Wednesday, September 29, 2021

හෙට දින දුර ඇති අපේ ළමයි

 හෙට දින දුර ඇති අපේ ළමයි


මේ කාරණය ගැන සාකච්ඡා කරන්නට පටන් ගන්නට සිද්ධ වෙන්නේ කොරෝනා රෝග බියත් එක්කමයි.  කොරෝනා  රෝග බිය පැතිර පවතින්නේ අපේ රටේ පමණක් නෙවෙයි.  රෝගය  වසංගතයක් බවට පත්වී මුළු ලෝකෙම බිය ගන්වමින් සිටිනවා. 

ලෝකයේ  ඉතා ම අල්ප ප්‍රමාණයක් රටවල් මේ ‌රෝග  උවදුරින් යම්තාක් ඈත් වී සිටියත් පොදුවේ ගත් විට ලෝකයේ බොහෝ රටවල් කොරෝනා  රෝගයෙන්  තවම පීඩා විඳිනවා, අඩු වැඩි වශයෙන්. 

මේ තත්ත්වය අපටත් පොදුයි. මේ නිසා රටේ ජනතාව තම තමන්ගේ ජීවන පැවැත්ම අනුව බොහෝ දුෂ්කරතාවන්ට තවමත් මුහුණ දෙමින් සිටිනවා. අප මුහුණ දී සිටින මේ තත්ත්වයන් කවදා කෙසේ යථා ස්වභාවයකට පැමිණේ දැයි කාටවත්ම හරියටම කියන්නට පුළුවන්කමක් ඇතැයි සිතන්නට බැහැ.


අවස්ථාවට මුහුණ දෙමින් ඉන්න ඒ වුණත් තදින්ම ඉස්මතු කරන්නේ නැති එහෙමත් නැතිනම් අපි එහෙම කරන්නට අකමැති තවත් කොටසක් මේ රටේ ඉන්නවා. ඒ අපේ දරුවන්. ඒ අතරිනුත් මේ මාතෘකාවට මුල් වෙන්නේ නැතිනම් ප්‍රස්තුත වෙන්නේ අපේ රටේ ඉන්න පාසල් යන දරු පරම්පරාව.

තම දෙමව්පියන් වැඩිහිටියන් මෙන්ම සමස්ත රටක පොදු ජනතාව පොදු ප්‍රශ්නයකට මුහුණ දී සිටින අවස්ථාවකදී ළමා පරපුරට පමණක් ඉන් මිදී ජීවත් වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

ඒ කාරණා කෙසේ වෙතත් ඕනෑ ම රටක ළමුන් නැතිනම් දරුවන් යනු විශේෂිත ජන කොටසක්. ඔවුන්ගේ හැසිරීම් රටාවන් වෙනස්. ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනස්.  රුචි අරුචිකම් වෙනස්. කෙටි කොට කියනවා නම් ඔවුන්ගේ මුළු ලෝකය ම වෙනස්.

වැදගත්ම දෙයක් වන්නේ තම තමන්ගේ වයස් සීමා වලට අනුව ඔවුන් ලබන අධ්‍යාපනයයි. වසංගත රෝග බිය නිසා ඔවුන්ගේ අධ්‍යාපනය බිඳ වැටිලා.

මේ තත්ත්වය මුළු  ලෝකයේ ම  දරුවන් කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපෑ බව ඇත්තක්. ඒත් මේ වන විට බොහෝ රටවල ඒ තත්ත්වය වෙනස් වෙලා.

 ඒත් අපි?  අපි තවමත් එතැනමයි. අපේ පාසැල් තවමත් වැසූ  ගමන්.  පසු ගිය වසර එකහමාරක  පමණ කාලයක් තුළ කිහිප වාරයක්ම පාසල්   අරින්නට  උත්සාහ  ඒ ප්‍රයත්නය සාර්ථක වුණේ නැහැ.

දරුවන් තවමත් නිවෙස් වලට කොටු වූ ගමන්. 

