Monday, April 22, 2019

"මුළු රටේම සාතීශය සංවේගය...."







පාස්කුවේ ඉරිදා සොම්නස සොයලා
ක්‍රිස්තූන්ගේම උත්ථානය ගැන හිතලා 
දෙව් මැදුරේදි දෙවි පෙරටුව දණ නවලා
බැතියෙන් පුදන්නට ආවේ පිය මැනලා 

තබලා බෝම්බය කට්ටිය පැන ගන්නේ
දෙවියන් යදින අය ඒකට බිලි වෙන්නේ
කිසිවක් නොදැන ජීවිතයෙන් සමු ගන්නේ
මිනිසුන් මෙහෙමදෝ 'පර' හට සලකන්නේ


තව තැන් කිහිපයක පිපුරුම රැව් දේය
ජීවිත දෙසිය ගණනක් අප හැර යාය
ඒ අය වැරදි කළ බවකුත් දන්නෑය
මිනිසුන් මරා තව කොටසක් සැනසේය

කිසිවක් නොකර, කිසිවක් නොදැන බෝම්බ ප්‍රහාරය ඉදිරියේ ජීවිතය හැර ගිය, තුවාලලත් සැම වෙත මුළු රටේම 
සාතීශය සංවේගය......

Sunday, April 14, 2019

ශ්‍රී දළදා මාළිගාව - මහනුවර

ශ්‍රී දළදා මාළිගාව

බුදු හිමිමියන්ගේ දන්ත ධාතුවයි මහනුවරදි අප වැඳ ගන්නේ
ජීවමාන හිමි වැඩි බව සිතලා නිති බැති ගතියයි වඩවන්නේ
ලෝකේ හැම තැන මෙහෙම දේම නැත ලෝක උරුමයක් දැන ගන්නේ
දොහොත් මුදුන්දී වැඳ පින් ගන්නේ අසිරිය මනසට කැන්දන්නේ 

ශ්‍රී දළදා මාළිගාව පිහිටා ඇත්තේ මහනුවර නගරයේය. මහනුවර යනු  ශ්‍රී  ලාංකීය රාජ වංශයේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ රාජධානියයි. සෙංකඩගල පුරවරය ලෙස  නම් කර ඇත්තේත් මහනුවරමයි. ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් ලාංකීය රාජ වංශයේ අවසන් රජුගේ ධූර කාලය වසර දහහතක් පමණක් වීය.

අපේ රට තුළ පමණක් නොව සමස්ත ලෝකවාසී බොදු දනන්ගේ ගෞරව බහුමානයට පත් මුදුන් මල්කඩක්වූ සෙංකඩගල නුවර පිහිටි ශ්‍රී දළදා මාළිගාව එසේ පූජනීයත්වයට පත්වී ඇත්තේ සම්මා සම්බුදු පියාණන්ගේ වම් දන්ත ධාතූන් වහන්සේ නමක් එහි වැඩ වාසය කරන බැවිනි. එය හුදු විශ්වාසයක් පමණක් නොව සැබෑවකි. 

ක්‍රි. ව .1592 -1604 කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍යය හෙබවූ පළමුවැනි විමලධර්මසූරිය රජතුමන් විසින් මුල්ම වරට ශ්‍රී දළදා මාළිගා ගොඩනැගිල්ල සාදවා පූජා කරන ලදී. 
වත්මනෙහි අප දකින ශ්‍රී දන්ත ධාතු මන්දිරය සාදවා සසුනට පූජා කරන ලද්දේ ක්‍රි. ව .1707 - 1739 කාලය තුළ රාජ්‍යය කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමන් විසිනි.
දළදා මැදුර - පහත මාළය 


දළදා මැදුර - පහත මාළය - උදෑසන තේවාව
පසුකාලීනව ශ්‍රී ලංකාවේ වරින්වර  රාජ්‍යයත්වයට පත්වූ  නායක්කාර වංශික රජුන් බවා ශ්‍රී දන්ත ධාතු මන්දිරය වැඩි දියුණු කොට ආරක්‍ෂා කිරීමට පෙළැඹුනහ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ සංරක්‍ෂණය කැරුනේ කාලිංග දේශයේය. තම පියාණන්වූ ගුහාසීව රජුගේ උපදෙස් පරිදි එම වම් දන්ත ධාතූන් වහන්සේ සැමට හොරෙන් ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ හේමමාලී කුමරිය හා ඇගේ සැමියාවූ දන්ත කුමරුන් විසිනි.
   
 හේමමාලා කුමරිය සහ දන්ත කුමරු සිරිලකට දළදාව වැඩමවීම (දළදා මැදුරේ සිතුවමකි.)
දන්ත ධාතූන් වහන්සේ රැගත් මේ යුවළ ලංකා දේශයට සැපත් වූයේ 'ලංකා පට්ටාන' ලෙසින් එවකදී හැඳින්වූ ස්ථානයෙනි. ඒ සමයේ ශ්‍රී ලංකාවේ රජකම් කළේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුය. හේමමාලී, දන්ත යුවළ ශ්‍රී දන්ත ධාතූන්  වහන්සේ පවරන ලද්දේ එතුමන්ටය.


කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා බුදු පියාණන්ගේ වම් දන්ත ධාතූන් වහන්සේ මහත් ගෞරවයෙන් තැන්පත් කොට තැබුවේ අනුරාධපුර මේඝගිරි (වර්තමාන ඉසුරුමුණිය) විහාරයේය.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව මහ රජුගේ මූලිකම වගකීමක්සේ සැලැකූ නිසා වරින්වර දන්ත ධාතූන් වහන්සේ; අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණැගල යන රාජධානිවල තැන්පත් කරන්නට යෙදුනි.
ගම්පොළ යුගයේදී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබුණේ නියගම්පාය විහාරයේය. සඳෙස් කව්වලට අනුව වරෙකදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබී ඇත්තේ කෝට්ටේ නගරයේය.

