Sunday, February 19, 2023

දහදිය දැමීම නතර වුවහොත් කුමක් වේ ද?


 දහදිය දැමීම අප කවුරුත් මුහුණ දෙන සාමාන්‍ය සිදු වීමක්. දහදිය දැමීම අප සාමාන්‍යයෙන් සලකන්නේ හිරිහැරයක් ලෙසයි. දහදිය මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඇති වීම වළක්වන්නට බැහැ. ඒ නිසා තමා දහදිය වෙතින් දුඟදක් නැගෙන්නේ. මුහුණේ තැන්පත් වන දහදිය අප පිසදා ඉවත් කළහොත් මුහුණේ කුරුළෑ ඇති වීම වළක්වන්නටත් බැහැ. අධික වශයෙන් දහදිය දැමීම නිසා හිසේත් යම් අපහසුතා ඇති වෙනවා. එවිට කරන්නේ ස්නානයයි. නැති නම් හිස සෝදා දැමීමයි. හිස සේදීමට ඔබ භාවිත කරන ඇතැම් සේදුම්කාරක ද විෂ සහිත විය හැකි බව දැන සිටීම වැදගත්.  

සාකච්ඡාවට බඳුන් වූ හැම කරුණක් ම ඇති කරන්නේ දහදිය දැමීම කෙරෙහි යම් ආකාරයක් ප්‍රතිරෝධයක්. ඒ අනුව අපට සිතා ගත හැකි වන්නේ දහදිය දැමීම නතර වුවහොත් අප්‍රසන්නතා සහ අපහසුතා කිසිවක් ම ඇති නොවන බවයි. 
එහෙත් දහදිය පිය වීම හා පිට කිරීම නතර වුවහොත් ඇති විය හැකි අනිසි ඵල තිබේදැයි සොයා බලා දැන සිටීම වැදගත්.
සැබැවින් ම දහදිය දැමීම නතර වුවහොත් සිදු වන්නේ කුමක් ද? 

දහදිය පිට වීම නතර වුවහොත් සිදු විය හැකි දේ ගැන විමසා බලමු.

දහදිය පිටවීම හෙවත් ස්වේදනය නිසා සම සජල තත්ත්වයකට පමුණුවයි. දහදිය දැමීමක් සිදු නොවුවහොත් සම වියළී යාමේ තර්ජනයක් ඇති වීම වළක්වන්නට බැහැ. සම තෙතමනය සහිතව පවත්වා ගැනීමට අමතර ප්‍රතිකාර කරන්නට සිදු වන තත්ත්වයක් ද ඇති විය හැකියි. සාමාන්‍ය තත්ත්ව යටතේ පිටවන දහදියේ ඇතැම් බැක්ටීරියාටන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ ස්වභාවය සම මත ඇති සියුම් සිදුරු විවෘත කොට ඒවා පිරිසිදු කිරීමේ යම් ක්‍රියාවලියක් ඉටු කරනු ලබනවා.

ස්වේදනය නතර වුවහොත් අහිතකර බැක්ටීරියා සම මත වර්ධනය වීම නතර කළ නොහැකියි. ඒ අනුව දහදිය දැමීම විෂබීජවලින් සම ආරාක්ෂා කර ගැනීමට උපකාරයක් බව පැහැදිලි කර ගත යුතුයි. 

විධිමත් ලෙස කරනු ලබන අභ්‍යාස සහ ක්‍රියාකාරීකම් නිසා උපදින දහදියේ සෝඩියම් ලවණය අඩංගු වන බව පර්යේෂණ මගින් අනාවරණය කොට තිබෙනවා. මේ සෝඩියම් ලවණය රුධිරය මගින් වකුගඩු හා මූත්‍රා මූත්‍රා යනු ශරීර අභ්‍යන්තරයේ ‘ගල්’ ඇති වන ස්ථානයි. දහදියෙන් පෙරී එන සෝඩියම් ලවණය හේතුවෙන් රුධිර පරිමාව වැඩි වන අතර ‘ගල්’ ඇති වීම මෙන් ම හෘදය ආශ්‍රිිත රෝග ඇති වීම ද යම් පමණකින් පාලනය කර ගනියි. 

