Sunday, April 29, 2018

සත් සති අධ්‍යයනය



වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක සම්මා සම්බුද්ධත්වයට පැ මිණි අප මහ බෝසතාණෝ එයින් මතු දින හතළිස් නවයක  නැති නම් සති හතක  කාලය ගත කොට ඇත්තේ නිරාහාරව සිටය.

මෙය විශේෂ කරුණක් ලෙසින් හැඳින්වීම වරදක් නොවේ.
මේ කාලය තුළ උන්වහන්සේට ආහාරය වී ඇත්තේ සුජාතාවගේ කිරිපිඩු දානයයි.






තත්කාලීන ප්‍රශ්නය: කිසිවකුට එවැනි කාලයක් නිරාහාරව   සිටිය හැකිද?

පහදා දීම: විය හැකියි.
(1) සම්බුදු පදවිය ලද උතුමකුගේ අධිෂ්ඨා නය අනුව එවැන්නක් සිදු විය හැකියි.
(2) ජීවිත කාලයක් පුරාවට ආහාරයක් පමණක් නොව ජලයවත් පානය නොකොට හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින පුද්ගලයෙක් අදටත් ඉන්දියාවේ ජීවත් වේ.ඒ නිසා සම්බුදුවරයකු වෙතින් එවැන්නක් සිදු වීම අරුමයක් නොවන්නේය.

සත් සතිය ගැන කල්පනා කරන විට කෙනෙකු තුළ තවත් ප්‍රශ්න ඇති  විය හැකිය.

අ)කල්ප ගණන් පෙරුම් පුරා ලැබූ බුදු බව දින හතළිස් හතක් තිස්සේ ‘නිකරුණේ‘ ගත කළේ ඇයි?
ආ) උන්වහන්සේට ඒ කාලය තුලදී චාරිකාවේ යෙදෙන්නට නොතිබුනාද?
ඇ) බුද්ධත්වය ලැබූ ආසන්නය නිසා ඉදිරි වැඩ පිළිවෙළක් උදෙසා සූදනම්  වීමට යම් කාලයක් ගත්තාද? 

බුදුන්වහන්සේ සත් සතිය ගත කළ ආකාරය ගැන විමසා බැලීමේදී මෙවැනි ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ගත හැකි වනු ඇත.

පළමු සතිය
බුදු හිමියන් ගත කළේ සම්බුද්ධත්වයට පත් වූ සතුට සිත දරා ගෙනය.  
මෙම නිරාමිස සතුට සිත දරා ගෙන සිටි බුදුන් වහන්සේ තමන් වහන්සේ වෙතින් පළ වන ඒ උදානය ප්‍රකාශයට පත් කළේ  ගාථාවකිනි.  ' අනෙක ජාති සංසාරං ...........'  
බුදුන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි භාවනාමය ඉරියව්ව වෙනස් නොකරම ඒ සතිය ගත කළේය. 
සත් වන දිනයෙහි රැයෙහි පටිච්ඡසමුප්පාදය අනුලෝම හා ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළහ. 





බුදුන් වහන්සේ සුපුරුදු ඉරියව්වකින් සතියක්ම ගත කිරීම ගැන ඇතැම් දෙවිවරු තුළ ඇති වූයේ සැකයකි.
බෝසතුන් වහන්සේ තවමත් සම්බුද්ධත්වයට පැමිණ නැද්ද?
බුදු හිමි  මේ  සැකය හඳුනා ගත්හ. ඒ සැකය දුරු කරනුවස් සතියේ අවසාන දින අහසට පැන නැග 'යමා මහ පෙළහර'(යමක මහා ප්‍රාතිහාර්යය) පෑ සේක.
 මේ පෙළහර පෑ හැක්කේ සම්මා සම්බුදුවරයකුට පමණි.
දෙවියන් තුළවූ කුතූහලය දුරු වූයේ ඉන්පසුවය. 

 දෙවැනි සතිය  - අනිමිසලෝචනය
බුද්ධත්වය ලබද්දී තමන් වහන්සේ වාඩිවී සිටි  තැනට මඳක් ඊසාන පැත්තට වී සිට ගත් බුදු පියාණෝ බුද්ධත්වය ලැබ්ම සඳහා තමන් වහන්සේට උපකාරයක්වූ බෝධිය දෙස ඇසි පිය නොහෙළා බලා සිටින්නට වූහ. මේ බුදුන් වහන්සේ  සමස්ත ලෝකයා වෙත තමන් වහන්සේගේ ක්‍රීයාවෙන්ම පෙන්වා දුන් ලබා දුන් පළමු ආදර්ශය ලෙස සැලකිය හැකිය. ඒ උතුම් ආදර්ශය වන්නේ 'කළගුණ සැලකීමයි'.  (ඇසි පිය නොහෙළා බලා සිටීම  බෞද්ධ  සාහිත්‍යයේදී හඳුන්වා   දෙන්නේ අනිමිසලෝචනය ලෙසිනි)


                                                                                 
තත්කාලීන ප්‍රශ්නය- බෝ ගහ යනු (සාමාන්‍යයෙන් ගත් කල) අජීවී වස්තුවකි අජීවි ගසක් දෙස සතියක් තිස්සේ බලා සිටීමෙන් ඇත්තටම අදහස් කරන්නට ඇත්තේ කුමක්ද?

