Saturday, December 31, 2022

විසිදෙකෙන් විසිතුනට - 2023/01/01

 

2022 ගෙවී හමාර වී 2023 දැන් උදා වෙලා. වත්මන් ලෝක සම්මතය අනුව හැම වසරක ම දෙසැම්බර් මාසයේ තිස්එක්වැනි දා වර්ෂයක් අවසන් වෙනවා. ඊළඟ වර්ෂය ජනවාරි පළමුවැනිදායින් ඇරඹෙනවා. වසරේ පළමු මාසය ජනවාරි ලෙසින් හඳුන්වන්නේ ග්‍රීක දේව සාහිත්‍යයේ එන ජානුස් නම් දෙවියාගේ නම ඇසුරු කොට ගෙනයි. ජානුස් දෙවිඳුන්ට මුහුණු දෙකක් ඇති බවත් ඒ මුහුණු දෙකෙන් එක වර දෙපැත්තක් බැලිය හැකි බවත් ග්‍රීක දේව සාහිත්‍යයේ සඳහන්.  

2022 අපේ රටටත් පොදුවේ ලෝකයටත් එතරම් ම සුබදායී නොවූ බවක් පැහැදිලියි. 2022 පෙබරවාරියේ පටන් රුසියාව කළ යුක්‍රේන ආක්‍රමණය තවමත් අවසන් වී නැහැ. යුද්ධය තව දුරටත් පවතිනවා. කුමන හේතුවක් නිසා ඇති වූවත් යුද්ධයක් කිසිසේත් ම ජනතාවට සුබදායී දෙයක් වන්නේ නැහැ. සැම විට ම ගෙන එන්නේ අයහපත් බවක් පමණයි.

2020 පටන් අපට අත් දකින්නට ලැබුණු කොරෝනා රෝගය තවමත් ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් වී නැහැ. මුලින් ම කොරෝනා ගැන අසන්නට ලැබුණු චීනයේ 2022 වසර පුරා ම රෝග වසංගතය ගැන අසන්නට ලැබුණා. චීන නායකත්වය දැඩි නීති රීති පනවමින් මිනිසුන් මිලියන ගණන් නිවෙස්වලට කොටු කර තබා ගත්තා. ඒත් පසුව ඒ තත්ත්වයට එරෙහිව ජන මතය ගොඩ නැගුනා. චීන නායකත්වයට තමන්ගේ දැඩි නීති හකුළා ගන්නට සිදු වුණේ ජන මතයට හිස නමමින්. 

මීට අමතරව ලෝකය පුරා විවිධ රටවල වෙඩි තැබීම්, ජීවිත විනාශ කිරීම්, ස්වාභාවික විපත්වලට අමතරව පාළම් කඩා වැටීම් ආදියත් අසන්නට ලැබුණා.

බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබත් මහ රැජිණගේ අභාවය අසන්නට ලැබුණේත් 2022 වසරේයි. රජ පුටුව නිත්‍යානුකූලව පිරවුනත් රැජිණගේ අභාවයත් සමග බි්‍රතාන්‍ය රාජ්‍යත්වය පිළිබඳ ලෝකය පුරා යම් අප්‍රසන්නතාවක් ඇති වූ බවක් පැහැදිලිව දකින්නට තිබුණා. 

 බ්රිතාන්‍ය නීතියට පිටු පා කටයුතු කළ බොරිස් ජොන්සන්ට අගමැති තනතුරෙන් ඉවත් වන්නට සිදු වූයෙත් 2022 දී යි. ඉන්පසුව වැඩි කැමැත්තෙන් අගමැති පුටුව හිමි වුණේ ලිස් ට්‍රෑස්ටයි. ඒ වුනත් ඇය ඉදිරියට ගෙනි යන්නට උත්සාහ කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්‍ෂෙප වන්නට වූ නිසා මාස හයක් වූ ඇගේ අගමැති තනතුරෙන් ඇයට සමු ගන්නට සිදු වූණා. ඉන්දීය සම්භවයක් ඇති රිශි සුනාක්   බ්රිතාන්‍ය  අගමැති වූයෙත් 2022 දී මයි.  

