Tuesday, June 21, 2022

නින්දේ පැත්ත

 නින්දේ පැත්ත                                                                                   



ඔබ රාත්‍රී නින්ද සඳහා තෝරා ගන්නේ කවර ඉරියව්ව ද? මුණින් අතට උඩුබැලි අතට නැති නම් දකුණු ඇලයට හැරී ද? එසේ නම් එවැනි සුපුරුදු ඉරියව්වකින් මිදෙන්නට දැන් කාලය ඇවිත් බව ඔබට මතක් කළ යුතුයි. 

වම් ඇලයේ නින්ද


ඔබ නින්දෙන් ගොරවන කෙනෙකු නම් මේ පුවත ඔබට වඩාත් ප්‍රයෝජනවත්. 
එසේ  නම් ඔබ කොහොමටත් වම් ඇලයට හැරී නිදා ගැනීම තෝරා ගැනීම වැදගත්. විශේෂයෙන් ම ඔබ උඩුබැලි අතට හැරී නිදි යන   කෙනකු නම් ඔබගේ ගෙරවුම් හඬ වඩාත් වැඩියි.  එසේ වන්නේ ඔබේ දිව, මුව සහ හකු ආදී කොටස් වඩාත් හොඳින් විවර වන්නට ඇති ඉඩ කඩ වැඩි වීමයි. ඒ අනුව නින්දේදී ඔබෙන් පිට වන ගෙරවුම් හඬ ද වැඩි වෙයි.

 සිරුර ඇතුළත අම්ල ශ්‍රාවය

ඔබ රාත්‍රී ආහාරය මඳක් වැඩිපුර ගෙන නින්දට ගියහොත් නින්දේදී සිරුර ඇතුළත ඇතිවන ආම්ලිකතාව මුළු රැය පුරා ම  සිදු විය හැකියි. ඒ නිසා ඔබේ සාමාන්‍ය සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකියි. වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ වම් ඇලයට හැරී නිදා ගැනීමෙන් එවැනි තත්ත්වයක් ඇති විම අඩු වන බවයි.

හදවතට ඉස්පාසුවක්

වම් ඇලයට හැරී නිදා ගැනීමේදී වඩාත් පහසු ආකාරයකින් හදවතේ ක්‍රියාකාරීත්වය සිදු වන බව වෛද්‍ය මතයයි. එවිට වඩාත් පහසුවෙන් සිරුර පුරා රුධිරය ගමන් කරවීමට හදවතට වඩා වැඩි ඉඩකඩක් ලැබෙනවා.

ගැබිණි මවුවරුන්


ගැබිණි මාතාවන් වම් ඇලයට හැරී නිදා ගැනීම වඩාත් හිතකර බව වෛද්‍ය මතයයි. දකුණු ඇලයට හැරී නිදාගත් විට සිදු විය හැකි දෙයක් වන්නේ ගර්භාෂය අක්මාවට තෙරපීමට ඇති ඉඩකඩ වැඩි වීමයි. එනිසා ගැබිණි මවුවරුන් වම් ඇලයට හැරී නිදන්නට හුරු වීම වඩා හිතකරයි.



Friday, June 17, 2022

අඩු රුධිර පීඩනය - Low Blood Pressure

 අඩු රුධිර පීඩනය                                                                             



සිරුරේ සාමාන්‍යයෙන් පැවතිය යුතු තත්ත්වයෙන් වෙනස් වන අවස්ථා දෙකක් වන්නේ අධික සහ අඩු රුධිර පීඩන තත්ත්වයයි. මේ අවස්ථා දෙක ම සිරුරේ වෙනත් රෝග ඇති කිරීමේලා මූලික විය හැකියි.

අද අපේ අවධානය යොමු වන්නේ අඩු රුධිර පීඩන තත්ත්වය දෙසටයි. 

එහෙත් ඊට පෙර මිනිස් සිරුරේ සාමාන්‍ය රුධිර පීඩන තත්ත්වය ගැන අදහසක් ඇති කර ගැනීම වැදගත්. 

සාමාන්‍යයෙන් කෙනෙකුගේ රුධිර පීඩනය ඒ පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ බව මෙන් ම වයස වැනි කරුණු මත මූලික වශයෙන් ම රඳා පවතී. 

රුධිර පීඩනය ප්‍රකාශ වන්නේ ප්‍රධාන කොටස් දෙකක් යටතේයි.

(1) හදවත රුධිරය ඉන් පිටතට පොම්ප කරන්නට යොදන පීඩනය  Systolic pressure – මෙම පීඩන අගය 140 (mmHg)  ලෙස  පැවතීම සාමාන්‍ය තත්ත්වයයි.

