Friday, April 9, 2021

කුරුසියේ ඇණ ගැසීම 2021/04/10

  කුරුසියේ ඇණ ගැසීම




මේ වසරේ මහ සිකුරාදා එළැඹුනේ ඊයේ පෙරේදායි. ඉන්පසුව එන ඉරිදාව හඳුන්වන්නේ විශේෂ නමකින්. ඒ පාස්කු ඉරිදා ලෙසින්. 2019 වසරට යෙදී තිබූ පාස්කු ඉරිදාව ශ්‍රී ලංකා වාසීන්ට ඉතිරි කළේ තම තමන්ගේ ජීවිත කාලය ගෙවී අවසන් වන තුරුම අමතක නොකළ හැකි ආකාරයක අතිශය අමිහිරි අත්දැකීමක්. ඒ අත්දැකීම විඳ ගැනීමේදී ආගම් ජාති භාෂා භේද කිසිවක්ම අදාළ වෙන්නේ නැහැ. ඒ අත්දැකීම සෑම ශ්‍රීලාංකිකයකුටම පොදුයි. ඒ ගැන කිසිදු විවාදයක් නැහැ.

 පාස්කුවක් ඇති වන්නේ මහ සිකුරාදා ඇතිවූ ඒසේම ඒ කාලයේ හැටියට මුළු සමාජයක යම් ජනතාවක් කම්පා කළ සිදුවීමක් නිසයි. ඒ ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ කුරුසියකට තබා ඇණ ගසා මරා දැමීමයි. ඉතිහාසයේ දක්වා ඇති පරිදි මේ දඬුවම ඒ කාලයේ පනවා ඇත්තේ සොරුන්ටයි. මිනීමරුවන්ටයි. එසේ නම් එවැනි දඬුවමක් ජේසුස් ක්‍රිස්තූන්ට ලබා දුන්නේ ඇයි? ඉතිහාසයේම දක්වා ඇති ලෙසින් එතුමන් සොරකු හෝ මිනීමරුවකු හෝ නොවේ. උන්වහන්සේ කිසියම් දහමක් දේශනා කළ දේශකයකු පමණයි. ඒ එසේ වුවත් ඒ දේශනා නිසා එකල ජන සමාජය කිසියම් ආකාරයක වෙනස් උත්තේජනයක් ලැබූ බව නම් පැහැදිලියි. නැති නම් ජේසුතුමන්ගේ ඉගැන්වීම් නිසා තමන් දැනට දරන නිලතල සම්පත් නැති වේයැයි එකල සිටි බවක් පැවැසෙන රාජකීය සහ පූජක සමාජය අනියත බියක් ඇති නොකර ගන්නවා ඇති.     
එසේ නම් ජේසුස් ක්‍රිස්තූන්ට මරණය දණ්ඩනයක් ලෙස ලබා දුන්නේ ඇයි? ඊට හේතු කිහිපයක්ම දැක්විය හැකියි. 

1) එකල පැවැති රාජ්‍ය පාලනයට ඍජුවම නොවූවත් එහි ඇති හිංසනීය බවට එරෙහිව සිය දහම තුළින් යමක් පැහැදිලි කිරීමට උත්සාහ කිරීම. 
2) පූජක පක්ෂයක් සිටි බවට වාර්තා වෙතත් ජනතාවට පැහැදිලි ලෙස පිළිගන්නට අදහන්නට නිසි දහමක්/ආගමක් නොතිබීම.
 3) රාජ්‍යයක් පැවැතුනත් ඒ සඳහා ද නිසි ක්‍රමවේදයක් නොතිබෙන්නට ඇතැයි සිතන්නට ඉඩ තිබීම.
 4) ජේසුස් ක්‍රිස්තූන් පැවැති රජයේ පාලකයන් හට පාවා දුන් බවට චෝදනා ලබන්නේ එතුමන්ගේ දහම අසමින් එතුමන් සමගම ශිෂ්‍ය තත්ත්වයේ රැඳී සිටි ජුදාස් නමැත්තායි. ඔහු එවැනි නින්දිත තත්ත්වයකට ඇද වැටෙන්නේ මුදල් නිසාය. මුදල් නිසා වුවත් ජුදාස් තුළත් ජේසුතුමන් ගැන යම් ආකාරයක ඊර්ෂ්‍යාවක් වැනි හැඟීමක් බලපැවැත්වූවා වෙන්නටත් හැකියි. ඒ කෙසේ වෙතත් ලෝක ඉතිහාසයේ සඳහන්වන පවාදීම් අතරින් නින්දිතම පාවා දීම සිදු කිරීම ජුදාස් විසින් මැනැවින් ඉටු කළ බවයි සඳහන් වෙන්නේ.  

මෙහිදී  යටපත්වී ඇති තවත් කරුණක් තිබෙනවා. ඒ තමා ඉතාම සැලැසුම් සහගත ලෙසින් අසුවල් දින තමන් පාවා දීමකට ලක්වන බව ජේසුතුමන් හොඳින්ම දැන සිටීම. අවසන් භෝජන සංග්‍රහට සහභාගී වීමට පෙරාතුව උන්වහන්සේගේ මුවින්ම ඒ බැව් පැවැසෙනවා. ඒහෙත් එයින් මිදෙන්නට උපද්‍රවයෙන් පලා යන්නට උන්වහන්සේ උත්සාහ දරා නැහැ. එයින් අදහස්වනු ඇත්තේ දුක්ඛදායී මරණයකට මුහුණ දීම තම දෛවය බව උන්වහන්සේ අවබෝධ කොට ගෙන සිටීමයි.   

