Thursday, November 11, 2021

ජන ජීවිතය සහ සිංහල ජනකවිය

 


ජන ජීවිතය සහ සිංහල ජනකවිය 

අතීත සිංහල ජන ජීවිතය බොහෝ දුෂ්කරතා මැද ගෙවුනක්  බව තේරුම් ගැනීමට අපහසුවක් නැහැ. ඊට හේතු බොහෝ දක්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන්  කෘෂිකාර්මික ජන  ජීවිතයකට බහුල වශයෙන් හුරු වූ ශ්‍රී ලාංකීය අතීත ජනතාව බොහෝ දුක් විඳින්නට ඇති බව වර්තමානයේ ජීවත්වන අපට තේරුම් ගැනීමට අපහසු කරුණක් නෙවෙයි.

තමන්ගේ ජීවිතය ඔවුන්ට අසීරු වන්නට ඇත්තේ වගාව සඳහා පරිසරය සකස් කරගන්නට/ ජීවත් වන්නට නිවසක් ඉදි කර ගන්නට/ කැලෑ ආදිය එළිපෙහෙළි කොට සතුන් පන්නා දමන්නට ආදී බොහෝ සාධක ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් ඇති කරන්නට ඇති බව අපට සිතාගන්නට පුළුවන්. ඔවුන්ට එල්ල වූ අභියෝග ජයගන්නට ඔවුන් බොහෝ වෙහෙස ගන්නට ඇති බවත් අපට සිතාගන්නට පුළුවන්. එසේ වුවත් අතීත ජනතාව ඒ කිසිදු අභියෝගයකින් නොසැලී කටයුතු  කර ඇති බව අද ජීවත්වන කුඩා දරුවකු වුවත් පහසුවෙන් තේරුම් ගන්නේ අතීතයේ ජන ජීවිතයේ සාධක අදටත් යම් යම් ස්ථානවල යම් යම් ආකාරවලින් ඉතිරි වී පවතින නිසයි.

දහසක් බාධක මධ්‍යයේ වුවත් අසීරුවෙන් ගෙවන තම ජීවිතය රසවත් කර ගන්නටත් මේ අතීත ජනතාව 

බොහෝ සමත්කම් දක්වා ඇති බව වටහා ගැනීමටත් අසීරු නැහැ.

දියුණු කරගත් ජන ක්‍රීඩා, රසවත් ජනකවි, නර්තන ලීලා ආදිය අතීත ජනතාව සිය එදිනෙදා දිවිය හරවත් කරන්නට රසවත් කරන්නට යොදාගත් උපාංග ලෙසින් හැඳින්වීමේ වරදක් නැහැ.

ඒ සියල්ල අතරින් ජනකවි අධ්‍යයනය  කර බලන විට අතීත ජනතාව අප හිතන තරම් රසවින්දනය අතින්  දුර්වල නැති බව කදිමට පෙනී යයි. 

ශ්‍රී ලංකාවේ ජනකවි සාහිත්‍යය බිහි වෙන්නේ අතීත ජනතාවගේ නිර්මල මනස් තුළින්. මේ තමා වැදගත්ම කරුණ. තමන් ගත කරන ජීවිතය ඒ ජීවිතයේ තමන් ලබන අත්දැකීම්, තමන්ගේ දුෂ්කරතා, තමන්ගේ මනස් පෙරළි ආදී මේ සියලුම කරුණු ඔවුන් කවි සඳහා අන්තර්ගත ලෙසින් භාවිත කොට තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකීය සිංහල ජන කවිය බොහෝ රසවත් මෙන්ම අත්දැකීම් අතින් ද පරිපූර්ණ සාහිත්‍ය අංගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. 

ඊට අමතරව ගතට සුවයක් මෙන්ම සවියක් ද ලබාදෙන ක්‍රීඩා සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බව වටහා ගන්නට පුළුවන්. සිංහල අලුත් අවුරුදු කාලයට කරළියට එන  ඔන්චිල්ලාව පැද්දෙන රිද්මය වටහා ගත් අතීත ගැමියා ඔන්චිලි වාරම් නිර්මාණය කොට ගන්නේ ඔංචිලි පැදීමේ ප්‍රීතිය  තවත් වැඩි කරමින්. මේ එක උදාහරණයක් පමණයි.

තම කුඩා දරුවා ඇකයේ තබා නලවන ගැමි මාතාව දරුවා නළවන්නට  කවි ගායනා කරන්නේ මහත් දාරක සෙනෙහසකින් යුක්තවයි. 

මේ ආකාරයෙන් බැලූ විට සිංහල ජනකවිය අතීත ජන ජීවිතයේ බොහෝ අවස්ථා ස්පර්ශ කොට ඇති බව පැහැදිලි වෙයි.