(2) ස්ඵන්දන දෙකක් අතරේ හදවත ‘විවේකීව’ පවතින විට ඇති වන පීඩනය දෙවැනි අවස්ථාවයි. - Diastolic pressure – මෙම පීඩන අගය 95 (mmHg)  ලෙස පැවතීම සාමාන්‍ය තත්ත්වයයි. 

මේ දැක්වෙන අගයයන්ට වඩා අඩු තත්ත්වයක රුධිර පීඩනය පවතී නම් එයින් හැඟෙන්නේ ‘අඩු රුධිර පීඩන’ තත්ත්වයක් පවතින බවයි. 

අඩු රුධිර පීඩන තත්ත්වයේ රෝග ලක්ෂණ

1. හිස කරකැවිල්ල - විශේෂයෙන්  ම පැහැදිලි වන්නේ ඔබ පුටුවක වාඩි වී සිට නැගිටින අවස්ථාවේදී ඇති වන අදාළ තත්ත්වයයි.

2.  කළු පැහැ තිත් දෙස බැලීමේදී බොඳ වන ගතියක් ඇති වීම.

3. සිරුරට දැනෙන වෙහෙස ගතිය.

4. වමනයට එන ගතිය.

5. ක්ලාන්තය  


රෝගය සඳහා මුල් විය හැකි හේතූන්

කාන්තාවන් අඩු රුධිර පීඩන තත්ත්වයට ලක් විය හැකි වන්නේ ඔසප් අවස්ථාවලදී අධික ලෙසින් රුධිරය පිට වීම හෝ ගර්භිනී අවස්ථාවන්හිදීයි. ඇතැම් ඖෂධ භාවිතයේදී ඇති වන අතුරු ඵල ලෙසින් ද අඩු රුධිර පීඩන තත්ත්වය ඇති වෙයි. යම් ලෙසකින් ඔබ අධික ලෙස වමනය කරන අවධියක සිටී නම් එවිට ද රුධිර පීඩනයේ අඩු බවක් පළ කළ හැකියි. 

කෙසේ වෙතත් ඔබ මේ ගැන තදින් සිහියේ  තබා ගත යුතුයි. අඩු රුධිර පීඩන තත්ත්වය ශරීර අභ්‍යන්තරයේ ඇති විය හැකි රුධිර හීනතාව දක්වන සලකුණක් විය හැකියි.  එසේ රක්තහීනතාවට අමතරව සිරුර ඇතුළත ඇති විය හැකි ආසාදන මෙන් ම දුරිත්මියාව (Dysrhythmia)   රෝගය (හදවතේ ස්ඵන්දන වේගය අඩු හෝ වැඩි වීම) ගැන අඟවන සලකුණක් විය හැකියි. ඒ නිසා රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වූ වහා ම සුදුසුකම් සහිත වෛදවරයකු හමු වී උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා. 









                                  “නිරෝගීව සිටින්න.” 

 

 


3 ශ්‍රේණිය - බුද්ධ ධර්මය - හතරවැනි පාඩම - “තිසරණ සරණ යමු - පන්සිල් සුරකිමු”

English Language - an exercise - for Grade Nine students.

Thursday, June 16, 2022

4 ශ්‍රේණිය - සිංහල - හයවැනි පාඩම - “රෙදි වියනා මකුළු දැරිය” - අභ්‍යාස සහ...

උදර පිළිකාව - කියාපාන මූලික ලක්ෂණ

 

උදර පිළිකාව - කියාපාන මූලික ලක්ෂණ                                                                       


පිළිකාව කියන්නේ අසම්මත ආකාරයෙන් සිදු වන සෛල වර්ධනයක් ලෙසයි ඉතා සරලව ම හැඳින්විය හැකි වන්නේ. උදර ප්‍රදේශයේ ඇති වන පිළිකා ඉතා ම ‘දරුණු’ තත්ත්වයේ රෝග කාණ්ඩයක් ලෙසින් තමා හඳුනා ගෙන ඇත්තේ. බොහෝ විට ඉතා ම අසීරු තත්ත්වයකට පත් වන තුරු මෙම පිළිකා අවස්ථාව පිටතට නොපෙන්වීමත් එක්තරා ආකාරයක අවාසනාවන්ත තත්ත්වයක්. කෙසේ වෙතත් මෙවැනි රෝගී තත්ත්වයක මූලික රෝග ලක්ෂණ පිටතට පෙන්වන්නේ ඉතා ම අඩුවෙන්.