එකල පැවැති කුරිරු පාලකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජේසුතුමන්හට ජීවිත්වී සිටියදී මිනිසකුට ලබා දිය හැකි උපරිම වද හිංසා පමුණුවනු ලැබුවා. කටු ඔටුනු පළඳවා බරැති කුරුසියට තබා බැඳ දැඩි හිංසා පමුණුවනු ලැබුවේ එහිම තබා ඇණ ගසන්නට පෙරාතුවයි. මරණයට පමුණුවන්නට පෙර මරණය තරම්ම වූ දුක් ගැහැටක් ජේසුතුමන් විසින් උසුලා සිටින්නට ඇති බව තේරුම් ගන්නට අපහසු වන්නේ නෑ. අවසානයේදී පණ ඇති සිරුරක් දරා සිටි ජේසුතුමන් කුරුසියට තබා ඇණ ගසනු ලැබුවා.  

සොරුන්  මිනීමැරුවන්හට ලබා දෙන දඬුවමක් එවැනි කිසිදු වරදක් අපරාධයක් නොකළ අයෙකුට ලබා දුන්නේ ඇයි? නිසැකවම පැවැති රජයට විරුද්ධ මත ප්‍රකාශ කරන්නේයැයි හංවඩු ගැසීම නිසායි. එහෙත් එවැනි චෝදනාවක් තිබුණේ නම් ජේසුතුමන් හට කලින්ම මරණිය දණ්ඩනය ලබා දීමටත් හැකියාවක් තිබුණා. එහෙත් එවැන්නක් සිදුවී නැහැ. ඇතැම් අපට පැහැදිලි නැති හේතුවක් හෝ හේතු කිහිපයක් හෝ තිබුණා විය හැකියි.

මෙසේ මරණීය දණ්ඩනයට ජේසුතුමන් පමුණුවන ලද කාලය වන විට එතුමන් තනිවී නොසිටි බව ද අප අමතක කළ යුතු නැහැ. එතුමා වටා එක්කෙනෙකු දෙදෙනකු නොව ගෝලයන් දොළොස් දෙනකුම සිටියා. ඒ අනුව පැහැදිලි වන්නේ ජේසුතුමන් රජයෙන් හෝ පූජකයන්ගෙන් හෝ සැඟවෙමින් දහම් ප්‍රචාරයේ නොයෙදුණු බවයි. එයත් සැලැකිය යුතු කරුණක්. ඒ කෙසේ වෙතත් මෙහිදී අප අවධානය යොමු කරන්නේ ජේසුතුමාගේ මරණය ගැනයි.

සැබැවින්ම එතුමන් මරා දැමුනේ ඇයි? කිතු දහමේ කියැවෙන්නේ දෙවියන් වහන්සේ විසින් ජේසුතුමන් මිනිසුන් අතරට එවා ඇත්තේ මිනිසුන්ගේ පාපයන් වෙනුවෙන් දිවි පිදීමට බවයි. ඒ දහමේ සඳහන් වන ආකාරයයි. ඒ එසේ නම් මෙහිදී ‘මිනිසුන්’ යනු කවුරුන්දැයි පැහැදිලි කරගත යුතුයි. ‘මිනිසුන්’ යනු තත්කාලීන ජන සමාජය ද? නැති නම් රාජ්‍ය පාලකයන් ද? එවක සිටි පූජක පක්ෂය ද? නැති නම් මේ සියල්ලම ද? මේ ප්‍රශ්නය සඳහා අවසාන සහ පැහැදිලි පිළිතුරක් දීම අසීරු කරුණක්. 

ඒ තත්ත්වය කෙසේ වෙතත් ජේසුතුමන් ඝාතනය කරමින් පාලකයන් අපේක්ෂා කළේ සත්‍යය වැළලීම ද? එය එසේ නම් එතෙක් ‘සත්‍යය’ ලෙසින් ජනතාවට පිළිගන්නට කිසිවක්ම තිබුණේ නැති ද? ජේසුස් ක්‍රිස්තූන්ගේ ඝාතනයෙන් පසු කිතු දහම වැළලී ගියේ නැතුවා විය යුතුයි- එය අදටත් ලොව වැඩිම පිරිසක් අදහන ආගමක් ලෙසින් පවතිනවා- එය එසේ වී ඇත්තේ ක්‍රිස්තූන්ගේ ඝාතනයෙන් පසුව සිදුවූ එතුමන්ගේ උත්ථානය (මළවුන්ගෙන් නැගී සිටීම) දැඩි ආශ්චර්යයක් ලෙසින් එදත් අදත් ජනතාව පිළිගත් හා පිළිගන්නා නිසා ද? එතුමන්ගේ වෙන්වී යාමෙන් පසු එතුමන්ගේ ශිෂ්‍යයන් හෝ වෙනත් අනුගාමිකයන් හෝ එතුමා විසින් දේශනා කරන ලද දහම රැක ගන්නට කැප වූ නිසා ද?  

මේ මූලික සිදුවීම්වලින් පසු දැනට වසර දහස් ගණනක් ගතවී ඇතත් සත්‍යය යටපත් කරන්නට යෑම අදටත් සිදු වනවා ලෝකයෙන් මෙන්ම අපේ රටෙන්ද දැකිය හැකියි. ඇසිය හැකියි. එහෙත් කෙදිනවත් සත්‍යය යනු සදාකාලිකව යටපත් කොට වසන් කොට තබාගත නොහැකි දෙයක් බව එසේ කරනවුන් එසේ කරන්නට උත්සාහ කරනවුන් නොදන්නවා විය හැකියි.  



(මේ සටහන කියවීමෙන් පසු ඔබට හිතෙන දේ කමෙන්ටුවක් ලෙසින් පහළින් කෙටියෙන් සඳහන් කරන්න.)