දන්ත ධාතූන් වහන්සේ, සොර සතුරු ආක්‍රමණ සමයන්හිදී බේරා ආරක්‍ෂා කොට ගැනීමට ගිහියන් මෙන්ම සංඝයා වහන්සේද මහත් බැතියෙන් කැප කිරීම් කොට ඇත්තාහ.
පසුකාලීනව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ නිත්‍ය විසුම් පෙදෙස වූයේ ඓතිහාසික සෙංගඩගල නුවරයි.
පසුකාලීනව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ නිත්‍ය විසුම් පෙදෙස වූයේ ඓතිහාසික සෙංගඩගල නුවරයි.
දළදා මාළිගය- ඉහළ මාළය - දන්ත  ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ වසා ඇති කුටිය තුළ තැන්පත් කොටඇති  විශේෂ කරඬු සංයුක්තයක් තුළය. 
තිලෝගුරු බුදු හිමියන්ගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති අති පූජනීය දළදා මැදුර ආශ්‍රිතව වසරක් පාසා පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර එදා අද සහ හෙටටත් ශ්‍රී ලංකා වාසීන් පමණක් නොව මුළු ලොවම තම වසඟයට ගත් මහා සංස්කෘතික පෙළහරකි.



  

Thursday, April 11, 2019

අද දවසේ කවිය - 2019/04/12 - හුළං බැස්ස වර්ජනේ

                            අද දවසේ කවිය 
                         හුළං බැස්ස වර්ජනේ

Wednesday, April 10, 2019

අද දවසේ කවිය - 2019/04/11 - සබන් ගෑම සහ සබන් නිසා නෑම

                             අද දවසේ කවිය 
                 සබන් ගෑම සහ සබන් නිසා නෑම.



සුවඳ ගහන්නට ගඳ දුරලන්නට සබන්ය භාවිත කර ගන්නේ
විශ ඇති බීජත් නසා දමන්නට සේදුමක්ය අප ඉල්ලන්නේ
කෝටි ගණන් මුදලුත් වැය කරලා පුරසාරම්දෝ දන්වන්නේ
කියනා කිසිවක් සබන් තුළ නැතැයි දැන්නේ කවුරුත් පවසන්නේ 

සබන් යන ආර්ථික භාණ්ඩය සාමාන්‍ය මහජනතාව තමන්ගේ දෛනික ජීවිතයේදී භාවිත කරන්නකි. සබන් භාවිතය වාණිජ ලෝකයට අනුරූප ලෙසින් දැන් බෙදීම්වලට ලක්වී පවතී. ළදරුවන් මෙන්ම වැඩිහිටියන් සඳහා භාවිතයට සුදුසු වනසේ නොයෙක් ආකාර සබන් වර්ග වෙළෙඳ පොළ තුළ දැකගත හැකිය.
 අද සාකච්ඡාවට භාජනය වන්නේ මේ දෙපාර්ශවයටම අදාළ වන විශබීජ නාශක සබන් වර්ග ගැනය. මෙහිදී පළ වන මතය අදාළ සෑම සබන් වර්ගයකටම පොදු නොවිය හැකිය. ඒ එසේ වුවත් දැනට පවතින තත්ත්වය ගැන අවබෝධයෙන් සිටීම වටී.
විශබීජ නසන බව පවසන සබන්වල පිළිකා කාරක සංඝටක අඩංගු වන බවට මතයක් පළවී තිබේ. ඊට අදාළ වාර්තාද ඇතැම් ස්ථානවල පළවී ඇති අයුරු දැකිය හැකිවී ඇත. ඒ රසායනික වාර්තා ඇත්තක් ලෙස පිළිගත හැකි නම් එම සබන් නිෂ්පාදකයන් කෝටි ගණන් මුදල් වියදම් කරමින් මාධ්‍යවල දැන්වීම් පළ කරමින් මේ කරන්නේ කුමක්ද? ලක්‍ෂ ගණනින් ජනතාව ප්‍රසිද්ධියේම රැවටීම නොවේද?  ඇත්තටම මෙවැනි දෙයක් රටක, ජන සමාජයක දීර්ඝ කාලයක් තිස්සේ විය හැකිද? 

තවත් පැත්තකින් අසන්නට ලැබෙන්නේ එවැනිම විශබීජ නසනවාය කියන තවත් සබන් වර්ගයක, මහද්වීපික භාවිත තහනමක් ප්‍රකාශයට පත් කොට ඇති රසායන ද්‍රව්‍යයක් යොදා ගන්නා බවයි. 
 ඒ රසායන ද්‍රව්‍යයේ සැබෑ භාවිතය වන්නේ සම් පදම් කිරීමය. එහෙත් අපේ රටේ ඒ රසායන ද්‍රව්‍යය විශබීජ නාශක සබන් සඳහා යොදා ගැනෙන බවයි උගත් වෛද්‍ය මතය වී ඇත්තේ. මේ කොයි පැත්තෙන් බැලුවත් ප්‍රශ්නයට මුහුණ පාන්නේ පාරිභෝගික මහජනතාවයි. 



අනෙක් අතට මේ සබන් වර්ගවල රූපවාහිනී  මාධ්‍ය  තුළින් බොහෝ විට දැක ගත හැක්කේ විදේශීය දැන්වීම්ය. සබන් නිෂ්පාදකයා කරන්නේ අදාළ දැන්වීම් සිංහලෙන් හඬ කවා අපේ රටේ මාධ්‍ය හරහා ජනතාව අතරට යැවීමයි. ඇතැම් විට දැන්වීමෙන් අප දකින දේ තුළ ඇත්තක් තිබිය හැකිය. එහෙත් අප රට තුළ ප්‍රචාරය වන අදහස සාවද්‍ය බව දැන් තේරුම් ගත යුතුව ඇත. 
දිනපතා භාවිතයට ගැනෙන සබන් කැටය මොනවගේදැයි පැහැදිලි හැඟීමක් සිතට ගන්නට බැරි අපේ රටේ මෙසේ බැලූ විට තවත් මොන තරම් රැවටීම් ඇතිදැයි සිතා ගන්නට නම් අසීරුය. 


Tuesday, April 9, 2019

අද දවසේ කවිය - 2019/04/10 - සංගීතවේදී එච් එම් ජයවර්ධන නික්ම යයි

                              අද දවසේ කවිය 
         සංගීතවේදී එච්. එම්. ජයවර්ධන නික්ම යයි.