යුරෝපාකරයේ රටවල පිරිමි සියයකගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණත් කාන්තාවන් සියයකගෙන් 0.5 සිට එක අයෙකු පමණත් උදර පිළිකාවලට ගොදුරු වන බව ස්ථිර කොට තිබෙනවා. 

උදර පිළිකාවේ මූලික අවධියේදී ප්‍රකට කැරෙන ලක්ෂණ රඳා පවතින්නේ උදරයේ ඇති අසාමාන්‍ය සෛල වර්ධනයේ ඇති ‘විශාලත්වය’ අනුවයි.

පහත දක්වනු ලබන රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වීම වටී. 

1. හිස කරකැවිල්ල සහ වෙහෙස.

2. ලේ හිඟකම - මේ තත්ත්වය ඇති වන්නේ දීර්ඝ කාලීනව උදරයේ පවතින රුධිර හානි වීම් නිසා බව සැකිය යුතුයි.

3. කළු පැහැගත් මළපහ.

4. මඳ වශයෙන් ඇති වන ආහාර අරුචිය. එසේ ම ඇතැම් ආහාර වර්ග කෙරෙහි දක්වන බලවත් අකමැත්ත.  උදාහරණ: වැඩි වශයෙන් සුවඳ ඇති කෝපි, ශාකමය කොටස් සහිත ආහාර සහ කුළුබඩු යෙදූ ආහාර.

5. ආහාර ගැනීමෙන් දිගු වෙලාවකට පසුත් ආහාර උගුරෙන් පහළට නිසි සේ නොගියා සේ දැනීම.

6. ආහාර ද්‍රව්‍ය කෙරෙහි මහත් පිළිකුළක් දැක්වීම.

7. වමනය කිරීම - ඇතැම් අවස්ථාවලදී වමනය සමග රුධිරය මඳ වශයෙන් පිටවීම.

8. වැමෑරීම සමග පළ වන ආමාශයේ දැවිල්ල.

9. උදරයේ උඩ කොටසේ හෝ පපුවේ මැද අස්ථිය ආසන්නයේ ඇති වන වේදනාව. 

10. ආහාර ගැනීමේ පිළිවෙත වෙනස් නොකර හෝ ව්‍යායාම කිරීමේ රටාව වෙනස් නොකර තිබියදී සිරුරේ ඇති වන ක්ෂණික බර අඩුවීම.

ඉහත ලැයිස්තුවේ ඇති රෝග ලක්ෂණ එකක් හෝ එකකට වැඩියෙන් හෝ ඇතත් ඔබ නිකරුණේ ඒ සඳහා බිය විය යුතු නැහැ. අමතක කරන්නට එපා. උදර පිළිකාව යනු කිසි විටෙකත් බහුල රෝගයක් නොවෙයි. අනෙක් අතට ලැයිස්තුවේ ඇති ඇතැම් රෝග ලක්ෂණ සිරුරේ ඇති වෙනත් රෝගයක් හා නෑකම් කියන්නත් පුළුවන්. 

ඒ වුනත් ඉහත ලැයිස්තුවේ ඇති රෝග ලක්ෂණ මොනවා හෝ සති ගණනාවක් ම පවතී නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගේ උපදෙස් ලැබීම ඉතා ම වැදගත් මෙන් ම අත්‍යව්‍යශ දෙයක්. 

විශේෂයෙන් ම මළපහ හෝ වමනය සමග රුධිරය පිට වේ නම් වෛද්‍ය හමුව ඉතා ම කඩිනමින් කළ යුතු බවත් සැලකිය යුතුයි. ඒ, එවැනි තත්ත්වයක් කිසිසේත් ම නොසලකා නොහැරිය යුතු නිසයි.    

“නිරෝගීව සිටින්න.”

  











Tuesday, June 14, 2022

ළුෑණු ගෙඩියේ විස්මය

 

ළුෑණු ගෙඩියේ විස්මය

ළුෑණු සමාජයේ ප්‍රකටව පවතින්නේ ඉවුම්පිහුම් සඳහා පාදක වන සාධකයක් එහෙමත් නැති නම් උපකාරකයක් ලෙසිනි. එහෙත් ඉන් එහා ගිය ප්‍රබලතාවක් ළුෑණු ගෙඩියට අයත් වන බව දැන් සමාජගත වන කරුණක් බවට පත්වී ඇත.
ඔබේ පාදයේ යටි පතුල හා ස්පර්ශ වන සේ ළුෑණු ගෙඩියක කොටසක් තබාගත හැකි ද?