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරුද්ධව අධිකරණ තීන්දු තීරණ ලැබුණේත් 2022 වසරේ දී යි. වසර අවසාන වන්නට ඔන්න මෙන්න තිබියදී නිකුත් කළ ඔහු හා ඔහුගේ සමාගම්වලට අදාළ බදු වාර්තාවලින් කියැවුණේ ඔහු ඇතැම් වසරවල බදු ගෙවීම් පැහැර ඇති බවයි. 

2022 අපේ රටේ මෙන් ම ලෝකයෙත් ප්‍රසිද්ධ චරිත කිහිපයක් ම ජීවිතයෙන් සමුගත් වසරක් වුණා. “පාපන්දු රජ” ලෙස ලෝකයේ ම ආදරය දිනා සිටි පේලේ ජීවිතයෙන් සමු ගත්තේ වසර අවසානයට ළං වෙද්දීයි. 

අපේ රටේ රංග ශිල්පීන් ගායකයින් ආදී බොහෝ ප්‍රියතම චරිත තම ජීවිතවලින් සමු ගත්තේ 2022 දීයි. ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී දරුණු රිය අනතුරකට මුහුණ පෑවේත් 2022 දීයි. 

මේ සියල්ල හැරුණු කොට 2022 අපේ රටේ ඉතිහාසයට එකතු වන වසරක් වූවා. විශාල ජනතා කැමැත්තකින් ජනපති වූ අයෙකු ඊට වඩා විශාල ජනතා එකමුතුවකින් ජනපති පුටුවෙන් නෙරපා දැමුනේ 2022 දීයි. ඒ සඳහා පසුබිම් වූයේ නොසැලෙන ලෙසකින් දියත් වූ ජන අරගලයක්. එසේ ම ජනතා ඡන්ද විමසීමකින් තොරව ව්‍යවස්ථාවට අනුව පත් වූ ජනපතිවරයකු බිහි කළේත් 2022යි. 

දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ඉන්ධන සඳහා දිගු පෝලිම්, ගෑස් පෝලිම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අධික මිල ගණන් වැනි වැනි ප්‍රශ්න මෙන් ම විදුලි සහ ජල බිල්පත් සඳහා අයකිරීම් වැඩි වීම බදු අයකිරීම් ඉහළ දැමීම වැනි දේ සියල්ල ම සිදු වුණේ 2022 දීයි. 

මේ සියලු දුෂ්කරතාවලට රටේ ජනතාවට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්න නිසායි. රටේ ජනතාව ගනුදෙනු කරන්නේ රුපියල්වලින්. ඩොලර්වලින් ගනුදෙනු කරන්නේ රජය සහ ව්‍යාපාරිකයන්. කවුරු කොහොම කළත් ඒ ගනුදෙනු සියල්ල රජයට යටත්. ඒ අනුව විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්න සඳහා පිළිතුරු දිය යුත්තේ පවතින කවර හෝ රජයක් විසින්.

රටක පවතින හැම ආකාර ප්‍රශ්නයක් ම ඍජුව හෝ වක්‍රාකාරව හෝ රටේ දරුවන්ට බලපානවා. අපේ රටේත් එහෙමයි. ආර්ථික කඩා වැටීම් හේතුවෙන් වැඩිපුර ම දුෂ්කරතාවන්ට මුහුණ පාන්නේ අඩු ආදායම් ලාභීන්. ඒ ඇරත් ආහාරපාන, පොත්පත් මිල වැඩි වීම, වෙනත් පාසල් උපකරණ මිල වැඩිවීම් ආදිය දරු පරපුරට අහිතකර බලපෑම් ඇති කරනවා. 