පහදා දීම - සාමාන්‍ය ජීවිතයේදී ඹබ යෙදී සිටින කිසියම්  කාර්යයකදී හෝ ඔබ කිසිවක් කරන්නට දරන උත්සාහයකදී හෝ ඔබට සුළුවෙන් හෝ උදව් වෙන (වචනයෙන්/ක්‍රියාවෙන්) කිසිවක් එහෙමත් නැති නම් කිසිවකු ඔබ ලබන සාර්ථකත්වයෙන් පසු අමතක කර දැමීම සුදුසු නැත. ඔබ එසේ කරන්නේ නම් ඔබ අයත් වන්නේ ස්ව ආත්මාර්ථය පමණක් සලකන දුර්ජන ගනයටයි.
බල්ලන්, බළලුන්, පක්‍ෂීන්, ලේනුන් පමණක් නොව භයානක ගනයේ සිංහයන්, කොටියන්, දිවියන් වැනි සතුන්ද මිනිසුන් වෙත කෙළෙහි ගුණ දක්වද්දී ඔබ එසේ නොකර සිටින්නට සිතයි නම් ඔබේ තත්ත්වය අනෙක් අය මැන ගන්නට පෙර ඔබම එසේ කර ගැනීම සුදුසුය.

බුදුන් වහන්සේ වසර දහස් ගණනකට පෙර තමන් වහන්සේට පිටදී බුදු වන්නට උපකාර කළ බෝධි යට කළගුණ දක්වා ලබා දුන්නේ ඒ උතුම් ආදර්ශයයි. 

  තෙවැනි සතිය- රුවන් සක්මන


අනිමිස ලෝචනය කළ තැන සහ බෝ රුක අතර කෙටි  මඟ සිය සක්මන් මළුව බවට පත් කර ගත් බුදු පියාණන් තෙවැනි සතිය ගත කළේ ඒ මඟ සක්මන් කරමිනි.

සිත දැහැන් ගත කොට ගෙන බුදුන් වහන්සේ එදා සක්මන් කළේ යම්සේද අදත් භාවනා ළැදියන් සිය සක්මන් භාවනාව සඳහා එම ක්‍රමයම යොදා ගනු ලබයි. 

බුදුන් වහන්සේගේ මෙම සක්මන රුවන් සක්මනසේ හඳුන්වා ඇත්තේ උතුම් දහමක් මෙනෙහි කරමින් සක්මනෙහි යෙදුණු නිසා විය හැකිය.

සිව්වැනි සතිය 
බෝ රුකට වයඹ දිශාවේ වූ  තැනක හිඳ තමන් වහන්සේ අවබෝධ කර ගත් උතුම් ධර්මය නැවත මෙනෙහි කර බලන්නට බුදු  හිමි  මේ සතිය යොදා ගත්හ.
දහමේ තතු නැණින් විමසන්නට බුදුන් වහන්සේ වැඩ සිටියේ දෙවියන් විසින් මවා දෙන ලද කුටියකය.
සිව්වැනි සතිය ගත කළ බුදු හිමිගේ ඉරියව්ව 'රුවන් ගෙයි වැඩ හිඳීම' ලෙසින් හඳුන්වා ඇත්තේ දෙවියන් මැවූ කුටිය රනින් සකස් කොට තිබූ නිසා නොවේ. 
සම්බුදු බවට පැමිණිමේදී අවබෝධ කොට ගත් දහමේ  ඇති උතුම්  බව සහ ගැඹුරු බව  සැලකිල්ලට ගැනීමෙනි.
මෙසේ තමන් වහන්සේ  කොට ගත් දහම නැවත මෙනෙහි කරද්දී  ඇති වන මානසික එකඟතාව හේතුවෙන් බුදු  සිරුරෙන් සවණක් රැස් විහිදෙන්නට වූයේය. 





තත්කාලීන ප්‍රශ්නය-යම් පුද්ගල සිරුරකින් ආලෝක කිරණ විහිදීම පිළිගත හැකිද?

පහදා දීම- බුදු  කෙනෙකුන් වැනි ප්‍රඥාවත් අයෙකුගේ සිරුරකින් එසේ ආලෝක කිරණ නිකුත්වීම අවිශ්වාස කළ යුතු මට්ටමේ කරුණක් නොවේ.  මෙසේ ආලෝක කිරණ පිටවීම බුද්ධ චරිතයේ  වුවත්   නිතර කියැවෙන කරුණක් නොවේ.  එය සිදු වන්නේ මනසේ ඒකාග්‍රතාව පවතින ප්‍රමාණයට  වඩා ඉහළ තලයකට පත් වීමෙනි.

