Tuesday, March 16, 2021

 මංගල සූත්‍රය සහ මඟුල් කරුණු



මංගල සූත්‍රය පිළිබඳව නම් බුදු දහම පිළිගත් කුඩා දරුවකු වුවත් නොදන්නේ නැති තරම්. අප 'මහ පිරිත' ලෙසින් සලකන තුන් සූත්‍රයට මංගල සූත්‍රයත් ඇතුළත්. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි බුදු පියාණන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කොට ඇත්තේ දේවාරාධනාවක් පදනම් කොට ගෙනයි. 

එක් රාත්‍රියකදී මුළු පරිසරයම ඒකාලෝක කරමින් සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණි දෙවියකු එහි වැඩ සිටි සම්බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ කාහටත් අභිවෘද්ධිය සෙත සැලසෙන මංගල යැයි සැලකිය හැකි කරුණු දේශනා කරන ලෙසයි. 

මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් මතු කොට දැක්විය හැකියි.

1) ‘මංගල’ ලෙසින් පිළිගත හැකි කරුණු පිළිබඳ තත්කාලීන සමාජයේ වියවුල් සහගත බවක් පැවතීම.

2) කිසිවක් සම්බන්ධයෙන් බුදු පියාණන් දක්වන අදහස්වල පිළිගත හැකි සමබරතාවක් පවතින බව  දෙවියන් පවා පිළිගෙන ඇති බව පැහැදිලි වීම. 

එදා බුද්ධ කාලීන සමාජයේ ‘මඟුල්’ හෙවත් සෙතක් යහපතක් ඇති කරන කරුණු පිළිබඳව ඒකමතික අදහසක් පොදු පිළිගැනීමක් නොතිබූ බව පැහැදිලියි. ඒ එසේ ම එවැනි පිළිගැනීම් විවිධ ආකාරයෙන් තිබූ බවත් පැහැදිලියි. මේ තිබූ වියවුල් ස්වභාවය සාමාන්‍ය මිනිස් සමාජය තුළ නොයෙක් ආකාරයේ ආකූලතා ඇති කරන්නටත් ඇති.

“මඟුල් යනු කුමක් ද?” මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් නැතිව මිනිස් සමාජය තුළ නතරවී තිබියදී මේ ගැන ඊළඟට උනන්දු වන්නට පටන් ගත්තේ දෙවියන් ය. එයින් පවා තේරුම් යන්නේ “මඟුල්” යන්නට නිසි අර්ථ ගැන්වීමක් නැතිව මංමුලා වූ තත්ත්වයෙන් දිගටම මිනිස් සමාජය පවතින්නට ඉඩ දීම නොකළ යුතු බව දෙවියන් විසින්ම තීරණය කළ බවයි. 

ඒ අනුව එක් රාත්‍රී යාමයකදී දෙවියකු සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණියේ බුදු පියාණන් වෙත ඉදිරිපත් කරන්නට ප්‍රශ්නයක් ද සමගින්. දෙව් ලොවින් පැමිණි දිව්‍ය පුත්‍රයා බුදු පියාණන් වැඳ නමස්කාර කොට “භාග්‍යවතුන් වහන්සල කාහටත් අභිවෘද්ධිය සැලසෙන උතුම් කරුණු වදාරන්නැයි” ඉල්ලා සිටියා. 

දිව්‍ය පුත්‍රයාගේ ඉල්ලීම ඉටු කරන බුදු පියාණන් කාහටත් අභිවෘද්ධිය සෙත සැලසෙන එසේම තමන් විසින් අනුගමනය කරමින් යහපත ළඟ කොට ගත හැකි උතුම් මඟුල් තිස්අටක්ම දේශනා කොට වදාළා. 

ඒ තමා “මංගල සුත්ත“ හෙවත් “මංගල සූත්‍රය”.

මේ සංවාදයේදී අප අවධානය යොමු කරන්නේ මංගල සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දක්වා ඇති පළමු මඟුල් කරුණු දෙක ගැනයි.

 “අසේවනාච බාලා නං - පණ්ඩිතානංච සේවනා”
අපි මේ වචන තේරුම් ගන්නට උත්සාහ කරමු. ‘සේවනය’ යනු ඇසුරු කිරීමයි. නැති නම් ඇලී ගැලී සිටීමයි. ‘අසේවනාච’ කීමෙන් අදහස් වන්නේ ඇසුරු කිරීමක් නොකරන ලෙසයි.