දරු නැළවිලි  කවි

අන්න පුතේ ඇතින්නි යා

ගල් අරඹේ සිටින්නි    යා

ගලින් ගලට පනින්නි යා

පුතුට බයේ දුවන්නි   යා

     අතට වෙරළු  ඇහිඳ ගෙනේ

      ඉණට පලා නෙලා ගෙනේ

      බරට  ම දර කඩා  ගෙනේ

     එයි  අම්මා විගසකි   නේ

සිය දරුවා නළවන ගැමි මාතාව කවි ඇසුරෙන් කරන විග්‍රහය  සැබෑ ජීවිතයේ ඇත්තට ම සිදු වන්නක් නොවූවත් එයින් මවා ගන්නට උත්සාහ කරන චිත්‍රය බෙහෙවින් විචිත්‍ර ය. දරුවා මේ කිසිවක් තේරුම් නොගත්තත් ඔහු නැළැවෙන්නේ මවගේ ගීතවත් හඬට කන් දෙමින්.

අතීත ගැමි කාන්තාවගේ අධ්‍යාපන සුදුසුකම් හෝ සාක්ෂරතාව හෝ ගැන අප කතා නොකළ යුත්තේ මේ සටහනට ඒ කිසි ම සුදුසුකමක් අදාළ නොවන බැවින්.

සාමාන්‍ය මහ ජනතාව අතරින් බිහිවන කවර නිර්මාණයක් වුවත් බිහි වෙන්නේ ඔවුන් ලබා ඇති අධ්‍යාපන මට්ටමට සාපේක්ෂව නොවන බව වටහා ගැනීම ඉතා ම වැදගත්.

ඒ සියලු නිර්මාණවල මූලාශ්‍රයන් ඇත්තේ ඔවුන්ගේ නිර්ව්‍යාජ පෞද්ගලික අත්දැකීම් තුළයි. ඒ නිර්මාණ අදටත් අගය කළ හැකි මට්ටමක පවතින මූලික ම හේතුවත් එය වන්නට පුළුවන්. 

ජනකවි සාහිත්‍යාංගයේ නිර්මාතෘවරුන් වන අතීත ගැමි ජනතාව සිය නිර්මාණ කටයුතු කිසියම් අධ්‍යාපන පසුබිමක සිට කළාදැයි මඳක් විමසීම වටිනවා. එවැනි කරුණක් ගැන හාරවුස්සා සෙවීමට අප දැන් ප්‍රමාද වැඩිදෝයි කියාත් හිතෙනවා. 

ඒ ගැන අපට නිසි සේ සොයා බලා විමසන්නට නොහැකි වූවත් අපට එක කරුණක් නම් පැහැදිලි කර ගැනීමට අසීරු වෙන්නේ නැහැ. ඒ තමා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, ඔවුන්ගේ දැන උගත්කම්, සාක්ෂරතාව වැනි සාධක කිසිසේත් ම මේ ජනකවි නිර්මාණ කාර්යයට කිසිදු ආකාරයක අහිතකර බලපෑමක් ඇති නොකර ඇති බව.

ඔවුන් අද අප කතා කරන ප්‍රාථමික, ද්වීතීයික අධ්‍යාපන මට්ටම් පසු නොකරන්නට ඇති. සරසවි අධ්‍යාපනය නොලබන්නටත් ඇති. ඒත් නිර්මාණකරණයේදී සිය නිසර්ගය මගින් සියලු පසුබිම් අවශ්‍යතා සපුරා ගන්නටත් ඇති.

එළිසමය ඇති අරුත් දනවන සිව්පද කවියක් නිර්මාණය කිරීමේ දී අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ විය යුතු බව වර්තමාන දියුණු කවීන් හඳුනා ගෙන තිබෙනවා. ඒ සිද්ධාන්ත ජනකවි නිර්මාණය කළ ගැමියන් දැන සිටියා ද? 

අපට සිතා ගන්නට ඇත්තේ එම සිද්ධාන්ත ඒ ආකාරයෙන් ම ඔවුන් හඳුනා ගෙන නොසිටි බවයි. ඒ එසේ වුවත් ඒ සිද්ධාන්ත ගැන ඔවුන්ට කිසියම් ආකාරයක් ‘ඉවක්’ තියෙන්නට ඇතැයි අපට නොසිතා සිටින්නට නොහැකියි.

ඒ ඔවුන් සහජයෙන් ම ලැබූ ආභාෂයක් විය හැකියි. ලෝකයේ ඕනෑ ම ජන සමාජයක ජන කතා, ජන ගායනා වැනි දේ නිර්මාණ ලෙසින් කඩදාසිවල, පොත්පත්වල ලියූ ඒවා නොවෙයි. ඒ සියල්ල සියවස් ගණනක් තිස්සේ පැවැත එන්නේ වාචිකවයි. ඒ තමා අනෙක් අරුමය. ඒවා පොත්පත්වල ලියැවෙන්නේ ඒ ඒ කලාවන්  හා අදාළ ශිල්පීය ක්‍රම දියුණු තත්ත්වයකට පත් වූ පසු අවස්ථාවලදීයි. ඒ තමා ලෝකයේ ඒ කටයුතු සිදු වන ආකාරය. 