මට  තියෙනවා ඔබෙන් ප්‍රශ්නයක් අහන්නට. දරුවන් ගැන වගකීම ඇත්තේ ඔවුන්ගේ මවුපිය වැඩිහිටි කොටසට පමණක් ද? ඔවුන් ගැන යම් වගකීමක් දරන්නට රටේ වෙනත් කිසිවකු ම නැද්ද?

 මේ ප්‍රශ්නය ඔබට විහිලුවක්  වේවි. අපේ දරු පරපුර ගැන වගකීම් දරන ආයතන හා පුද්ගල නාම ඔබ මට ඕනෑ තරම් යෝජනා කරාවි. ඒ කතාව එහෙම නම් මට නැවතත් ඔබෙන් අසන්නට තිබෙන්නේ කලින් ප්‍රශ්නය ම තමා.

ඒ කවුරු හෝ නිසි අධ්‍යාපනයක් නැතිව නිවෙස්වලට කොටු වී සිටින දරුවන් ගැන සොයා බැලුවා ද? 

ඔවුන්  පාසල්  යන  තරමට නිසි වාතාවරණයක් සකසා ගන්නට ඔවුන් කී දෙනෙකු මේ වන විට කොයි කොයි ආකාරයෙන් පියවර ගෙන තිබෙනවා ද ? ඇත්තටම මේ ප්‍රශ්න වලට ගැළපෙන පිළිතුරු සොයන්නට පුලුවන්ද?

කඩා වැටී ඇති අධ්‍යාපනය හමුවේ හැමදෙනාම අසරණ වී ඉන්නා අවස්ථාවක රටේ ගුරුවරුන් යම් කොටසක් හෝ මාර්ගස්ථ අධ්‍යාපනය  නැති නම් ‘මාර්ගගත අධ්‍යාපනය’ එහෙමත් නැතිනම් ‘ඔන්ලයින් පන්ති’ ආරම්භ කළා.  ඔන්ලයින් පන්ති/ දේශන රටට බොහෝ හුරු දේ නොවූවත් පැතිරී යන රෝග වසංගත දැඩි අර්බුදය හමුවේ දරුවන්ට මේ සඳහා හුරු වෙන්නට සිදු වුණා. හේතුව වෙනත් පන්ති සඳහා සහභාගි වීමේ අවස්ථාවක් නැති අවස්ථාවක ලැබෙන දේ හෝ පිළිගන්නට ඔවුන්ට සිදු වූ නිසා. 

ඔන්ලයින් කියන්නේ අනිවාර්යෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධ වීමක්. ඒ නිසා මේ අලුත් වාතාවරණයට මුහුණ දෙන්නට දරුවන්ගේ මව්පිය ආදී වැඩිහිටි උදවියටත් සිදු වුණා.

අන්තර්ජාලය කියන්නේ නොමිලේ තියෙන දෙයක් නෙවෙයි. අන්තර්ජාලය කියන්නේ අප විසින් ලබා ගත යුතු දෙයක්. අන්තර්ජාල පහසුකම් ලබාගත යුත්තේ මුදල් ගෙවලයි. අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි ස්මාර්ට් දුරකතනයක්/ ටැබ් පරිගණකයක් /මේස වර්ගයේ පරිඝණකයක්/ ලැප්ටොප් පරිගණකයක්/ අයිපෑඩය වැනි හොඳ තත්ත්වයේ උපකරණයක් සමග අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි සිම් පතක් තිබිය යුතුයි. 

මේ හැම දෙයක් ම මිලක් ඇති භාණ්ඩ.  තවත් විදියකින් කියනවා නම් ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩ. වර්තමාන සමාජයේ ස්මාර්ට් දුරකථනයක් යනු එතරම් දුර්ලභ භාණ්ඩයක් නෙවෙයි. ඒ තරමටම ජංගම දුරකථන භාවිතය මේ වන විට අතිශයින් වැඩි වෙලා. ව්‍යාප්ත වෙලා. අනෙක් උපකරණත් බොහෝ දුරට එසේමයි. 

