Saturday, March 16, 2019

අද දවසේ කවිය - 2019/03/17 - ඇස්. මහින්ද හිමි සමරමු

                               අද දවසේ කවිය  
                         ඇස්. මහින්ද හිමි සමරමු.

ගිහියකු විලසින් මෙරටට ඇවිදින් පසුව පැවිද්දකු ලෙස උන්නේ
ටිබෙටයේ සිට ආ මේ ගිහි කුමරුන් මහින්ද හිමි ලෙස දැන ගන්නේ
පිටරටකින් මෙහි ආවත් එතුමන් අපට වඩා රට ගැන දන්නේ
රට වෙනුවෙන් රට තුළ උන් මිනිසුන් අවදි කරන්නට වෙහෙසෙන්නේ

මහින්ද මහ රහත් හිමි බුදු දහම නම්වූ මුල, මැද, අග සහිත වටිනා පණිවිවිඩය රැගෙන ලක්දිව වැඩියේ ඉන්දියාවේ සිටය. පසුව ඇස්. මහින්ද (සිකිම්  මහින්ද) ලෙසින් ශ්‍රී ලංකාවේදී පැවිදි වූයේ  ටිබෙට් දේශයේ සිට මෙහි පැමිණි තෂිනම්ගල්ය.

මේ දෙදෙනා වහන්සේම මූලික වශයෙන් අපේ රටේ උපත ලද අය නොවූහ. එහෙත් මේ දෙදෙනා වහන්සේම අපේ රටට මහඟු මෙහෙයන් ඉටු කළ අය ලෙස ඉතිහාස ගතවී හමාරය.



2019 මාර්තු මාසයේ 16 වැනිදා සමරනු ලැබූයේ ඇස්.මහින්ද  හිමියන්ගේ 68 වැනි ගුණ සමරුවයි.

උපතින් ශ්‍රී ලාංකිකයකු නොවූ ඇස්. මහින්ද හිමි පසුකාලීනව සිංහල, පාලි, සංස්කෘත සහ ඉංගිරිසි භාෂාව මෙන්ම බුද්ධ ධර්මයද මැනැවින් හැදෑරූහ.

1914දී ශ්‍රී ලංකාවට පැමිණි ඇස්. මහින්ද හිමිට කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්ය තනතුරක් හිමි වූයේ 1934දීය.

හිමියන්ගේ ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ ඒ කාලයේ ඉංගිරිසින්ගේ දරදඬු පාලනයට යටත්වී සිටි සිංහල ජනතාවගේ නිදහස පතා ඒ වෙනුවෙන් සටන් කිරී මට ඇප කැප වීමය. 

සිංහල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේ පසුබිම් කර ගත්තේ සාහිත්‍යයයි.

1921දී පළ කළ 'ඔවා මුතු දම' එතුමන්ගේ මුල්ම කෘතිය ලෙස සැලැකේ. නිදහසේ දැහැන, නිදහසේ මන්තරය, විදේශිකයකුගෙන් ලක්මවට, ලංකා මාතා, ජාතික තොටිල්ල ඇස්. මහින්ද හිමිගේ තවත් කෘතීන්ය. තම කෘති තුළින් උන්වහන්සේ දිරි ගත්තේ සිංහලයා තුළ ජාතික අනුරාගය වැඩි දියුණු කිරීමයි.

ඇස්. මහින්ද හිමිගේ චරිතය වැදගත් වන්නේ පොත් ලියමින් සිංහලයා තුළ ජාතිකත්වය වැඩි දියුණු කරන්නට උත්සාහ ගත් නිසාම නොවේ. භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස දිවි ගෙවමින් රටටත්,ජාතියටත් යම් විශිෂ්ට  සේවාවක් කරන්නට වෙර දැරීමයි. එසේ කළේ ලාභාපේක්‍ෂාවකින් තොරව බව පැහැදිලිය 

අද සඟ පරපුරට එතුමාගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝ වෙතැයි නොපැකිළ සඳහන් කළ හැකිය.  






No comments:

Post a Comment