ඒ අනුව අපට තව දුරටත් පැහැදිලි කොට ගත හැකි වන්නේ ජන කවි නිර්මාණය මෙන් ම පරම්පරා බොහෝ  ගණනක් තිස්සේ ඒ නිර්මාණවල රසය නොබිඳී පවත්වා ගෙන ඒමේ සම්මානය ද අතීතයේ විසූ ගැමි ජනතාවට හිමි විය යුතු බවයි.

ජනතාව විසින් සිදු කරනු ලබන ජනතාවගේ අව්‍යාජ නිර්මාණ නිසා ම ජනකවියේ බස පෑහී යන්නේ සාමාන්‍ය කතා කරන බසටමයි. 

ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන් 

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්

කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්

සාදුකාර    දී   ඔරුවක  නැගී   වරෙන්

           වැල්ලේ   පිපෙන බිම්මල වාසනාවන්

           ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්

           පෝයදාට       පුන්සඳ        වාසනාවන්

           ජාතිත්      අපේ     අම්මා   වාසනාවන්

ඉරනව ද   ළඳේ   ඉඳි   කොළ ඉරනව ද

පුරනව ද    ළඳේ   හැඹිලිය    පුරනව ද

වියනව ද     ළඳේ   හැඹිලිය   වියනව ද

මට දෙන හැඹිලියේ වැඩ ඉවර නැතුව ද

ඔබ කියවූ ඒ කවිවල ඇත්තේ බෙහෙවින් සරල යෙදුම්. ඕනෑ ම අයෙකුට තේරුම් ගැනීමට වැඩි අපහසුවක් නැහැ.

පහත  දී ඇති කවිය කියවන්න.

අතේ    දේව ගන රන් මිණි කලස දරාලා

ගතේ     චන්ද්‍ර   සූරිය   ආලෝක වඩාලා

මෙතේ කපට බුදු වෙන්නට විවරණ දීලා

රතේ පිටින් එන්ඩ මෙ මල් මැදුර බලාලා

 මේ කවිය අයත් වන්නේ තොවිල් කවි ගනයටයි. මේ කවි වර්ගයත් අයත් වනනේ ජනකවි වලටමයි. අවශ්‍යතා අනුව පැරැණි ජන කවියාගේ නිර්මාණ විවිධ හැඩතල ගන්නා බවත්, කටයුත්තේ හැටියට කවියේ රචනා ශෛලියේ පැහැදිලි වෙනස්කම් ඇති බවත් අපට  අවබෝධ  කර ගන්නට අපහසු වෙන්නේ නැහැ.

ජන කවි පැතිර ඇති ක්‍ෂෙත්‍ර

1) වී ගොවිතැන හා සබැඳි කවි

රිදියෙන්   කරලා   රත්රන්    ඔබලා  කැරලි කෙටූවයි දෑකැත්තේ

සුරතට   රන්වන්    රැලි    නංවාලා  කදිමට  දිලිසෙයි දෑකැත්තේ

අඩියෙන් අඩියට  තාල කියන්නට සබයෙන් අවසර ලැබ ගත්තේ

සතර වරම් දෙවියන්ගේ බලයෙන් ගොයම් කපමු අපි දෑකැත්තේ

කන්දෙ ගාලෙ වී වැපුරුවෙ මනාවයි

ඒක   කන්ට කක්කුට්ටන් දෙබානයි

පොල්කිච්චා   හිස   පීරන  පනාවයි

බට්ටිච්චාට   හිර  දෙඩුවා  හිනාවයි

උදේ සිටන් අපි තුනටි නමා ගෙන මන්දැයි දෑසට නොපෙනේනේ

රජුගෙ වැඩක් දෝ ගොවිගෙ වැඩක් දෝ කසපැන් ගෙඩියක් නොලැබෙන්නේ

හක්ගෙඩි නැතිව ද නලාව නැතිව ද ඉරමුදුනේ වැඩ නාරින්නේ

උඩහ වලව්වේ නිලමෙට කියලා කවිය නතර කර අපි යන්නේ 


2) පැල් රැකීම හා සබැඳි කවි

පැල් රැකීමේ දී කරන්නේ මුළු රාත්‍රියක් පුරා අවදිව සිට ගොයම් / බෝග කා විනාශ කර දමන්නට එන වන සතුන්ගෙන් තම වගා  බිම පරිස්සම් කර ගැනීමයි. මේ කටයුත්ත කිසිසේත් ම පහසු කරුණක් නොවන බව වටහා ගැනීම වැදගත්. 