නාගරික හා තදාසන්න පෙදෙස්වල අවශ්‍ය භාණ්ඩ හා අවශ්‍ය සංඥා ගැන එතරම් වද විය යුතු නැහැ. සමාන්‍යයෙන් එසේ සැලැකිල්ලට ගැනීම ලොකු වරදක් නෙවෙයි. 


 ඒ එසේ  වුවත් නගරයෙන් ඈත් වන්නට වන්නට විශේෂයෙන්ම දුරකථන සංඥා පිළිබඳ ගැටලුව තදින්ම බලපානවා. ගම් නියම්ගම්වල නොව ඇතැම් නගරබද පෙදෙස්වල ඇතැම් ස්ථානවලට පවා ඇතැම් සන්නිවේදන ජාලාවල සංඥා නිසි ලෙස ලබා ගැනීමේ අපහසුව පවතිනවා.  මේ තත්ත්වය රටේ නොයෙක් ස්ථානවල සමානව පවතිනවා.

අවශ්‍ය උපකරණ - අවම වශයෙන් අන්තර්ජාලය ග්‍රහණය කළ හැකි දුරකථනයක් සපයාගත් පිටපළාත්වල දරුවන් විශේෂයෙන් ම මුහුණ දෙන ප්‍රශ්නය තමා නිසි ලෙස අඛණ්ඩව සංඥා ලබා ගැනීම. මෙවැනි අසීරු තත්ත්වයන් ගැන ඇතැම් විදේශීය මාධ්‍ය පවා පසුගිය දිනවල ප්‍රවෘත්ති පළ කොට තිබුණා. 

මෙවැනි ප්‍රශ්න සමූහයක් අතරේ දරුවන් අතරමං වෙලා කීවත් එහි වැරැද්දක් නැහැ.

අසීරුවෙන් ඇති ප්‍රශ්න ගැටගහගෙන ඉදිරියට යද්දී තමා ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් පාරටම ආවේ. මේ ප්‍රශ්නය නිසා දරුවන් අමාරුවෙන් හෝ සම්බන්ධ වී සිටි ඔන්ලයින් පහසුකමත් දරුවන්ට  අහිමි වී යන තත්ත්වයක් ආවා.  

මේ වෙනස් වෙන සියලු තත්ත්වයන් දරාගත යුත්තේ කවුද? දෙමව්පිය වැඩිහිටි සහ දරුවන් විසින් ම පමණක් ද? මේ සඳහා පිළිතුරු වශයෙන් රට තුළ ඇති ආයතන හෝ යම් වෙන යම් කිසිවකු හෝ වෙන යම් සංවිධානයක් හෝ කිසියම් ආකාරයක සාධාරණ විසඳුමක් - හැමටම පිළිගත හැකි විසඳුමක් ලබා දී තිබෙනවාද? තිබේ නම් ඒ කුමක් ද?

ඇතැම් ආයතන සිසු අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී නාළිකා ආරම්භ කොට තිබෙනවා. ඇතැම් ආයතන විවිධාකාර ආදේශක  සකස් කොට තිබෙනවා. ඒ කිසිවක් වරදක් නෙවෙයි.

එහෙත් මේ සියලූ විකල්ප මගින් හැම දරුවාට ම එක වගේ ප්‍රයෝජන ගන්නට පුළුවන් ද? 