මේ හැමට ම ඉහළින් පවතින ප්‍රශ්නය වන්නේ දරුවන්ගේ කුසිගිනි නිවීමයි. වැඩිහිටියකු අමාරුවෙන් ඉවසා ගත්තත් දරුවකු දිගින් දිගට ම කුසගිනි උහුලන්නේ කෙසේ ද? 

මේ වැනි ප්‍රශ්න බොහොමයක් අපට 2022න් උරුම වී තිබෙනවා. 2023ට අප පිවිසෙන්නේ තවමත් නිශ්චිත නොවු විසඳුම් ඇති ප්‍රශ්න රැසක් උරුම කර ගෙනයි. ඒවාට අප හැකි ලෙසින් දිරියෙන් යුතුව මුහුණ දිය යුතුයි.

සැමට ම සුබ අලුත් අවුරුද්දක් වේවා.    


Prasthava Pirula - ප්‍රස්තාව පිරුළු - “එකා යකා වීම”

Wednesday, December 14, 2022

සිදුහත් චරිතයේ එන අසිත හෙවත් කාලදේවල තවුසාණන්

 

             සිදුහත් චරිතය - අසිත හෙවත් කාලදේවල තවුසාණන්

අසිත හෙවත් කාල දේවල යන නම බුදු දහම උගන්නා කුඩා දරුවන් පවා අසා ඇති ඇතැම් විට හොඳින් හඳුනා ගත් නමක්.

අසිත තවුසා යනු කවුරුන් ද යන්න කෙටියෙන් විමසා බැලීම අද සටහනේ අරමුණයි.

අසිත තවුසාණන් අප මුලින් ම හඳුනා ගත යුත්තේ සුදොවුන් - ශුද්ධෝදන නැති නම් සිදුහත් කුමරුගේ පියාගේ ගුරුවරයා ලෙසයි. ඒ නිසා ම දෝ සුදොවුන් රජතුමාගේ මාලිගයට නිතර යෑම ඒම අසිත තවුසාණන්ට සාමාන්‍ය දෙයක්. සුදොවුන් රජතුමාත් තවුසාණන්ට ඉතා ම ගෞරවයෙන් සැලකුම් කළා.

තවුසාණන් ගැන තවත් විශේෂ කරුණක් සිහිපත් කළ යුතුයි. එතුමා යම් තාක් දුරකට සිත දියුණු කර ගත් පුද්ගලයෙක්. අහසින් යෑම / නුවණින් අනාගතය ගැන විමසා බැලීම වැනි කටයුතු කරන්නට තවුසාණන් සමත්. දිව්‍ය ලෝකයට යෑම/ඒම, දෙවියන් හා කල් ගත කිරීම වැනි දේත් තවුසාණන් සැම දා නිතර කළ දෙයක්.

මෙතන දී  අප විසින් සිතා තේරුම් ගත යුතු තව කරුණක් තියෙනවා. ඒ තමා බුදු කෙනෙකුන් ලොවට පහළ වීමට පෙරත් සිත නොයෙක් ආකාරයෙන් දියුණු කරගත් පුද්ගලයන් සිටි බව. ඒ අය තමන්ට හැකි ආකාරවලින් තමන්ට හැකි ලෙසින් සිත යම් දියුණු තත්ත්වයන්ට පත් කර ගෙන සිටි බව අප පැහැදිලි කර ගැනීම වැදගත්.

අසිත තවුසාත් එවැනි ම වූ අයෙක්.

බෝසත් කුමරුන් උපන් දවසේ උදෑසන ආහාරය සුදොවුන් රජුගේ මාලිගයෙන් ම වැළඳූ අසිත තවුසාණන් දහවල් වරුවේ තව්තිසා දෙව් ලොවට ගියා. 

එදා තව්තිසා දෙව් ලොව වෙන කවරදාටත් වඩා අලංකාරව දැක ගන්නට හැකි වුණා. සක් දෙව් රජ ඇතුළු දිව්‍ය සමූහයා ඉතා ප්‍රීතියෙන් කාලය ගත කරන බවයි තවුසාණන්ට දැකිය හැකි වූයේ.

