Thursday, April 28, 2022

3 වසර - සිංහල - දොළොස්වැනි පාඩම

දුප්පත් දරුවා හා කුසගින්න


 දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණි මා මගේ ගුවන් ගමන නිමා කළේ බොම්බායේ ගුවන් තොටුපළිනි. එතැනින් කුලී රථයකට ගොඩ වූ මා රියැදුරුට දන්වා සිටියේ බොම්බායේ දකුණු දිග ඇති මගේ ගමනාන්තයට මා රැගෙන යන ලෙසයි.

හොඳින් හිරු එළිය ඇති දවසේ දිවා කාලයේ නගරයේ දැකිය හැකි වූයේ ජනතාව හා වාහන තදබදය ඇති වීදියි. අපේ ගමන මඳ වේලාවකට නතර වූයේ මං සන්ධියක ඇති ආලෝක සංඥා පුවරුවේ රතු පැහැය දකින්නට හැකි වූ නිසයි.

නතර වී ඇති වාහනයේ සිට අවට බලමින් සිටි මගේ දෙනෙත් එකවර ම මෙන් නතර වූයේ පෙනුමෙන් ම දුප්පත් බව ඇඟවෙන දරුවකු වෙතයි. ඔහුගේ ස්වභාවය හැඳ සිටි ස්වරූපය ආදී හැම පැත්තකින් ම මා හට සනාථ වූයේ ඔහු දුප්පත් දරුවකු බවයි. ඔහුගේ වයස අවුරුදු දොළහක් පමණවීයැයි මම අනුමාන කළෙමි. 

තම සාක්කුවෙන් පිටතට ගත් පාන් කැබැල්ලකින් කොටසක් වෙන් කොට ගෙන භුක්ති විඳිනු මම බලා සිටියෙමි. 

තම අතේ ඉතිරිව ඇති පාන් කැබැල්ලෙන් තවත් කොටසක් කඩා ගන්නට මුවට ළං කළ ඔහු මොහොතක් නතර වුයේ තමා සිටි දිශාවට එමින් සිටි බල්ලකු දුටු නිසා ය. දඩාවතේ හැසිරෙන බල්ලකුයැයි සිතිය හැකි  ඒ සතා දරුවා දෙසට ආවේ වලිගය වනමින් හිතවත්කමක් පාමිනි.

බල්ලා දරුවා දෙස බලා කළ ආයාචනය හඳුනා ගත් නිසාදෝ දරුවා මඟ අයිනේ වාඩිවී තමන් අත ඇති පාන් කැබැල්ල බල්ලා දෙසට දැම්මේ තමාගේ කුසගින්න අමතක කළ නිසාදැයි මට සිතිනි. 

පාන් කැබැල්ල මුවින් ඩැහැගත් බල්ලා තමා වෙතින් මෑත්වී ඉවතට යනු දරුවා බලා සිටියේ ය. ඉවතට ගිය බල්ලා දරුවා වෙතින් ලද පාන් කැබැල්ල ආහාරයට ගනු දරුවා බලා සිටිනු මම දුටුවෙමි.

මගේ හදවත කම්පාවට පත් වූයේ මේ මුළු සිදුවීම මා දුටු හෙයිනි. තම ආහාරය සඳහා තමා සතුව තිබූ දේ තවත් අසරණයකුගේ කුසගින්න වෙනුවෙන් කැප කිරීම කොතරම් අගනේදැයි මම කල්පනා කළෙමි. 

ඒ දරුවා හමුවී කතා කළ යුතුයැයි මම සිතුවෙමි. වාහනයේ දොර හැර ගෙන පිටතට යන්නට උත්සාහ කළත් එයින් පළක් නොවූයේ කොළ සංඥාව ලැබීම නිසා රියැදුරා වාහනය පැදවීමට යළිත් පටන් ගත් නිසා ය.

නවාතැනට ගියත් මට ඒ අපූරු එසේ ම සිත සසල කරන තරම් වූ දසුන අමතක කළ නොහැකි තරම් විය. මට කොතෙකුත් සිතුනේ මට ඒ දරුවා මුණ නොගැසීම නොකළ යුතු වූ බවයි.

ඒ දරුවා අත රැඳුනේ ඒ පාන් කැබැල්ල ම පමණක් විය හැකියි. එහෙත් බල්ලාගේ කුසගින්න තමාගේ කුසගින්නට වඩා වැදගත් වූ බව දරුවා එවේලෙහි කල්පනාවට ගත් බව පැහැදිලි ය.

තමාත් බල්ලාත් යන දෙදෙනා ම කුසගින්නේ සිටියත් තම කුසගින්නට වඩා අසරණ සතාගේ කුසගින්න ගැන සිතීම වඩාත් වැදගත් බව දරුවා සිතන්නට ඇත. 

ඒ දරුවා සමග වචනයක්වත් කතා නොකළත් ඔහු මගේ ජීවිතයට ම අමතක නොවන ආකාරයේ පාඩමක් ඉගැන්වූ බවක් මම සිතමි. 

මා නොහඳුනන මේ ‘කුඩා ගුරුවරයා’ මට කියා දුන්නේ ආදරයත්, සතුටත් බෙදාහදාගත යුතු බවයි.