"විහඟ ගීතය - නිහඬ සුසුමක නැවතිලා"
හිත උඩඟු නැති ඔළුව ලොකු නැති කලාකරුවෙක් නික්ම යන්නේ
පැරැණි අය සහ නවක වෙනසක් කියා නැහැනේ ඔහු දකින්නේ
ලොකු කතා නැති නිහඬ චරිතෙකි තනුව සුමියුරු ලෙස මවන්නේ
ඔබට පින් ඇති නිවන් යන්නට දිගු කලක් නෑ සසරෙ ඉන්නේ

සියඹලාන්ඩුව ප්‍රදේශයේ ඉපිද එහිදීම මූලික අධ්‍යාපනය ලද ඔහු පහ වසරේ ශිෂ්‍යත්වයෙන් සමත්වී පස්සර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. ඔහුම කියන ලෙස සංගීතය ගැන මුල්ම ඇල්ම ඇති වුණේ පස්සර පාසැලේදීය. සුබසිංහ ගුරුතුමා ඔහුගේ සංගීත ඇදුරු වූයේය. ඔහුගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වූයේ බටනළාවය. සාමාන්‍ය පෙළ පන්තියෙන් පසු පස්සර  විදුහල් ජීවිතයට ආයුබෝවන් කියන එච්. එම්. නැවත ගමට යන්නේ රැකියා විරහිත තරුණයකු ලෙසිනි. 



ඔහු රැකියාවන් කිහිපයක්ම කළේය. ලියුම් බෙදුවේය. සමුපකාරයක වැඩ කළේය. කුලී වැඩට ගියේය. කාලයක් මැණික් පතලක කටයුතු කළේය. 

අවසානයේ කොළඹ ආවේය. ඒ ආවේද රැකියා ඇබෑර්තුවක් වෙනුවෙනි. ඒ ඇබෑර්තුව තිබුණේ ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට බඳවා ගනු ලබන අනියම් සේවකයන් වෙනුවෙනි. ඒ  උත්සාහයත්  මුල්වර සාර්ථක වූයේ නැත. පසු කාලීනව ආචාර්ය අමරදේව සහ චිත්‍රපටි අධ්‍යක්‍ෂ වසන්ත ඔබේසේකර යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ගුවන් විදුලි වාදක මඬුල්ලට එක් වූයේ අනියම් වාදකයකු හැටියටය. වසර ගණනාවක් ඒ අයුරුම සිටි එච්. එම්. යළිත් සියල්ල අත හැර ගමට ගියේය.     
එහෙත් ඔහුට නැවතත් කොළඹ එන්නටම සිදු විය එය එසේ වන්නට ඇත්තේ සුර සංගීඥයකු අහිමි කර ගන්නට තරම් ලක් මව අවාසනාවත් නොවූ නිසා විය හැකිය.


එච්. එම්. ජයවර්ධන සිය දැඩි කටුක දිවි පෙවෙතින් මිදී තනු නිර්මාපකයකු ලෙස සිය ජීවිත ගමන ආරම්භ කොට තිබිණි. ඔහු සිය ප්‍රථම ගීත ස්වර රචනය සිදු කළේ පසු කාලීනව ඔහුගේ දයාබර බිරිඳවූ මාලිනී බුලත්සිංහල වෙනුවෙනි. එතැන් පටන් නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, අමරදේව, එඞ්වඩි ජයකොඩි, ටී. ඇම්. ජයරත්න ආදී ගායක ගායිකාවන් සහ තවත් බොහෝ අය වෙනුවෙන් ගීත සඳහා ස්වර රචනය කොට ඇත.




ඔහු සරල ගීත සඳහා සංගීතය නිර්මාණය කිරීමට අමතරව චිත්‍රපටි සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙසද කටයුතු කොට ඇත.
මේ කොයි දේටත් වඩා ඔහු හොඳයැයි කිව හැකි වර්ගයේ නිරහංකාර මිනිසෙකි. ඔහුගේ ස්වර නිර්මාණ කාර්යයේදී ප්‍රවීණ සහ නවක කියා වෙනසක් නැත. ප්‍රවීනත්වයට මෙන්ම නවක ගායකයන්ටද එකසේම අරුතක් දනවන මිහිරි තනු නිර්මාණය කොට දෙයි.

එච්. එම්. ජයවර්ධන නම්වූ මේ ප්‍රවීණ සංගීතඥයා දැන් නික්ම ගොසිනි. ගීත ලෝකය තුළ ඉතිරිව පවතින්නේ ඔහුගේ අරුත්බර සහ මියුරු සංගීත පරිකල්පනාවන් පමණි.
 උපන්නොත් මිය යෑම නවත්වන්නට නොහැකිය. ඔහුගේ බිරිඳ අකාලයේ මිය ගොසිනි. උපන් එකම දියණිය මියගියේ රෝගයකට ගොදුරු වීම නිසාය. දැනට ජීවත්ව ඉන්නේ එකම පුත්‍රයා පමණි. ඔහු කසුන් කල්හාර නම්වූ තරුණ ගායකයාය. තනු නිර්මාපකයාය. එහෙත් ඔහුටවත් තම පියාගේ නිර්මාණ හිදැස පුරවන්නට හැකිවේදැයි සැක සහිතය.
එච්. එම්. ජයවර්ධන නම්වූ ඔබට නිවන් සුව පතමු.

(Photographs obtained from the internet.)

Monday, April 8, 2019

අද දවසේ කවිය - 2019/04/09 - නවක වධයද? යම වධයද?

                                අද දවසේ කවිය 
                       නවක වධයද? යම වධයද?

මිනී මරණා නවක වධයට කවුද මේ රට වග කියන්නේ
හොඳින් ඉන්නා දරුවො මරණට කොයි එකාටද බල තියෙන්නේ
සරසවිය තුල මෙහෙම වේ නම් කිමද පාසැල් ගැන කියන්නේ
විනය ඉහළින් පිරිහිලා ඇත කවුද මේවා ගැන බලන්නේ