පැල් රැකීම කියා කට වහරේ තිබුනාට ඇත්තට ම සිදු වන්නේ පැලේ සිට තම වගා බිම සතුන්ගෙන් ආරක්ෂා කිරීමයි. මේ කාරිය නිසි ලෙසින් කරන්නට මුළු රැයක් නිදි වර්ජිතව සිටිය යුතුයි. පහනක දැල්ලකින් ආලෝකය ලබා ගෙන රැයක් නිදි වරමින් තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයන්ගේ කුසගිනි නිවන්නට වෙහෙසෙන ගැමියා නිදි නොලැබ සිටින්නටත් තමා අවදියෙන් සිටින බව තමන්ගේ ම කාරිය කරන යම් ඈතක සිටින තම ගොවි සගයකුට දැනුම් දීමටත් උපයෝගී කර ගත්තේ කවියයි.   

ජන කවීත්වය කොතරම් අපූරුදැයි සිතා ගන්නටවත් නොහැකි තරම්. කිසිදු නිශ්චිත පහසුකමකින් තොරව හිඳිමින් සිය නිසග පරිණත්වය අවදි කර ගත් ගැමියන් කවි ගොතා ඇත්තේ තමන්ගේ පාලුව කාන්සිය මඟ හැර ගන්නට පමණක් ම නොවේ. තම සිතේ ඇති වන විවිධාකාර සිතුම් ලාලිත්‍යයකින් තොරව සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක් ලෙසට ද යොදා ගන්නටයි.

ඉර   පාලුයි  ඉර  දමලා  ගිරව්  ගියා

හඳ   පාලුයි  හඳ  දමලා  හාවි  ගියා

මල  පාලුයි  මල දමලා බමරු ගියා

මට පාලුයි මගෙ මැණිකා දීග ගියා


අහසේ   තරු  සේ ම ගොවිතැන් කරන්නේ

පොළොවේ වැලි සේ ම බෝගත් ඉසින්නේ

මගේ   හේනමයි      ඌරට   පෙනෙන්නේ

විෂ්ණු    සමන්  දෙවියන්  නඩු   අසන්නේ


මන්දාරමට  උඩ  කෙළිනා  වැහි  ලේනී

ගොනුගේ පිටේ දැම්මා වැනි බර ගෝනී

වෙල  මැද  අම්බලම   කාටත්  පරවේනී

මට  තනි  නැත  නුඹ නාඬන් උලලේනී


දුර    එන   කොට   වැටකෙයියා  මලක් වගෙයි

ළඟ  එන  කොට  රිදියෙන්  කළ වැඩක් වගෙයි

ගෙට එන කොට ගෙයි ඇවිලෙන පහන වගෙයි

මගේ    මිතුරී    මට    මානෙල්   මලක්  වගෙයි


3) කරත්ත කවි



අඳුරු රාත්‍රියක පාලු මඟක් දිගේ ගැලකින් ගමන් ගන්නා අයකු ගැන සිතන්න.

 ගැලක් ගමන් කරන්නේ ගොනුන්ගේ ඇද ගෙන යෑමෙන්. තනි ගොනකු හෝ ගොනුන් දෙදෙනකු හෝ ගැලක් ඇද ගෙන යෑමට යොදාගත හැකියි. මහා මාර්ග මෙන් ම ප්‍රවාහනය අද තරම් දියුණු නැති අවධියක සතුන්ගේ උදව්වෙන් ගැලක බඩුබාහිරාදිය පටවා ගෙන රාත්‍රී යාමයක ගමන් කරන ගැලක් පදවන අයෙකුගේ - ගැල් කරුවකුගේ මානසික තත්ත්වය ගැන සිතා ගැනීම අප කාට වුවත් පහසු දෙයක් වන්නේ නැහැ.

ගැලේ දල්වා ඇති පහනකින් යම්තම් ආලෝකයක් ලබා ගෙන ඒ උදව්වෙන් තනිව ගැලේ ගමන් ගන්නා ගැල්කරුවන් තම පාලුව කාන්සිය නිවා ගන්නට ගත් කාව්‍යමය උත්සාහය අප අද හඳුන්වන්නේ "කරත්ත කවි" නමින්.

කරත්තකාරයා/කරත්ත දක්කන මිනිහා ආදී වශයෙන් කිසියම් ආකාරයක උපහාසාත්මක ආකාරයකින් යම් වකවානුවක මේ වෘත්තිකයන් හඳුන්වනු ලැබුවා. ඒ හඳුන්වා දීම් සියල්ල යටපත් කරන්නට තරම් පුළුල් නිර්මාණශීලී හැකියාවක් ඔවුන් සතුව නැතැයි කිව හැකි වන්නේ කාට ද?