පාසැල් සහ මාර්ගස්ථ අධ්‍යාපනයේ වෙනස්කම් පවතින බව විශේෂයෙන් කිව යුතු දෙයක් නෙවෙයි. පාසලක පන්ති කාමරයක දරුවන් ගුරුවරයා හෝ ගුරුවරිය හෝ සම්මුඛ වීම නැතිනම් මුහුණට මුහුණ හමුවන අවස්ථාවක් නිර්මාණය කර ගන්නවා. ඔන්ලයින් පන්තිවලදී එවැනි අවස්ථාවක් ඇති වන්නේ නෑ. ඔන්ලයින් පන්තියට දරුවන් සහභාගි වෙන්නේ තමන්ට පහසු තැනක ඉඳලා. සමහරවිට සංඥා ප්‍රශ්නය නිසා දරුවන් අතිශය දුෂ්කර ස්ථානවල සිට පන්තිවලට සහභාගි වන බව පසුගිය කාලය තුළ මාධ්‍ය ඔස්සේ අපට දැක ගන්නට හැකි වුණා. ඒවා කෙසේ වෙතත් දරුවන් හා ගුරුවරයා පන්තියකදී මෙන් මුහුණට මුහුණ නොගැසීම යම්කිසි ආකාරයක ‍ප්‍රශ්නයක් බවයි අප කල්පනා කරන්නේ.

ඊට හේතුවක් තියෙනවා. පංතියකදී නම් දරුවන් කොතෙක් සිටියත් ඒ දරුවන් ඒ පන්තිය තුළ දී යම්කිසි කාල පරිච්ඡේදයක්  නැති නම් යම්කිසි කාලසීමාවක් තුළ දී තමන්ගේ ගුරුවරුන් හා ඍජුව ම සම්බන්ධව පවතිනවා. එහෙත් ඔන්ලයින් පන්තිවලදී මේ තත්ත්වය වෙනස්. සංවිධිත කුමක් හෝ විසඳුමක් නැති අවස්ථාවක ඔන්ලයින් පන්තියක් පැවැත්වීම එක්තරා විදියක ඉතාම සාධාරණ විසඳුමක් හැටියට සලකන්නට පුළුවන්.

 එසේ ම ගුරුවරු මේ සඳහා කැප වූ බව ඇත්තක්. දැන් ඒ තත්ත්වයත් යම්කිසි මට්ටමකින් වෙනස් වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ. යම් යම් ප්‍රශ්න හේතු සාධක නිසා ගුරුවරුන්ට බලපාන ප්‍රශ්න තිබේ නම් ඒ සඳහා ගුරුවරුන් ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය දෙයක්. එහෙත් ඒ කාගේ කාගේත් ප්‍රශ්න නිසා අවසානයේ තවත් අසරණ වන්නේ පාසල් යන දරු පරම්පරාවයි.

දරුවන්ගේ පාසැල් අධ්‍යාපන ප්‍රශ්නයට නිසි පිළිතුරු ලැබෙන්නේ කවදා ද? ඒ වගේම ඔවුන්ගේ මේ ගෙවී යන විය එසේ නොමැති නම් වයස ඔවුන්ට නැවත ලබාගත නොහැකි  නිසා ඔවුන් වෙනුවෙන් මුළු රටක් මේ වන විට කුමක් කර ඇති ද?

 අපට දැනෙන තරමින් හා අපේ අවධානය යොමු වී ඇති ආකාරයෙන් අපට කියන්නට ඇත්තේ කිසිවක් ම නිසි ලෙස සිදු නොවී ඇති බවයි. මේ නිසා ම දරුවන් යම් යම් වයස් සීමාවල දී ලැබිය යුතු අධ්‍යාපනය ඔවුන්ගෙන් සෑහෙන තරම් දුර ගිලිහී ඇති බව නම් කියන්නට පුළුවන්. 

මේ තත්ත්වය බලපාන්නේ පාසැල් යන දරු දැරියන්ට පමණක්ම නෙවෙයි. සියළු ම අධ්‍යාපන ආයතන වල උගන්නා සියලුම දරුවන්ට මේ තත්ත්වය මේ විදිහට බලපානවා. සරසවි හෝ වේවා පෞද්ගලික අධ්‍යාපන ආයතන හෝ වේවා මේ සියල්ලම මේ වන විට බිඳ වැටීම් තත්ත්වයකට මුහුණ දී ඇතැයි කියන්නට පුළුවන්. හේතුව තවමත් දරුවන් පන්තිවලට සහභාගී විය නොහැකි මට්ටමක වාතාවරණයක් පවතින නිසායි.

