Monday, January 30, 2023

දෙවියෙනි, පිහිට වුව මැනවි.


 රාත්‍රී අඳුර අවට තදින් ම පැතිරෙමින් තිබුණා. අවට කඳු ශීර්ෂ අඳුරින් වැසී යන්නට පටන්  ගත්තේ බලා සිටියදීමයි. කඳු අතර ගමන් කරමින් සිටි මිනිසා මුහුණ දුන්නේ බලාපොරොත්තු නො වූ තරමේ විශාල දුෂ්කරතාවකට. අවට කිසිවක් ම දැකගත නො වීම නිසා ඔහුට දැනුණේ බලවත් අපහසුතාවක්. මෙතෙක් අහසේ දැකගත හැකි වූ සඳ සහ තාරකා සියල්ලත් වළාකූළුවලින් වැසී ගියා. 

කඳු මුදුනට ළඟා වන්නට කඳු නගින්නා තවත් යා යුතු වූයේ පියවර කිහිපයක් පමණයි. අවට වසා ගත් අඳුරේ වුවත් මිනිසා ඒ සඳහා උත්සාහ කරන්නට වුණා. ඒත් ඔහු අඳුරේ තැබූ පියවර ලිස්සා ගියා. 

පියවර ලිස්සා ගිය කඳු නගින්නා අඳුරේ ම හිස් වාතයට විසි වී ගියා. අවට පැතිර ඇති අඳුර ඔහුට ඔච්චම් කරද්දී ඔහු දැඩි වේගයකින් පහළට ඇද වැටෙමින් සිටියා. ඔහු තුළ ඇති වුණේ ඉතා දරුණු බියක්. තව මොහොතකින් කුමක් වේදැයි කිසිවක් නොම දැන සිටි ඔහුව ගුරුත්වාකර්ෂණය මගින් පහළට ඇද ගනිමින් තිබුණා. 

දැඩි බියකින් යුතුව මෙන් ම කරකියා ගත හැකි කිසිවක් ම නැති කඳු නගින්නා නිශ්චිත නොවූ ඇද වැටීමකට මුහුණ දී සිටියා. පහළට වැටෙන ඔහුගේ සිතේ පහළ වූයේ මෙතෙක් තමා ගෙවූ දිවියේ විවිධ අවස්ථායි. තව මොහොතකින් තමා මුහුණ දෙන මරණය කොයි ආකාරයේ වේ  දැයි ඔහු දැඩි බියකින් යුතුව සිතා ගන්නට උත්සාහ කළා. 

දැඩි වේගයකින් පහළට ඇදී ආ කඳු නගින්නාගේ වැටීම එක වර ම නතර වුණා. කඳු නැගීමේ දී ඉණ වටා බැඳ ගන්නා ආරක්ෂාකාරී පටියෙන් ඔහු එල්ලී සිටින්නට වුණේ එවිටයි. ගන අඳුරේ හිස් වාතයේ ඔහු එල්ලී සිටියා. ඔහු සතු එක ම පිටුවහල වූයේ ඔහුගේ බඳ වටා ඇති පටියයි. මේ ඉරියව්වෙන් කොතෙක් වෙලා කෙසේ හිඳින්න ද? 

තමන්ට මෙවැනි අවස්ථාවක උදව්වට එතැයි සිතිය හැකි එක ම බලවේගය ගැන ඔහු කල්පනාවට ගත්තා.

”අනේ දෙවියනි, මට උදව් කරන්න.” ඔහු හැකි තරම් වෙර යොදා මොර දුන්නා.
ඒ මොහොතේ ම ගැඹුරු හඬක් අහස දෙසින් නැගී ආවා.

“මට ඔබ වෙනුවෙන් කළ හැකි වන්නේ කුමක් ද?” ඒ හඬ විමසුවා.
“මාව බේර ගන්න දෙවියනි.” විපතට මුහුණ දී සිටි කඳු නගින්නා ඉල්ලා සිටියා.  
“ඔබ ඇත්තට ම හිතනවා ද මට ඔබව බේරා ගත හැකියි කියා?”
”ඇත්තෙන් ම ඔව්. මට විශ්වාසයි ඔබට එසේ කළ හැකියි කියා.”
“එසේ නම් ඔබ එල්ලී සිටින රැහැන කපා දමන්න.”

ඊළඟට ඇති වුණේ නිහඬතාවක්. ඒ නිහඬතාව මොහොතක් එසේ ම තිබුණා. කඳු නගින්නා තීරණය කළේ තම මුළු ශක්තිය ම යොදමින් එල්ලී සිටින රැහැනේ දිගට ම එසේ ම එල්ලී සිටීමටයි.

පසුවදාට පහන් වුණා. සහන සේවකයින් කඳු නගින්නාගේ සිරුර සොයා ගත්තා. එය දැඩි ශිතල හේතුවෙන් ගල් ගැහී තිබුණා. ඔහුගේ දෑත් ඉණ රැඳි රැහැනේ තදින් බැඳී තිබුණා. 

රැහැනේ එල්ලී තිබූ කඳු නගින්නාගේ පාදවල සිට පොළොවට තිබූ දුර අඩියක් පමණයි.  

(මූලාශ්‍ර ඇසුරෙන් සකස් කරන ලද්දකි.)


Monday, January 16, 2023

“සිරිත් මල්දම” කාව්‍ය සංග්‍රහයෙන් කවියක්.