සරසවි නවක වධය උහුලා දරා ගත නොහැකිව මිය ගිය තවත් තරුණයකු ගැන වාර්තා වන්නේ මේ ඊයේ පෙරේදාය. වාර්තාවල දැක්වෙන ආකාරයට ඔහු සරසවි නවක වධය නිසා මිය ගිය පහළොස්වැනියාය. ඒ අනුව අප අවබෝධ කර ගත යුත්තේ මේ නවක වධය නමැති ක්‍රියාදාමය හේතුවෙන් අතීතයේ සිට මේ වන තෙක් පහළොස් දෙනෙකු මිය ගොස් ඇති බවයි. 
එසේම මේ නවත වධය නමැති විශ්ව විද්‍යලීයය ක්‍රියා පටිපාටිය මෑත අතීතයේ සිට තවමත් පැවතී එන බවයි. නවක වධයේ මූලික අරුත ලෙස එහි නියැලෙන්නවුන් හඳුන්වන්නේ නවක සිසු සිසුවියන්ගේ ඇතැයි සිතන 'ඔළුව ඉදිමුම' බැහැර කොට තමන්ගේ මට්මටට පත් කර ගැනීමයි. එවිට නවක සහ පැරණි සිසුන් එකම ආකාරයට සිතන පතන දෙපිරිසක් බවට පත් කර ගැනීම එහි අරමුණයි. 
එවැනි අරමුණක ඇවැසිතාව කෙසේ වුවත් නවක වධය නමැති ක්‍රියා පටිපාටියට ඒ නම ඒ ආකාරයෙන්ම වැටී ඇත්තේ නිකම්ම නොවේ. දෙටු සිසුවන් නවක සිසුන් වෙත විවිධාකාර වධ බන්ධන සත්‍ය වශයෙන්ම පනවන බැවිනි. මේ තත්ත්වයේ සාමාන්‍ය  පිළිවෙළ ගැන අපේ කතාවක් නැත. මේ කතා කරන්නේ අසාමාන්‍යවූ තිරිසන් තත්ත්වය ගැනය.
මෙවැනි තිරිසන් හැසිරීම්වලින් ඇත්තටම කියා පාන්නේ එසේ හැසිරෙන සිසු සිසුවියන් තුළ ඇති පහත් මානසික මට්ටමයි. කෙනෙකුට දරා ගන්නට නොහැකි තරමේ ශාරීරික හෝ මානසික හෝ පීඩාවක්දී එය විඳිනු බලා සතුටු වන්නට හැකි වන්නේ තමන්ගේ ජීවිතයේදී කවදා හෝ නැති නම් යම් අවධියකදී කඩා වැටීම්වලට ලක්වූ අයයි. එදා තමන් ලැබූ මානසික පීඩාව අද තවත් කෙනෙකුගේ කර පිට පටවා සිතින් සතුට වන්නට තරම් ඔවුන් පහත් මානසික මට්ටමක සිටී.

එසේම ඇතැම් කොටස් හුදෙක් විනෝදය සඳහා පමණක් ඒ කටයුත්තේ යෙදෙයි. එහෙත් තමන් විනෝදවෙද්දී තව කෙනෙකු අධික ලෙස මානසිකව දුක් විඳින බව ඔවුනට අමතකවී යයි.
කවුරු කවදා කොයි ලෙසක යෙදුනත් ක්‍රියාව පහත් නම්  එහි ප්‍රතිඵල භයානක විය හැකිය. ඇතැම් අවස්ථාවලදී මිය යෑමක් ලෙස පිටතට එන්නේ එවැනි භයානක ප්‍රතිඵලය. තමන්ගේ හිතුවක්කාර හැසිරීම් නිසා තරුණ මරණයක් සිදුවූ විට ඒ හා සම්බන්ධ වූවන් ලබන්නේ ම්ලේච්ඡ සතුටක් විය හැකිය. එහෙත් එවැනි කටයතුත්කට සහභාගී වූවන්ගේ මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ටත් විඳ වන්නට සිදු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය.  

Sunday, April 7, 2019

අද දවසේ කවිය - 2019/04/08 - පෑන මේසය මත - කෙටිකතාකරු සිරගෙට

                                  අද දවසේ කවිය 
              පෑන මේසය මත - කෙටිකතාකරු සිරගෙට



කෙටි කතාවක් ලියා හොඳ හැටි මුහුණු පොතටයි ඔහු යොමන්නේ
ඒක කියවා භික්‍ෂු පිරිසක් පොලිසියට පැමිණිලි කරන්නේ
පොලිසියේ නිලධාරි පන්තිය අතට නීතිය අරන් එන්නේ
උසාවියේ තීරණය හින්දා කතු තුමා සිර ගෙට යැවෙන්නේ 

මෑත අතීතයේ එළිදැක්වූ 'බුදුන්ගේ රස්තියාදුව' නම් ග්‍රන්ථය මහත්වූ ආන්දෝලනයකට තුඩු දුන්නේය. ගිහි සහ පැවිදි දෙපක්‍ෂයෙන්ම බලවත් ප්‍රහාර එල්ල විය. අවසානයේ කිසිවක්ම සිදු නොවූ ගණනට උණුසුම මැකී ගියේය. තතු දන්නා අය කියන පරිදි ප්‍රශ්නය ඇත්තේ යොදා තිබූ නමේ පමණි. පොතේ අන්තර්ගතයේ බුදු පියාණන් වහන්සේට නිගරු කොට තිබුණේ නැත.
මේ ඊයේ පෙරේදා තවත් ප්‍රශ්නයක් කරළියට පැමිණ ඇත. ඒ ලේඛකයකු විසින් රචිත කෙටි කතාවක් නිසා බුදුන් වහන්සේට අවමානයක් වෙතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බැවිනි. ඒ පැමිණිල්ල ඉදිරිපත් කොට තිබුණේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් බවයි වාර්තා වන්නේ. අදාළ ලේඛකයා සිය කෙටි කතාව පළ කොට ඇත්තේ මුහුණු පොතේය. 
එසේවී නම් භික්‍ෂූන් වහන්සේලා කෙටි කතාව කියවන්නට ඇත්තේ මුහුණු පොතෙන් විය යුතුය. භික්‍ෂූන්  වහන්සේලා හා මුහුණු පොත අතර ඇති සම්බන්ධය කවරේදැයි යන අතුරු ප්‍රශ්නයත් මෙහිදී මතු නොවනවා නොවේ. ඒ ගැන සිතීම පසුවට කල් තබමු. කෙසේ හෝ මේ පැමිණිල්ල ඉදිරිපත්වීමෙන් පසු ලේඛකයා පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත. තම රචනයෙන් කවර හෝ නිගාවක්වේ නම් තමා ඒ රචනය ඉවත් කර ගන්නා බව කතුවරයා කියා ඇත. භික්‍ෂූන් වහන්සේලා ඒ සඳහා එකඟ වූවත් පොලීසියේ  ස්ථානාධිපතිතුමා ඊට එකඟත්වය පළ කොට නැත. ඒ නිසා මේ සිද්ධිය උසාවිය තෙක් දුර දිග ගොස් ඇති අතර ලේඛකයා සිරබාරයට පත් කොට ඇත. 
තව දුරටත් වාර්තා වන පරිදි ජයතිලක කම්මැල්වීර නම්වූ සාහිත්‍යධරයා පවසා ඇත්තේ මේ කෙටි කතාවේ අන්තර්ගතයේ බුදුන් වහන්සේට නිගා වන අන්දමේ කිසිවක්ම නැති බවයි. 

