Thursday, February 28, 2019

අද දවසේ කවිය - 2019/03/01

                            අද දවසේ කවිය

"අද ආණ්ඩු කරන්නේ හොරු." (පුවතක්)



                                                                          




විගණන       සේවා      උත්සවයේදී       අමුතු කතාවකි මතු වෙන්නේ 
මහ බැංකුවෙ          හොරු ආණ්ඩු කරනා බවකිය ජනපති පවසන්නේ
ලොක්කන් හොරු බව ලොක්කම කියනා බවකිය අප හට හැඟවෙන්නේ
සාගරයක්      මැද පුදුම    රටක් ඇති බව         නම් අපටත් තේරෙන්නේ


                                                  




පැරැණි හින්දි ගීතයක අරුත





Khoya Khoya Chand....

ගීතය: කොයා කොයා චාන්ද්
උපුටා ගත් චිත්‍රපටිය: කලා බසාර් (1960)
රංගනය : දේව් ආනන්ද් / වහීදා රෙහෙමාන්
ගායනය : මොහොමඞ් රාෆි                                                                    ගීත රචනය: ෂයිලේන්ද්‍ර                                                             සංගීතය:  ඇස් ඩී බර්මන්
Dev Anand



                                                                                                                                                                          









Waheeda Reheman







Mohomad Rafi
Shailendra

S.D. Burman


හිස් ගුවනේ නැතිවූ සඳ 
 මුළු රාත්‍රියම පියඹා යන්නේ ඔබේ දෑස ඉදිරියෙනි                                     කෙසේද ඔබ එවිට සුවසේ නිදන්නේ?                                                     අහෝ අහිමිවූ සඳ      

 සුළඟ හමා යන්නේ මත්වූ ලෙසිනි                                                           මගේ හදවත් පුෂ්පය දැන් විකසිතය                                                         මගේ ආත්මය පුරාම දිව යන්නේ කැළඹීමකි                                           ඒ නිසාම මා ඇයට කතා කළ යුතුය                                                         අහෝ අහිමිවූ සඳ 

තාරකා ගමන් කරයි, දෑස දකින දසුන්ද ගමන් කරයි                                  ඒ හැමෙකක්ම මා හා ගමන් කරයි                                                          එහෙත් හැම දිසාවකින්ම පෙනෙන සලකුණුවලින් මට හැඟෙන්නේ          මා වෙනත් කිසිවකුට හිමි බවයි                                                              අහෝ අහිමිවූ සඳ

මෙවැනි වැසි ඇති රාත්‍රීන්හී                                                                      ඇය මා පසෙකින් සිටියා නම් අතින් අත ගෙන                                          මම මගේ මුළු හදවතින්ම ඇයට මෙසේ කියන්නෙමි                                දැන් ඔබ මට වද නොදිය යුතු බව තවත්                                                  අහෝ අහිමිවූ සඳ

මට ඇයට නොපෙනී සැඟවී යා හැකියි                                                    එකද වදනක්වත් නොකියා ඇයට                                                            ඇය නිසලව හිඳ සිටීවි ඒ අතරේදී                                                             කවුරු හෝ ඇයට කියාවි                                                                       මාව මෙසේ පරීක්‍ෂා නොකළ යුතු බව

හිස් ගුවනේ නැතිවූ සඳ       




          

Wednesday, February 27, 2019

චූටිම බබා සුවෙන් ගෙදර යයි.

          ලෝකයේ කුඩාම පිරිමි ළදරුවා සුවෙන්

                                     


(ටෝකියෝ නගරයේ සිට ලැබෙන රොයිටර් වාර්තාවකි.)

මේ පිරිමි දරුවාගේ බර ග්රෑම් 268 කි. අවුන්සවලින් නම් 9.45 කි. මේ දරුවාගේ උපත සිදු වූයේ සිසේරියන් සැත්කමක් මඟිනි. ඒ 2018 අගෝස්තු මාසයේදීය. 

තමන්ගේ උපතේදී තිබිය යුතු නිරෝගී බව දක්වන සිරුරේ බර සිය මවුකුස තුළදී අත්පත් කර ගන්නට මේ දරුවා අසමත්ව සිටියේය. ඒ නිසා උපත සිදු වූවත් දරුවාගේ ජීවිතය රඳා පවත්වා ගන්නට හැකිවේද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සිටියේ අවිනිශ්චිතවය.  

ළදරුවා දැඩි සත්කාර ඒකකයට යොමු කොට ඇත්තේ ඒ ළදරු ජීවිතය දැඩි අනතුරුදායක තත්ත්වයක ඇති බව වෛද්‍යවරුන් වටහා ගත් බැවිනි. ළදරු සිරුරේ බර කිලෝ ග්රෑම් 3.2ක් තරම් වැඩි වන තෙක් ඔහු රැඳුණේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.

ඒ තත්ත්වයට පැමිණි පසු ළදරුවා රෝහලෙන් මුදා හැරි බව වෛද්‍ය ටකේෂි අරිමිට්සු කියයි. එසේ දරුවා රෝහලෙන් මුදා හැර ඇත්තේ 2019 පෙබරවාරි 20 වැනිදාය.

ඒ, දරු උපතින් ආසන්න වශයෙන් මාස හයක පමණ කාලයකට පසුය. 

“මට සතුටුයි මගේ දරුවාගේ බර මේ තරමින් හරි වැඩි වීම ගැන. මට විශ්වාසයක් තිබුනේත් නැහැ ඔහු ජීවත්වේවිද කියා.” ළදරුවාගේ මව රොයිටර් පුවත් සේවාවට කියා තිබිණි. 

මේ දරුවා ජීවත් වන, ලෝකයේ සිටින කුඩාම පිරිමි ළදරුවා බව ජපානයේ  කෙයියෝ විශ්ව විද්‍යාලයීයය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අපි ඔහුට නිරෝගී සුවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමු.








අද දවසේ කවිය - 2019/02/28

                           අද දවසේ කවිය
" මහාචාර්ය සාගර කරුණාතිලක නොබෙල් ත්‍යාගයට නිර්දේශ වෙයි."    - (පුවතක්)
                                  

වල්පල් නිතරම  සවනට වැකෙනා  මේ කාලේ   සතුටක් දෙන්නේ
සාගර මහතා   නොබෙල්    තෑග්ගට නම්වී   ඇති     බව දැන ගන්නේ

'හීලින්පති' හා 'ඔස්ටියොපති' යන වෙදකම ලෝකෙට ගෙන යන්නේ
මේ වැනි    යහපත් මිනිසුන්  ඇති බව ඉඳහිටවත්   අප දැන ගන්නේ



රොබින්සන් කෲසෝ - දෙවැනි කොටස - 2019/02/27

    
නැත. කෲසෝ නැවත තම මවුපියන් වෙත ගියේ නැත. තමන්ගේ පළමු මුහුදු චාරිකාවෙන් ලැබුණේ ත්‍රාසයක් මිස තෘප්තියක් නොවුනත් ඔහුගේ සිත මුහුදු ගමන්වලින් වෙන් කර ගන්නට බැරි තරම් තත්ත්වයක් ඔහු තුළ වූවාසේය. 