බැක්ටීරියා
වෛද්‍ය විද්‍යාත්මක  සොයා ගැනීම්වලට අනුව හත්දහසකට (7000) වඩා සියුම් ස්නායු ඔබේ පයේ යටි පතුල හා සම්බන්ධ වේ. එසේ ම ඒ ස්නායු මුළු සිරුර හා නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වයි. ඔබේ යටි පතුල හා ස්පර්ශ වන සේ ළුෑණු ගෙඩියකින් කොටසක් තබාගත හැකි නම් ඊට බොහෝ දේ කළ හැකි බව ඔබ නොදන්නවා ඇති.

එම ළුෑණු කොටසට ඔබේ මුළු සිරුර ම පිරිසිදු කළ හැකි බව දැන ගත් විට ඔබට දැනෙන්නේ පුදුමයක් විය හැකියි. ඔබේ සිරුරේ පැවතිය හැකි බැක්ටීරියා හා විෂබීජ එම ළුෑණු කොටස මගින් අවශෝෂණය (උරා ගැනීම) කර ගනියි. ළුෑණු කොටසට ඒ කටයුත්ත පහසු වන්නේ යටි පතුලේ ඇති හම බෙහෙවින් තුනී වන නිසා ය.

මේ වැදගත් මෙහෙය ළුෑණු කොටස ඔබ වෙනුවෙන් ඉටු කරන්නේ කුමන වේලාවක ද? එය සිදු වන්නේ ඔබ රාත්‍රී නින්දේ සුවය ලබන විටයි. එසේ වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා විය හැකියි. ඔබේ පයක මේස් වැනි ආවරණයක් පැළඳ ඒ ආවරණයත් යටි පතුලත් අතර ළුෑණු කොටස තබා ගැනීමෙන් කිසිදු හිරිහැරයකින් හා බාධාවකින් තොරව සියල්ල ඉවු කරගත හැකියි.


ළුෑණු වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ වාතයේ ඇති දුගඳ උරා ගෙන වාතය පිරිසිදුකරන්නට හැකි ද්‍රව්‍යයක් ලෙසයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඒන්ජල්ස් හි හෝමියොපති වෛද්‍ය ලොරෙන් ෆෙඩර් ළුෑණුවල පවතින ඖෂධීය ගුණ ගැන ස්ථිර කොට ඇත. සිරුරේ උණුසුම ඇති කිරීම, මුත්‍රාශය/ පිත්තාශය වැනි ශරීර අභ්‍යන්ත්‍රයේ ඇති අවයවවල ඇති විය හැකි ආසාදන වැළැක්වීම, කන්වල සහ දත්වල ඇති වන වේදනා සමනය කිරීම වැනි ගූණාත්මක සාධක මෙහිදී ඉස්මතු කොට ඇත. 
එහෙත් මතක තබාගත යුතු කරුණක් ඇත. 
ශරීරයට වඩාත් ගුණදායී වන්නේ රසායන ද්‍රව්‍ය නොයොදා ගෙන වගා කළ ළුෑණු බවයි. 
  




4 ශ්‍රේණිය - සිංහල - පස්වැනි පාඩම - “ පුංචි වුණත් පුංචි අපට හිතන්න පුළුව...

Monday, June 13, 2022


 

සිංහල - ඉංග්‍රීසි පාඩම් -- Sinhala - English Lessons

 සිංහල - ඉංග්‍රීසි පාඩම්                   


ඉංග්‍රීසි භාෂාවේදී කතා කිරීම සඳහා යොදා ගැනෙන ප්‍රධාන කොටස් අටක් (8) තිබෙනවා. මෙම කොටස් හඳුන්වන්නේ “Parts of Speech” ලෙසින්.

මෙම පාඩම්වලදී අප එම කොටස් ගැන විස්තර අප ඔබට ඉදිරිපත් කරනවා. විස්තර ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය ලෙස භාෂාද්වය ම භාවිත කරන්නට අප සූදානම්.

ඒ අනුව ඔබට භාෂා දෙක පිළිබඳව ම පැහැදිලි දැනීමක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

වැදගත්: පාඩම් ඉදිරිපත් කිරීමේදී අප බලාපොරොත්තු වෙන්නේ අප විසින් ම සකස් කර ගන්නා ශෛලියකින් එසේ ඉදිරිපත් කරන්නටයි. කෙසේ වෙතත් ඔබේ ඉගෙනීමට බාධාවක් නොවන ලෙසින් එසේ කිරීම අපේ අපේක්ෂාවයි.  

Parts of Speech

There are eight classes of words in English. These eight classes are 

known as “Parts of Speech.”

