රොබින්සන් කෲසෝ
රොබින්සන් කෲසෝ මේ කතාවේ වීරයායි. ඔහු උපන්නේ එක්සත් රාජධානියේ යෝර්ක් නගරයේය. ඒ ක්‍රිස්තු වර්ෂ 1642දීය.
ඔහු තමගේ පවුලේ තුන්වැනියා විය.
ඔහුගේ පියාට අවශ්‍ය වූයේ ඔහුව නීති වේදියකු කරන්නටය. එහෙත් තරුණ කෲසෝගේ දීර්ඝ කාලීන සිහිනයවී තිබුණේ නැවියකුවී සයුර තරණය කරන්නටය.
කෲසෝගේ පියා බුද්ධිමත් එසේම සන්සුන් ගති ඇති පුද්ගලයෙකි. ඔහු තම පුතාට සැර වැර කරන්නට ගියේ නැත. බර තර්ක ඉදිරිපත් කරන්නට ගියේද නැත. ඔහු තම පුතාට සයුරු තරණයේ ආදීනව කියා දුන්නේ කරුණවෙනි. පියාගේ අවවාදයේ හරය වූයේ කිසිදා සයුර තරණය කරන නැවියකු නොවිය යුතු බවය.
දිනක් උදෑසනක කෲසෝගේ පියා ඔහුව තම කාමරයට කැඳවීය. පියා සිටියේ රෝගාතුරවය. පියා ඉතා කාරුණිකව කෲසෝ අමතමින් කියා සිටියේ සයුරු තරණයේ ඇති බිය ජනක බව ගැනය. තමාට කතා කරන අතරේ තම පියාගේ දෑසින් කඳුළු වැටෙන බවද කෲසෝ දුටුවේය.
තමාට අවැසි විටෙකදී කෲසෝ තමා අසල සිටීමේ වැදගත් කම පියා තම පුතාට පැහැදිලි කළේය. පියාගේ ඍජු යෝජනාව වූයේ කෲසෝ සයුරු තරණයෙන් ඈත්වී සිටිය යුතු බවය.
කෲසෝගේ සිතට තම පියාගේ වචන තදින්ම කා වැදී ගියේය. සයුරට ඇදී ගිය හිත කෲසෝ නැවතත් තම නිවස හා පියා දෙසට ඇද ගත්තේය. තමා සයුරු තරණය නොකරන බවත් සයුර හරහා වෙනත් රටවලට යෑමේ අදහස ඉවත් කර ගත් බවත් කෲසෝ සිතන්නට පටන් ගත්තේය.
එහෙත් ඒ හැඟීම ඒ ආකාරයෙන්ම කෲසෝගේ සිත තුළ පැවැතියේ සති කිහිපයක කාලයක් පමණි. ඔහු නැවතත් දැඩි තීරණයකට එළැඹියේ සයුරු තරණයේ යෙදෙන්නටමය.
දිනක් කෲසෝ කතාබහෙහි යෙදී සිටියේ මුහුදු තරණයේ යෙදන ඔහුගේ මිතුරකු සමගය. මිතුරා සිටියේ මුහුදු ගමනකට සූදානම්වය. කෲසෝ ඔහුට ඇවිටිලි කොට සිටියේ තමාවද මේ මුහුදු ගමන සඳහා කැටුව යන ලෙසයි. කෙසේ හෝ ඒ අදහස ඉටු වන ලකුණු දැක ගත හැකි විය. සිය නිවෙසට, මවට,පියාට තම තීරණය ගැන දන්වා යවන්නටවත් වෙහෙසක් නොගත් කෲසෝ ලන්ඩනය බලා ගමන් ගන්නට නියමිත නැවට ගොඩ වූයේ තම මිතුරාගේ උදව්වෙනි. පමාවක් නැතිව පිටත්වූ නැව ඉක්මනින්ම ගැඹුරු මුහුදට සේන්දු විය.
සුළඟේ වේගය දරුණු ලෙස වැඩි වෙමින් තිබිණි. සුළඟේ දැඩි බව නිසාම මුහුද වියරු වැටුණු ස්වභාවයක් ගෙන තිබිණි.