බර   වැඩියෙන් පටවා කළ වැරැද්දට

තඩිබාලා දැක්කුවෙ ගොන් ඉස්සරට

වුණා   මංමුලා   කියමු  ද  දැන් කාට

සුදු    වයිරෝ  ඇදපන්  ගාල  ගාවට

   

උපන්නාට     මේ    ලොව  වැනෙනවා විනා

ලොව     සිරිතට   අඹු   දරු   රකිනවා  විනා

රූපේ      අරන්      පාපේ    ගෙවනවා   විනා

ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා


බතට කන්න බැරි බතලේ ගල කන්ද

අලට  කන්න බැරි අලගල්ලේ කන්ද

හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

මෙකඳු තුනට නායක සමනළ කන්ද


4) පාරු කවි 


'පාරුව' යනු ජල යාත්‍රාවක්. අතීතයේ ශ්‍රී ලාංකීය ගංගා ආශ්‍රිතව පැවැති ප්‍රවාහන ක්‍රමයක්. ජනතාව මෙන් ම බඩුබාහිරාදිය ආදියත් ප්‍රවාහනය සඳහා යොදා ගත් පාරු පැද වූ මිනිසුන් විවිධ කරුණු මුල් කොට ගෙන නිර්මාණය කළ කවි අද අප හඳුන්වන්නේ "පාරු කවි" ලෙසින්.

සීරුව       ඔබට   කණු ගොම   සිටුවා  මහත

වාරුව       ඇතිව දිය පිට තැනු ගෙයක් ඇත

මාරුව   තැනින් තැන බඩු ගෙන ගමන් යත

පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත

         

සීරුව ලෙසට බඩු පටවා පිරෙන තුරු

වාරුව ඇතුව  රිටි ගසමින් යන අයුරු

පාරුව  පදින  මිනිසුන් පවසන අයුරු 

පාරු  මාලෙ   සිව්පද  මේ  අස මිතුරු


 පාට  එරන්   ගඟ  බඩ  යන කොකුන්නේ

රෑට   බතට  උන්    කොතනද  ලගින්නේ

ගඟ බඩ අතු නැද්ද උන් නොලැග යන්නේ

වංසෙ  මොටද පණුවන් කන කොකුන්නේ

5) පතල් කවි

පතලක් සකස් කරන්නේ පොළොව බොහෝ ගැඹුරට හාරා ගැනීමෙන්. අතීතයේ මේ පතල් කර්මාන්තයේ අවසන් අරමුණ වී ඇත්තේ මිනිරන් හෑරීමයි. දවසින් වැඩි කොටසක් පොළොව අභ්‍යන්තරයේ දහදුක් විඳිමින් මිනිරන් හෑරීමේ යෙදෙන මිනිසුන් තමන් විඳින අප්‍රමාණ දුක, වේදනාව හෙළි කළේ කවි කීමෙන් බව පැහැදිලි වන්නේ ජන සාහිත්‍යයට එකතු වී ඇති "පතල් කවි" ලෙසින් හැඳින්වෙන නිර්මාණ සමූහයෙන්.

දුම්බර   කන්ද   පාමුල   මිනිරන් පතලේ

බැසලා බඹ තිහක් කළු ගල සිදුරු කළේ

බස්නාහිරට  දෝනා  දෙක ගමන් කළේ

විස්තර  කියමි  දුම්බර   මිනිරන් පතළේ


ඉන්නෙත්   දුම්බරයි  මහ  කළු  ගලක්  යට

කන්නෙත්   කරවලයි   රට   හාලේ   බතට

බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට

යන්නේ     කවදාද    මව්පියො    දකින්නට 


6) වේදනාව, ආදරය සහ විනෝදය පළ කරන කවි 

දුකට කියූ කවි 

අඳින     අඳින  රෙද්දේ  රැලි  වැටීයන්

බඳින   බඳින කොණ්ඬේ මල් පිරීයන්

පුංචි    බඳට   මල්   ගෝමර  ඉසීයන්

මිතුරී මගේ මට සිහිනෙන්  පෙනීයන්


ආදරයට  කියූ කවි 

කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ

නළල් වටින් එන දහඩිය මුතු කැටියේ

අත  පා  මුදු පය පා මුදු වෛරොඩියේ

මට  පිටුපා  ගෙට  යනවද  සුරතලියේ 


විනෝදයට කියූ කවි

මාමයි  මමයි  වැලි  කුඹුරේ හාන කොට

දත්කොට ඇතෙක් එනවා අපි මරන්නට

වටපිට  බැලිමි ගසකුත් නැත නගින්නට 

පිට  පට ගසා  පැන්නෙමි මාමගෙ කරට 


 7) දරු නැළවිලි කවි

මවක් සිය දරුවා නළවන්නේ සැබෑ ම වූ දරු සෙනෙහසකින් යුතුවයි. ඒ ආදරය ඒ කරුණාව මවකගෙන් ම මිස වෙනත් කිසිවකුගෙන් ලබා ගත නොහැකියි. ඒ සෙනෙහස එතරම් ම බලවත්. ඒ නිසාම දෝ එවැනි විටෙක මවකගේ මුවින් පිටවන වදන් ගීතවත් ලෙසින් දරුවාට අසාගත හැකියි. හඬන දරුවකු නැළැවෙන්නේත් නින්දට වැටෙන්නේත් මවගේ නැළැවිලි ගීත රිද්මයේ සැඟැවී ඇති අප්‍රමාණ සෙනෙහස විඳ ගනිමින්. 