අතට යම් මුදලක් සොයා ගත් ඔහු ගොඩබිමින් ලන්ඩනයට සේන්දු විය. ලන්ඩන් නුවරට පැමිණි කෲසෝ සිය මුළු කාලයම යොදවන්නට වූයේ තවත් මුහුදු ගමනක් සඳහා අවශ්‍ය පසුබිමක් සකසා ගන්නටය.

තම අරමුණට යෑම සඳහා  වෙහෙසවූ කෲසෝට එහි ප්‍රතිඵලයක්  අත් විඳින්නට ලැබිණි. ඔහුට හමු වූයේ ගීනියාවේ වෙරළබඩ වෙළෙඳාම් කටයුතුවල යෙදෙන නැවක කපිතාන්වරයෙකි. 

ඔහු කෲසෝගේ මනස තුළ මවා පෑවේ තමාගේ අත්දැකීම් පිළිබඳ චිත්‍රයකි. එසේම සිය නැවේ නොමිලේම ගමන් පහසුව සලසා දෙන්නටත් කපිතාන්වරයා කැමැත්තක් දැක්වීය. ඔහු කියා නැව් ගමනේ ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට වෙළෙඳාමේ වුවත් යෙදිය හැකි බවයි. 

කෲසෝ කපිතාන්වරයා හා ගිවිසුමක් ඇති කර ගත්තේය. අහම්බෙන් හඳුනා ගන්නට ලැබූවකු වුවත් කපිතාන්වරයා විශ්වාස කළ හැකි අවංක අයෙකු විය. කෲසෝටද කපිතාන් ගැන ඇතිව තිබුණේ හොඳ පැහැදීමකි.
කෲසෝ මේ මුහුදු ගමනට එකතු වූයේ පවුම් හතළිහක වියදමකින් ගත් සෙල්ලම් බඩු තොගයක්ද ඇතිවය. ඒ සඳහාද කෲසෝ උනන්දු කොට මඟ පෙන්වූයේ කපිතාන්වරයාය.
මේ මුහුදු ගමන කෲසෝට බොහෝ ජීවන අත්දැකීම් ලබා දුන්නේය. කපිතාන්වරයා ඔහුට හොඳ මිතුරකු විය.
මුහුදු ගමනක් සඳහා අවශ්‍ය වන මූලික දැනුම් සම්භාරයක් මේ මුහුදු ගමනේදී ලබා ගැනීමට කෲසෝට හැකි වූයේ කපිතාන්වරයාගෙන් ලැබුණු අපූරු සහයෝගය නිසාය.

ඒ සහයෝගය කෙතරම්වීදයත් තරුණ කෲසෝ නාවිකයකු පමණක් නොව වෙළෙන්දකු බවටද පත් කරන්නට තරම් මේ මුහුදු ගමන උපකාර විය.    

මුහුදු ගමන කෙළවර කළ කෲසෝගේ වෙළෙඳාමෙන් ඔහුට පවුම් තුන්සියයක පමණ මුදලක් අත ඉතිරි කර ගන්නට ලැබිණි. ආරම්භයක් ලෙස හොඳ තත්ත්වයක්වූ අතර ඒ මුදල කෲසෝ ඉදිරි මුහුදු ගමනකට මෙන්ම වෙළෙඳාම සඳහාද පැහැදිලි අනුබලයක් විය.

ඒ අනුව කෲසෝ කිසියම් තීරණයකට පැමිණියේ ගීනියාවේ සිය වෙළෙඳ කටයුතු දිගටම කර ගෙන යෑමටය. එහෙත් ඔහු නොසිතූ සිදුවීමකට මුහුණ දෙන්නට වූයේ මේ අවධියේය. ඒ, ඔහුට මහත්සේ උපකාර කළ ඔහුගේ මිතුරු කපිතාන්වරයාගේ මරණයයි.

 ඒ නිසාම තවත් වරක් තම ජීවිතයේ මුල් භාගයේදීම නැවතත් තනිවූ කෲසෝ කල්පනා කළේ තනිවම නැවතත් මුහුදු ගමනක යෙදෙන්නටය.

කෲසෝ සයුරු තරණයේ යෙදෙන මේ නැවේ කපිතාන් ලෙස කටයුතු කරන්නේ මියගිය කලින් කපිතාන්ගේ සහායක ලෙස කටයුතු කළ තැනැත්තාය. ඔහු පැවැසූ ආකාරයට එය ඔහු වඩාත්ම අප්‍රිය කළ මුහුදු ගමන විය.

නැව කැනරි දූපත් සහ අප්‍රිකානු වෙරළ තීරය අතරින් යාත්‍රා කරන විට ඔවුන්ට මුහුණ පාන්නට සිදු වූයේ සාමාන්‍යයෙන් නාවිකයන් සහ මගීන් මුහුණ පාන්නට ඉතාම අකමැති සිදුවීමකටය.

මොරොක්කෝවේ වරායක්වූ සාලී සිට පැමිණි මුස්ලිම් ජාතික මුහුදු කොල්ලකරුවකු ඔවුන්ගේ ගමනට හරස් කපන්නට විය. මේ තත්ත්වය භයානක වුවත් ජයගත යුතු විය. තමන්ගේ ජීවිතය හා නිදහස පතා සටන් කළ යුතුම විය. 
ඇවැසි විටෙකදී භාවිත කිරීමට කෲසෝ ගමන් කළ නැවෙහි තුවක්කු දොළහක් සවිකොට තිබිණි. කොල්කරුවන්ගේ නැවේ තුවක්කු ගණන දහඅටකි.

කොල්ලකරුවන් හා සටනේ ස්වභාවය කෙසේවීද? 

ඊළඟ කොටසින් කියවන්න.  




                                                   

Tuesday, February 26, 2019

අද දවසේ කවිය - 2019/02/27

                                                       අද දවසේ කවිය
"කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරියකුත් ඉන්නවා." - රන්ජන් 
රාමනායක (පුවතක්)    


කොකේන්වලත් දැන් කිසි ගතියක් නැත තේ බොන තරමට ගොස් ඇත්තේ
දියවන්නාවේ  මන්ත්‍රීවරියක් ඒවා  බොන  බව  දැන     ගත්තේ 
හරිම අපූරුයි කාගෙත් වතගොත රට රකිනා තැනනේ ඇත්තේ
මතට වහල්වූ මේ වැනි අයගෙන් දියවන්නාවට හෙණ ඇත්තේ 





(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Monday, February 25, 2019

අද දවසේ කවිය - 2019/02/26

                                                             අද දවසේ කවිය


" විදුහල්පතිගෙන් සිසුවියට අතවරයක්."