සාහිත්‍ය කෘතියක අන්තර්ගතය පිළිබඳ කිසියම්ම හෝ සැකයක්, විචිකිච්ඡාවක් ඇති නම් ඒ ගැන විමසිය යුත්තේ සාහිත්‍යය ගැන දන්නා කියනා අයගෙන් වීම කිසිසේත්ම අසාධාරණ කොවන්නේය. ඒ සඳහා යම් ආකාරයක උපදේශක කමිටුවක අවශ්‍යතාව වර්තමානයේ තදින්ම දැනෙයි.
 කෙනෙකු නිර්මාණයක් කරන්නේ දැඩි ශ්‍රමයක් දැරීමෙන් පසුවය. නිර්මාණයේ කොතෙකුත් අඩුපාඩු කම් තිබිය හැකි නමුදු එවැන්නක් කියවූ පමණින් කලබල විය යුතු නැති බව මේ සිදු වීමෙන්ම පැහැදිලි වේ. 



Saturday, April 6, 2019

අද දවසේ කවිය - 2019/04/07 - කලාවට වදින හෙණ

                          අද දවසේ කවිය 
                      කලාවට වදින හෙණ

අගයෙන් පහළට යන නිර්මාණත් සමගින් කලාව පවතින්නේ
කලාවෙ ඉන්නා අය කොයි වගේද කියලා නැහැනේ තේරෙන්නේ
පිටතින් එක එක ස්වරූප තිබුණත් කලාව නම් ළඟ නැති වෙන්නේ
ගත වෙන කාලය හොඳ නැහැ වාගේ  ඒ ගැන හිතන්න සිදු වෙන්නේ

නුදුරු අතීතයේ අප රටේ ප්‍රවීන කලා ශිල්පියකු එක්තරා අවස්ථාවකදී ප්‍රසිද්ධියේ යම් කතාවක් කළේය. ඒ කතාව අතරතුරදී ඔහු උත්සාහ කළේ රටේ පරිණත දේශපාලකයකු අපේ ඉතිහාසයේ කියැවෙන රජ පෙළපතකට සම්බන්ධ කරන්නටය. එය එසේවීද නොවීද යන්න ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඒ අවස්ථානුකූලව එය කිසි ආකාරයක සම්බන්ධයක් නැති අනවශ්‍ය ගණයට වැටෙන කතාවකි. එයින් පළ වූයේ ඔහුගේ දේශපාලන දෘෂ්ටියම වූවත් ඊටත් වඩා අගතියකට ගිය වගක් එයින් ඒ කතාවෙන් ප්‍රකාශවූ බව ඇත්තකි. එසේ වූයේ ඇයිදැයි සිතා ගැනීම අසීරු නැත. එම කලා ශිල්පියා තමා කලාවෙන් ලද ප්‍රසිද්ධිය යම්තාක් දුරකට තමන් විසින්ම දේශපාලනීකරණය කර ගෙන සිටි නිසාය.
මෑත කාලයේදී තවත් ප්‍රසිද්ධ ගායකයකු ගැන අසන්නට ලැබෙන්නේ අමිහිරි පුවතකි. යම් මත්ද්‍රව්‍යයක් භාවිතයෙන් ඇතිවූ සිදුවීම් දාමයක් නිසා ඔහු කෙටි කාලීනව හෝ තමන් සතුවූ නොමඳ ජනප්‍රියත්වයට හානියක් කර ගත්තේය.
ඊළඟ පුවත අදාළ වන්නේත් ගායකයකුටය. ඔහු ගායකයකු පමණක් නොවේ. රටක් පිළිගත් ප්‍රවීන සංගීතවේදියෙකි. ඔහු  කිසියම් ප්‍රබල දේශපාලන පක්‍ෂයක යම් ආසනයක සංවිධායක ධූරයක් ලබා ගත්තේය. දේශපාලනය යනු  ඕනෑම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට අදාළ කරුණක් වුවත් කලාකරුවකු දේශපාලනයට පිවිසීමෙන් බොහෝ විට සිදු වන්නේ ඔහු කලාවට අහිමි වීමයි.
ආසන්නතම පුවතට ඇතුළත් වන්නේ ගායකයන් දෙපළක් හා නළුවකු විදේශයක පැවැත්වෙන සාදයකට සහභාගී වීම පිළිබඳ තොරතුරුයි. ඒ සාදයේ කැඳවුම්කරු වී ඇත්තේ සාමාන්‍යයෙන් සමාජයක් බැහැර කරන වර්ගයේ ව්‍යාපාරයක් සහ වෙනත් බොහෝ දෑ කරන තවත් ශ්‍රී ලාංකිකයකුයි. එසේ සාදයට සහභාගී වීමට ගිය මේ කලාකරුවන් තිදෙනාම අදාළ විදේශ රටට ගොස් ඇත්තේ තමන් සහභාගී වන සාදයේ ප්‍රධාන කැඳවුම්කරු පිළිබඳ හොඳ හැටි දැන ගැනීමෙන් පසුවයි.
සැබෑ කලාකරුවකුට එවැනි දෙයක් කළ හැකිද? 

මීට අමතරව විදෙස් රටකදී හොරකමේ ගිය නිළියන් මෙන්ම මත්ද්‍රව්‍ය සමග පොලීසියට අසුවූ නිළියන්ද ඇති වී  ඇති මේ අවාසනාවන්ත තත්ත්වයේ කොටස්කාරියන්ය.
කලාව රැකෙන්නේ ඒ සඳහා ඇපකැපවී සිටින ශිල්පීන් ශිල්පිනියන් නිසාය තම තමන්ගේ  පෞද්ගලිකත්වය අනුව කටයුතු කිරීමේ අයිතිය ඔවුන්ටද හිමි වන්නේ ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් නිසාය එහෙත් කලාවේ නාමයෙන් සැබෑ කැපවීම් කරන හැම දෙනාම රටටත් අයිතිය ඒ නිසා ඔවුන්ගේ  හැසිරීම් සහ කටයුතු පිළිබඳව සාමාන්‍ය ජනතාව උනන්දු වීමේ වරදක් දැකිය නොහැකිය
ඒ නිසා කුමන කලා මාධ්‍යයකට හෝ ඇතුළු වන අයෙකු ඒ වෙනුවෙන් කැපවීමේදී එසේ කළ යුත්තේ ජනතාව රැවටීමට නොව සැබෑවටම ජනතාව පිනවීමේ අරමුණෙනි. ඒ නිසා කලාකරුවා තමන්ට ඇති පෞද්ගලිකත්වය ගැන පුළුල් ලෙස අවබෝධ කොට ගෙන සිටීමෙන් තමාත් කලාවත් ආරක්‍ෂා වන දත යුතුය.