Eight classes are as follows: ඉංග්‍රීසි භාෂාවේ ඇති කතාවේදී යොදා ගන්නා කොටස් අට පහත දැක්වෙනවා.

1. Nounsනාමපද

2. Pronouns  -  සර්වනාම

3. Adjectives  - නාමවිශේෂණ - ගුණපදය

4. Verbs -  ක්‍රියාපද

5. Adverbs  - ක්‍රියා විශේෂණ

6Prepositions  - නිපාත පද

7. Conjunctions  - සමුච්ච නිපාත පද - සම්බන්ධක පද

8. Interjections  - විෂ්මයාර්ථ පද


Nouns - නාමපද

‘නාමපද’ ලෙස අප පොදුවේ හඳුන්වන්නේ කුමක හෝ නැති නම් කාගේ හෝ නමක්. මේ තමා සරල ම තේරුම් කිරීම.

යම් කෙනකු අප හඳුන්වන්නේ නමකින්. එසේ ම යම් සතෙකු/යම් භාණ්ඩයක්/ යම් තැනක්/රටක්/නගරයක්/ප්‍රදේශයක් අප හඳුන්වන්නේ නමකින්. හැම කෙනෙකුට ම/හැම දේකට ම නමක් තියෙනවා. අප කතා කරන විට/අප ලියන විට අදාළ වන ලෙස අප ඒ නම යොදා ගන්නවා. 


Everyone/everything has a name. When we speak or write about something we name it.

When we speak about somebody, using his or her name.

boy, girl, teacher, farmer, dog, cat, chair, book, pencil

What are those? Those are nouns. Why those are known as nouns? All those words are names.

ඉහත දී ඇති උදාහරණ පද බලන්න. ඒ හැම යෙදුමකින් ම යම් පුද්ගලයකු/යම් සතෙකු/ යම් දෙයක් හැඳින්වෙන බව ඔබට පැහැදිලි වේවි. ඒ අනුව ඒ සියලු ම පද ‘නාමපද’ ලෙස හැඳින්විය හැකියි.

මූලික වශයෙන් නාමපද කොටස් කිහිපයකට බෙදා දක්වන්නට හැකියි.

1) පුද්ගල නාම (පොදු) : ගුරුවරයා/ගොවියා/ගැහැනු ළමයා 

2) සත්ත්ව නාම         : බල්ලා/ ගවයා/ සිංහයා

3) ද්‍රව්‍ය නාම           : මේසය/ පොත/ පැන්සල

4) ස්ථාන නාම         : ශ්‍රී ලංකාව/ ජපානය/ කොළඹ/ මහනුවර 

Nouns are the names of (a) persons: teacher/doctor/boy

Nouns are the names of (b) animals: cow/ lion/swan

Nouns are the names of (c) things: table/ lamp/ blackboard

Nouns are the names of (d) places: Sri Lanka/ Anuradhapura/ 

Colombo 



Please read the following sentences and find the nouns on these.

පහත දී ඇති වාක්‍ය කියවා ඒවායේ ඇතුළත් නාමපද ගැන විමසිලිමත් 

වන්න.


1.     Subash is a tall boy.

2.     Ramya is talking with Suramya.

3.     Ruwan is reading a book.

4.     A cat is running after a mouse.

5.     A dog is barking loudly.

6.     My brother is still in his office.

7.     Vikrama is not willing to talk with Wimal.

8.     The Mahaweli is the longest river in Sri Lanka.

9.     Anuradhapura was the first kingdom in our country.

The temple and the church in our city are situated on opposite sides of the main road

 

Names of the persons:

Subash,  Ramya, Suramya, boy, Ruwan, brother, Vikrama, Wimal

Names of the animals: cat, mouse, dog

Names of the things: book

Names of the places: office, Mahaweli, river, Sri Lanka, Anuradhapura, country, temple, church, road

 ඉහත සටහන පැහැදිලි කරන්නේ කලින් ලබා දී ඇති වාක්‍යවල අඩංගු නාමපද පුද්ගල/ සත්ත්ව/ද්‍රව්‍ය සහ ස්ථාන අනුව වර්ග කළ හැකි ආකාරයයි.  

පහත දී ඇති ජේදය කියවා එහි ඇති නාමපද සොයා ගන්න.