නිතර දෙව් ලොව දැක පුරුදු ඇති අසිත තවුසාණන්ට අද තමන් දකින මේ අතිශය ප්‍රීතිමත් පරිසරය ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා ම එතුමන් ඒ පිළිබඳව දෙවියන්ගෙන් ප්‍රශ්න කළා.

දෙවියන් තවුසාණන්ට බෝසත් කුමරුගේ උත්පත්තිය ගැන දන්වා සිටියා. 

බෝසත් කුමරුගේ උපත ගැන දෙවියන්ගෙන් දැන ගත් අසිත තවුසාණන් දෙව් ලොව රැඳීම නවතා නැවතත් සුදොවුන් රජතුමාගේ මාලිගයට ගියා. රජතුමා සුපුරුදු ගෞරවයෙන් තවුසාණන් පිළිගෙන අසුන් ගැන්වූවා.

“මහරජ, ඔබට පුත් කුමරුකු උපන් බව දැන ගන්නට ලැබුණා. අප සතුටුයි කුමරුව දැක ගන්නට.” තවුසාණන් රජුට කීවා.

ඒ ඇසූ සුදොවුන් මහරජතුමා ඇතුළු ගෙට ගොස් බිළිඳු කුමරුන් තමා ම වඩා ගෙන අවුත් තවුසාණන්ට පෑවා.

“පුත, තවුසාණන් වැඳ පින් රැස් කර ගන්න." කියා රජතුමා පුත් කුමරුට කීවා. දිනක්වත් වයස නැති දරුවකුට යමක් කීමෙන් අදහස් කරන්නේ එය එසේ කරන බවට ඇති විශ්වාසයෙන් නොවේ. සාමාන්‍ය කෙනෙකු වුවත් කිසිවක් ම නොතේරෙන වයසේ ඇති දරුවකුට එවැනි දෙයක් කීම සාමාන්‍යයි. ඒ නිසා රජුත් එවැනි යමක් කියන්නට ඇති බව අපට සිතා ගත හැකියි.

ඒ එසේ වුවත් එතැන දී සිදු වුණේ කිසිවකුටත් සිතා ගත නොහැකි දෙයක්.

තවුසාණන්ට සමීප වූ බෝසත් බිළිඳාගේ දෙපා තවුසාණන්ගේ හිස මත ගැටී නතර වුණා.

බෝසත් බිළිඳාගේ දෙපා තවුස් හිසේ ගැටීමත්, තවුස් හිස මත නතර වීමත් කියන්නේ අවස්ථා දෙකක්.

යම් පුද්ගලයකු වාඩි වී සිටින වෙලාවක දී ඔහු අසලට වඩා ගත් දරුවකු රැගෙන ගියා කියා හිතන්න. එවැනි වෙලාවක දී දරුවාගේ දෙපා යම් අත්වැරදීමකින් හිඳ සිටින අයගේ හිසේ වදින්නට පුළුවන්. එය අසාමාන්‍ය දෙයක් නෙවෙයි.

ඒ වුනත් මේ කියැවෙන අවස්ථාවේ වූයේ ඒ හා සමාන දෙයක් නෙවෙයි. ඒ බව අප පැහැදිලි කර ගත යුතුයි. මෙහි දී සැබෑ සිදුවීම ලෙස අප පැහැදිලි කර ගත යුත්තේ බෝසත් බිළිඳාගේ දෙපා තවුසාණන්ගේ හිස මත පිහිටා නතර වූ බවයි.

වෙන අයෙකු තවුසා වෙනුවට එතැන හිටියා නම් කුමක් විය හැකි ද?

එසේ වූවා නම් බොහෝ විට විය හැකි වන්නේ එය බිළිඳා වඩා සිටින අයගේ අත්වැරැද්දකින් සිදු වූවක් බව සිතා එය අමතක කර දැමීමයි.

