Wednesday, July 6, 2022

3 ශ්‍රේණිය - සිංහල - ප්‍රශ්න පත්‍රය

කවුද හරි?

 

මේ සිදු වීමට මා මුහුණ දෙන්නේ මා මූලික පාසලේ ඉගෙන ගන්නා කාලයේදීයි. මගේ ම පන්තියේ සමාජිකයකු සමග මා තදබල ලෙස විවාදයකට පැටලීමයි, ඒ. විවාදයට මුල් වූ කරුණ පිළිබඳ මා තුළ දැන් නිසි මතකයක් නැතත් එදා මා උගත් පාඩම නම් මගේ ජීවිතයේ කෙදිනවත් අමතක නොවන්නක්.

මා හා පන්ති සාමාජිකයා අතර විවාදයේදී මා කියා සිටියේ සහ මා තේරුම් ගෙන සිටියේ ඇති වූ තර්කය සම්බන්ධයෙන් මා නිවැරදි බව සහ ඔහු වැරදි බව ය. එසේ ම ඔහු කියා සිටියේ ඇති වූ තර්කයේදී ඔහු නිවැරදි බව හා මා වැරදි බව ය.

මේ විවාදය පිළිබඳ තේරුම් ගත් ගුරුතුමිය අපට යම් පාඩමක් කියා දෙන්නට උත්සාහ ගත් බවක් පෙනෙන්නට තිබිණි.

ඇය, විවාදයට සම්බන්ධවී සිටින මාත් මගේ පන්ති සාමාජිකයාත් පන්තිය ඉදිරියට කැඳවූවා ය. එසේ ම ඩෙස්කුවක් දෙපස අප දෙදෙනා වෙන ම ම රැඳ වූවා ය. මා ඩෙස්කුව එක පසෙක ය. පන්ති සාමාජිකයා ඩෙස්කුව අනෙක් පස ය. ගුරුතුමිය ඩෙස්කුව මත විශාල රවුම් හැඩයකින් යුතු කිසියම් වස්තුවක් තැබුවා ය.

මා එම වස්තුව පැහැදිලි ලෙසින් ම හඳුනා ගත්තේ කළු පැහැයෙන් යුතු බවයි. 

“ඩෙස්කුව මත ඇති වස්තුවේ පාට කුමක් ද?” ගුරුතුමිය ඇසුවේ ඩෙස්කුව අනෙක් පස ඉන්නා පන්ති සමාජිකයාගෙන්. 

“සුදු. ” ඔහු පිළිතුර දුන්නේ ය.

ඔහුගේ ඒ පිළිතුර මා පුදුමයට පත් කළා. මා ඒ වස්තුව කිසිදු බාධාවකින් තොරව හඳුනා ගන්නේ කළු පැහැයෙන් යුතු ලෙසිනුයි. ඔහු ඒ වස්තුව ම සුදු පැහැයෙන් යුතුයැයි කියන්නේ කුමන පදනමක් මත ද? මට හැඟුනේ ඔහු හා මා අතර තවත් විවාදයක් ඇති විය හැකි බවයි. මෙවර එයට පදනම් වෙන්නේ අප දෙදෙනා ම ඉදිරියේ ඇති වස්තුවයි.

ගුරුතුමිය කීවේ අප දෙදෙනාට අප සිටි තැන් මාරු කර ගන්නා ලෙසයි. මා පන්ති සාමාජිකයා සිටි පැත්තටත්, ඔහු සිටි පැත්තට මාත් වශයෙන් ඒ තැන් මාරුව සිදු වුණා. ඒ මාරුව සිදු වූ පසු ගුරුතුමිය ප්‍රශ්නය යොමු කළේ මටයි.

“ඩෙස්කුව මත ඇති වස්තුවේ පාට කුමක් ද?” 

“සුදු.” මට පිළිතුරු දෙන්නට වුණේ එලෙසින්. හේතුව කලින් කළු පැහැයෙන් මා දුටු වස්තුව දැන් මා දකින්නේ සුදු පැහැයෙන් නිසා. 

අප ඉදිරියේ ගුරුතුමිය තබා තිබුණේ කළු සහ සුදු පැහැයෙන් යුතු දෙපැත්තක් ඇති වස්තුවකි. ඔහුගේ පැත්තෙන් බැලූ විට ඔහු දුටුවේ සුදු පැහැ පැත්ත පමණි. මගේ පැත්තේ සිට බැලූ විට මට දැකිය හැකි වූයේ කළු පැහැය පමණි. 

අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇති විට අප උත්සාහ කළ යුත්තේ අපට පෙනෙන පැත්තේ සිට ප්‍රශ්නය විසඳන්නට යෑම නොවේ. එවිට අප සිතන්නේ තීරණ ගන්නේ අප නිවැරදි බව පමණක් සිතමින් නිසා ය. එවිට ප්‍රශ්නයේ අනෙක් පස සිටින පුද්ගලයාට මෙන් ම මටත් සිදු විය හැක්කේ අසාධාරණයකි. 

අනෙක් පැත්තේ සිට ද අපට ප්‍රශ්නය දෙස බැලීමට හැකියාවක් ඇති කරගත් විට දෙදෙනාට ම පිළිගත හැකි විසඳුමක් පිළිබඳ සමථයකට පැමිණීම අසීරු නොවනු ඇති. 


(මූලාශ්‍ර ඇසුරෙනි.)