“කිරිබබාගේ දැලට එදින කටුමස්සෝ, පරාටි, කටිල්ලෝ, ලීල්ලෝ, පැන්නෝ, කපුහැන්දෝ, අඟුලුවෝ යන ආදීහු අසුවූහ. පැන්නන්, නගරවල ජනයා ‘කාරල්ලන්’ කොට හඳුන්වති. කිරිබබා ඇල්ලූ මසුන්ගෙන් අඟුලුවන් හැර, අනික් මාළුවෝ පාටින් ද හැඩ-හුරු කම් විසින් ද ශොභන ය. කපුහැන්දා හැඩහුරු කමින් ද පාටින් ද ඉතා සුන්දර මත්ස්‍යයෙකි. දැඩි වේගයෙන් පීනන්ට පුළුවන් මාළුවන්ගෙන් එකෙක් පරාටියා ය. කුඩා පරවකුට වුව ද තමාගේ දැල පුපුරවාගෙන ගිය හැකි තරම් ශක්තියක් ඇතැයි කිරිබබා කීය.”
                                                        
                                                       (අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහ)

පහත ඇති වාක්‍යවල ඇති නාමපද හඳුනා ගන්න. වෙන ම සටහන් කරන්න.

1. “මාලතී වසන්තේ” ගීතය ගායනා කරන්නේ එඞ්වඞ් ජයකොඩි මහතා ය.

2. කොළඹ, ලේක් හවුස් ආයතනය මගින් පළ කරන “දිනමිණ” දිනපතා පුවත්පත ශ්‍රී ලංකාවේ පැරණි ම දෛනික පුවත් ප්‍රකාශන අතුරින් එකකි.

3. කුඩා දූපතක් වූ ශ්‍රී ලංකාව වට කොට පිහිටියේ ඉන්දියන් සාගරයයි.

4. බුලතා විසින් සොරබොර වැව සාදා නිම කළේ දුටුගැමුණු රාජ සමයේදී ය.

5. මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත ”ගම්පෙරළිය” නවකතාව පසු කලෙක  චිත්‍රපටියට නගන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසිනි. 

6. මිහිඳු මහ රහත් හිමිගේ ආගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජතුමන් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍යය වූ ථූපාරාමය ගොඩ නංවන ලදී.  

7. “නාලිනී එන්න, මල් පිපීදැයි බලන්න” යන වැකිය ඇත්තේ "කුමාරෝදය" පොතෙහි  ය.

8- “සිරිත්මල්දම” යනු උපදේශාත්මක පැරණි කාව්‍ය ග්‍රන්ථයකි.

9. සයිමන් ද සාෂා හා ගෲෂා යන චරිත දෙක අපට හමු වන්නේ හෙන්රි ජයසේන මහතා නිෂ්පාදනය කළ “හුණුවටයේ කතාව” වේදිකා නාට්‍යයෙනි.

10. ටජ්මහල් ප්‍රාසාදය පිහිටා ඇත්තේ ඉන්දියාවේ අග්‍රා නගරයේ යමුනා නදී තෙර අසල  ය.  

 Find nouns in the below-given sentences.

     1.     Minoli likes reading books.

2.     Mother and father are discussing an important matter about the brother.

3.     Eiffel tower is situated at France.

4.     Nirmani and Sammani are good friends.

5.     A tall mango tree is close to our house.

6.     A man is jumping over the fence.

7.     People love to see peacocks dancing.

8.     Mrs. Silva is our new English teacher.

9.     Priyanath is not in our school anymore.

10. My sister and her friend Suvini are doing their homework.

 

 Read the below-given passages and find nouns from them.

           “Akbar, who lived from 1542 until 1605, was one of the greatest of all Indian kings. His father was Humayun, King of Delhi. Humayun had to run for his life when Sher Shah, the Afghan drove him out of Delhi, and Akbar had a hard life when he was a boy.

          Sher Shah died later and Humayun became King of Delhi again. But soon after this Humayun died, when Akbar was only thirteen. At the time Akbar was with his uncle. Bairam Khan, fighting some rebels in Punjab. Sher Shah had a son who was helped by a soldier called Himu.  Himu at once attacked Delhi with a large army. Everyone advised Akbar to run away but he would not.” 

                                                                                                                                                                                                              (Quoted)

 End of the lesson.

 Thank you.                                                                       14/06/2022

   







Sunday, June 5, 2022

සමනලයාගේ ජීවන චක්‍රය

 

සමනලයාගේ ජීවන චක්‍රය

සමනලයන් සහ සලබයන් යන සතුන් දෙවර්ගය ම සම්පූර්ණ රූපාන්තරණ ක්‍රිියාවලියක් තුළින් වර්ධනය වන අයයි.

රූපාන්තරණයේදී සිදු වන්නේ කිසියම් නිශ්චිත මූලික අවස්ථාවක සිට අවසාන ප්‍රතිඵලය දක්වා වර්ධනය වීමයි. 