ඒත් අසිත හෙවත් කාලදේවල තවුසාණන් බෝසත් බිළිඳාගේ දෙපා තම හිස මත පිහිටීම ගැන සුළුවෙන් කල්පනා කොට නොසලකා හැරියේ නැහැ. ඔහු උගත් මෙන් ම බුද්ධිමත් පුද්ගලයෙක. ඒ වගේ ම සිත යම් තාක් දුරකට දියුණු කොට ගත් අයෙක්. යම් කෙනෙකුගේ ශරීර ලක්ෂණ බලා ඒ පුද්ගලයා ගැන දත්ත ඉදිරිපත් කිරීමට අදාළ ශාස්ත්‍රය ප්‍රගුණ කළ කෙනෙක්.

ඒ අනුව සිත මෙහෙය වූ තවුසාණන් බෝසත් බිළිඳාගේ ශරීර ලක්ෂණ විමසා බලන්නට වුණා. ඒ වගේ ම බිළිඳාගේ අනාගතය ගැන නුවණින් සොයා බලන්නට වුණා. 

අසිත තවුසා තේරුම් ගත්තා මේ බිළිඳා මතු ශ්‍රේෂ්ඨයකු වන බව. මිනිසුන් අතරින් උතුම් ම තත්ත්වයකට පත් වන බව. තමන්ගේ ප්‍රකාශනයෙන් මිනිසුන් ධර්මානුකූලව හසුරුවා ගත හැකි බව. එසේ ම කිසි දා ගිහිගෙයි නොනවතින බව.

අසිත තවුසාණන් තවත් සිතමින් කාලය ගත කළේ නැහැ. වහා ම තම අසුනින් නැගිට සිටියා. සුදොවුන් රජතුමා ඇතුළු හැම දෙනා ම පුදුම කරවමින් බෝසත් බිළිඳාගේ දෙපා වැන්දා.

 තමාත් වඳින පුදන ගෞරව කරන තම ගුරුවරයා තමන්ගේ බිළිඳු පුත්‍රයාට කළ වැඳීම ගැන සුදොවුන් රජතුමා වඩාත් ම උනන්දු වුණා. ඒ අනුව එතුමා කොහොමටත් වටහා ගන්නට ඇත්තේ තම බිළඳු දරුවා ගෞරවනීයයන්ගේ වැඳුම් පිදුම් ලබන්නට තරම් සුදුසු අයකු බවයි.

ඒ අනුව තමා සුදොවුන් රජතුමා තමන්ගේ ම පුත්‍රයාට වඳින්නට පෙළඹුනේ.

අසිත හෙවත් කාලදේවල තවුසාණන් මුලින් සිනාසුනා. පසුව හැඬුවා. එවැනි තත්ත්වයක් ඇති වූවාහම කවුරුත් කලබල වෙනවා. විමසුම් සහගත වෙනවා. ඒ අනුව රජතුමා ඒ ගැන විමසීමක් කළා. 

ඒ වෙලාවේ දී අසිත තාපසතුමන් කළ ප්‍රකාශය තමා ඉතා ම වැදගත්. එතුමා තමා මුලින් සිනාසුනු හේතුව විස්තර කළා.

“මේ කුමරු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයකු වෙනවා. මිනිසුන් අතරින් උතුම් ම වූ තත්ත්වයකට පැමිණෙනවා. ගිහිගෙය අත හරිනවා. පැවිදි වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මා සිනාසුනේ ඒ උතුම් පදවිය මේ කුමරු ලබන බව සහතික කර ගත් නිසයි. මා හැඬුවේ ඒ සම්බුද්ධත්වය දකින්නට තරම් ආයුෂ නැති මා ඊට පෙර මරණයට පත් වන බව දැකීමෙන්.” 

අසිත තවුසාණන්ගේ මේ ප්‍රකාශය තමා බෝසත් කුමරු වෙනුවෙන් කළ පළමු අනාවැකි පළ කිරීම ලෙස සැලකිය හැකි වන්නේ. ඒ හේතුවෙන් ම අසිත හෙවත් කාලදේවල තවුසාණන් සිදුහත් චරිතයේ අතිශය වැදගත් තැනක ලා සැලකිය හැකි වනවා.