අධ්‍යාපනයේ ඉන්නා උදවිය   මේ විලසින්දෝ    හැසිරෙන්නේ
        විදුහල්පතිකම පැත්තක තියලා සිසුවිය කෙලෙසන්නට යන්නේ
       මෙහෙම එවුන්දෝ මහ පුටුවටවී රජයෙන් වැටුපක් අර ගන්නේ
       සිද්ධිය හොයලා ඇත්තද බලලා දඬුවම් නිසි ලෙස ලැබ දෙන්නේ

මත්තේගොඩට මෙත් සිසිල




මීට වසර හතළිහකට පෙර වැනි කාලයක නම් මත්තේගොඩ යන නමවත් දන්නා අය කොළඹ සහ රටේ අනෙක් පෙදෙස්වල බහුලව ජීවත්නොවූ බව සඟවා ගත යුතු රහසක් නොවන්නේය.

එහෙත් නිවාස යෝජනා ක්‍රම සංකල්පය යටතේ ‘මත්තේගොඩගම’ නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු මත්තේගොඩ යන නම රට පුරා පැතිර යන්නට ඒ තරම් කාලයක් ගත වූයේ නැත.

මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමයට අයත්වූ නිවාස සංඛ්‍යාව නිල වශයෙන් 1122 කි. මේ නිවාසවල පදිංචියට ආවේ රටේ විවිධ පෙදෙස්වලින් විවිධ තරාතිරම්වල අයය. 

ඒ ජනතාව විවිධ භාෂා කතා කරන විවිධ ආගම් පිළිගත් බොහෝ පිරිසකගෙන් සැදුනේ විය. රටේ විවිධ පෙදෙස්වලින් මෙහි පැමිණි ජන කොටස් කල් යෑමේදී එකිනෙකා හඳුනා ගෙන සමගි සන්ධාන ගත වූහ.

තම තමන් පිළිගත් දහමට අනුව කටයුතු කරන්නට, යම් යම් චර්යා අනුගමනය කරන්නට සුදුසු ස්ථාන ගැන උනන්දු වන්නට පටන්  ගත්තේ ඉන්පසුය.

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි බොදු ජන කොටස් වෙනුවෙන් වෙසෙස් තැනක් ගැන අවධානය යොමු වූයේ ඒ අනුවය. ඒ අනුව කල්පනා කළ වැසියන් එක්ව ‘මත්තේගොඩ බෞද්ධ සංගමය‘ නම්වූ බොදු සංවිධානය පිහිටුවා ගත්තේ 1981 දීය. එය රජයේ ලියාපදිංචි සහ නීතිගත තත්ත්වයට පත් වූයේ 1996 දීය. එදා සිට මේ වනතුරු සංගමයේ නිලතල කලින් කලට සුදුසු පුද්ගලයන් විසින් දරන ලදී.

මේ ගෙවී යන කාලය තුළ ඇතිවූ බොදු පිබිදීමේ වඩාත්ම කූටප්‍රාප්ත අවස්ථාවක් වූයේ සකස්වී ඇති බොදු පුදබිම තුළ සිදුවූ බෝධි රෝපණයයි. එය සිදුවූයේ 1986 වසරේ අග භාගයේය.


මත්තේගොඩ බෝධිය
පුද බිමක් තිබුණත් බෞද්ධ සංගමයක් තිබුණත් ආර්ථිකමය වශයෙන් ඇති වන ගැටළු මුල් කාලයේ තදින්ම පැවැතිණි. ස්ථානයේ දෛනික නඩත්තු කටයුතු සඳහා මුදල් සොයා ගන්නට යම් අවධිවල නිවෙස්වලින් මුදල් එකතු කරන්නට සිදු විය.

1991 දී ධර්ම ශාලාවේ ඉදි කිරීම් කටයුතු අවසන්වූ අතර ඉන් පසුව කලින් කල අත්‍යවශ්‍ය අනෙක් ඉදි කිරීම්ද සිදු විය.





















           ධර්ම ශාලාව ඇතුළත දර්ශන - පුන් පොහෝදා දහම් දෙසුම


මත්තේගොඩ පුදබිමේ චෛත්‍යය

චෛත්‍යය ඉදි කිරීමද එහි ප්‍රතිඵලයකි.

මත්තේගොඩ පුදබිමේත්, බෞද්ධ සංගමයේත් පුනරුදය තවත් ප්‍රභාවත් කරමින් දහම් පාසැල එකතු වන්නේ 1988 දීය. එහි නිත්‍ය ලියා පදිංචිය සිදු වන්නේ 1991 දීය.

 දහම් පාසැලෙහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 680 කි. සිංහල හා ඉංගිරිසි යන දෙබසින්ම දහම් කරුණු මෙහිදී උගැන්වේ. 

මත්තේගොඩ දහම් පාසැල ගැන සිහිපත් කරන විට ඩී. ඇම්. සිරිසේන නාමය අමතක කළ නොහැකිය. එතුමා එහි විදුහල්පතිව සිටි කාලයේදී දහම් පාසැල විශාල ප්‍රගතියක් ලැබූ බව සඳහන් කළ යුතුය. දෙබසින්ම දහම් කරුණු උගැන්මට දරු දැරියන්ට අවකාශ සැලැසුණේ එතුමාගේ මඟ පෙන්වීම යටතේ බව කෘතඥතා පූර්වකව සඳහන් කරනු ලැබේ.

දහම් පාසැලේ වත්මන් විදුහල්පති ධුරය දරන්නේ මත්තේගොඩ සරණධම්ම විහාරාධිපතිවූ පූජ්‍ය පැළන්වත්තේ ධම්මතිලක හිමියන්ය. මෙම යතිවරයාණෝ කෝට්ටේ පාර්ශවයේ සංඝ නායක ධූරයද හොබවති.

දහම් පාසැලට සෙවණ ලබා දෙන්නේ ධර්ම ශාලාවයි. සෑම ඉරු දිනකම උදෑසන 8.00 සිට දහවල් 12.30 දක්වා දහම් පාසැලේ ආධ්‍යාපනික කටයුතු පැවැත්වේ.
සෑම ශනිදාවකම දහවල් 2.00 සිට සවස 4.00 දක්වා භාවනා වැඩ සටහනක් සංවිධානය කැරෙයි. එය මෙහෙය වන්නේ ගරුතර හිමිනමක් විසිනි.


මත්තේගොඩ බෞද්ධ සංගමය අනුකාරක සභා හතරකින් සවිමත් වේ. 

1) විද්වත් කමිටුව - අදාළ කරුණු විමසීම, විමර්ශනයට ලක් කිරීම සහ කටයුතු සඳහා උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි.