ඒ අනුව ඔබට වටහා ගැනීමට ඉතා ම වැදගත් කරුණක් තිබෙනවා. දහදිය පිට නොවේ නම් සහ දහදිය පිටවීම යම් ආකාරයකින් වැළකී තිබේ නම් වකුගඩුවල ‘ගල්’ ඇති වීමේ මෙන් ම හෘදය ආශ්‍රිත රෝග ඇති වීමේ අවදානමට ඔබ ලක්වනු ඇති බවයි.  

අප බොහෝ විට නිශ්චිතව ම නොදැන සිටියාට දහදිය දැමීම හේතුවෙන් සිරුරට සිසිලක් ලැබෙනවා. එසේ නම් දහදිය පිට නොවීමක් සිදු වුවහොත් සිරුරට කුමක් විය හැකි ද? එවැනි තත්ත්වයක් ඇති වුවහොත් හිස කරකැවිල්ල, කෙණ්ඩා පෙරළීම, ඔක්කාරය සහ අධික වශයෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යෑම ඇති විය හැකි බැව් වටහා ගැනීම වැදගත්.   

අධික ලෙස සිරුරු උෂ්ණත්වය ඉහළ යෑම ජීවිත තර්ජනයක් ඇති විය හැකි අවස්ථාවක්. සිරුරේ උෂ්ණත්වය ෆාරන්හයිට් අංශක 103 වැනි තත්ත්වයකට පත් වීම නොසලකා හැරියහොත් පියවි සිහිය නැති වී යාමේ අවදානමක් ඇති වේ. 

දහදිය සමග පිටවන රසායනික සංයෝග අවට සිටින අය කෙරෙහි බලපෑම් ඇති කිරීමට සමත්. පුරුෂ සිරුරු දහදිය හා පිට වන රසායනය කාන්තාවන් ආකර්ශණය කර ගැනීමට තරමට යම් බලපෑමක් ඇති කරනවා. 

දහදිය දැමීම ඔබට මේ තරම් බලපෑමක් ඇති කරන දෙයක් බව ඔබ දැන සිටියා ද? 




Thursday, February 9, 2023

“ආරෝග්‍යා පරමා ලාභා” - බුදුන් වහන්සේ

  ’රෝග්‍ය’ යන්නෙන් කියැවෙන්නේ රෝගී බවයි. එසේ ම නිරෝගී නොවන බවයි. ‘ආරෝග්‍යා’ යන්නෙන් පළ වන්නේ නිරෝගී බවයි.

ඇත්තෙන් ම ‘නිරෝගී’ බව යනු කුමක් ද? මේ ප්‍රශ්නයට අප සාමාන්‍යයෙන් දෙන පිළිතුර වන්නේ ‘සනීපයෙන්’ නැති නම් ‘මනා සෞඛ්‍යයෙන්’ සිටින බවයි. ඒ පිළිතුර සාමාන්‍ය තත්ත්ව යටතේ නිවැරැදියි කියා කියන්නට හැකියි.

ඒත් නිරෝගී බව කියන්නේ වඩාත් පැහැදිලි කර ගත යුතු තත්ත්වයේ කරුණක්. ඒ කරුණ ඉතා ම වැදගත්.

මේ කරුණ ඉතා වැදගත් වන්නේ ඇයි? සනීපය නැති නම් සෞඛ්‍යය යන්න ජීවිතයට ඉතා ම තදින් බලපෑම් ඇති කරන තත්ත්වයක් වීමයි. සනීපයෙන් - මනා සෞඛ්‍යයෙන් යුතුව කාලය ගත වී යන විට අපට එහි අගයක් නොදැනෙන තරම්. අප නිසි සෞඛ්‍ය අවවාද උපදෙස් අනුව කටයුතු කරන්නටවත් ඒ තරම් උනන්දු වන්නේ නැහැ. ඒ එසේ වුවත් අඩු ම කරමින් අපට සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවයක් උණ ගතියක් ඇති වුවහොත් ? අන්න එවිට තමා අපට ‘සනීපය’ යන්න වඩාත් හොඳින් තේරුම් යන්නට පටන් ගන්නේ.

