Saturday, April 15, 2023

සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහයෙන්......

 



             කිලිටු රෙදි                 බැනියම්

             ඇඳුම් නාඳිනු               කිසියම්

             පිරිසිදු   නිසි                   ඇඳුම් 

             අඳින් හැම කල නුඹට  ඇත්නම් 

අපි මුලින් ම කවියේ වචනවලින් කියැවෙන දේ ගැන අවධානය යොමු කරමු. 

කිලිටු - අපිරිසිදු/අපවිත්‍ර     

රෙදි බැනියම්  - මේ ඇඳුම සම්බන්ධයෙන් නම් බොහෝ දරුවන්ට ප්‍රශ්නයක් ඇති විය හැකියි. හේතුව අද සමාජයේ බහුලව මේ ඇඳුම දකින්නට නැති නිසා. මෙහි ‘බැනියම්‘ යන වචනයෙන් හඳුන්වන්නේ කමිසයට යටින් අඳින අත් දිග හෝ අත් කොට හෝ සාමාන්‍ය ‘මේස් බැනියම’ කියා හඳුන්වන ඇඳුම් වර්ගය නොවන බව මුලින් ම තේරුම් ගැනීම වැදගත්.  

මෙහි ‘බැනියම්’ කියන්නේ, සාමාන්‍ය පිරිමි සිරුරක ගෙල ප්‍රදේශයේ සිට ඉණ ප්‍රදේශයෙනුත් පහළට වැටෙන සේ අඳින දිග ඇඳුමකට. 

මේ කුඩා දරුවාගේ ඇඳුම දෙස බලන්න. අප තේරුම් කරන්නට උත්සාහ කරන රෙද්ද සහ බැනියමට අපට දිය හැකි උදාහරණයක් මේ.  


 
මේ චිත්‍ර සටහනේ පෙනෙන දරුවාගේ උඩු කය වැසී ඇති ඇඳුම ‘බැනියම’ ලෙස හඳුන්වන්නට හැකියි. දරුවාගේ සිරුරේ පහත කොටස ආවරණය වන්නේ ‘රෙද්දෙන්’.

කවියේ මුල් පද දෙකෙන් අවධාරණය කරන්නේ - තදින් සිහිපත් කොට සිටින්නේ කිළිටි ඇඳුම් ඇඳීම නොකළ යුතු බවයි. 
තුන්වැනි පදය බලන්න. - “පිරිසිදු නිසි ඇඳුම්” පිරිසිදු යනු පවිත්‍ර/ කිළිටි නැති/පෙනුමෙන් ප්‍රසන්න කියන තේරුමයි. 
‘නිසි’ යනු ‘ගැළපෙන‘ යන්නයි. පෙනුමෙන් පිරිසිදු ඒ වගේ ම තමන් යන තැනට/ තමන් කරනු ලබන කටයුත්තට ගැළපෙන ආකාරයේ ඇඳුම් ඇඳීම සුදුසු බවයි.

කවියේ අවසාන පදය දෙස බලන්න. “අඳින් හැම කල නුඹට ඇත්නම්” 

තමන්ට ගැළපෙන ඒ වගේ ම පිරිසිදු ඇඳුම් ඇඳීම ගැන කවියේ මුල් පද සියල්ලෙන් අවධානය යොමු කරන බව ඇත්ත. ඒත් අවසාන පදයෙන් යෝජනා කරන්නේ කුමක් ද?

පිරිසිදු තමන්ට ගැළපෙන ආකාරයේ ඇඳුම් ඇඳීම හැම විට සුදුසු බව කීවත් එසේ කළ යුත්තේ එවැනි දෑ තමන්ට ඇති නම් පමණයි. කවියේ අවසාන පදයෙන් ප්‍රකාශ වන්නේ එයයි. 

අප මඳක් කල්පනාවට ගත යුතු තැනක් ඒ. හොඳ ඇඳුම් / පිරිසිදු ඇඳුම් ඒ වගේ ම යන තැනට අඳින්නට ගැළපෙන ඇඳුම් සමාජයේ හැම දෙනාට ම /හැම දරුවාට ම එක හා සමානව ලැබෙන්නේ නැහැ. ඒ විදිහට නිතර අඳින්නට හැකි අය වගේ ම නිතර එවැනි ආකාරයට ඇඳුම් භාවිත කරන්නට නොහැකි අයත් ඉන්නවා. 

එවැනි කොටස් ගැන අප කොයිකාටත් දරුවන්ට වුවත් යම් අවබෝධයක් තිබීම වැදගත්. 

කවුද අකමැති හොඳ/පිරිසිදු/විවිධ ආකාරයේ ඇඳුම් අඳින්නට? දරුවන් විතරක් නෙවෙයි. වැඩිහිටියනුත් කැමතියි. එය එසේ වූවත් හැම දෙනාට ම හැම කාලයේ ම තමන්ගේ ඇඳුම් පිළිබඳව එක වගේ උනන්දු වෙන්නට ලැබෙන්නේ නැහැ. බොහෝ විට එය සිදු වන්නේ ඔවුන්ගේ නොසැලකිල්ල නිසා නෙවෙයි. තමන්ට ඇඳුම් වෙනුවෙන් වැය කරන්නට අවශ්‍ය තරම්, අවශ්‍ය වෙලාවට මුදල් නොතිබීම එවැනි තත්ත්වයක පසුබිම වෙන්නට හැකියි. 
ජීවත් වීමේ දී ඇඳුම් යනු අවශ්‍ය ම සාධකයක් වුවත් ඒ වෙනුවෙන් විශාල මුදලක් නිතර වැය කරන්නට හැම දෙනාට ම නොහැකියි. බොහෝ දෙනා උත්සාහ කරන්නේ තමන්ට ඇති ඇඳුම හැකි කාලයක් භාවිත කරන්නටයි. එහි ඇති දොසක් නැහැ. කවුරුත් කටයුතු කරන්නේ තමන්ට හැකි ආකාරයෙනුයි.

ඒත් මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. කවියෙන් කියන්නේ තැනට සුදුසු ලෙස පිරිසිදු ඇඳුමෙන් තමන්ට හැකි ආකාරයෙන් සැරසීම කළ යුතු බවයි. 
ඒ පළ වන අරුත එදාටත් අදටත් වලංගුයි. 

  කවියෙන් අපට ලැබෙන උපදෙස්

1) තමන්ගේ ඇඳුම පිරිසිදුව තිබීම වැදගත් බව.

2) කිළිටි වී ගිය ඇඳුම් ඇඳීමෙන් හැකි හැම විට ම වැළකිය යුතු බව.

3) තමන්ට/තමන්ගේ ගමනට/තමන් යෙදෙන කටයුත්තට ගැළපෙන ඇඳුම් ඇඳිය යුතු බව.

4) තමන්ට හැකි ලෙසින්/ඇති ලෙසින් ඇඳුම් ගැන සැලකිලිමත් විය යුතු බව.

5) ඇඳුම යනු තමන්ව බාහිර ලෝකය මුලින් ම හඳුනා ගන්නා සාධකය බව මතක තබා ගැනීම. 

6) පිරිසිදුකම යනු අත්‍යවශ්‍යයෙන් ම රැක ගත යුතු තමන්ට මෙන් ම අනුන්නට ද බලපාන කරුණක් බව.    

                                        ස්තූතියි.

                                        නැවත හමු වෙමු. 

                                                              

Greetings - සුබපැතීම්