මූලික වශයෙන් ඒ සඳහා හේතූන් දෙකක් ඉදිරිපත් කළ හැකියි.

1) අසිත තවුසාණන් ගේ වැඳීම හේතුවෙන් සුදොවුන් රජතුමා ද කුමරු වැඳීමට පෙළඹීම.

2) බෝසතුන් ගිහි ගෙයි නොරැඳී පිට වන බව හා මතු බුදු වන බවට කළ ප්‍රකාශය.

බෝසත් කුමරුන් උපන් දවසේ ම සිදුවන මේ අනාවැකි ප්‍රකාශය හැම අතින් ම වැදගත් වෙනවා. සුදොවුන් රජතුමා තම පුත්‍රයාගේ අනාගතය ගැන යම් අදහසක් දරා ගන්නේ මේ අනාවැකි ප්‍රකාශයත් සමගයි.

එහෙත් මේ සියලු දේට වඩා තවත් වැදගත් යම් කටයුත්තක් අසිත හෙවත් කාලදේවල තවුසාණන් වෙතින් ඉෂ්ට වෙනවා.

ඒ තමා තමන්ගේ නැගණියගේ පුත් නාලක මතු බුද්ධත්වය ලබන උතුමන් වෙනුවෙන් පැවිදි වීමට පෙළඹවීම.

සුදොවුන් රජතුමන්ගේ මාලිගයෙන් පිට වූ අසිත තවුසාණන් තම නැගණියගේ නිවසට යන්නේ ඇගේ පුතණුවන් වූ නාලක සොයා ගෙනයි.

“පුත, නාලක. සුදොවුන් රජතුමන්ගේ පුත් කුමරු මතු යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඔබ ඒ උතුමන් වෙනුවෙන් පැවිදි වන්න. මතු දා එතුමා සම්බුද්ධත්වයට පත් වූ පසු එතුමන් වෙත ගොස් පිළිවෙත හදාරා සසර දුකින් මිදෙන්න” මේ තමා අසිත තවුසාණන් නාලකට කළ අවවාදය.

ඒ අවවාදය පිළිගත් නාලක එවේලේ ම වනගත වන්නට තීරණය කළේ පැවිදි ජීවිතයක් ගත කිරීම සඳහායි.

ගෞතම බුදු පියාණන් වෙනුවෙන් මේ ලෝකයේ පැවිදි දිවියට පත් පළමු තැනැත්තා වෙන්නේ නාළක තරුණයායි.

තම නෑයා වූ අසිත තවුසාණන්ගේ ඉල්ලීම නාළක එකවර පිළිගැනීමත් යම් තරමකින් විමසා බැලිය යුතුයි.

එහි දී ද මූලික වන්නේ ඥාතීත්වයටත් වඩා තවුසාණන්ගේ අනාගත දැක්මට ගරු කිරීමයි. තවමත් සිදුහත් කුමරු උපන්නා පමණයි. එතුමාගේ ජීවිතය පටන් ගත්තා පමණයි. එසේ තිබිය දීත් අසිත තවුසාණන්ගේ අනාවැකිය ප්‍රබල බවට නාළක තැබූ විශ්වාසය යම් තරමකින් පුදුම සහගතයි. 

කෙසේ වුවත් තවුසාණන්ගේ ඉල්ලීම පිළිගත් නාළක ගිහි ජීවිතයෙන් ඈත් වුණා. වනගත වුණා. පැවිදි ජීවිතයකට හුරු වුණා.

සිදුහත් තවුසාණන් සම්බුද්ධත්වයට පැමිණි පසු නාළක පැවිදි උතුමන් බුදුරදුන් වෙත පැමිණ අවශ්‍ය පිළිවෙත සම්පාදනය කර ගෙන නැවත වන ගත වී ධර්මානුකූලව පිළිවෙත් රැක රහත් භාවයට පත් වුණා. ඉන් හත්මසකට පසුව පිරිනිවන් පෑවා. 