අතක ඇඟිලි පහක් ඇති බව අප කවුරුත් හොඳින් ම දන්නවා. ඇඟිලි සියල්ල යම් අනතුරකට භාජනය වන තුරු අපට ඇඟිලිවලින් අපට ඇති නියම ප්‍රයෝජනය හරියාකාරව තේරුම් යන්නේ නැහැ. ඒත් එක ඇඟිල්ලක් හෝ යම්තම් කැපීමකට හෝ ලක් වුවහොත් ඒ ඇඟිල්ල වෙන දා මෙන් භාවිත කරන්නට අපට ලැබෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවල දී තමා අපට ඇඟිලි පහක් ම තිබීමේ වටිනාකම හරියට ම තේැඇම් යන්නේ.

අසනීපත් ඒ අයුරු ම තමා.     

“ආරෝග්‍යා පරමා ලාභා” කියා බුද්ධ වචනයෙන් ම සඳහන් වන්නේ ඇයි. මේ වැකිය ඇතුළත් ධම්මපදයේ ගාථාව ඔබ මේ වන විට කී වාරයක් නම් අසා ඇති ද? 

නිරෝගීව විසීම ජීවිතයට ලැබෙන උතුම් ම ලාභය බව මේ ධම්මපද වැකියෙන් අදහස් වෙනවා. මේ ප්‍රකාශය කොතරම් වටිනා එකක් ද? 

ජීවත්වීම සඳහා දැඩි තරගකාරී ලෙස කටයුතු කරන්නට වන වර්තමානයේ ඇතැම් අයට බොහෝ විට කටයුතු කරන්නට වන්නේ තමන්ගේ සෞඛ්‍යය ගැන නොසිතායි. ඒ තරමට ම ජීවන සටන දැඩි නිසායි. ඒ එසේ වුවත් කාට හෝ කවර හෝ රෝගී තත්ත්වයකින් හෝ පීඩා විඳින්නට සිදු වුවහොත් එවිටත් සිදු වන්නේ ජීවිතයෙන් බැට කන්නටයි.

‘ආරෝග්‍ය’ බව ලැබීමට නැති නම් නිරෝගීව සිටින්නට කළ යුතු හොඳ ම දේ වන්නේ රෝගී වීමට ඇති ඉඩකඩ තමන්ට හැකි ලෙසින් ම වළකා ගැනීමයි. ඒ සඳහා මිල මුදල් යහමින් වැය නොකළ යුතු ආකාරයේ ක්‍රම සහ විධි පිළිබඳ දැනුම්වත් වීම මෙන් ම එවැනි හුරුපුරුදු අනුගමනය කිරීමට පුරුදු වීම යහපත්. 

තමන්ගේ දෛනික ජීවිතය පවත්වා ගෙන යන ආකාරයට ගැළපෙන නිරෝගී බව රැක ගැනීමේ චර්යා රටාවකට හුරු විය හැකි නම් වඩාත් හොඳයි. 

හොඳින් ම ධාරණය කරගත යුතු කරුණ වන්නේ රෝගී නොවී සිටීමට උත්සාහ කළ යුතු බවයි. “වෙදකමට වඩා හෙදකම හොඳයි” යන කියමන සකස් වී ඇත්තේ නිකම් ම නොවේ. රෝගී තත්ත්වයට පත් වීමකට ඇති ඉඩකඩ අහුරා ගැනීම කළ යුතු බව නිති සිහිපත් කරන්නටයි. 

රෝගී සිරුරකට දැනෙන අපහසුව ඇතැම් අවස්ථා යටතේ දරා ගන්නට බැරි තරමේ විය හැකියි. රෝගී සිරුර පමණක් නොවේ. රෝගියකුගේ මනසත් පීඩා විඳින්නේ දුකට පත් වන්නේ රෝගී බව ඉවසා දරා ගන්නට ඇති අපහසුව නිසයි.

තමන් කොතරම් ධනවතකු වුවත් කොයි ආකාරයේ සැප සම්පත් සහිත ජීවිතයක් ගත කළත් දීර්ඝ කාලීන රෝගී බවකට පත් වුවහොත් තමන් අවට ඇති කිසිදු සුඛ විහරණයකින් පළක් නොවන බව තේරුම් යනවා ඇති. 

ඒ නිසා තමන්ට හැකි උපරිමයෙන් රෝගී නොවී සිටීමට යත්න දැරීම ඒ සඳහා යොමු වීම ඉතා ම වැදගත් බව අවබෝධ කොට ගෙන සිටීම තමන්ට මෙන් ම අනුන්ට ද යහපත ඇති කරන බව සිහි තබා ගැනීම ඉතා ම වැදගත්.