Tuesday, September 3, 2019

මා දුටු, “ විජයබා කොල්ලය”


                            තිර රචනය : ආචාර්ය තිස්ස අබේසේකර   
                            අධ්‍යක්‍ෂණය : මහාචාර්ය සුනිල් ආරියරත්න

                            නිෂ්පාදනය: එච්. ඩී. ප්‍රේමසිරි


විජයබා කොල්ලයසිනමාත්මක නිර්මාණයක් ලෙස ඉදිරිපත් වන්නේ දශක කිහිපයකට පෙර ඩබ්ලිව්.. සිල්වා ශූරීන් ලියූ එනම් නවකතාව ඇසුරිනි.



විසිවැනි සියවසේ බිහි වූ නවකතාවක් විසිඑක්වැනි සියවසේදී සිනමාවට නැගෙද්දී කාලානුරූපව යම් යම් දේ යම් වෙනස්කම්වලට භාජනය විය හැකි වීම පිළිගත හැකි සිද්ධාන්තයකි. එසේම ඓතිහාසික පසුබිමක් සහිතව බිහි වූ නිර්මාණයක් වූ විජයබා කොල්ලයසිනමාවට නැගීමේදී ඉතා කල්පනාකාරීව කළයුතු කටයුත්තකි.
මේ අභියෝගයට මුහුණ දෙන්නට අධ්‍යක්‍ෂවරයාට මූලික වශයෙන්ම උපකාර වන්නේ තිර නාටකයයි.



                                                          ආචාර්ය තිස්ස අබේසේකර
විජයබා කොල්ලයවිත්‍රපටිය සඳහා වූ තිර නාටකය ලියා ඇත්තේ ආචාර්ය තිස්ස අබේසේකරයි. තිස්ස අබේසේකර යනු සිනමාවේ විවිධ පැතිකඩ ගැන මනා පරිචයක් ඇති සිනමාවේදියෙකි. ඔහු චිත්‍රපටි තිර නාටක ලිවීමේලා බෙහෙවින් අත්දැකීම් ඇත්තෙකි.

සිංහල සිනමාවේ කිසියම් හැරවුම් ලක්‍ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකි නිධානයචිත්‍රපටියේ තිර නාටකය ලීවේ ඔහුය. කුඩා ප්‍රමාණයේ පොත් පිටු දෙක තුනකට සීමා වූ ජී. බී. සේනානායකයන්ගේ එනම් කෙටි කතාව පැය දෙකක සිනමා පටයකට සකස් කැරුනේ අබේසේකරයන්ගේ තිර කතාවේ මහිමයෙනි. එවැනි ප්‍රචලිත දස්කම් දැක්වූවකු අතින් ලියැවුණු විජයබා කොල්ලයචිත්‍රපටි තිර කතාවේ ඇතැම් ප්‍රධාන සිදුවීම් දුර්වල තත්ත්වයක පවතින්නේ ඇයිදැයි සිතා ගත නොහැකිය.

නීලමනීගේ කතා ආගමනය මේ සඳහා හොඳම උදාහරණය සපයයි. කොට ගවුමකින් සැරැසුණු මහ සෙනෙවි දියණිය වූ නීලමනී මුහුදු වෙරළේ සහ අතන මෙතන ගැවසෙමින් කරන ගීත ගායනය සිහිපත් කරන්නේ ළඟපාත රටේ ඇතැම් සිනමා නිර්මාණයි. ඒ ගීතයට අනුගත රූප රාමු පෙළ ද ඒ සඳහා සාක්‍ෂි දරයි.

ඒ අනුව සාධාරණ සැකයක් ඇතිවන්නේ මේ ගීතය ඇතුළත් දර්ශන පෙළ තිර නාටකයට පසුව බලෙන් ඇතුළත් කළා විය හැකි බවයි. ඒ තරමටම ගීතයත් අදාළ දර්ශන පෙළත් තිර නාටකයේ අනෙක් ජවනිකා සමූහය හා සමග සමපාත නොවන බවක්  දැකිය හැකි නිසාය.