Friday, April 5, 2019

අද දවසේ කවිය - 2019/04/06 - 'ප' යන්නේ භාවිතය

                             අද දවසේ කවිය 
                           'ප' යන්නේ භාවිතය.

හෝඩියේ ඇති 'ප' යන්නට දැන් අලුත් ඉස්තානෙකි ලැබෙන්නේ
මහා ඇමතින් ප්‍රභූ උදවිය 'ප' යන්නම දිව අගට ගන්නේ
අසැබි වචනද නොනිසි තාලෙන් තැන නොතැන නොබලා කියන්නේ
එහෙම කවුරුද දුන්නේ අවසර අපම නේදෝ බිය දැනෙන්නේ 

භාෂාවක හෝඩියක් කියා දෙයක් ඇත්තේ මූලික වශයෙන්ම අදාළ සියලු අකුරු හඳුන්වා දීමටය. පසුකාලීනව ඒ අකුරු එකතු කොට අවශ්‍ය වචන සාදා ගන්නට උගන්නේ ඇවැසි විට කතා කරන්නටය. ලියන්නටය. කියවන්නටය. 
භාවිතයේ වචන කොතෙක් තිබිය හැකි වුවත් සාමාන්‍ය ශිෂ්ටයැයි සම්මත ව්‍යවහාරයේදී ඒ සියලුම වචන භාවිත කරන්නේ නැත. වචන භාවිතයේදී කතා කරන්නේ කුමක්ද, කා සමගද, කවර වටාපිටාවක් ඇතිද ආදී සියලු කරුණු ඒ කතා කරන උදවිය දැන සිටීම අනිවාර්ය වේ.

එසේ නොදැන රටක පාර්ලිමේන්තුව වැනි උසස්ම ආයතනයක් තුළ විශාල පිරිසක් ඉදිරිපිට 'ප' යන්න ඉදිරියට දමා අසැබියැයි සම්මත වචන භාවිත කිරීමෙන් පළ වන්නේ ඒ ඒ අයගේ කවර ගතිගුණාංගදැයි සිතා ගත හැකිය. එහෙත් සටහන් කළ යුතු මට්ටමේ නැත. එවැනි වචන නැතිව කතා කරන්නට නොහැකිදැයි අප තුළ ප්‍රශ්නයක් මතු වන්නේ නිරායාසයෙනි 
අප පාර්ලිමේන්තුව ගැන දන්නේ රටේ ඇති උත්තරීතර ආයතනය ලෙසිනි. එසේම එහි සිටින අය කරන්නේ ජනතාවගේ පරමාධිපත්වය රැක ගැනීමය.

රටක අසම්මත අසැබි වදන්වලින් තවත් අයෙකු අමතා කරන උදවිය ඇති පාර්ලිමේන්තුවක් කෙසේ හැඳින්විය යුතුදැයි ඇත්තටම ප්‍රශ්නයක් ඇත.

තවත් අවසථාවක එම පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ උතුමකුගෙන් අසන්නට  ලැබුණේ තවත් 'ප' යන්න ඉදිරියට දමා කරන බැණුමක් භික්ක්‍ෂුවක් වෙත එල්ල කිරීමය. මේ තත්ත්වය ඇති  වූයේ දුරකථන සංවාදයක් හරහාය. ඒ නිසා තමන් පුද්ගලයා නුදුටු බවත් කතා කළ පුද්ගලයා තමන් කවුදැයි හඳුන්වා නුදුන් බවත් ඒ නිසා තමන් එසේ කළ බවත් අදාළ ජ්‍යෙෂ්ඪ උතුමානෝ පසු අවස්ථාවක කීහ.
 හොඳයි. අපි ඒ විදිහටත් සිතමු. එයින් ගම්‍ය වන්නේ කුමක්ද? පුද්ගලයා කවුරු වූවත් තමාගේ  ඇමතීමේ වෙනසක් විය නොහැකි බවය.

රටේ සාමාන්‍ය මහජනතාව කාලයක් බලා සිට මැතිවරණයකට මුහුණදී නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කොට යවන්නේ එහි යන්නන්ගෙන් නුසුදුසු දේ ප්‍රසිද්ධියේම අසන්නට නොවන බව අවබෝධ කොට ගෙන සිටීම වැදගත්ය.  

නිසි දේ නිසි තැන වටපිට බලා කතා කිරීමේ දැන උගත්කම ලබන්නට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය යුතු නැත. එවැනි හැඟීමක් මිනිසුනට ලැබෙන්නේ තමන් විසින්ම සමාජය ඇසුරු කිරීමෙන් ලබන සාමාන්‍ය දැනීම තුළිනි. අවම වශයෙන් එවැනි හැඟීමක්වත් නැති උදවිය රටක් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් තුළට යවන්නට ඉක්මන්වී ඇත්තේ අපමය. ඒ නිසා අනුන් ගැන සිතන්නට පෙර තමන්ගේ දැනීම් මට්ටම ගැන සොයා බලා ඇගැයීමක් ලැබුම දැන්වත් කළ යුතුය. 
   

Thursday, April 4, 2019

අද දවසේ කවිය - 2019/04/05 - බස් ගාස්තු ඉහළට?

                              අද දවසේ කවිය 
                            බස් ගාස්තු ඉහළට? 
සූත්තරයේ විලස ඉන්ධන මිලත් ඉහළට යන්න හදනා
ලබන දහයෙදි එහෙම වූවොත් ගාස්තුව බස් ඉහළ නගිනා
දහස් ගණනින් ගමට යන්නේ නිවාඩුව ගත කරනු සොඳිනා
වැඩි කළෝතින් ගාස්තුව බස් පාවිනේබල නරක ලෙසිනා   

එළැඹෙන අප්‍රේල් දහවැනිදා මිල සූත්‍රයට අනුගත සම්ප්‍රදාය ලෙසින් ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ අවකාශ ඇති බව කියැවේ. එය එසේ වුවහොත් අප්‍රේල් මස එකොළොස්වැනිදා සිට පෞද්ගලික බස් ගාස්තුද යම් ප්‍රතිශතයකින් ඉහළ දමන බවද කියැවේ. එසේ වුවහොත් අවුරුදු නිවාඩුවට ගම් බලා යන විශාල මඟී ප්‍රමාණයකට එක වරම විශාල අපහසුතාවකට  මුහුණ දෙන්නට ඇති වන බව පෙනී යයි. කිසියම් සම්මත කර ගත් ක්‍රමයකට අනුව සෑම මාසයකම දහවැනිදා මෙසේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලැබේ.  එහෙත් මේ දහවැනිදා එලැඹෙන්නේ ජාතික උත්සවයකට අත වනා ගෙනය.   