2) පූජා කමිටුව  - වෙසක්, පොසොන් වැනි ප්‍රධාන පොහෝ දිනවලදී සිදු කැරෙන ශීල සමාදානයන්, වර්ෂාවසානයේ පැවැත්වෙන පිරිත් පිංකම මෙන්ම සෑම සතියකම ශනිදාවන්හී පැවැත්වෙන බෝධි පූජාවන් සංවිධානය කරනු ලබයි.
පොහෝ දිනවලදී අවට විහාරස්ථාන නවයකින් වඩමවා ගනු ලබන ස්වාමීන් වහන්සේලා විසින් සියලු ආගමික වතාවත් සිදු කරනු ලබයි- 

3) ගොඩනැගිලි කමිටුව - පුද බිමට අදාළ නව ඉදි කිරීම්, දෛනික නඩත්තු කටයුතු, විදුලි බල හා ජල සැපැයුම් ආදී කටයුතු සක්‍රීයව තබා ගනියි.

4) උත්සව කමිටුව  - පුද බිමට අදාළ සියලු උත්සව සංවිධානය සිදු කරයි. ආගමික මෙන්ම සංස්කෘතික උත්සවද ඒ අතරේ වේ.
 වාර්ෂිකව පැවැත්වෙන අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උළෙල එයින් ප්‍රධාන තැනක් ගනියි. වාර්තා වන ආකාරයට පුදබිම ආශ්‍රීතව පැවැත්වුණු 2018 හිස තෙල් ගෑමේ උත්සවයට තුන්දාහකට ආසන්න පිරිසක් සහභාගීවී ඇත.

                                                                           
    
පුදබිමට අදාළ මූල්‍යමය පසුබිම

පුදබිමට අදාළ මූල්‍යමය පසුබිම සකස් වන්නේ බෞද්ධ සංගමයේ සංවිධිත ව්‍යුහය හරහාය. පුදබිමට යන එන සහ පුදබිම අද්දරින් යන එන මහජනතාව තමන්ට හැකි ලෙසින් පුදබිමට මූල්‍යමය ආධාර ලබා දෙන්නට පුරුදු පුහුණුවී සිටී.

එම ප්‍රතිපාදන ; ආධාර, විශේෂ ආධාර, උපන් දින ආධාර, විශේෂ පරිත්‍යාග ආදී කොටස් කිහිපයකටම බෙදා දැක්විය හැකියි. එසේම  පුදබිම අසලින් ගමන් කරන හැම තරාතිරමකම වාහනවල ගමන් ගන්නා මහත්ම මහත්මීන් පිං කැටයට දමන ආධාරයි.
ස්කූටරයේ සිට මහ මඟ ගමන් ගන්නා බස් රථය දක්වා හැම වර්ගයකම වාහන වල ගමන් ගන්නා සාමාන්‍ය මගී ජනතාව පුදබිමට ගරුසරු දක්වන්නේ එලෙසය.
මීට අමතරව ආධාර ලෙස විදුලි පහන් වැනිදෑද මහජනතාව විසින් ලබා දෙන අවස්ථාද ඇත.



වාර්ෂික පිණ්ඩපාත චාරිකාව

වාර්ෂිකව සංවිධානය කැරෙන මෙම පින්කම මූලික වශයෙන් දහම් පාසැලේ  ව්‍යාපෘතියකි. බෞද්ධ සංගමය මගින් ඇවැසි පසුබිම සකස් කොට දෙනු ලබන අතර මූල්‍යමය අවශ්‍යතාද සපුරනු ලබයි.

සෑම වසරකම පෙබරවාරියේ පැවැත්වූ මේ මහඟු පින්කම මෙම වසරේ සිට මාර්තුවේ පසළොස්වක පොහෝදා පැවැත්වීමට තීරණය කොට ඇත. 
පිණ්ඩපාත චාරිකා පින්කම මේ වර්ෂයේ පැවැත්වෙන්නේ විසිතුන්වැනි වතාවටය.

සියක් නමක් භික්‍ෂූන් වහන්සේලා සහභාගී වන මේ පින්කමේදී ඒ සියලු හිමිවරු මත්තේගොඩ සියලු නිවාස කලාප ආවරණය කරමින් පිඩු සිඟා වඩිනු ඇත.




                                         






Sunday, February 24, 2019

අද දවසේ කවිය - 2019/02/25

                                                                     අද දවසේ කවිය

"දරුවා වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක්......"

දඬුවම් දුන්නත් හිරේට දැම්මත් මුන් නම් නොහැදෙන පාට ඇතේ
ලක්‍ෂයක්ම    අල්ලස්    ලෙස ඉල්ලා විදුහල්පතිනිය අසුව ඇතේ 
එපා කියද්දී   ඒ දේ කරනා   තව    උන්     රට තුළ සිටිය යුතේ 

නඩුවක් අහලා වැරැද්ද   විමසා දඬුවම්  පැවැරුම  හොඳයි පුතේ

                                              

Thursday, February 21, 2019

මහනුවර ගිහාම “මැදවාසලටත්” යන්න.

මහනුවර ගිහාම “මැදවාසලටත්” යන්න.
 දළදා මැදුර





ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
ශ්‍රී වික්‍රම රාජසිංහ යන නම නොඇසූ කෙනෙකු රට තුළ සිටිය නොහැකියැයි සිතෙන තරම්ය. ඒ තරමට ඒ නම සුප්‍රසිද්ධය. ඒ සඳහා හේතු කාරණා කිහිපයක්ම තියෙන්නට හැකිය. එයින් වඩාත්ම වැදගත් වන්නේ එතුමා ශ්‍රී ලාංකීය රාජ වංශ කතාවේ අවසාන රජතුමන් වීමයි. 
අනෙක් අතට වසර දෙදහස්තුන්සියයකට පසු ශ්‍රී ලාංකීය රාජ වංශ කතාව අවසන් කරමින් විදේශීය ජාතියකට රට පවරන්නට මුල්වූ රජතුමා ලෙසයි.

අපේ මේ කතාවේ අරමුණ වන්නේ එතුමාගේ විදේශීය බිරිඳගේ වාසස්ථානය ගැන කතා කිරීමයි.

“ලෝක උරුම ස්මාරකයක් වන මහනුවර දළදා මාළිගාවට යාබදව පිහිටා ඇති මේ ගොඩනැගිල්ල ‘මැදවාසල’ ලෙස හඳුන්වනු ලබයි.”

“දළදා මාළිගා සංකීර්ණයට උතුරින් පිහිටි ඉපැරණි 'උඩවාසල'      (ජාත්‍යන්තර බෞද්ධ කෞතුගාගාරය) හා 'පල්ලේ වාසල' (ජාතික කෞතුගාගාරය) අතර පිහිටි “මැදවාසල”  ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයන්ගෙන් යුතු සුවිශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණයකි.”