කෲසෝ මුහුදු ගමන්වලට ආධුනිකයෙකි. ඒ නිසා ඔහු මේ වෙනස්වී ඇති කාලගුණික තත්ත්වයට මුහුණ දුන්නේ අසීරුවෙනි. ඔහු තුළ වූයේ අසනීප තත්ත්වයකි. එසේම තම මවට හා පියාට නොදන්වා ඔවුන්ගේ මඳ හෝ අනුදැනුමක් නැතිව සයුරු තරණයට එක් වීමද ඔහුට මේ වන විට තදින්ම බලපාන මානසික ප්‍රශ්නයක්වී තිබිණි.
එන්න එන්නම කුණාටුව වඩාත් වියරු වන ස්වභාවයක් පෙන්වීය. කුණාටුවේ ප්රචණ්ඩත්වය වැඩි වීම නිසා මුහුදු රළද ඉහළ නැගීම වැඩි විය.
එහෙත් ක්‍රමයෙන් කාලගුණයේවූ ප්රචණ්ඩ බව අඩුවී යන්නට විය. මුහුදු ගමනේ සයවැනි දිනය වන විට කෲසෝ ගමන් ගත් නැව කුඩා වරායකට සේන්දුවී තිබිණි.
නැව නිශ්චල වුවත් කාලගුණය දිගටම නිහඬවී සිටීම අප්‍රිය කළා විය හැකිය. නැවතත් හමා යන්නටවූ කුණාටුව කලින් වතාවටත් වඩා බිහිසුණු විය. ඒ නිසා නැවියන්ට අණ ලැබුණේ නැවේ කුඹ ගස් කපා දමන ලෙසය. තත්ත්වය ඒ තරම්ම දරුණුවී තිබිණි.
මැදියම් රැය වන විට තවත් අතුරු ආපදාවකට මුහුණ දෙන්නට සේලරුවන්ට සිදු විය. කුමක්දෝ හේතුවක් නිසා නැවේ පතුල සිදුරුවී තිබිණි. ඒ නිසා කෲසෝ ඇතුළු නැවේ ගමන් ගත් හැම දෙනාටම නියම වූයේ නැවට පිරෙන ජලය ඉවත් කිරීමේ කටයුත්තේ යෙදෙන ලෙසය.
නැවේවූ තුවක්කුවක් පත්තු කොට වෙඩි මුරයක්ද තබන ලදී. ඒ සංඥාවෙන් කියැවෙන්නේ නැව විශේෂ ආපදා තත්ත්වයකට මුහුණපා ඇති බවයි.
මේ අසහනකාරී බිහිසුණු පරිසරය කෲසෝ තුළ ඇති කළේ දැඩි මානසික පීඩාවකි. එසේම බියකි. ඔහු සිහි නැතිව බිම ඇද වැටුණේ ඒ නිසාය.
තත්ත්වය වඩාත් බරපතළ වෙමින් තිබිණි. නැව ගිලෙමින් පැවැතීම පාලනය කර ගත නොහැකි බව පැහැදිලි වන්නට විය. ඒ නිසා සියලු සේලරුවන්ට අණ ලැබුණේ වහාම නැවෙන් ඉවත්ව ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩ වන ලෙසය.
ගිලෙන නැවේ ඉරණම නැවටම බාර කළ සේලරුවෝ දිවි ගලවා ගැනීම සඳහා බෝට්ටුවට ගොඩ වූහ. තවමත් ප්රචණ්ඩ බව පෙන්වන මුහුදේ පිරිස රැගත් බෝට්ටුවක් පැදවීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ නොකර අත් නොහැරි කටයුත්තකි.
සේලරුවන්ගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පැද ගිය බෝට්ටුව යාර්මවුත් අසල වෙරළකට සේන්දු විය. ගොඩ බිමට පැමිණි ඔවුන් එතැන් පටන් ආරක්ෂිත විය.
කෲසෝ නැවත මවුපියන් වෙත ගියාද?
දෙවැනි කොටසින් කියවන්න.
No comments:
Post a Comment