ඉතින් ඒ ළදරු නින්ද මොන තරම් සුවදායක ඇති ද? 

නුඹෙ අම්මත් ඉතා කළුයි

නුඹෙ අප්පත් ඉතා කළුයි

නුඹ නළවන මාත් කළුයි

නුඹ විතරක් තලඑළලුයි


වැනේලු කළු        වැනේලූ

කළුෑ මෙතන        වැනේලූ 

කළුෑට  බඩ             ගිනීලූ

කලු අල කොළ     ලිපේලූ  


දෑතේ  වළලුත්  නැති  කෝ
දෙපයේ ගිගිරිත් නැති කෝ
අම්මා  දැන්  එයි  හනිකෝ
නාඬා  නිදියන්  මැණිකෝ


   8)  කෙළි සෙල්ලම් සඳහා වූ කවි 

කෙළිසෙල්ලමක් නැති නම් ජන ක්‍රීඩාවක් සිදු කරන අතරතුර ඒ ක්‍රීඩාවට ආවේණික ඒ ක්‍රීඩාව හා බැඳී ගත් කවි ගායනා තිබීම/නිර්මාණය වී තිබීම කොතරම් අපූරු ද? ක්‍රිඩාවට සහභගී වන අයත් ඒ ක්‍රීඩාව ඒ වෙලාවේ නරඹන අයත් ක්‍රීඩාව දැකීමෙන් මෙන් ම ගායනා ඇසීමෙන් ද විශාල වින්දනයක් ලබනු ඇති.   

ඔළිඳ කෙළිය

රෑන්  ඇදිච්චද  බල  කොයි  නෑනෝ

ගසට  පලච්චද  බල කොයි නෑනෝ

මල් අට ගත්තද බල කොයි නෑනෝ

පලු අට ගත්තද බල කොයි නෑනෝ

ලී කෙළිය

උදයට    පායන    හිරු   දෙවියන්ටත්

සවසට    පායන    සඳ   දෙවියන්ටත්

අප  ඇති  කළ අපෙ දෙමව්පියන්ටත්

වැඳ වැඳ පින් දෙමු නිවන් දකින්ටත්


(පොර) පොල් කෙළිය

මල්මාලා      සඳ      වැඩම      කරනවා

පෙර   වරමට   අග   සිරි   රැක  දෙනවා

තිර   කොට   ඔබ   අණ   සිරස  දරනවා

පොර පොල් කෙළියට වරම් ලැබෙනවා


මේවර (අබරණ) කෙළිය

මුං  වතු  කන්දේ  මුං  කඩනා  දා  වළ   ගියදෝ මගෙ මේවරයා

නෑනෝ  නුඹ පල් නුඹෙ දරුවන් පල් අපි දුටුවේ නැත මේවරයා

කහ වතු කන්දේ කහ කොටනා දා  වළ ගියදෝ මගෙ මේවරයා

නෑනෝ  නුඹ පල් නුඹෙ දරුවන් පල් අපි දුටුවේ නැත මේවරයා


9) තොවිල් කවි

වර්තමානයේදී බහුලව අසන්නට දකින්නට නොලැබුනත් 'තොවිලය' යන ක්‍රියාකාරීකම සම්පූර්ණයෙන් මා ශ්‍රී ලාංකීය සමාජයෙන් ඈත් වී ඇතැයි කියා කියන්නට පුළුවන් කමක් නැහැ. අදටත් ඇති වන විවිධ අවශ්‍යතා යටතේ තොවිල් කිරීම සිදු වෙනවා ඇති. ඈත අතීතයේ මෙන් ම මෑත අතීතයේ ද තොවිල් කිරීම අවශ්‍යතාවක් බවට පත් වී තිබුණා. 

සුව කරන්නට අසීරු රෝග සුව කිරීම, නොයෙක් කරුණු නිසා ඇති වූ අසාමාන්‍ය බිය වීම් හා අමනුෂ්‍ය දෝෂ දුරු කිරීම, නොයෙක් ආකාර සෙත් ශාන්ති සිදු කිරීම් වැනි හේතූන් තොවිලයක් සිදු කිරීම සඳහා මූලික සාධක විය හැකියි.