" ‘මැදවාසල’ මහනුවර රාජධානියේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (ක්‍රි ව 1798 -1815) අග බිසව වෙන්කතරංග ජම්මාල් (රෙංගම්මාල්) බිසවගේ වාසස්ථානය බව ව්‍යවහාරයේ  පවතී."
.
වෙන්කත රෙංගම්මාල් බිසව
වෙන්කත රෙංගම්මාල් බිසව ගැන රොබට්  නොක්ස්ගේ ඇසින්....

'ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නීත්‍යානුකූල බිසව මලබාර් දේශයෙන් මෙරටට ගෙන්වා ගත් කාන්තාවකි. මා දැන සිටි විසි අවුරුද්දක කාලය තුළ ඇය රජු සමග නොවසන බව මම දැන සිටියෙමි. මහ රජු තම ඇසුරින් ඇය ඈත් කොට ඇත්තේය. ඇගේ වාසස්ථානය වූයේ මහනුවර නගරයේ මාළිගාවකි. ඇය කිසි දිනෙක ඇය වසන මාළිගයෙන් පිටතට නොයන්නීය. වංශවත් පවුල් කිහිපයක දූවරු මේ බිසවගේ සේවාව සඳහා කැපවී සිටිති.'

මැදවාසල වාස්තු විද්‍යාත්මක අංග 

මැදවාසල ඇතුළත දැව කුළුණු
"මහනුවර යුගයේ වාස්තුවිද්‍යා සම්ප්‍රදායන්ට ආවේණිකවූ සුවිශේෂ දැවමය අංග රැසක් මෙම ස්මාරකය තුළ දක්නට ලැබේ. 
මහනුවර යුගයේ වාස්තු විද්‍යා නිර්මාණයන් අතර සුවිශේෂී අංගයන් වන දැව කුළුණු සතරක් මෙහි දක්නට ලැබේ. කැටයම් රහිත විශාල සිව්රැස් කුළුණු ද්විත්වය මධ්‍යයේ දර්ශනීය කැටයම් හා මල් ලියවැල් මොස්තරවලින් අලංකෘත කුඩා ප්‍රමාණයේ දැව කුළුණු දෙකක් වේ. සිව්රැස්ව සහ අටැස්ව විහිදී ගිය මේවා එකිනෙකට සමානසේ දිස් වුවද වෙනස්වූ කැටයම්වලින් යුක්තය."


දොර සහ උළුවස්ස

"චන්ද්‍රවංක උළුවස්ස සහිත ප්‍රධාන ද්වාරයට අමතරව අභ්‍යන්තර කුටියේද චන්ද්‍ර වංකය සහිත් ද්වාර දෙකකි. අභ්‍යන්තර කුටියට පිවිසීම සඳහා වන ප්‍රධාන ද්වාරය ඇතුළට විවර වන තනි පියනකින් යුක්ත වේ. 
අභ්‍යන්තර කුටියේ අනු ද්වාරයේ ඇති දැවමය සරනේරු මහනුවර රාජධානි සමයේ වාස්තු විද්‍යාවේ විශි්ෂට අංග ලක්‍ෂණ කියාපාන කදිම නිදසුනක්ය."

සතියේ සෑම දිනකම පෙ.ව. 7.00 සිට පස්වරු 5. 00 දක්වා “මැදවාසල” මහජන දැක්ම සඳහා විවෘතය.



මැදවාසල ඉදිරිපස පෙනුම
නුවර ගිහාම 'මැදවාසලටත්' යන්න. ඉතිහාසයෙන් බිඳක් හඳුනා ගන්නට, ආකර්ෂණීය දැව නිර්මාණ දකින්නට, පැරැණි සිතුවම් දකින්නට ඔබට එහිදී හැකි වේවි. 


(මෙම සටහනේ එන ද්විත්ව කොමා ඇතුළත ඇති කොටස් උපුටා ගෙන ඇත්තේ ‘මැදවාසල‘ විස්තර පත්‍රිකාවෙන් බව කාරුණිකව සැලකිය යුතුයි.)  

අද දවසේ කවිය - 2019/02/22


Tuesday, February 19, 2019

රොබින්සන් කෲසෝ - පළමු කොටස


වර්ෂ 1719 අප්‍රේල් මස 25 වැනිදා ‘රොබින්සන් කෲසෝ ’ මුල්ම මුද්‍රණය (අන්තර්ජාලයෙනි.) 

                                    රොබින්සන් කෲසෝ 

රොබින්සන් කෲසෝ මේ කතාවේ වීරයායි. ඔහු උපන්නේ එක්සත් රාජධානියේ යෝර්ක් නගරයේය. ඒ ක්‍රිස්තු වර්ෂ 1642දීය.
ඔහු තමගේ පවුලේ තුන්වැනියා විය.

 ඔහුගේ පියාට අවශ්‍ය වූයේ ඔහුව නීති වේදියකු කරන්නටය. එහෙත් තරුණ කෲසෝගේ දීර්ඝ කාලීන සිහිනයවී තිබුණේ නැවියකුවී සයුර තරණය කරන්නටය.

කෲසෝගේ පියා බුද්ධිමත් එසේම සන්සුන් ගති ඇති පුද්ගලයෙකි. ඔහු තම පුතාට සැර වැර කරන්නට ගියේ නැත. බර තර්ක ඉදිරිපත් කරන්නට ගියේද නැත. ඔහු තම පුතාට සයුරු තරණයේ ආදීනව කියා දුන්නේ කරුණවෙනි. පියාගේ අවවාදයේ හරය වූයේ කිසිදා සයුර තරණය කරන නැවියකු නොවිය යුතු බවය. 

දිනක් උදෑසනක කෲසෝගේ පියා ඔහුව තම කාමරයට කැඳවීය. පියා සිටියේ රෝගාතුරවය. පියා ඉතා කාරුණිකව කෲසෝ අමතමින් කියා සිටියේ සයුරු තරණයේ ඇති බිය ජනක බව ගැනය. තමාට කතා කරන අතරේ තම පියාගේ දෑසින් කඳුළු වැටෙන බවද කෲසෝ දුටුවේය.

තමාට අවැසි විටෙකදී කෲසෝ තමා අසල සිටීමේ වැදගත් කම පියා තම පුතාට පැහැදිලි කළේය. පියාගේ ඍජු යෝජනාව වූයේ කෲසෝ සයුරු තරණයෙන් ඈත්වී සිටිය යුතු බවය.

කෲසෝගේ සිතට තම පියාගේ වචන තදින්ම කා වැදී ගියේය. සයුරට ඇදී ගිය හිත කෲසෝ නැවතත් තම නිවස හා පියා දෙසට ඇද ගත්තේය. තමා සයුරු තරණය නොකරන බවත් සයුර හරහා වෙනත් රටවලට යෑමේ අදහස ඉවත් කර ගත් බවත් කෲසෝ සිතන්නට පටන් ගත්තේය.
එහෙත් ඒ හැඟීම ඒ ආකාරයෙන්ම කෲසෝගේ සිත තුළ පැවැතියේ සති කිහිපයක කාලයක් පමණි. ඔහු නැවතත් දැඩි තීරණයකට එළැඹියේ සයුරු තරණයේ යෙදෙන්නටමය.