ඒ උත්සවය තම ගෙදරදොර උදවිය විවේකීව ගත් කරන්නට ගම්වල  සිට නගරයට පැමිණි අතිමහත් ජනතාව ගම්  බිම් බලා යන්නට පිටත් වෙති. බස් ගාස්තුව වැඩි  වුවහොත් විශේෂයෙන්ම එවැනි අය එකවරටම වාගේ මුහුණ දෙන්නේ අපහසුතාවයකටය.
 ගාස්තුව කීය වුවත් ගෙවා ගමේ යනු මිස කිසිවකු නගරයේ නොරැඳෙනු ඇත. එය වෙනමම කතාවකි. අඩු වශයෙන් අලුත් අවුරුදු ගැනවත් සලකා දෙපැත්තටම පහසුවෙන්  ග්‍රහනය කළ හැකි විධි ක්‍රමයක් මේ සඳහා යෙදැවේ නම් යහපත්ය. 
  

Wednesday, April 3, 2019

අද දවසේ කවිය - 2019/04/04 - මිලියන ගණනක වංචාවට දඬුවමක්

                           අද දවසේ කවිය 
            මිලියන ගණනක වංචාවට දඬුවමක්.


මිලියන ගණනක වංචාවක් ගැන කැළණිය පැත්තෙන් රැව් දෙන්නේ
ජලයට පෙම් බැඳි මණ්ඩලයක සිට වංචාවකටයි බර වෙන්නේ
මුදල් සොයන්නට ඉක්මන්වූ ඔහු රැකියාවත් පාවා දෙන්නේ
නීතිය ඉස්මතුවී ඇත්තේ එහි ඔහු හට දඬුවම් හිමි වන්නේ 

ජාතික මණ්ඩලයක ගණකාධිකාරිවරයකු චෙක්පත් අව භාවිතයෙන් රුපියල් මිලියන දොළහක මුදල්  වංචා කොට ඇති බව වාර්තා වේ. ඒ වංචාවත්, ඔහුගේ වංචා සහගත බවත් තහවුරු වීම නිසා මහාධිකරණයෙන් ඔහුට ලැබී ඇත්තේ දැඩි තීන්දුවකි. 
විත්තිකරුට මූලික වශයෙන් ලබා දී ඇති දඬුවම වසර තිස්හතක සිර දඬුවමකි. එයද බරපතළ වැඩ ඇතිවය.

ඔහුට නියම කොට ඇති දඩ මුදල රුපියල් ලක්‍ෂ හතළිහකි. රුපියල් ලක්‍ෂ එකසිය තිහක වන්දියක්ද ඔහු විසින් අදාළ ජාතික මණ්ඩලයට ගෙවිය යුතුය. එම දඩ සහ වන්දි මුදල් ගෙවීමට අසමත් වන්නේ නම් වසර විසිතුනක බරපතළ වැඩ ඇතිව අමතර සිර දඬවමක්ද නියම කොට ඇත්තේය. 

මේ විත්තිකරු මෙවැනි වංචා සහගත කටයුතු කෙරෙහි ආධුනිකයකු නොවන බවද හෙළිවී ඇත.  හොර අත්සන් යෙදීම, සිය අත්අකුරුම යොදා ගෙන චෙක්පත් සකසා ගැනීම වැනි ව්‍යාජ දේ සඳහා ඔහුට හොඳ හුරුවක් ඇති බව පෙනේ. මෙවැනි වංචාවකට මැදිවී  කටයුතු කළ කෙනෙකුට ලබාදී අධිකරණ විනිශ්චය යුක්ති සහගතයැයි විශ්වාස කළ හැකිය. 

ප්‍රශ්නය ඇත්තේ අධිකරණයේවත් නඩු තීන්දුවේවත් නොවේ.  ප්‍රශ්නය ඇත්තේ රටේ සිදුවී ඇති අනෙක් සුප්‍රසිද්ධ හොරාකෑම්  ගැන නඩු ඉදිරිපත්  නොවීම බව පෙනේ. නඩු පැවරීමට අදාළ පුද්ගලයන් සහ සනාථ කළ හැකි සාක්‍ෂි අවශ්‍යය. මේ කිසිවක් නිසි ලෙස සම්පාදනය නොවීම හේතුවෙන් දැනටත් රටවැසියන් හොඳින් දන්නා හඳුනන බොහෝ සොරකම් වෙනුවෙන් නඩු පැවරී නැති බව පෙනේ.
 ඊට හේතුව වී ඇත්තේ කවර ආකාරයක කරුණක් හෝ කරුණු හෝද යන්න පැහැදිලි නැත. කෙසේ හෝ මිලියන ගණනින් නොව බිලියන ගණන්වලින් සොරකම් සිදුවී ඇතැයි නොදන්නේ ඊයේ රැයේ ඉපැදුණු බිළිඳුන් පමණක් විය හැකිය. එහෙත් ඒ අය වෙනුවෙන් අධිකරණයකට දඬුවම් දෙන්නට තරම් නිසි වාතාවරණයක් තවමත් රට තුළ සකස්වී නැත. සකස් වන බවක්ද පෙනෙන්නට නැත.

Tuesday, April 2, 2019

අද දවසේ කවිය - 2019/04/03 - නීතියේ ගුටිබැට

                           අද දවසේ කවිය 
                          නීතියේ ගුටිබැට



උගෙන නීතිය, රකින නීතිය උසාවිය සිය දෙවොල වන්නේ
නීතිවේදින් පාටියට විත් සටන් කරනට ලොල් වඩන්නේ
බෝතලය ගෙන එයත් කඩලා පහර දෙන්නට තැත් කරන්නේ
ගැටුම් ඇති කොට ගුටිත් කාලා පොලිසියට පැමිණිලි කරන්නේ


නීතිවේදීන් සාමාන්‍යයෙන් සටනට පැටලෙන අයය.  එහෙත් ඒ සටන ඔවුන් කරන්නේ තමන්ගේ වෘත්තියට අදාළවය. ඒ නිසා ඒ සටනේ ඇති අමුත්තක්වත් ප්‍රශ්නයක්වත් නැත. 
නීතිවේදින්ද මිනිසුන්ය. ඒ නිසා ඇතැම් විට සාමාන්‍ය ජීවිතයේත් කලාතුරකින් සටන් ඇති වන්නට ශක්‍යතාවක් පවති.
එහෙත් මේ කියන්නට යන සටන නම් පැහැදිලිව වෙනස් කමක් දක්වන සටනකි. 