රූපාන්තරණ ක්‍රියාවලිය හඳුන්වන්නේ “මෙටාමෝපොසිස්” ලෙසයි. මේ වචනය අපට ලැබී ඇත්තේ ග්‍රීක භාෂාවෙන්. මෙහි මූලික තේරුම වන්නේ වෙනස් වීම/පරිණාමය වීම එහෙමත් නැති නම් හැඩයේ වෙනස්කම් ඇති වීම යන්නයි.

කෘමි සතුන්ගේ රූපාන්තරණයේ ආකාර දෙකක් තියෙනවා. 

තණකොළපෙත්තන්/රැහැයියන්/කූරන් හා කැරපොත්තන් හට ඇත්තේ අසම්පූර්ණ රූපාන්තරණ ක්‍රියාවලියක්. ඔවුන්ගේ කුඩා සතුන් පූර්ණ ලෙස වැඩුනු සතුන්ගේ රූපයට සමාන වුවත් ඔවුන්ට පියාපත් පිහිටන්නේ නැහැ.

සමනලයන්/සලබයන්/ කුරුමිණියන් /මැස්සන් හා මීමැස්සන් යන කෘමී වර්ග සම්පූර්ණ රූපාන්තරණ ක්‍රියාවලියකට හිමිකම් කියනවා. මේ සතුන්ගේ මූලික අවස්ථාව හඳුන්වන්නේ ‘කීටයන්’ ලෙසින්. මේ කීට අවස්ථාව සම්පූර්ණ වැඩුනු සතෙකුගේ ස්වරූපයෙන් පැහැදිලිව ම වෙනස් වෙනවා. මේ කුඩා වූවන් ආහාරයට ගන්නේත් වැඩිහිටි සතුන් ආහාරයට ගන්නා දේ නොවීමත් විශේෂයක්.

 සමනල රූපාන්තරණය කොටස් හතරකින් සමන්විතයි.

බිත්තර ------>  කීටයා ------->  පිළවා ------->  සමනලයා


බිත්තර

සමනල ගැහැනු සතා සිය බිත්තර දමන්නේ ශාක පත්‍ර මතයි. එම ශාක සහ ශාක පත්‍ර පසුව කීටයන්ගේ ආහාර බවට පත් වෙනවා. 

බිත්තර දැමීම වසන්ත/ගිම්හාන සහ ඇතැම් විට වර්ෂාව පවතින කාලවලදී වුවත් සිදු විය හැකියි. එය රඳා පවතින්නේ සමනල වර්ගය මතයි. සමනල ගැහැනු සතා වරකට බිත්තර යම් ප්‍රමාණයක් දමනු ලබනවා. ඒ බිත්තර අතරින් යම් ප්‍රමාණයක් පමණයි විනාශ නොවී පවතින්නේ.

සමනල ගැහැනු සතාගේ බිත්තර ප්‍රමාණයෙන් ඉතා කුඩායි.


සමනල ගැහැනු සතාගේ බිත්තර

කීටයා
බිත්තරවලින් පිටතට එන ජීවි අවස්ථාව හඳුන්වන්නේ “කීටයා” නමින්. සමනල හා සලබයන්ගේ මෙම අවධිය “දළඹුවා” ලෙසින් ද හඳුන්වනවා. 
කීට අවස්ථාවේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අධික ලෙස ආහාර ගැනීමයි. ආහාර කර ගන්නේ තමන් ජීවත් වන ශාකයේ පත්‍රයි.
කීටයා වැඩෙන විට සිරුරේ සම පුපුරා යන අතර හතර පස් වතාවක් ම ඒ සම ඉවත් කිරීම සිදු කරනු ලබනවා.
කීට අවස්ථාවේ තවත් විශේෂයක් වන්නේ ලබා ගන්නා ආහාරවලින් කොටසක් තමා වෙත ම ගබඩා කර ගැනීමයි. ඒ ආහාර, වැඩිහිටි අවස්ථාවේදී නැවත ප්‍රයෝජනයට ගැනීමයි.
 
කීට අවධියේදී කීටයා මුල් අවස්ථාවට වඩා සිය ගුණයකින් සිරුරු ප්‍රමාණයෙන් වැඩෙයි. උදාහරණයක් ලෙස ගතහොත් 'මොනාර්ච්' නම් සමනල වර්ගයේ ගැහැනු සතාගේ එක බිත්තරයක් අල්පෙනිති තුඩක් තරම්  කුඩා වන අතර එයින් පිටතට එන කීටයා එතරම් විශාල එකකු නෙවෙයි. ඒත් සති කිහිපයක කාලයක් ඇතුළත ඒ කීටයා අඟල් දෙකක පමණ දිගකින්  යුතුව දැකිය හැකියි. 