දිනක් කෲසෝ කතාබහෙහි යෙදී සිටියේ මුහුදු තරණයේ යෙදන ඔහුගේ මිතුරකු සමගය. මිතුරා සිටියේ මුහුදු ගමනකට සූදානම්වය. කෲසෝ ඔහුට ඇවිටිලි කොට සිටියේ තමාවද මේ මුහුදු ගමන සඳහා කැටුව යන ලෙසයි. කෙසේ හෝ ඒ අදහස ඉටු වන ලකුණු  දැක ගත හැකි විය. සිය නිවෙසට, මවට,පියාට තම තීරණය ගැන දන්වා යවන්නටවත් වෙහෙසක් නොගත් කෲසෝ ලන්ඩනය බලා ගමන් ගන්නට නියමිත නැවට ගොඩ වූයේ තම මිතුරාගේ උදව්වෙනි. පමාවක් නැතිව පිටත්වූ නැව ඉක්මනින්ම ගැඹුරු මුහුදට සේන්දු විය.

සුළඟේ වේගය දරුණු ලෙස වැඩි වෙමින් තිබිණි. සුළඟේ දැඩි බව නිසාම මුහුද වියරු වැටුණු ස්වභාවයක් ගෙන තිබිණි. 
කෲසෝ මුහුදු ගමන්වලට ආධුනිකයෙකි. ඒ නිසා ඔහු මේ වෙනස්වී ඇති කාලගුණික තත්ත්වයට මුහුණ දුන්නේ අසීරුවෙනි. ඔහු තුළ වූයේ අසනීප තත්ත්වයකි. එසේම තම මවට හා පියාට නොදන්වා ඔවුන්ගේ මඳ හෝ අනුදැනුමක් නැතිව සයුරු තරණයට එක් වීමද ඔහුට මේ වන විට තදින්ම බලපාන මානසික ප්‍රශ්නයක්වී තිබිණි.

එන්න එන්නම කුණාටුව වඩාත් වියරු වන ස්වභාවයක් පෙන්වීය. කුණාටුවේ ප්‍රචණ්ඩත්වය වැඩි වීම නිසා මුහුදු රළද ඉහළ නැගීම වැඩි විය. 
එහෙත් ක්‍රමයෙන් කාලගුණයේවූ ප්‍රචණ්ඩ බව අඩුවී යන්නට විය. මුහුදු ගමනේ සයවැනි දිනය වන විට කෲසෝ ගමන් ගත් නැව කුඩා වරායකට සේන්දුවී තිබිණි.

නැව නිශ්චල වුවත් කාලගුණය දිගටම නිහඬවී සිටීම අප්‍රිය කළා විය හැකිය. නැවතත් හමා යන්නටවූ කුණාටුව කලින් වතාවටත් වඩා බිහිසුණු විය. ඒ නිසා නැවියන්ට අණ ලැබුණේ නැවේ කුඹ ගස් කපා දමන ලෙසය. තත්ත්වය ඒ තරම්ම දරුණුවී තිබිණි. 

මැදියම් රැය වන විට තවත් අතුරු ආපදාවකට මුහුණ දෙන්නට සේලරුවන්ට සිදු විය. කුමක්දෝ හේතුවක් නිසා නැවේ පතුල සිදුරුවී තිබිණි. ඒ නිසා කෲසෝ ඇතුළු නැවේ ගමන් ගත් හැම දෙනාටම නියම වූයේ නැවට පිරෙන ජලය ඉවත් කිරීමේ කටයුත්තේ යෙදෙන ලෙසය. 
නැවේවූ තුවක්කුවක් පත්තු කොට වෙඩි මුරයක්ද තබන ලදී. ඒ සංඥාවෙන් කියැවෙන්නේ නැව විශේෂ ආපදා තත්ත්වයකට මුහුණපා ඇති බවයි.
මේ අසහනකාරී බිහිසුණු පරිසරය කෲසෝ තුළ ඇති කළේ දැඩි මානසික පීඩාවකි. එසේම බියකි. ඔහු සිහි නැතිව බිම ඇද වැටුණේ ඒ නිසාය. 

තත්ත්වය වඩාත් බරපතළ වෙමින් තිබිණි. නැව ගිලෙමින් පැවැතීම පාලනය කර ගත නොහැකි බව පැහැදිලි වන්නට විය. ඒ නිසා සියලු සේලරුවන්ට අණ ලැබුණේ වහාම නැවෙන් ඉවත්ව ජීවිතාරක්‍ෂක බෝට්ටුවට ගොඩ වන ලෙසය. 

ගිලෙන නැවේ ඉරණම නැවටම බාර කළ සේලරුවෝ දිවි ගලවා ගැනීම සඳහා බෝට්ටුවට ගොඩ වූහ. තවමත් ප්‍රචණ්ඩ බව පෙන්වන මුහුදේ පිරිස රැගත් බෝට්ටුවක් පැදවීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ නොකර අත් නොහැරි කටයුත්තකි.

සේලරුවන්ගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පැද ගිය බෝට්ටුව යාර්මවුත් අසල වෙරළකට සේන්දු විය. ගොඩ බිමට පැමිණි ඔවුන් එතැන් පටන් ආරක්‍ෂිත විය.

ගොඩ බිමට අඩිය තැබූ කෲසෝට නැවතත් සිය මවුපියන් වෙත යෑමට අවකාශ තිබිණි.
කෲසෝ නැවත මවුපියන් වෙත ගියාද?

දෙවැනි කොටසින් කියවන්න. 

අද දවසේ කවිය - 2019/02/20


Monday, February 18, 2019

නවම් දහම් පඬුර - 2019


                           නවම් දහම් පඬුර

       
2019 නවම් මස දහනවවැනිදා  - පුර පසළොස්වක පොහෝදා 

             
                                                    බුදු බණ කෙටියෙන්




“අත්තනා කුරුතෙ ලක්ඛිං අලක්ඛිං අපි අත්තනා”


‘තමාගේ භාග්‍යයත්, අභාග්‍යයත් සලසා ගන්නේ තමාමය.
’ 

'ලක්ඛි' යන්නෙන් මෙහි අදහස් කළේ භාග්‍යයයි. සාමාන්‍ය මහජනයාගේ වචනයෙන් කියතොත් වාසනාවයි. තමාගේ භාග්‍යය හෝ අභාග්‍යය හෝ රඳා ඇත්තේ තමා අතේමය. උපතින්ම භාග්‍යය හෝ අභාග්‍යය හෝ එක්තරා පමණකට අපට නැතැයි කිව නොහැකිය. එහෙත් ඇතැම්විට ඒ භාග්‍යය නැති කැරැගැනීම හෝ දියුණු කැරැගැනීමත් අප අතේමය. 

