Friday, August 12, 2022

ලෝක උරුම - අරුම පුදුම - මාචු පීචු

 ලෝක උරුම - අරුම පුදුම - මාචු පීචු

පේරු (Peru) දකුණු ඇමෙරිකාවේ බටහිර පිහිටි රටක්.

උතුරෙන් ඉක්වදෝරය හා කොලොම්බියාවත් නැගෙනහිරින් බ්‍රසීලයත් ගිනිකොන දෙසින් බොලීවියාවත් මායිම් වශයෙන් පවතී.


                 (ගුවන් ඡායාරූපය ගූගල් සමාගම අනුග්‍රහයෙනි.)




                       


 

                       



                        


                                                                        අතීත ඉන්කාවරු

මාචු පීචු

               


පේරු දේශයේ ඇන්ඩිස් කඳු මුදුනත පිහිටි පැරණි නගරයක්. 

උරුබම්බා නදී නිම්නයට ඉහළින් පවතියි. 
ඉන්කාවරුන්ගේ “අතුරුදන් වූ නගරය”(The Lost City)/ “හිරු දෙවි දෙවොල” (The Temple of the Sun) ලෙස ද හඳුන්වනු ලබයි.

මාචු පීචු හී ඉතිහාසය පැටලිලි සහගත - සංකීර්ණ මෙන් ම සිත් ඇද ගත්තා සුළු බවක් පෙන්වයි. මාචු පීචු යනු ඉන්කාවරුන්ගේ ‘අතුරුදන් වූ නගරයයි’.

එහි ඉතිහාසය දැන ගැනීම වඩාත් වැදගත්. 

මාචු පීචු යනු චමත්කාරජනක දසුනක් මවන ඉන්කාවරුන්ගේ අවශිෂ්ට කොටසක් ම පමණක් ම නොවේ. මාචු පීචු ලෙසින් හැඳින්වෙන්නේ මුළු ලෝකයේ ම අවධානය දිනා ගත් ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති බිම් ප්‍රදේශයකි. 
සංචාරකයන් බොහෝ සේ ගැවසෙන බිමක් වුවත් කීයෙන් කී දෙනකු මේ බිමේ ඇති වැදගත්කම ගැන දනීදැයි යන්න සැක සහිතයි.


ඉතිහාසගත කරුණු අනුව මාචු පීචු නගරය ඉදි කොට ඇත්තේ ක්‍රි. වර්ෂ 1400 දී ය. කාලය විසින් යටපත් කොට ගත් මාචු පීචු බාහිර  ලෝකය විසින් එලිපෙහෙලි කොට ගෙන ඇත්තේ ක්‍රි. වර්ෂ 1911 දී ය.  

ඉන්කාවරුන්ගේ මේ සැඟවී ගත් නගරය ලෝකයාට එලි කිරීමේ මූලික ගෞරවය හිමි වන්නේ අමෙරිකානු ජාතික මහාචාර්යවරයකු වූ හිරම් බින්ග්හැම්ට ය. මේ අපූරු නගර බිම ඉන්කාවරුන් විසින් ඉදි කොට ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 7970 (මීටර් 2430) ක් ඉහළ තලයක ය. 

මහාචාර්ය බින්ග්හැම්ගේ මේ සොයා ගැනීම හේතුවෙන් එතෙක් වැළලී තිබූ මාචු පීචු හී ඉතිහාසය පිළිබඳ ඉතා වටිනා තොරතුරු අනාවරණය වන්නට විය. බිමේ වැළලී කාලයත් සමග සැඟ වී ගිය මිනිස් ඇට සැකිලි 135 ක ප්‍රමාණයක් සොයා ගන්නට ලැබීම කුතූහලය දනවන තවත් කරුණක් විය. ඒ අතරින් ඇට සැකිලි සියයකට වඩා කාන්තාවන්ගේ ය. 

පුරාවිද්‍යාඥයන් මූලික වශයෙන් අනුමාන මත පළ කළේ මාචු පීචු යනු උසස් ගනයේ තත්ත්වයේ පූජක පක්ෂයට හා සූර්යයා (හිරු දෙවි) වෙනුවෙන් කැප වූ කන්‍යාවන් සඳහා වෙන් වූ සිද්ධස්ථානයක් හෝ අභයස්ථානයක් විය හැකි බවයි එසේ ම තාරකා ශාස්ත්‍රය අදාළ කරුණු නිරීක්ෂණාගාරයක් ලෙස ද මේ ස්ථානය යොදා ගෙන ඇති බව ද පළ කොට ඇති මතයකි.

 

එහෙත් පසු කාලීන පර්යේෂණ අනුව පැහැදිලි කර ඇත්තේ මාචු පීචු යනු ඉන්කාවරුන්ගේ අධිරාජයකු  වූ පචාකුටි ඉන්කා යුපාන්කුයි (සාපා ඉන්කා පාචාකුටි) යටතේ ඉදි කළ රාජධානියක් බවයි. පචාකුටිගේ රාජ්‍ය කාලය ආරම්භ වී ඇත්තේ ක්‍රි. වර්ෂ 1438 දී ය. ඔහු ක්‍රි. වර්ෂ 1471 හෝ 1472 දක්වා ඉන්කාවරුන්ගේ පාලකයා වී සිටි බවයි සැලකෙන්නේ.