විවිධ දිසාවලින් කොළඹ හෝටලයකට එදා නීතිවේදීන් ආවේ සතුට විඳගන්නට හැකි සාදයකට සහභාගී වන්නටය.

එහෙත් ඒ තත්ත්වය වෙනස් වන්නටවූයේ සාදයට පැමිණි නීතිවේදිනියකට පැමිණ සිටි නීතිවේදියකු අසභ්‍ය වචනයෙන් බැන වදින්නටවූ නිසාය. ඊට හේතුව කවරේදැයි පැහැදිලි නැතත් ප්‍රශ්නයේ මුල එසේ විය. ඊට එරෙහිව තවත් නීතිවේදීන් සටන් වැදුණු නිසා තත්ත්ව ගුටිබැට හුවමාරුවක් දක්වා දුර දිග ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසින් නීතිවේදීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. අවසානයේ කොටුව පොලීසියේ පැමිණිලිද දමා ඇත.


නීතිවේදීන්ගේ වෘත්තිය ජීවිතය හා පෞද්ගලික ජීවිතයේ වෙනස්කම් තිබීම සාමාන්‍ය දෙයක් විය හැකිය. එහෙත් රටක පිළිගත් වෘත්තිමය ජීවිතයකට උරුම කම් කියන මේ උදවිය මෙවැනි ලෙසකින් හැසිරෙන්නට යෑම ඔවුන්ද සමාජයේ පිලිකුලට භාජනය වන්නට හේතුවක් නොවිය නොහැකිය. 

‘අපි ගහගත්තා අපිට තුවාලත් වුණා. අනේ රාළහාමි පැමිණිල්ල ලියා ගන්න.’ යැයි ඔවුන් පොලීසියකට ගොස් කියන්නේ කෙලෙසද? අනෙක් අතට වාර්තා වන ආකාරයට මේ ඇතිවූ ප්‍රශ්නයේ කෙළවරක ඉන්නේද කාන්තාවකි. එය එසේ නම් මේ උගත් නීතිවේදීන් ගුටිබැට ඇන ගෙන ඇත්තේ කාන්තාවක නිසා නොවේද?

 මෙවැනි තත්ත්වයක් කෙසේ යහපත් වේද? 









Monday, April 1, 2019

අද දවසේ කවිය - 2019/04/02 - චීවරයක් දැරූ දූෂකයා

                                                            අද දවසේ කවිය  
                         චීවරයක් දැරූ දූෂකයා



ගාල්ල පැත්තෙන් ඇහෙනා පුවතින් කලකිරීමකුයි ඇති වන්නේ 
චීවර දාගෙන ඉන්න උතුමන් මේ විලසින්දෝ හැසිරෙන්නේ
පන්සල් බිම තුළ ඇති ඒ සුවඳට විස දුම මුසු කොට හිනැහෙන්නේ
ශාසනයේ මේ අය ඉන්නා බව මහ සඟ නැතිවද දැන ගන්නේ 


මේ ඇසෙන පුවතත් ලේසියට පාසුවට ගතයුතු නැත. එය ඇත්තෙන්ම භයානක තත්ත්වයකි. පන්සලක ඉන්න චීවරධාරියකු වසර තුනක් තිස්සේ දස වියැති දැරියක දිගටම ලිංගික අතවරයට ලක් කළ බව මේ පුවත දැන් සනාථ කොට සිටී.  මේ දැරිය මේ වසරේ පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතය.




තමන්ට සිදු වන ලිංගික අතවරය ගැන මේ දියණිය පන්තිබාර ගුරුතුමිය දැනුවත් කොට ඇත. ගුරුතුමිය ඒ බව විදුහල්පතිවරයාට කියා ඇත. අදාළ ආරක්‍ෂක අංශවලට පැමිණිලි කොට ඇත්තේ විදුහල්පතිතුමන් විසිනි.




මෙම දැරිය පන්සලට යන අවස්ථාවලදීත් දහම් පාසැල පැවෙත්වන දිනවලදීත් කාලයක් තිස්සේ මේ චීවරධාරියා සිය අපයෝජන කටයුත්ත දිගටම සිදු  කොට ඇත. අවුරුදු තුනක වැනි කාලයක් පුරාවට මෙවැනි දෙයක් සිදු වෙද්දී ඒ ගැන කිසි නිසි අවධානයක් යොමු නොවීම ගැන නම් ප්‍රශ්නයක් ඇත. ඒ කෙසේ වුවත් මේ නරුම කටයුත්ත පිළිබඳව දැන්වත්  සොයා බලා කටයුතු කරන්නට සිදු වීම නම් අගය කළ යුතුය.

මේ පුවතේ තවත් පැත්තක් ඇත. ඒ පැත්තේ සිටින්නේ ප්‍රදේශයේ දේශපාලනඥයෙකි. එසේම එම පළාතේම ජනප්‍රිය වෙනත් පාසැලක විදුහල්පතිනියකි. ඔවුන් මේ සිදු වීමට මැදහත් වන්නේ කෙසේද? 
මේ අය අර අසරණ දැරියගේ දෙමාපියන්ට බලපෑම් කර ඇත්තේ සිදු වන නරුම ක්‍රියාව ගැන නීතියෙන් කටයුතු නොකර සිටින්නේ නම් ඒ පවුලට මුදල් මෙන්ම තෑගි බෝගද ලබා දෙන බව කියමිනි. 

අර චීවරධාරියායැයි කියා ගන්නා පුද්ගලයාගේ නරුම ක්‍රියාකලාපය අගය කරන්නට, ඒ තත්ත්වය හොඳයැයි අනුමත කරන්නට සමාජය විසින් පිළිගත් පිරිසක් ඉදිරිපත්වීම කියාපාන්නේ වත්මන් සමාජය තුළ සිටින වැරදි අගය කරන්නන්ගේ ගණන වැඩි බව නොවේද? 
අපට ජීවත් වන්නට සිදුවී ඇත්තේ  කුමන ආකාරයක සමාජයකදැයි යළි යළිත් සිතා බලන්නට වීම අපේ අවාසනාවකි.

(Photos do not belong to the same story. They are from the internet.)