මිනිස් සිරුරකින් වුවත් ආලෝක කිරණ පිටවීම කිසිවිට   අහම්බයක් නොවේ.  එකම වෙනස එසේ පිටවන ආලෝක කිරණ සාමාන්‍ය ඇසට නොපෙනීමයි. එහෙත් අද වන විට ලෝකයේ එසේ කිරණ පිටවීම ග්‍රහණය කර ගත හැකි යන්ත්‍ර නිපදවා ඇත.
ඔබ කිසියම් දෙයක් කෙරෙහි තදින් අවධානය යොමු කරමින් ඒ කටයුත්තේ යෙදී සිටින විට (උදාහරණ-ඔබ අසීරු ගණිත ගැටළුවක් විසඳීමේ යෙදෙනවායැයි සිතන්න.) මෙවැනි කිරණ ඔබේ සිරුරෙන්ද විහිදෙන්නට පුළුවන. මෙහිදී වන්නේ එවැනි කිරණ පියවි ඇසට පෙනෙන තරමට ප්‍රබල නොවීමයි.  

පස්වැනි සතිය
පස්වැනි සතිය බුදු රජාණන් වහන්සේ ගත කළේ අජපාල නුග රුක මුලය.
තමා ගැනම උඩඟු  සිතින් පසුවන බමුණෙක් බුදුන් වහන්සේ හමුවට පැමිණ සැබෑ බමුණු ගති මොනවාදැයි අසා දැන ගත්තේය.




තමන් වහන්සේ හට ගුරුවරයකු අවශ්‍යවේයැයි සිතූ බුදු පියාණෝ ඒ ගැන සිත මෙහෙය වන්නට වූහ. එහෙත් එවැනි අයකු තමන් හට නොවන නිසා තමන් අවබෝධ කර ගත් ධර්මයම ගුරු තනතුරේ තබා ගත්හ.


සවැනි සතිය
බුදු රජාණන් වහන්සේ සවැනි සතිය වැඩ සිටියේ මිදෙල්ල රුක් සෙවණකය. මේ සතිය පුරාම මහා වැසි ඇද හැලෙන්නට විය. මේ මහා වැස්සෙන් බුදු රජුන් ආරාක්‍ෂා කර ගත්තේ මහා නාගයකු විසිනි. මේ නාගයා සිය සිරුරෙන් බුදු රදුන් වටා දරණ යවා තම පෙණ ගොබය බුදු සිරසට ඉහළින් අල්ලා ගෙන සිටියේය.
මේ නාගයා නම් කැරෙන්නේ මුචලින්ද ලෙසිනි. 
ඒ නිසා සවැනි සතිය 'මුචලින්ද නාග රැකුම' ලද සතිය ලෙසද හැඳින්වෙයි.



තත්කාලීන ප්‍රශ්නය- නාගයකු වෙතින් එවැනි රැකවරණයක් ලද හැකිද?

පහදා දීම- මෙහිදී  සිත යොමු කළ යුතු අවස්ථා දෙකකි. එකක් වන්නේ බුදු රදුන් වෙතින් පළ වන ශීල ගුණයයි.ඒ නිසා කිසිදු ආකාරයක සතෙකුගෙන් සම්බුදු  පියාණන් හට අනතුරක් සිදු වන්නේ නැත.
අනෙක් කරුණ නම් අඩුම වශයෙන් පන්සිල් රකින සාමාන්‍ය ගිහියකුට වුවත් සතුන්ගෙන් සිදු වන හානිය අවම වන්නේ මෙත් සිතිවිලි පෙරදැරි කර ගත් සිත නිසාය. 

සත්වැනි සතිය
බුදුන් වහන්සේ සත්වැනි  සතිය සමවතින් යුතුව  ගත කරන්නේ කිරිපලු රුකක් මුලය.
තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් බුදුන් හමුවට එන්නේ  සත්වැනි   සතිය අවසානයේය.

මේ ගෞතම බුදු රජාණන් වහන්සේට පළමු දානය පිළිගන්වන්නේ මේ දෙබෑයන්ය.

දන් වළඳා අවසානයේ බුදුන්ගෙන් බණ අසන ඔව්හූ ලෝකයේ මුල්ම දෙරුවන් සරණ යන උපාසකයෝ බවට පත් වූහ. 



බුදු  පදවි ලද බෝසතානෝ සති හතක කාලය නිකරුණේ ගත කොට නැති බව පැහැදිලිය.
තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගත් දහමම උක්ත කොට ගනිමින් භාවනාවෙන් හා ප්‍රසන්න බවින් යුතුවම ඒ කාලය ගත කොට ඇත.
ලෝ සියලු  වැසියන් හට සෙත සලසන චාරිකාව ඇරැඹෙන්නේ ඉන්පසුවය.


 (සියලු  රූප සටහන් අන්තර්ජාලයෙනි.)



5 comments:

  1. සැබැවින්ම ඉගෙන ගන්නා ශිෂ්‍යයෙකුට ඉතාමත් වැදගත් වූ වෙබ් පිටුවක් ලෙස ශිෂ්‍යයෙකු වශයෙන් මම දකිමි... මෙය ඉතාමත් අනර්ඝ තත්වයේ ක්‍රියාදාමයකි..
    ~ තෙරුවන් සරණයි ~

    ReplyDelete