මේ ලෝකය ජීවත් වීමට සුදුසු සිත්කළු තැනක් බවට මට නැවත් නැවතත් පසක් කොට දුන් ඒ කුඩා මිතුරාට මගේ ප්‍රණාමය!


වෛද්‍ය ඩෙරික් ඇන්හෙල්ස්, ඉන්දියාව.

Wednesday, April 13, 2022

ඔබ දන්නවා ද බිම්මල් කතාකරන බව?


         බිම්මල් අයිති වෙන්නේ “දිලීර” නම් වර්ගයටයි. සාමාන්‍යයෙන් අප “පුස් බැඳෙනවා” කියන්නේ කිසියම් ස්ථානයක් මත දිලීර වර්ධනය වීමක් දැකිය හැකි වූ විටයි.


පුස් ගැන අප තුළ ඇත්තේ අප්‍රසන්න හැඟීමක් වුවත් බිම්මල් කියන්නේ වර්තමානයේ සුපිරි වෙළඳ සැල්වල පවා දැකිය හැකි ආහාරයක්. හැම බිම්මල් වර්ගයක් ම ආහාරය සඳහා නොගන්නා බව දැනගත යුතුයි.  


මේ සටහ  සකස් වන්නේ බිම්මල් සම්බන්ධයෙන් කොට ඇති නවතම සොයා ගැනීමක් ගැන ඔබවත් දැනුම්වත් කරන්නටයි.


බිම්මල් එකිනෙක හා කතා කරන බව - යම් තොරතුරු හුවාමරු කර ගන්නා බව - තව දුරටත් කියනවා නම් සන්නිවේදන කටයුතු සිදු කරන බව දැන් විද්‍යාඥයන් සොයා ගෙන අවසන්. 

මේ සන්නිවේදන කටයුතු සිදු කරනු ලබන ‘භාෂාවට’ වචන පණහක් පමණ ඇති බවත් නිරාවරණය කොට ගෙන තියෙනවා.  අප ‘වචන’ ලෙසින් හැඳින්වූවාට මිනිසුන් භාවිත කරන වචනවලට සමාන කරන්නට නම් බැහැ.

මෙහිදී සිදු වන්නේ යම් ආකාරයක විද්යුතයක් භාවිතයෙන් සියුම් ජාලයක් අතරින් අදාළ අවශ්‍යතාව සන්නිවේදනය වීමයි. මෙහිදී මූලික වන ‘පණිවිඩ ගෙන යන’ සියුම් ජාලය හඳුන්වන්නේ “මයිසීලියම් ජාලය” ලෙසින්.

මයිසීලියම් ජාලය අදාළ දිලීර මුල් සියල්ල එකිනෙකට සම්බන්ධ කරන විසිරී පවත්නා ව්‍යුහයක්. මෙම මයිසීලියම් ව්‍යූහය ජලය සහ ශාක පෝෂණ ද්‍රව්‍ය විශාල වශයෙන් උරා ගන්නවා. එසේ ම අදාළ ශාක පද්ධති සඳහා      අවශ්‍ය මූල ද්‍රව්‍යයනුත් පසෙන් උරා ගන්නවා. විශේෂයෙන් ම පොස්පරස්, මැන්ගනීස් සහ කොපර් (තඹ) එයින් ප්‍රධාන තැනක් ගන්නවා.  

  

මයිසීලියම් ජාලය තවත් සියුම් ‘දිලීරක මූල‘ ලෙසින් හඳුන්වන කොටස් හා සම්බන්ධයි. මේ දිලීරක මූලවලට විවිධ කුලවල දිලීරයන් එකිනෙක හා සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ දිලිරක මූල විවිධ දිලීර අතර සන්නිවේදන සම්බන්ධය රැක ගනිමින් දිලීරවල විවිධ පෝෂණ අවශ්‍යතා සපයා ගැනීමට ඒ දිලීරවලට උපකාර වෙනවා. 

මයිසීලියම් ජාලයට අසාමාන්‍ය ලෙසට ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා. දිලීර වර්ධනයේ අවශ්‍යතාව අනුව කිලෝමිටර විශාල ප්‍රමාණයක දිගක් කුඩා ඉඩකඩක් තුළ වුවත් පැවතිය හැකියි. 

සොයා ගෙන ඇති තොරතුරවලට අනුව පස්  කිලෝග්‍රෑමයක පැතිර පවත්නා දිලීර සූත්‍රකාවල දිග කිලෝමීටර දෙසියයක් වෙනවා.  

(අන්තර්ජාලයේ විදු තොරතුරු ඇසුරෙනි.)


Tuesday, April 5, 2022

3 වසර - සිංහල - එකොළොස්වැනි පාඩම - “රජතුමාගේ ඔටුන්න”

                


                 



                 


                

                     


                      


  •              
                            

                          
                      



                     පාඩම හොඳින් කියවා තේරුම් ගන්න. නොතේරෙන යම් තැනක් ඇති නම් ඒ ප්‍රශ්නය අපට යොමු කරන්න. “ප්‍රස්තාව පිරුළු” ගැන තව දුරටත් තොරතුරු මේ පාඩමට අදාළ වැඩ පොතේ අභ්‍යාසයට ඇතුළත් කරන්නට අප සූදානම්. 
ඉදිරි දින කිහිපයේදී ඒ පාඩමත් බලාපොරොත්තු වන්න. 
ස්තූතියි.