳ වෙන්නේ




(an internet picture)

මේ සිදුවීම වාර්තා වන්නේ වෙන්නප්පුව ප්‍රදේශයෙනි. අදාළ ගුරුවරයා විසින් සිසුවාගේ මුහුණටත් හිසටත් අතින් පහරදී ඇත. මේ හේතුව නිසාම අදාළ දරුවා වරින්වර කන ආශ්‍රිත ශල්‍යකර්ම සඳහාද මුහුණදී ඇත. ඒ අතින් බැලූ විට නම් උද්ගතවී ඇති තත්ත්වයේ යම් බරපතළ බවක් ඇත. 

ගුරුවරයා මෙම පහරදීම කර ඇත්තේ ඇති කර ගත් යම් වැරැදි වැටහීමක් නිසා බවද කියනු ලැබේ.  ඒ නිසා කරුණු විභාගයේදී පසුබිම් තත්ත්වය ගැන නිසි විමර්ශනයක් කිරීම සුදුසුය. 

ගුරුවරයකු සිසුවකුට කිසියම් දඬුවමක් කිරීම අරුමයක් නොවූවත් ඒ සඳහා වුවත් පිළිවෙළක් තිබිය යුතු බව නිති අවබෝධයේ තිබිය යුතු කරුණකි. 

ඒ නිසා මොහොතකට තමන් තුළ ඇති වන මානසික වෙනසට වහල්වී කටයුතු කරන්නට යෑම කිසිවිට නොකළ යුතු බව පුරුදු කර ගත යුතු සිද්ධාන්තයක් බව සැලැකිය යුතුය.

ශීතකරණයේ දාන්නට එපා - අද - සෝස් වර්ග - 2019/03/19





               බොහෝ කුළුබඩු සහිත සෝස් වර්ග  
මෙවැනි සෝස් වර්ග ශීතකරණයේ තැබීමෙන් අන්තර්ගතයේ ඇති ගම්මිරිස්වල අඩංගු රසවත් බව නැතිවී යයි.
මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙවැනි සෝස් වර්ග කල් තබා ගැනීම සඳහා ශීතකරණයක ගබඩා කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි.
සෝස් තුළ ඇති අධික විනාකිරි සංඝටකය ඒ තුළ බැක්ටීරියා වර්ධනය නවතාලනු ලබයි.