මාචා පීචූ හි දැනට අනාවරණය කොට ඇති ගොඩනැගිලි ප්‍රමාණය එකසිය පණහක් පමණ ය. මේ ගොඩනැගිලි සෑදීම සඳහා ඔවුන් මූලික වශයෙන් ම යොදා ගෙන ඇත්තේ කළුගල් (ග්‍රැනයිට්) ය. මේ කළුගල් කැබලි එකිනෙක පිරිද්දීම සඳහා ඔවුන් කිසිදු ආකාරයක අතරමැදි මැලියම් භාවිතයක් සිදු කොට නැත. එහෙත් කළුගල් කැබලි දෙකක් අතර තුනී වශයෙන් හෝ     පවතින ඉඩකඩක් නැති අතර පිහිතලයක් වැනි දෙයක් හෝ ඇතුළු කළ නොහැකි ය. 

බොහෝ ගොඩනැගිලිවල ඔන්චිල්ලා හැඩ ඇති දොර දැකිය හැකි අතර පියසි හෙවිලි කළ ඒවා ය. ඉන්කාවරු මාචු පීචු නගරය ඇතුළත තිරිඟු සහ අර්තාපල් වගා කොට ඇත්තේ ජලය ඉහළට ඇද ගැනීමේ උපක්‍රම භාවිතයෙනි. 

ස්පාඤ්ඤ ආක්‍රමණයට පෙර මාචු පීචු හී වසූරිය පැතිර ගොස් ඉන් ජනතාව පීඩාවට පත් වී ඇතැයි ද අනාවරණය කොට ගෙන ඇත. 

මාචු පීචු ආශ්‍රිතව කියැවෙන වැදගත් ම මෙන් ම ඉතා ම සැලකිය යුතු කරුණක් වන්නේ ඒ මහා රාජධානිය භාවිතයට නතුව තිබූ කෙටි කාලයයි. මේ මහා නගර සංකීර්ණය මුහුදු මට්ටමේ සිට විස්මය ජනක ලෙස ඉතා උසකින් පිහිටුවාලීමට ඉන්කාවරුන් සමත් වූවත් එහි ඵල නෙළා ගැනීමට ඔවුන් සමත් වී ඇත්තේ වසර සියයකටත් අඩු කාල වකවානුවකි.

 ඊට බල පෑ මූලික ම හේතුවක් වන්නේ දහසයවැනි ශත වර්ෂයේ මුල් භාගයේදී ස්පාඤ්ඤ ජාතිකයන් පේරු දේශය යටත් කර ගැනීමයි. පේරු ආක්‍රමණය කළ ස්පාඤ්ඤ සෙන්පතියා වූයේ ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ය. ඉන්පසු මාචු පීචු අත්හළ බිමක් බවට පත් විය.

මාචු පීචු වත්මන් ලෝකයා වෙත අනාවරණය වීමෙන් පසු යුනෙස්කෝ සංවිධානය විසින් 1983 දී එය ‘ලෝක උරුමයක්’ ලෙස නම් කරන ලදී. එදා සිට බොහෝ සංචාරකයන් එහි පැමිණෙන අතර මාචු පීචු සැලකෙන්නේ ලෝකයේ ම පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන අතර වඩාත් කැපී පෙනෙන තත්ත්වයක ඇති ස්ථානයක් ලෙසයි.

මාචු පීචු හා සම්බන්ධ වන තවත් විශේෂ කරුණක් පිළිබඳව හෙළිදරව්වක් ඇත. ඒ අනාවරණයෙන් කියැවෙන්නේ තවත් විස්මය ගෙන දෙන තොරතුරකි. පේරු දේශය ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ට යටත් වූ පසු මාචු පීචු ඔවුන්ගේ දෑසට හසු නොවී සැඟ වී තිබීමයි.  කුමක් හෝ හේතුවක් නිසා ස්පාඤ්ඤ ජාතිකයන්ගේ බැල්මක්වත් නොලද මාචු පීචු ශත වර්ෂ ගණනාවක් තිස්සේ මුළු ලෝකයෙන් ම සැඟ වී ගොස් තිබිණි. මිනිස් වාසයෙන් තොර වූ මාචු පීචු ක්‍රමයෙන් වන ආක්‍රමණයකට හසු වීය.

වර්ෂ 1911 දී මහාචාර්ය බින්ග්හැම්ට මේ ‘අතුරුදහන්ව’ ඇති විස්මය ජනක නගර නිර්මාණය වෙත කැඳවා ගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු එකොළහක පිරිමි දරුවෙකි.     







පසු සටහන: මාචු පීචු හී වසූරිය රෝගය ස්පාඤ්ඤ ආක්‍රමණයට පෙර ඇති වූ බව එක මතයකි. අනෙක් මතයෙන් කියැවෙන්නේ මාචු පීචු හී වසූරිය පැතිර යාමට හේතු වූයේ ස්පාඤ්ඤ ආක්‍රමණය බවයි.
මේ මත අතරින් කුමක් නිවැරදි වුවත් අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ස්පාඤ්ඤ ආක්‍රමණයෙන් පසු මාචු පීචු ජන ශුන්‍ය වූ හුදෙකළා නගරයක් බවට පත් වීමයි.

  


‘මාචු පීචු’ - තොරතුරු සටහන සකස් කිරීමේ දී උපයෝගී කර ගත් සියලු              ඡායාරූප/විඩියෝ දර්ශන ගූගල් ආයතනය සහ අන්තර්ජාලයේ  ඡායරූප පළ කරන ආයතනවල කාරුණික අනුග්‍රහය යටතේ උපුටා ගත් බව ස්තුති පූර්වකව සඳහන් කළ යුතු ය.