අසංග, නීලමනී හා නයනානන්ද ප්‍රේම වෘත්තාන්තය චිත්‍රපටියේ මුඛ්‍ය තේමාව කොට ගෙන ඇති බව පැහැදිලි වූවත් එයින් චිත්‍රපටියේ ගලා යෑමට බාධාවක් වෙන්නේ නැති බව කිව යුතුය. එහෙත් මේ ප්‍රේම පළහිලව්ව කොතරම් දුරට ඉස්මතු කරනවා ද යැයි කිවහොත් විජයබා කොල්ලයේතේමාව ලෙස සැලකිය හැකි මායාදුන්නේගේ හදිසි කෝපයචිත්‍රපටියේ දිග හැරෙන්නේ අංක දෙකේ ස්ථානයේය. කෙටි දර්ශන කිහිපයකට සීමා වන තේමාව ඉක්මනින් සිදුවන දෙබස් හුවමාරුවකින් ද අවසන් වෙයි.

චිත්‍රපටියක සංගීතය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ පසුබිම් සංගීතය හා ගීත සඳහා නිර්මාණය කැරෙන සංගීතය ලෙසිනි. විශේෂයෙන්ම චිත්‍රපටියක සංගීතය යනු චිත්‍රපටියේ දෙබස් නැති තැන කතා කරන භාෂාවයි’. පසුබිම් සංගීතය යනු අතිශයම සියුම් එමෙන්ම ජවනිකාවක ගැඹුර, සොඳුරු ලෙස ඉස්මතු කර ගැනීමට යොදන මිහිරි උපක්‍රමයකි.

මෙම චිත්‍රපටියේ ගීත සඳහා භාවිත කර ඇති තනු සහ සංගීත නිර්මාණවල කිසියම් සාර්ථක බවක් ඇතත් පසුබිම් සංගීතයත් එය යොදා ගෙන ඇති ආකාරයත් (music laying) කිසියම් ප්‍රශ්නාවලියක ප්‍රේක්‍ෂකයා අතරමං කරන අවස්ථා බොහෝ ඇති බව පෙනේ. මේ අඩුපාඩුව හේතුවෙන් ඇතැම් ජවනිකාවල ඇති සිතට, නෙතට දැනිය යුතු සංකීර්ණතාව හීනවී ගොස් සංගීත භාණ්ඩවල ශබ්දයෙන් පමණක් සවන පිරී යන අවස්ථා ඇත්තේය. මේ නිසා චිත්‍රපටිය වින්දනය කිරීමට ප්‍රේක්‍ෂකයාට ඇති අවස්ථා අඩුවී යයි.

සිංගලි නෝනේගීතයේ දර්ශන පෙළ සඳහා චිත්‍රපටියේ ගීතය මූලික වශයෙන් ගායනා කරන නළුවා අතට අධ්‍යක්‍ෂවරයා ගිතාරයක්දී ඇත්තේ ඇයිදැයි විමසා බැලීම වටී. ගිතාරය යනු දහසයවැනි සියවසේ සිට දහනවවැනි සියවස දක්වා අතරතුර කාලයේ විකාශය වූ තත් භාණ්ඩයකි. ශ්‍රී ලංකාවට පැමිණිමේදී එවැනි සංගීත භාණ්ඩයක් පරංගින් සතු වූවාදැයි මඳ අනුමානයක් ඇත්තේය. කෙසේ වූවත් ගීතය සහිත දර්ශන පෙළට එයින් විශේෂ බලපෑමක් නැත.
චිත්‍රපටිය සඳහා නළු නිළියන් තෝරා ගැනීමේදී අධ්‍යක්‍ෂවරයා වැඩිපුරම සලකා බලා ඇත්තේ අද්‍යතනයේ සිනමාව තරණය කරන නළු නිළි පරම්පරාව ගැන බව පැහැදිලිය. ඒ තෝරා ගැනීම් මෙම චිත්‍රපටිය සඳහා පමණක් නොව වත්මන් සිනමා කර්මාන්තය සඳහා ද මහෝපකාර වන උත්සාහයකි.