 ‘බාලානං’ යනුවෙන් මෙහි අදහස් වන්නේ කුඩා දරුවන් නොවේ. මෙහි ‘බාල’ යනු ‘පව්’ එසේත් නොවේ නම් අයහපත් කටයුතුවල යෙදෙන්නන්. ඇසුරු කරන්නට එපා කියන්නේ එවැනි අයයි. බුදු පියාණන් වහන්සේ එසේ එපා කියන්නේ ඇයි? අප පැහැදිලි කරගත යුත්තේ එයයි. 

අයහපත් අය ඇසුරු කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද? එවැනි අය ඇසුරු කිරීමෙන් අප අපේක්ෂා කරන්නේ කුමන ආකාරයක ප්‍රතිඵල ලබන්නට ද? අපට සිදු වන්නේ අප ඇසුරු කරන්නන් ක්‍රමයෙන් අනුගමනය කරන්නටයි. ඔවුන්ගේ ආකාරයට අපගේ ජීවිත හැඩ ගස්සවා ගන්නටයි. අවසානයේ අප තුළ ඉතිරි වන්නේ ඔවුන්ගේ වසඟයට පත් වහලුන් පමණයි. එයින් හැඟී යන්නේ නිසැකවම අප ද ඔවුන් මෙන් කටයුතු කරන බවයි. එසේ නම් අපෙන් සිදු වන්නේ ද සදාචාරවත් සමාජය නිරතුරුවම ප්‍රතික්ෂේප කරන අයහපත් කටයුතුය. තවත් ලෙසකින් කියනවා නම් අප ද පිරිහී ඇති බවය. එසේම සමාජයේ ගැරහීමට අප ද ලක් වෙමින් සිටින බවය. එවැනි ගර්හිත තත්ත්වයකට අප පත් නොවීමට නම් අප කළ යුත්තේ ‘බාල’ යනු කවුදැයි හොඳින් හඳුනා ගෙන ඔවුන්ගෙන් ඈත් වී විසීමයි. හැකියාවක් ඇත්තේ නම් දුසිරිතට යොමුවූ අයෙකුව යහමඟට ගැනීමට උත්සාහ කිරීමයි.

ඊළඟට තේරුම් ගත යුත්තේ ‘පණ්ඩිත’ යනු කවුද යන්නයි. ‘බාලයන්’ යනු කවුදැයි නිසි ලෙස තේරුම් ගත් විට ‘පණ්ඩිත’ යන්නෙන් බුදුන් වදාළ වදනේ නිසි අරුත තේරුම් ගැනීමට අපහසු වන්නේ නැහැ. මෙහිදී පණ්ඩිත වචනයෙන් හුවා දක්වන්නේ ‘පව්’ නොකරන ජනයායි. සාමාන්‍ය ජන සමාජයට අහිතකර නොවන ලෙසින් සිය ජීවිත ගත කරන අය ගැනෙන්නේ මේ කොටසටයි.
 සාමාන්‍ය ව්‍යවහාරයේ හැටියට ‘පණ්ඩිත’ යන කොටසට අයත් වන්නේ හොඳින් දැන උගත් උදවියයි. දැන උගත් ජන කොටස් සමාජය පීඩාවට ලක් නොකරන කටයුතුවල නොයෙදෙන අය හැටියට උකල්පනය කළ විට ඒ අර්ථයෙන් ගත් විටත් වරදක් වන්නේ නැහැ. එවැනි අය ඇසුරු කිරීමෙන් කිසි විට තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන බවයි බුද්ධ දේශනාවේ දැක්වෙන්නේ. ඒ නිසාම ඒ කරුණු සමාජ අභිවෘද්ධිය සලසන උතුම් මඟුල් කරුණු බවට පත් වෙනවා. 
 
බුදු පියාණන් වහන්සේ මඟුල් කරුණු ලෙසින් මුලින්ම මේ කරුණු වදාරන්නට ඇත්තේත් අයහපත ඇති කරන්නට මුල් වන මිනිසුන් මූලික වශයෙන්ම සමාජය විනාශ කරන්නට පෙළඹෙන නිසා ද විය හැකියි.