බොහෝ භාග්‍යය ඇතිව ඉපැදුණු අය ඉතාම අභාග්‍ය ලෙස කල් ගෙවන හැටි දක්නට ලැබේ. ඇතැම්විට උත්පත්තියෙන් එතරම් භාග්‍යයක් නොලත් අය දැඩි උත්සාහයෙන්, දුර දක්නා නුවණින්, ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීම නිසා භාග්‍ය සම්පන්නව යෙහෙන් කල් ගෙවන අයුරුද දැක ගත හැකිය.


උපන් මිනිසා සියල්ලම පෙර පවට හෝ පිනට හෝ හෙවත් පූර්ව කර්මයට භාර කොට නිකම් සිටියොත් ඇති භාග්‍යය වැඩෙන්නේවත් නැති භාග්‍යය ළං වන්නෙවත් නැති බව අප විසින් තේරුම් ගත යුතුය.

 යමක් බලාපොරොත්තු වන තැනැත්තාට ඒ බලාපොරොත්තු වනදේම නැකතය. නැකැත් තරු කුමක් කරන්නද? පිටස්තර කෙනෙකු හෝ බලයක් අපට භාග්‍යය සලසා දෙතැයි නිතර දෙවේලේ මන්ත්‍රයක් මෙන් ජප කළ පමණින්ද එය නොසිදුවේ.

 අභාග්‍යයෙන් ඈත්ව භාග්‍යය ළංකර ගැනීමට බෙහෙවින් වෑයම් කළ යුතුය. මෙලොව දෙව් ලොවත්, නිරයත් මිනිසා අතේමය. භාග්‍යයේ දොර වැසීමට හෝ ඇරීමට අවශ්‍ය යතුර තමා ළඟමය. එහෙයින් නොකළකිරී ඉක්මනටම ප්‍රතිඵල බලාපොරොත්තු නොවී තමා කෙරෙහි විශ්වාසය තබා ගෙන හැකි නම් අනුන්ගේ උපදෙස් මෙන්ම උපකාරත් ලබා ගෙන අනලස්ව ක්‍රියා කළ යුතුව තිබේ.

- බම්බලපිටියේ වජිරාරාමවාසීව වැඩ විසූ පූජ්‍ය පියදස්සී හිමි.




“සෙය්යෝ අමිත්තෝ මතියා උපේතෝ”

'නුවණ ඇති සතුරා වුවත් හොඳය.'

මෙය කල්පනාවෙන් තේරුම් ගත යුතු කීමෙකි. සතුරා හොඳයැයි නුවණැත්තෝ නොකියති. මිතුරාමය හොඳ. එසේ නම් නුවණ ඇති සතුරා වුවත් හොඳයැයි කීමේ අදහස කුමක්දැයි සොයා බලමු.


මිතුරාට හෝ සතුරාට හෝ නුවණක්, දැනීමක් නොමැති නම් හේ මෝඩ මිතුරෙකි. මෝඩ සතුරෙකි. මිතුරු වුවත් සතුරු වුවත් මෝඩකම නිසා, නොදැනීම නිසා නපුරක් වරදක් සිදු වන්නට කොතෙකුත් ඉඩ තිබේ. 

මෝඩ මිතුරන් නිසා සිදුවුණු වැරදීම්, නරක නපුරු දෑ, අලාභහානි කොතරම්දැයි යටගියාව දෙස විමැසීමෙන් බලන්නකුට පෙනී යනවා ඇත. මෝඩ සතුරන්ගෙන් සිදුවූ විපත් ගැන කවර කතාද? එබැවින් මෝඩ සතුරාට වඩා නුවණ ඇති සතුරා හොඳය. සතුරා වුවත් නුවණ ඇතිනම් මෝඩ සතුරා තරම් බිහිසුණු  දෑ නොකරනවා ඇත. මෝඩ සතුරා තරම් ඕළාරික (ගොරෝසු) ලෙස යම් යම් දේ නුවණැති සතුරා නොකියනවා ඇත. නොකරනවා ඇත.

 සතුරා වුවත් නුවණ ඇත්නම්, ඒ නිසාම තරමක හැදීමක් ඇත්නම් හොඳය. මෝඩ මිතුරාටත් වඩා හොඳ විය හැකිය. මිතුරා වුවත් මෝඩ නම්, හැදීමෙන් අඩුනම් සිදුවන්නේ අවැඩමය. සතුරු වුවත් වැටහෙන නුවණ ඇත්නම් එතරම් බිහිසුණු දෑ සිදු නොවනු ඇත. නුවණ ඇත්නම් සතුරු කම් කොහින්ද? නුවණැතියා මිතුරෙක්මය කියා තර්ක නොකළ යුතුය. 

පෘථග්ජනයන් අතර සර්ව නිර්දෝෂ, සර්වතෝභද්‍ර (හැම අතින්ම හොඳ) අය නොදැක්ක හැකිය. මිනිසුන් තුළ හොඳ - නරක දෙක මිශ්‍රව පවතී. විමුක්තිය ගෙන දෙන උසස් නුවණත්, ලෞකික ඥානයත් දෙකක් මිස එකක් නොවේ. 

- බම්බලපිටියේ වජිරාරාමවාසීව වැඩ විසූ පූජ්‍ය පියදස්සී හිමි.




“මහණෙනි, මවිසින් දෙසන ලද ධර්මය පහුරට උපමා කළ හැකියි. එය එතෙර යෑම සඳහාය. දැඩි කොට ගැනීම සඳහා නොවේ. මහණෙනි, ධර්මය පහුරක් වැනියැයි දන්නා ඔබ විසින් හොඳ දේ (ධම්ම) පවා හළ යුතුය. නරක දේ (අධම්ම) ගැන කියනුම කවරේද?”

-ගෞතම සම්මා සම්බුදු හිමි  
(‘බුදුන් වදාළ ධර්මය’- වල්පොළ රාහුල හිමි)

අද දවසේ කවිය - 2019/02/19


Sunday, February 17, 2019

"විදෙස් රටින්" - ' ඒ අය කවදත් ධනවත්'


ෆෝබ්ස් සඟරාවේ අලුත්ම කලාපයේ සඳහන් තොරතුරුයි මේ.

ෆෝබ්ස් සඟරාව ඇමෙරිකානු ධනවතුන්ගේ නවතම තොරතුරු සිය අලුත්ම කලාපයේ මෙසේ දක්වා ඇත.
බිල් ගේට්ස්

ඒ තොරතුරුවලට අනුව ධනවතුන්ගේ ලැයිස්තුවේ මුල්ම ස්ථානය හිමි වන්නේ බිල් ගේට්ස්ටය. ‘මයික්‍රොසොෆ්ට්’ නිර්මාතෘ ඔහුය. ඔහුගේ ප්‍රකාශිත ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර බිලියන අසූ එකකි. ඔහු මේ තම මුල් ස්ථානය වාර්තා කරන්නේ විසිතුන්වැනි වතාවටය.