මේ තත්ත්වය යහපත් ආකාරයකින් වෙනස් කිරීම සඳහා රටක වගකිවයුතු බලධරයින් කුමන ආකාර විසඳුම් ලබා දෙනවා ද, ලබා දෙන්නට සිතා සිටිනවා ද  කියා තවමත් නිශ්චිතවම කියන්න බැහැ. 

දරුවන්ට අනෙක් පැත්තෙන් බලපාන්නේ ඔවුන්ගේ ළමා කාලය ගෙවී යන ආකාරයයි. මේ සම්බන්ධයෙන් නම් දරුවන් යම්කිසි ආකාරයක අනුගත වීමක් සිදුවිය යුතුයි. හේතුව මේ තත්ත්වය මුළු රටකට බලපාන රෝගී වසංගත තත්ත්වයක් නිසා. 

කිසියම් දිනක රට සම්පූර්ණයෙන් ම විවෘත කළ පසු දරුවන් නැවත පාසැල් අධ්‍යාපනය කරා යොමු කළ යුතුව පවතිනවා. එවැනි අවස්ථාවක මුළු රටක දරුවන් පාසැල් කරා කැඳවීමේදී අනුගමනය කළ යුත්තේ කවරාකාරයක ක්‍රියා මාර්ගදැයි සොයා බැලීමට දැන් ම සිට සූදානම් වීම කළ යුත්තක්. මේ වගකීම දෙමව්පිය වැඩිහිටියන්ගේ මෙන් ම රටේ අදාළ සියලු බලධරයන්ගේ වගකීමක් මෙන් ම යුතුකමක් ද වනවා. 

වයස් සීමා අනුව ගත් විට රටේ සියලු ම දරුවන් මේ වන විට එන්නත් කොට නැහැ. පාසැල් එන දරුවන්ට බලපාන නොයෙක් ආකාර සාධක ඇති බව සිහියට ගත යුතු කරුණක්. ඒ සියලු කරුණු ගැන සොයා බැලීම අසීරු වුවත් අවම වශයෙන් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන දැඩි අවධානය යොමු කිරීම ඉතා ම වැදගත් බව සිහිකටයුතුයි. 


English Alphabet Pictorial

Friday, September 17, 2021

Grade 3 - Sinhala - Lesson 5 Exercises

Sinhalese Language - Grade 3

Grade 3 Sinhala Lesson 4 WB3 ශ්‍රේණිය - සිංහල භාෂාව - සිව්වැනි පාඩ...

Grade 3 Sinhala Lesson 4 - 3 ශ්‍රේණිය - සිංහල භාෂාව - සිව්වැනි පාඩම

Grade 3 Sinhala Lesson 3 Work Book - 3 ශ්‍රේණිය - සිංහල භාෂාව - තුන...

Grade 3 Sinhala Lesson 3 සිංහල භාෂාව - 3 ශ්‍රේණිය - තුන්වැනි පාඩම

Grade 3 Sinhala Lesson 2 WB 3 ශ්‍රේණිය - වැඩ පොත - දෙවැනි පාඩම - අදාළ අභ...

Grade 3 Sinhala Lesson 2 - 3 ශ්‍රේණිය - සිංහල භාෂාව - දෙවැනි පාඩම

Grade 3 Sinhala WB Part Two 3 ශ්‍රේණිය - සිංහල භාෂාව -වැඩ පොත - දෙවැනි කොටස

Grade 3 Sinhala WB Part One 3 ශ්‍රේණිය - සිංහල භාෂාව -වැඩ පොත - පළමු කොටස

Grade 3 Sinhala Lesson -1සිංහල භාෂාව - 3 ශ්‍රේණිය - පළමුවැනි පාඩම කියවීම...