ඒ එසේ වුවත් මහ සෙනෙවි බිරිඳගේ චරිතය අදාළ නිළිය සෑහෙන ගැළපීමක් ඇතිව නිරූපනය කරන බව කිව හැකිය. ශාස්ත්‍රකාරියගේ චරිතය චිත්‍රපටියේ හැටියට මඳක් අභව්‍ය බවක් පෙන්වූවත් ඇය රංගනයේදී සිය පළපුරුදු කම සනාථ කොට සිටින්නීය. හමිදුම්මා සහ රජ බිසවගේ චරිත රඟ දක්වන නිළියන් දෙදෙනාගේ රංගන වෑයම බොහෝ දුර චිත්‍රපටිය හා ගැළපී ඇති බව කිව හැකිය.

චිත්‍රපටියේ වැඩිම වගකීම දරන කාන්තා චරිතය වූ නීලමනී සිය භාව ප්‍රකාශනයේදී මෙන්ම දෙබස් කීමේදී හඬ උච්චාවචනයට දක්වන අසමත්කම නිසා ඇගේ චරිත ප්‍රකාශනය එතරම්ම උසස් තත්ත්වයක නැති බව ප්‍රේක්‍ෂකයා ඉදිරියේ පැහැදිලි කරනු ලබයි. එහෙත් ප්‍රධාන චරිතයකට පණ පොවන ඇය තවමත් නිසි ලෙස ඉස්මතුවී නැති යම් ප්‍රතිභාවක් තමන් සතු බව පැහැදිලිවම ප්‍රකට කරයි.
චිත්‍රපටියට දායක කොට ගෙන ඇති නළු කැල සිය භූමිකා සඳහා සෑහෙන උසස් මටිටමක දායකත්වයක් දක්වනු ලබති. අසංග සහ නයනානන්ද යන චරිතවලට පණ දෙන නළුවන් සෑහෙන ප්‍රයත්නයක් දරමින් තම චරිත සඳහා උපරිම දායකත්වයක් දක්වති. අනෙක් නළු කැල තම චරිත ජීවමාන කිරීමට දරනා වෑයම අගය කළ යුතුය.

චිත්‍රපටියට වැඩි අලෝකයක් ලැබෙන්නේ කැමරා කෝණ සහ ආලෝක පාලනයෙන් මෙන්ම සංස්කරණයෙනි. මේ සඳහා අදාළ ශිල්පීන්ගේ මෙන්ම අධ්‍යක්‍ෂවරයාගේ ද දායකත්යවය මෙන්ම පළපුරුදුතා ද දෙපාර්ශවය අතරේ කදිමට ගනුදෙනුවී ඇති බව පැහැදිලිය.

'විජයබා කොල්ලයතිර නාටකය එහි රචක සමගම මියෙන්නට නොදී එහි වූ ගුණාත්මක බව මතු කරමින් පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි චිත්‍රපටියක් නිර්මාණය කිරීම ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිබඳ පැසසුමට ලක් විය යුතුය. පොත් රාක්කයක කොනකට තල්ලුවී අමතකවී ගිය පොතක කතා වස්තුව චිත්‍රපටියක් බවට පත් කොට වත්මන් පරපුරට දායාද කිරීම අගය කළ යුතුය.

මෙවැනි කාල වකවානුවක තමන් වෙත ඇති ආර්ථික සවිය වෙනත් ලාභ ලැබිය හැකි කටයුත්තක නොයොදවා ආර්ථික ලාභය ගැනම සිත නොයොදවා මෙවැනි ආකාරයක චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම සඳහා අර්ථපතීත්වය දක්වන්නට ඉදිරිපත්වී ඇති එච්. ඩී. ප්‍රේමසිරි මහතාට සමාජයක් විසින් කෘතඥ විය යුත්තේ ඒ සඳහා ඒ මහතා තුළ ඇති ධෛර්යයටය.

(උපුටා ගැනීම - විජයබා කොල්ලය” -  මුහුණු පොතේ පිටුව)



                                                                   ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්









(සියලු  ඡායාරූප අන්තර්ජාලයෙනි)