ජෙෆ් බොසෙස්


ඇමසන්හී ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසොස් සිය වත්කම ඩොලර බිලියන 20සේ සිට ඩොලර බිලියන 67 දක්වා වැඩි කර ගනිමින් ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වී සිටියි.


වොරන් බෆට්


වොරන් බෆට්ගේ ප්‍රකාශිත ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර බිලියන 65.5 කි. ඔහු මේ ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව ඇත්තේ වසර පහළොවකට පසුවය.

 මාර්ක් සකර්බර්ග්

ලොව පුරා ජනප්‍රිය ‘මුහුණු පොත’ හෙවත් ‘ෆේස් බුක්හී’ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ධනවතුන්ගේ ලැයිස්තුවේ හතරවැනි තැනට පත්වී සිටියි. ප්‍රකාශිත ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර බිලියන 55.5 කි.
ලැරී එලිසන් 


ඔරැකල් කෝපරේෂන් නම් ආයතනයේ නිර්මාතෘ ලැරී එලිසන්ට ධනවතුන්ගේ ලැයිස්තුවේ හිමිවී ඇත්තේ පස්වැනි තැනයි. ඔහුගේ ප්‍රකාශිත ශුද්ධ වත්කම ඩොලර බිලියන 49.3 කි.

 මිචෙල් බ්ලූම්බර්ග්

ධනවතුන්ගේ ලැයිස්තුවේ හයවැනි තැනට පත්වී සිටින්නේ නිව් යෝර්ක් නතරයේ හිටපු නගරාධිපතිවරයකු වන මිචෙල් බ්ලුම්බර්ග්ය. ප්‍රකාශිත ශුද්ධ වත්කම ඩොලර බිලියන 45 කි.

 (අන්තර්ජාලය ඇසුරිනි.) 




අද දවසේ කවිය - 2019/02/18- 'හිඟුරග්ගොඩ ෆේස් බුක් පාට්ය"


Saturday, February 16, 2019

"විදෙස් රටින් " - ඔහුට අවුරුදු විසිහතයි. ඒ වුනත් අමුතුයි.



















 ඔහුට අවුරුදු විසිහතයි. ඒ වුනත් අමුතුයි.

අමුතුයි කිව්වේ ස්වරූපය නෙවෙයි. ඔහුගේ හැසිරීමේ විශාල අමුත්තක් ඇති බව මේ වෙන කොට පැහැදිලි වෙලා තියෙනවා. ඒ අමුත්ත නිසාමදෝ ඔහු මිනිමරුවකු බවට පත්වී සිටිනවා.

ඔහුගේ සම්පූර්ණ නම ඇලෙක්සැන්ඩර් ලුවිස් රැන්වේල්. රට එක්සත් රාජධානියයි. ඔහු මේ වන විට මිනීමැරුම් තුනක් සඳහා නිශ්චිත සැකකරුවකුවී සිටිනවා.

එසේ රැන්වේල් අතින් මරණයට පත්වී ඇත්තේ විශ්‍රාමිකයන් තිදෙනෙක්. එතනත් වෙනසක් හැඟෙනවා නේද?  

ඔහු අතින් මරණයට පත්වී ඇති එක් අයෙකුගේ නම ඇන්තනි පේන්. ඇන්තනි මහතාගේ වයස අවුරුදු අසූවයි. රැන්වේල් මරා දමා ඇති අනෙක් දෙදෙනා නිවුන් සොහොයුරන්. එක්කෙනෙක් ඩික් කාටර්.  අනෙක් පුද්ගලයා රොජර් කාටර්.  ඔවුන්ගේ වයස අවුරුදු අසූ හතරයි.

මේ  තිදෙනාගේ මරණ සඳහා තමා රැන්වේල් සැක පිට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

රැන්වේල් මේ වන විට මිනීමරුම් තුනකම සැකකරු බවට පත්වී සිටියාට ඔහු ගැන දන්නා අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් නම් කියන්නේ ඔහු ඉතාම හොඳ පෝලෝ ක්‍රීඩකයකු වගේම පෝලෝ ක්‍රීඩා රසිකයකු බවයි. ඔහු පොලෝ ක්‍රීඩාවේ යෙදෙන්නේ ඔහුගේ පියා ඔහු වෙනුවෙන් මිලදී ගත් අශ්වයන්ගේ පිටේයි.



අනෙක් කරුණ ඔහු නේවාසිකව සිය ඉගෙනීම් කටයුතු කර ඇත්තේ වසරකට අධික මුදලක් ගාස්තු වශයෙන් ගන්නා පාසැලකයි. පාසැලේ ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ඔහු ඉතාම යහපත් කාරුණික සිසුවකුව සිටි බවයි.


මේ අතරේ තවත් අපූරු පුවතක් 'ද සන්' පත්‍රය වාර්තා කළා. ඒ රැන්වේල්ගේ පෙම්වතියක් ගැනයි. ඒ පෙම්වතියගේ වයස කීයද දන්නවාද? ඇයට අවුරුදු හැට හතරක්. ඒකත් අපූරුයි නේද?
 අසූ වියැති පේන් මහතාගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ මේ ගෙවී යන සතියේ සඳුදා මද්දහනේයි. එයින් පැය විසිහතරක් ඉක්ම යන්නටත් පෙර වියපත් අනෙක් නිඹුල්ලන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා. මෙසේ මරා දැමුණු වයස්ගත පුද්ගලයන් තිදෙනාම අවිවාහක අයයි. මේ මළ සිරුරු තුනේමවූ පොදු ලක්‍ෂණයක් වන්නේ ඔවුන්ගේ හිස පෙදෙසේ දැකිය හැකි වන තුවාලයි.

රැන්වේල් අතින් මරා දැමුණු බවට සැක කැරෙන වියපත් මහත්වරු තිදෙනාම ඉතා අහිංසක ලෙස තම දිවිය පවත්වා ගෙන ගිය අය බවට අවටවාසීන් සාක්‍ෂි දරනවා. ඔවුන්ද මේ මිනීමැරුම් ගැන තමන්ගේ ශෝකය පළ කර සිටිනවා.
 
රැන්වේල්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අමතර වෙහෙසක් මෙන්ම අමතර කාලයක්ද දරන්නට සිදුවී තිබෙනවා. එයට හේතුවවී ඇත්තේ රැන්වේල් කිසිවක්ම ප්‍රකාශ කරන්නට මනාපයක් නොදැක්වීමයි.ඉදිරියේ සියල්ල හෙළි වනු ඇති.

(අන්තර්ජාලය ඇසුරිනි.)