                                                කීටයා
පිළවා - ස්වරූපය වෙනස් වීමේ අවධිය

කීටයාගේ වැඩීම සම්පූර්ණ වූ පසු ආහාර ගැනීම නතර කරනවා. කීටයා සම්පූර්ණයෙන් වැඩුන පසු හඳුන්වන්නේ ”පිළවා” ලෙසින්. 
පිළවා ශාකයේ අත්තක එල්ලී වැඩෙනවා. නැති නම් පත්‍ර අතරේ සැඟවී හෝ ඇතැම් විට පොළොවේ පස් අතරේ වැඩෙන්නට පුළුවන්. ඔවුන් වැඩෙන්නේ කෝෂයක් තුළයි. 
පිළවා එම ස්වරූපයෙන් ම සති කිහිපයක කාලයක් පැවතිය හැකියි. ඇතැම් අවස්ථාවලදී එම කාලය මාසයක් හෝ ඊටත් වැඩි කාලයක් හෝ විය හැකියි. ඇතැම් වර්ගවල පිළවා ලෙසින් පැවතීමේ කාලය වසර දෙකක් පමණ  වෙනවා.
පිළවාගේ ස්වභාවය පිටතින් එතරම් වෙනස්කම්වලට භාජනය නොවන බව පෙනුනත් ඇතුළතින් නම් විශාල විපර්යාස සිදු වෙනවා. සිරුරු අභ්‍යන්තරයේ ඇති සෛල ශීඝ්‍ර ලෙස වැඩෙන්නේ මේ අවධියේදීයි. එම සෛල වැඩුණු සමනලයකුගේ පාද, පියාපත්, අක්ෂි සහ වෙනත් කොටස් බවට වර්ධනය වෙනවා. කීට අවස්ථවේ සිය පැවති මූලික සෛල මෙම වර්ධනය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.


පිළවා - කෝෂයේ වැඩෙන අවස්ථාව

සමනලයා - සම්පූර්ණයෙන් වැඩුණු අවස්ථාව

සමනලයාගේ ‘වැඩිහිටි’ අවස්ථාව අදාළ ජීවන චක්‍රයේ අනෙක් හැම අවස්ථාවට ම වඩා පැහැදිලි වෙනස්කමක් පෙන්වයි. කීට අවස්ථාවේ තිබූ ඉතා කුඩා ඇස්, සමනල අවස්ථාවේදී ‘සංයුක්ත අක්ෂි’ බවට පත් වෙනවා. කීට අවස්ථාවේ තිබූ කොට පාද එසේ ම දිගින් අඩු ස්පර්ශක සියල්ල වෙනස් වී දිග පාද සහ දිගු ස්පර්ශක බවට පත් වෙනවා.
ඒ වගේ ම වැඩිහිටි සමනලුන්ට තම වර්ණවත් සහ විශාල පියාපත් භාවිත කරමින් තැනින් තැනට ඉගිල යා හැකියි.මේ තත්ත්වයට පත් වීමෙන් පසු තව දුරටත් සමනලුන්ගේ වර්ධනයක් සිදු වන්නේ නැහැ.

ඇතැම් සමනල් වර්ග මල් පැණිවලින් සිරුරුවලට ශක්තිය ලබා ගන්නවා.
වැඩුනු ගැහැනු සමනලුන්ගේ මූලික ම වගකීමක් වන්නේ තම වර්ගයා වර්ධනය කිරීම සඳහා බිත්තර දැමීමයි. ඔවුන් ශාකයෙන් ශාකයට පියඹා යමින් බිත්තර දැමීම සඳහා සුදුසු ම ස්ථානය තෝරා ගන්නවා. 

බොහෝ වැඩිහිටි සමනලුන්ගේ ජීවිත කාලය සතියකට හෝ දෙකකට හෝ සීමා වෙනවා. ඇතැම් සමනල වර්ග ශිශිරතරණයේ (ශීත කාලයට ඔරොත්තු දෙන සේ හිඳීම) යෙදී මාස කිහිපයක් ජීවත් වන්නට වාසනාව ලබනවා.   

සමනලයා - සම්පූර්ණයෙන් වැඩුණු අවස්ථාව







 



                                        
                                                   




                                            

                          

Grade 3 - English Language - Part One

3 ශ්‍රේණිය - සිංහල - දහසයවැනි පාඩම - “අහසින් ගිය සොහොයුරෝ” - ගුවන් ගමනේ ...