Wednesday, July 22, 2020

ලොන්තලන්තේ - Lonthalanthe by Podi Arachchila



ලොන්තලන්තේ

මේ දවස්වල  ලොන්තලන්තේ තත්ත්වය එතරම්ම හොඳ නෑ නෙව. හැමෝම ඉන්නේ මාර අප්සැට් එකේය. කවුදෝ ඇමති උත්තමයෙක් හෙණ  අප්සැට් ටෝකාවක් දීම ඊට හේතුවයි. ඒ ටෝකාවෙන් කියැවෙන්නේ අවුරුදු දහයකට කලින් බෝල් තරගයක් විකුණා දැමූ බවක් නිසයි. 
එහෙව් දෙයක් වුණා නම් අවුරුදු දහයක් තිස්සේ ඔය කියන උත්තමයා හිටියේ කොහේදැයි ලන්තේ කට්ටිය ඇහුවත් අර උත්තමයාට හරි උත්තරයක් දෙන්නට බැරි වුණා නෙව. උන්නැහේ උත්තර දෙන්නට පමා වුනත් ආරක්ෂක උත්තම කට්ටිය පරීස්සණයක් හෙම පටන් ගත්තේ උජාරුවට.  

ඒ වුනත් ඒ පරීස්සණේත් දන්නෙම නැතිව දිය වෙලා ගියයි කියහංකෝ. ඔන්න පරීස්සණේ හා හූ කියා ගෙන පටන් ගත්තා කියමු. ඒ පරීස්සණේට ලොන්තලන්තේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පරසිද්ද බෝල් ගහන දස්සයන්වත් ගෙන්නුවා. කියන්නත් නිකං මොකද්දෝ වගේ. ඒ වුනත් ඉතිං නොකියා කොහොමද? කට කෑවත් කියන්න එපැයි.
ලොන්තලන්තේ දේසපාලු කට්ටියට වඩා මුළු ලෝකෙම අඳුනන්නේ බෝල් ගහන කට්ටියයි. ඒ හන්දා මුළු ලෝකෙම කට්ටිය බලා හිටියා අන්දුන්කුන්දුන් වෙලා මේ වෙන්නේ මොන ආකාරයක වින්නැහියක්දැයි බලා ගෙන.  ඉතින් ආයුබෝන් මොකක්වත්ම වුණේ නැහැ නොවැ. ඒ පරීස්සණ කරාපු උත්තමයෝ අවසානෙදි කිව්වේ එව්වා මෙව්වා වුණයි කියා සාක්කි නැති බවයි.
ඔව්වා ගැන දන්න කියන උදවිය නම් කියන්නේ ඒ වාගේ පරීස්සණ කටයුතු පටන් ගන්න කලියෙන් බොහෝ දේවල් හොයලා දැන කියා ගන්න ඕනේ කියාලයි. කෝ ඉතින් මෙතන එහෙම දෙයක් වුණේ නැහැනේ. ඒ කතන්දරෙත් ඒ විදිහට වුණේ ඇයි කියන්න කවුරුවත් දන්නෙත් නැහැනේ. කොයි කරමෙන් හරි ඔය කාරණාව ඔය විදිහට වුණයි කියමු.
අර බෝල් ගහන උදවිය පරීස්සණ මණ්ඩලේට කැඳවලා දිගින් දිගටම ප්‍රශ්න කළා නෙව. පැය ගණන් ප්‍රශ්න කොළා. අන්තිමට වුණේ මොකද්ද දන්නවැයි? මොකුත්ම නෑ නෙව. නිකම්ම පුස්ස බින්දා වගේ නෙව.
ඔන්න තීන්දුවකුත් ආපි. තීන්දුව මොකක් කියලද ආයිබෝං හිතන්නේ? තීන්දුවෙන් කිව්වේ එහෙම කිසිම අලකලංචියක් වෙච්ච විත්තියක් දැන ගන්න නැති බවයි. එහෙව් දෙයක් වෙච්ච බවක් කියන්න සාක්කියක් හොයා ගන්නවත් නැතෙයි කියලයි.
ඒ කතාව ඒ විදිහට වුණාමයි කියමු. අනෙක් පැත්තේ ඉඳන් ඇමති උත්තමයා  මොනවද කියන්නේ කියලද හිතන්නේ? ඒ උත්තමයා නම් කියන්නේ උන්නැහේ කියාපු කතාව ඇත්තක්ම කියලයි. උන්නැහේ ඒ කතාව කියන්න පටන් ගත්තු දවස්වල නම් ඒ ගැන කවුරු කවුරුත් උනන්දුවක් පැවා. ඒ උනත් ආයිබෝන්ඩ දැන් කවුරුවත්ම ඒ ගැන උනන්දු නැති පාටයි.
දැන් කිසි කෙනෙක් ඒ ගැන කතා කොරන්නේවත් නෑ නෙව. ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද කියලා මේ අපි වගේ හුදී ජනතාවට හොයා ගන්න හරි හමං කෙරේමයක් නැති එක නොවැ කරුමේ කියන්නේ.
ඇමති උත්තමයා ඔය කතාව මුලින්ම ටැලිවිසොන් පෙට්ටියෙන් රටට කියා පාද්දී තමන්ගේ පපුවටත් ගහලා නොවැ කිව්වේ. ඒ වෙලාවේ එහෙම වුණාට පස්සෙත් තමන් කීව දේ නිවැරදිමයි කිව්වත් දැන් ඒ ගැන කතාවක්වත් නෑ නෙව.
ඇත්තටම මොකක් වුණාදැයි කියන්නට දන්න කෙනෙක් ඉන්නවැයි? ඉන්නවා නම් කියමුකෝ බලන්න සිද්ද වුණේ අහවල් දේ කියලා. එක්කෝ ඒ ඇමති උත්තමයා යං දේකට කලබල වෙලා කී දෙයක් ද? නැති නං ඒ ලොන්තලන්තේ හැටි සුබාවද? 
ආයෙත් වෙලාවක එඤ්ඤං. ඩිං ටොං ඩුං.  
- පොඩි ආරච්චිල.