Sunday, December 4, 2022

දිරි ඇති මණ්ඩුක



මණ්ඩුක කියන්නේ මැඩියාට. මැඩියා කියන්නේ ගෙම්බාට බව දරුවන් දන්නවා නේ? 

අප අද ඔබට ඉදිරිපත් කරන කතාවට පසුබිම් වෙන්නේ මැඩියන් පිරිසක්.

මැඩියන් - මණ්ඩුකයන් පිරිසක් දවසක් කැලෑවක් මැදින් ගමනක් ගියා.



ඒ ගමන අතරතුර දී පිරිසේ සිටි මණ්ඩුකයන් දෙදෙනකු වනයේ ඇති වළකට වැටුණේ අහම්බෙන්.





අනෙක් මණ්ඩුකයන් සියලු දෙනා ම වළ වටා රොක් වුණා. ඔවුන් විමසිලිමත් වූයේ තම මිතුරන් දෙදෙනා වැටුණු වළේ ගැඹුර දැන ගැනීමටයි. 

ඒ වළ ඉතා ම ගැඹුරුයි.

ඔවුන් වළේ වැටී ඉන්නා තම මිතුරන්ට දැනුම් දුන්නේ වළේ ඇති ගැඹුරේ තරමයි. ඒ දෙදෙනාට ම මේ ගැඹුරු වළෙන් පිටතට ඒමට කිසිදු ආකාරයක පුළුවන්කමක් තිබිය නොහැකි බවත් ඔවුන් සිය අවාසනාවන්ත මිතුරන්ට දැනුම් දුන්නා.



තම මිතුරන්ගේ දැනුම් දීම සහ බලාපොරොත්තු රහිත වීම වළේ උන් මණ්ඩුකයන් නොසලකා හැරියා. ඔවුන් දෙදෙනා කල්පනා කරන්නට පටන් ගත්තේ තමන්ට මේ ගැඹුරු වළෙන් ගොඩ යා හැකි ක්‍රමයක් ගැනයි. තමන්ට එසේ කළ හැකියැයි දෙදෙනා ම සිතා ගත්තා. වළෙන් ගොඩ ඒම සඳහා දෙදෙනා උත්සාහ කරන්නට පටන් ගත්තා.

 ඔවුන් දෙදෙනා ම වළේ බිත්තිය අල්ලමින් උඩට පනිමින් වළෙන් ගොඩට පැමිණීමේ උත්සාහය පටන් ගත්තා. 

ඔවුන්ගේ උත්සාහය දකිමින් වුවත් වළේ විවරය වටා සිටි මණ්ඩුක පිරිස දිගින් දිගට ම කෑ ගසමින් කියා හිටියේ ඉහළට පනිමින් වළෙන් ගොඩට එන්නට දරන උත්සාහය ඵලවත් නොවන බවයි.

වළ තුළින් ගොඩට එන්නට එන්නට උත්සාහ දරමින් සිටි එක මණ්ඩුකයකු තම මිතුරු පිරිස කෑ ගසමින් කියන අවවාදය පිළිගත්තාක් වැනි වුණා. ඔහු තම උත්සාහය අත හැරියා. වළ පතුලට ඇද වැටුණු මණ්ඩුකයා මිය ගියා.

අනෙක් මණ්ඩුකයා තම උත්සාහය අත හැරියේ නැහැ. තමන්ට හැකි පමණින් වෙර දරමින් වළේ විවරය වෙත ළඟා වන්නට ඔහු තමන්ට හැකි ලෙසින් උත්සාහ කළා. 

වළේ විවරය වටා රැඳී සිටින මැඩි පිරිස ඔහුට කෑ ගසමින් කියන්නට වුණේ ඒ වේදනාකාරී උත්සාහය අත් හැර දමන ලෙසයි. ඔවුන් වැඩි දුරටත් කීවේ මරණය ඊට වඩා සැපවත් විය හැකි බවයි.

