Tuesday, January 29, 2019

අද දවසේ කවිය - 2019/ 01/30


ඔබ බුද්ධාගමේද ?



ඔබ බුද්ධාගමේද?

“ඔව්. මං බුද්ධාගමේ තමා.”
“අපොයි ඔව්. අපේ පරම්පරාවම හොඳ බුද්ධාගං කාරයෝ.”
“ඔව්.මගේ ආගම බුද්ධාගම තමා.”
“නැතුව? අපි හොඳ බුද්ධාගංකාරයෝ.අපි හතර පෝයටම සිල් ගන්නවා.”

‘ඔබ බුද්ධාගමේද’ කියා ඇසුවොත් ඔබ ඉහත සපයාදී පිළිතුරක් හෝ ඒ හා සම වන වෙන පිළිතුරක් හෝ ලබා දෙනු ඇති.
ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැත. එහෙත් ප්‍රශ්නයක් නැත්තේද නැත-.මේ සටහන යොමු වන්නේ ඒ සැඟවුණු ප්‍රශ්නය දිශාවටය.
ඒ ප්‍රශ්නය කුමක්ද? “බුද්ධාගම” නිවැරැදි වචනයක්ද? එවැනි වචනයක් තිබිය හැකිද?
ඒ ගැන මඳක් සිතන්න. කලබලයකින් තොරව මේ සටහන කියවන්න. අවබෝධයෙන් යුතුව කියවන්න.
‘බුද්ධාගම’ යන වචනය සෑදි ඇති ආකාරය ගැන මුලින්ම විමසා බලමු.
බුද්ධ + ආගම = බුද්ධාගම - මේ වචනය සෑදී ඇති ආකාරය පිළිබඳව දිය හැකි සරලම ක්‍රමයයි,මේ. ඒ අනුව මේ ‘බුද්ධාගම’ යන වචනයෙන් හැඟවෙන්නේ  ‘බුද්ධ’ නම්වූ උතුමන්ගේ ආගම බවයි. ‘බුද්ධ’ යනු අපේ සම්මා සම්බුදු රජාණන්වහන්සේය.

ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කළේ ආගමක්ද?
 ඒ ගැන සිතන්නට අපි ‘ආගම’ යනු කුමක්දැයි විමසා බලමු. 

ආගමක මූලික පදනම ලෙස ගැනෙන්නේ ඇදහීමයි. ඒ ඇදහීම ඍජුවම සම්බන්ධ වන්නේ උතුම් මනුෂ්‍ය පාර්ශවයක් කෙරෙහිය. නැති නම් මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය දේව පාර්ශවයක් වෙතය. එසේත් නැති නම් උතුම් ලකුණක් හෝ උතුම් වස්තුවක් හෝ වෙතය. මේ කුමක් හෝ ඇදහීමෙන් අපේක්‍ෂා කරන ඉලක්කයක් ඇත. එසේම මේ කවර ඇදහීමක හෝ කෙළවර ඇත්තේ බොහෝ විට කිසියම් දෙයක් ඉල්ලා සිටීමය.

 ඒ ඉල්ලා සිටීම එකවර ප්‍රකට දෙයක් නොවිය හැකිය. එහෙත් සෑම ඇදහීමකම කෙළවර ඇත්තේ ඉල්ලා සිටීමකි. තමාගේ බැතිමත් ඇදහීම සහ ඒ ඇදහීම මත පදනම් වන තම විශ්වාසය නිසා තමන් බලපොරොත්තු වන, තමන් ඉල්ලා සිටින දෙයක් තමන්ට ලැබෙන බව අදහන්නා විසින් අදහනු ලබයි.

ඇත්තටම ඇදහීමක අභ්‍යන්තරයේ ඇත්තේ කුමක්ද? තමාගේ දුක හෝ සතුට හෝ ඒ ඇදහීමට පවරා දීමයි. 
මේ ‘ඇදහීම’ නම්වූ සංකල්පයේ ඇති වරදක් නැත. ඇදහීම සිතට ගත්, ඇදහීම තුළින් තමා අපේක්‍ෂිත දේ ලබන්නට තමාට හැකියාවක් ඇතැයි සිතන කවරකු හෝ වැරැද්දක් කරන බවක් කිසිවකුට සිතන්නට අයිතියක් නැත. 
කවර රටක හෝ සමාජයක හෝ ජීවත් වන මිනිසුනට තමාගේ සිතට ගැළැපෙන කවර යහපත් දෙයක්  කරන්නට හෝ විශ්වාස කරන්නට හෝ පැහැදිලි අයිතියක් ඇති බැවිනි. ඒ ගැන කිසිදු තර්කයක් නැත.