තොවිලයකදී ගායනය, නර්තනය, බෙර හැඬවීම ආදී සියලු අංග ඉදිරිපත් වීමත් විශේෂයක්.

දකුණු   අතේ ගන රන් මිණි කලස දරනවට

මැකුණු වලා සඳ මඬලක් සේ ම උදා කොට

ලකුණු  බලා හෙළා දිස්ටි තොසිත පුරේ සිට

දකුණු  වාසලින්  එලි බස  මල් දොර ගාවට


සතර   ගාත   කොර   කරමින්   අඩියක්වත්   ගමන්   බැරී 

සොඳුරු   බිල්ල   ගනිමි   සිතා   උන් ආ විට කොන්ද හැරී

වතුර     පිපාසය    වැඩි  වී    කෑමට    සිත්    නො වී    පිරී

සතර අඩියෙ වින කළ යකු දොළ කැප ගෙන මෙදොස හරී   


10) විවිධ ඇදහිලි සහ විශ්වාස මුල් කොට ගත් කවි

අතීත ගැමියන් අතර විවිධාකාර පිළිගැනීම් සහ ඇදහීම් තියෙන්නට ඇති බවට නෙක සාක්ෂි පවතියි. මේ පිළිගැනීම් පළාතෙන් පළාතට වෙනස් වූ බවට ද විශ්වාස කළ හැකියි. එවැනි නොයෙක් ආකාර විශ්වාස සහ ඇදහීම් සඳහා තත්කාලීනව පැවැති විදෙස් රටින් උකහා ගත් ආභාෂය ද මිශ්‍ර වී තියෙන්නට ඇති හැකියාවක් ද පවතී.

කාවෙරි           ගංගාවට       බසිමින්නේ

වැසි       නැති    වතුරක්  ඒ  ගඟ එන්නේ

මන්ද තොටියො නුඹ ඔරු නොපදින්නේ

මම්වද    අඟනක්    මෙගොඩ  යවන්නේ 


11) තේරවිලි කවි 

තේරවිලි ගැන නම් කුඩා දරුවන් පවා දන්නවා. ඇතැම් දරුවන්ගේ පාසල් පොත්වල පවා තේරවිලි ගැන සඳහන්. තේරවිලි රචනා ස්වරූපයෙන් මෙන් ම කවි වශයෙන් ද පවතිනවා. 

කිසියම් අරමුණක් යම් තරමකින් ස්පර්ශ වන තොරතුරු ඉදිරිපත් කොට සැඟවුණු අරමුණ කුමක්දැයි ඇසීම තේරවිලි නිර්මාණය වී ඇති ආකාරයයි. රචනා ස්වරූපයට වඩා කවියකින් තේරවිල්ලක් ඉදිරිපත් කිරීමේ දී වඩා රසවත් බවක් ලැබෙනු ඇති. 

ගසට  නමකි  ගස  මැරුනම  වෙන නමකී

ගෙඩියට  නමකි  ගෙඩියේ  සුඹුලට නමකී

මදයට නමකි මද කන කොට වෙන නමකී

මෙතුන්    පදේ    තෝරාලා    කියන්  සකී


දාර දෙකය එක නම මුල් කර තැනුවා

පාර  තිහක්  තැලුවට දුකකුත් නැතුවා

සතරයි මුලු කනු හතරයි ගෙට ඇතුවා

තෝරාපන්    ඊයේ     මඟ    දී   දුටුවා 


12) ජනතාව යහමඟට යොමු කිරීම සඳහා යොදා ගත් කවි  

ජනතාවක් යහ මඟට යොමු කළ හැකි වන්නේ ඔවුන් යහපත් දේ සඳහා යොමු කිරීමෙන්. අයහපත් දේ කුමක්දැයි අවබෝධ කරවීමෙන්. මෙවැනි උසස් අරමුණක් වෙනුවෙන් ජන කවියා පැහැදිලි හා ගෞරවනීය මෙහෙවරක් කොට තිබෙනවා.  තමන් මෙන් ම අනුන් ද යහපත කරා මෙහෙය වීමට අතීත ගැමියා ගත් වෙහෙස වෙසෙසින් ම අගය කළ යුත්තක්.

බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනූ

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනූ 

කඩුල්ලේ   තරම  දැන  ගෙන  කද බඳිනූ

තමන්ගේ  තරම  දැන  ගෙන  කල් හරිනූ


දුකට    පිහිට    සුළු    මිනිසකුගෙන්   විතර

ලොකුවට සිටින අයගෙන් නැත කිසි ම වර

තිබහට   වතුර  බොන්නට  සුළු  ළිඳ  විතර

කිසිවිට   පිහිට   නැත  ගැඹුරැති  මහ  සයුර


13) විවිධ හේතූන් මුල් කොට ගෙන ගෙතූ කවි 

සත්ත්ව කරුණාව

මං  බාලේ  ඇති කළ තලගොයි පැටියා

මට තනියට මිදුලේ කෙළ කෙළ සිටියා

උගේ මරුවා ඌ අර ගෙන ගිය සැටියා

නිවන් පුරේ පලයන් තලගොයි පැටියා


මව් ගුණ ගායනය

මල්ලියේ ඔහොම නොකියන් අපෙ අම්මාට

දෙතනේ   කිරි   දුන්නෙත්   අප   දෙන්නාට

තියෙන  දෙයක්  දෙන්නෙත් අප දෙන්නාට

බුදුන්    වඳින    ලෙස    වැඳපන්    අම්මාට 


ඉරේ    එළිය   ඉරු දෙවියන් වඩින විට

සඳේ    එළිය  සඳ  දෙවියන්  වඩින විට

මලේ එළිය බමරුන් රොන් ගන්න විට

ගෙදර  එළිය   අපෙ  අම්මා  ඉන්න විට


තල මල වරුණාව

එක එල්ලේ ගස් සතරක් මැවීලා

එගස් සතරෙ මල් සතරක් පිපීලා

අලංකිරිත  මල සුළඟට  නැවීලා

බලන් මහතුනේ තල මල පිපීලා


අවුල්  හැරේ  කොණ්ඩේ    පිට  කරට හෙලා

හීන්    සැරේ     මල්ඉති     සුළඟට   නැමීලා

මුදුන බලන්නට   රිදියෙන්   කොත  මැවිලා

රන්වන්     තලමලක්  තම්මිටගොඩ  පිපිලා


 නෙලුම් කවි

බැතින්  නමදිම්  මුනි  දම්  සඟ  තුන් රත්නෙට

වරන්  දෙවන  ගතිමි  අයැද සැම දෙවියන් හට

මෙමන් අතේ ඇති හැම දොස දුර හැර ඉවතට

දෙවන්   සුරිඳුනේ   අවසර   බහිනට   කුඹුරට


උදේ   පටන්   වකුටු   කොන්ද  දිග ඇරපල්ලා

අතේ    තියෙන  ගොයම් මිටිය බිම තබපල්ලා

හිසේ   බැඳපු ලේන්සු පොඩිය අතට ගනිල්ලා

සතර    වරම්  දෙවි පිහිටයි  ගොඩට වරෙල්ලා


කුරක්කන් කවි  

දුරුතු      මහේදී     කැලයට     වැදීලා

මසක් පමණ කල් කැලවල් කොටාලා

මැදින්     දිනේදී   වල්   ගිනි   තබාලා

කුරක්කන්   ඉසිමු    කළුවර   බලාලා


අවවාදාත්මක කවි

දිවියා  නැති වනේ ගවයින්ගේ පොරය

හිමියා නැති ගෙදර හොර හිමි කරදරය

බළලා  නැති  කලට  මීයන්  හරි සැරය

ලූලා  නැති   වළට   කනයා  පණ්ඩිතය


මැරුණු  මිනිය වත්තේ වළලන්ට එපා

ඉරුණු  රෙද්ද ඔතලා පොරවන්ට එපා

දුවන   හොරා  පස්සේ  එලවන්ට  එපා

ඇරුණු දීගෙ කැඳවා ගෙන එන්ට එපා


අතීත සිංහල ජන කවිය කොතරම් සාරවත් සහ පොහොසත් දැයි ඔබට යම් තරමකට හෝ තේරුම් ගන්නට හැකි වේවි

මෙයින් වඩාත්ම පැහැදිලි වෙන්නේ අතීත ගැමියා සියලු ජීවන රටාව හා වෙනත් නොයෙක් කරුණු ගැන රසවත්, කාල්පනික සහ ඇතැම්විට දාර්ශනික අදහස් දැරූ බවයි.

තමන්  යෙදෙන වෘත්තිය මෙන්ම තමන්  යෙදෙන  කෙළි සෙල්ලම් ආදිය ගැන   මෙන්ම ස්වභාව සෞන්දර්ය,  ස්ත්‍රී වර්ණනය ගැනත් පැහැදිලි අරුත් දෙන කවි තනන්නට තරම් අතීත ජන කවියා කොතරම් දස්කමක් දක්වා ඇති ද?  ඒ කරුණු වලට අමතරව බුදුදහම පිළිබඳව, අවවාද දීම පිළිබඳව වැනි අoශ 

සම්බන්ධයෙන් ද අතීත ජන කවියා සිය අවධානය යොමු කොට ඇති බව පැහැදිලිවම දැකිය  හැකියි. 

අතීත සිංහල ජන කවිය අධ්‍යයනය කරන්නකුට මෙන්ම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්විය හැකි ඕනෑම කෙනකුට  ජනකවියේ විවිධත්වය, සුන්දරත්වය සහ කවියාගේ කවිත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත  හැකියි.