ඒ කුමක් වූවත් වළේ දැනට ඉතිරිව ඉන්නා මැඩියා තම මිතුරන්ගේ යෝජනා අවවාද පිළිගත් බවක් පෙණුනේ නැහැ. 

දිගට ම දැඩි උත්සාහයක යෙදුණු මැඩියා ඒ උත්සාහයේ ප්‍රතිඵලය ලබා ගත්තා. වළේ විවරයෙන් ගොඩට පැන ගත්තා.

ඒ විගස ම මැඩි මිතුරු කැළ ඔහු වට කර ගත්තා.

“ඔබට ඇහුනේ නැති ද අප කී දේ? ඇයි ඔය තරම් දැඩි උත්සාහයක් ගත්තේ?”

ඒ ප්‍රශ්නයට ගොඩට ආ මැඩියා දුන්නේ අපූරු පිළිතුරක්.

“ඔය අය එහෙම දෙයක් කීව ද? මට ඒ කිසිවක් ම ඇහුනේ නැහැනේ. මට එහෙම ඇහෙන්න විදිහකුත් නෑ. මම බිහිරියි. මම හිතුවෙ ම වළෙන් ගොඩ එන්න මාව දිගට ම දිරිමත් කළා කියලයි.” 



පසු සටහන : මිනිසුන් භාවිත කරන වදන් තව අයෙකුගේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් ඇති කළ හැකි බව තේරුම් ගැනීම වැදගත්.

ඒ නිසා ම ඔබ යමක් කතා කිරීමට පෙර - ඔබේ මුවින් වදන් පිට වීමට පෙර ඒ ගැන හොඳින් සිතන්න. 

හේතුව ඔබේ වදන් තවත් කෙනෙකුගේ ජීවත් වීමට මෙන් ම ඇතැම් විට මරණයට ද පවා හේතු විය හැකි නිසයි.  

Saturday, December 3, 2022

Your Daily Motivation (Qouted) / දවසේ දිරිගැන්වීම (උපුටා ගැනීමකි.)

 No matter what people think of you, or no matter what situations you face in your life, if you believe in yourself, you can get through anything.

 Everything you have achieved in your life has stemmed from your belief that it’s possible.

 Self-belief gives you courage, strength, and confidence to deal with all aspects of your life.

 Work towards improving yourself while maintaining a positive attitude about your abilities.

 Learn to love and respect yourself. Spend time reflecting on what you really want.

 Do not underestimate your personal power. You can do this.

කවුරු කෙසේ කුමක් ඔබ ගැන සිතුවත්, ඔබ ඔබේ ජීවිතයේ කුමන තත්වයන්ට මුහුණ දුන්නත්, ඔබ ඔබ ගැන විශ්වාස කරන්නේ නම්, ඔබට ඕනෑම දෙයක් ජය ගත හැකිය.

ජීවිතයේ ඔබ මෙතෙක් අත්පත් කරගත් සාර්ථක බවක් වේ නම් ඒ සියල්ල ඔබේ ධෛර්යය නිසා ලැබූ දේ බව ඔබ විශ්වාසයට ගත යුතු ය.

ආත්ම විශ්වාසය ඔබේ ජීවිතයේ සෑම අංශයක් සමඟම කටයුතු කිරීමට ඔබට ධෛර්යය, ශක්තිය සහ විශ්වාසය ලබා දෙයි.

ඔබේ හැකියාවන් ගැන ධනාත්මක ආකල්පයක් පවත්වා ගනිමින් ඔබම දියුණු කර ගැනීමට කටයුතු කරන්න.

ඔබටම ආදරය කිරීමට හා ගරු කිරීමට ඉගෙන ගන්න. ඔබට සැබවින්ම අවශ්‍ය දේ ගැන මෙනෙහි කිරීමට කාලය ගත කරන්න.

ඔබේ පෞද්ගලික බලය අවතක්සේරු නොකරන්න. එය ඔබට කළ හැකියි.