එහෙත් බුදු දහම ඇදහීමෙන් ඔබට ලබා ගත හැක්කේ මොනවාද? දිව්‍ය ලෝක සැප සම්පත්. ධනය. යාන වාහන. විභාග සමත් වීම්. නඩුහබ දිනීම්. යහපත් ශරීර සෞඛ්‍යය. මේ අතරින් කුමක් හෝ ඔබට බුදු දහම ඇදහීමෙන් ලැබී තිබේද? අඩුම වශයෙන් බුදු දහම අදහා නිවන් ලැබූ කිසිවකු ගැන කිසියම් හිමිනමක් බණකට හෝ කියනවා ඔබ කවදා හෝ අසා තිබේද? නැත. සාමාන්‍ය තත්ත්වය යටතේ නම් එවැනි යමක් ඔබට අසන්නට ලැබෙන්නට කිසිදු ඉඩක් නැත. ඒ, එවැන්නක් කිසිදා සිදු නොවන නිසාය.

එසේ නම් දැන් ඔබේ සිතට ප්‍රශ්න රැසක් ගොනු වෙමින් තියෙන්නට පුළුවන. ඔබේ සිතට කොයි ආකාරයක ප්‍රශ්නයක් ආවත් ඊට පිළිතුර වන්නේ ඒ සියල්ල සිදු වන්නේ ඇදහීමක් නිසා නොවන බවයි. ඒ සියල්ල සිදු වන්නේ බුදු දහමේ නිවැරැදි අන්තර්ගතය අනුව කටයුතු කිරීමෙනි. ඒ නිවැරැදි, නිර්මල ක්‍රම අනුගමනය කිරීමෙනි. ඒ හැම තැනකම ඇත්තේ ඇදහීමක් නොවේ. අවබෝධයයි.

බුදු හාමුදුරුවන්ට අපට කිසිවක් ලබා දිය නොහැකිය. එහෙත් බුදුන් දෙසූ ධර්මානුකූල මඟට පිවිසීමෙන් අපට අපේ සාමාන්‍ය ගිහි ජීවිතයත්, තවත් දුරකට ගියහොත් ලෝකෝත්තර ජීවිතයත් අර්ථ සම්පන්න කර ගත හැකිය.
ඒ අනුව අප සිතා ගත යුත්තේ ‘බුද්ධාගම’ කියා වචනයක් අප අතර තිබිය නොහැකි බවයි. ඒ වෙනුවට තිබිය යුත්තේ ‘බුද්ධ ධර්මය’ යන වචනයයි. වඩාත් සරලව ගතහොත් ‘බුදු දහම’ යන වචනයයි.   

හැටේ දශකයේ භාවිත කළ පාසැල් පෙළ පොත්වල පවා දැකිය හැකිව තිබුණේ ‘බුද්ධාගම’ යන වචනයයි. එහෙත් රජය විසින් පෙළ පොත් මුද්‍රණය කරන්නට ගත් පසු ‘බුද්ධාගම’ , ‘බුද්ධ ධර්මය’ බවට පත් විය. රජයේ විභාග ප්‍රශ්න පත්‍රයේද දැකිය හැකි වන්නේ ‘බුද්ධ ධර්මය’ යන වචනයයි.
බුදු රජාණන් වහන්සේ ආගමක් දේශනා කළේ නැත. උන්වහන්සේ දේශනා කළේ මුල, මැද, අග පැහැදිලි නිර්මල දර්ශනයකි. එහි ඇදහීමක් නැත. ඇත්තේ නිරවුල් අවබෝධය පමණි.

මේ ගැන මඳක් නිවී හැනහිල්ලේ සිතා බලන්න. ඔබටත් අදහසක් ඇති නම් දන්වන්න.