 











කවියේ තේරුම සහ අදට එය ගැළපෙන්නේ කෙසේදැයි සොයා බලන්නට පෙර ‘ගුරුවරයා’ කියන්නේ කවුද යන්න ගැන මඳක් විමසා බලමු.

ගුරුවරයකු (හෝ ගුරුවරියක) වන්නේ කිසියම් ශාස්ත්‍රයක්/විෂයයක් අපට කියා දෙන්නට/අපට අවබෝධ කරවන්නට පුහුණු වූ අයෙක්. 

මේ කරුණ කුමන අවස්ථාවක් යටතේ වුවත් ඇත්තක්. එහි දී අප තේරුම් ගත යුත්තේ කුමක් ද? මූලික වශයෙන් ම ‘ගුරුවරයා’ යනු අපට වඩා දැනුම්වත් එසේ ම අපට වඩා කවරාකාර හෝ විෂයමය දැනුමකින් අපට වඩා උසස් තත්ත්වයේ කෙනෙකු බවයි. 

සාමාන්‍යයෙන් පාසලක් ගැන සැලකූ විට නම් එහි උගන්වන ගුරුවරුන් ඉගෙන ගන්නා දරුවන්ට වඩා වයසින් වැඩියි. 

ඒත් ඇතැම් අවස්ථාවල දී  ඒ තත්ත්වය වෙනස් විය හැකියි. එයින් ඇඟ වෙන්නේ ගුරුවරයා අදාළ පන්තියේ උගන්නා ඇතැම් සිසුන්ට වඩා වයසින් අඩු අයකු විය හැකියි. ඒ වුවත් එහි දී වයස යන සාධකය/කරුණ විශේෂ වන්නේ නැහැ.

එහි දී ප්‍රධාන වන්නේ ගුරුවරයා සතු දැනුමයි. 

එහි දී පමණක් නෙවෙයි. හැම විට ම ඉගෙන ගන්නා අපට වඩා ගුරුවරයාගේ දැනුම වැඩි බව අප පිළිගත යුතුයි. ඒ බව විශ්වාස කළ යුතුයි.

තවත් කරුණක්. අප ගුරුවරයාගේ උගත්කමට ගරු කළ යුතුයි.

ඊළඟට අප අවධානය යොමු කළ යුත්තේ ගෞරවය ලැබිය යුතු එසේ ම ගෞරවය ලබන ගුරුවරයකු දරුවකුට තළන්නට පෙළඹෙන්නේ ඇයි ද යන්නයි.

ගුරුවරු කියන්නේත් සාමාන්‍ය මිනිසුන්. විවිධ ගති ස්වභාව ඇති විවිධ ගති ලක්ෂණ ඇති අය.  ඒ අය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. කතාබහ/හැසිරීම/උගැන්වීමේ පිළිවෙළ/කෝප වීම ආදී මේ සියල්ල ම දෙදෙනකු එක වගේ දක්වන ස්වභාව නෙවෙයි.

ඒ අනුව කල්පනා කොට බලන විට කෙනෙකු දඬුවම් දීම සඳහා උනන්දු වීමත් තවත් අය එසේ නොවීමත් පැහැදිලි කොට ගත හැකියි. 

කවියේ ‘තැළුම’ යනුවෙන් පළ වන අදහස අපට කියා පාන්නේ දරුවකුට වේවැලක් ආදියෙන් පහර දීමයි. මේ කවිය ලියැවෙන සමයේ සහ ඊට ආසන්න කාලවල එවැනි දඬුවම් තිබී ඇති බව අපට සිතා ගන්නට ඉඩකඩ තියෙනවා. අපේ රටේ එවැනි ආකාරයේ දඬුවම් දීමක් ගැන ඇසීම එතරම් ම අරුමයක් නෙවෙයි.

අප දැන් සැලකිල්ල යොමු කළ යුතු වන්නේ  තැළුම් කෑමට නැති නම් පොදුවේ ගත් විට යම් ආකාර වෙනත් දඬුවමක් හෝ ලැබීමට දරුවකු සුදුසු වන්නේ ඇයි ද යන්න කෙරෙහියි.

දරුවන් කියන්නේ කවදටත් කොහේත් වෙන ම ම කොටසක්. ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ගේ ම ලෝකයකයි. ළමා කාලය යනු කාගේත් ජීවිතයේ සුන්දර ම අවධියයි. ඉඳහිට යම් වෙනස්කම් තිබුණත් ඒ තමා සාමාන්‍ය තත්ත්වය.

මේ අවධියේ වැරැද්ද නිවැරැද්ද හරියට ම වටහා ගෙන වැරැදි දේ නොකර සිටීමට තරම් බුද්ධිමත් බවක් ඇතැම් විට උවමනාවක් දරුවන්ට නැහැ. ඔවුන් වඩාත් සතුටු වන්නේ වැඩිහිටියන් ‘එපා’ කියන දේ කොට එහි ප්‍රතිඵලය බැලීමටයි.

   වැඩිහිටියන්ට අවශ්‍ය දේ ආකාරයෙන් ම කොට පෙන්වීමේ උවමනාවක් බොහෝ විට දරුවන් තුළ නැහැ. වැඩිහිටි  අය ඒ හැම දකින්නේ අකීකරුකම් හැටියටයි. දඟකාරකම් හැටියටයි. 

මේ තත්ත්වය වරදවා ගත යුතු නැහැ. ළමා වයසේ දඟකාරකම් හා ඒ තත්ත්වය ඉක්මවූ යම් වැරැදි දරුවන් අතින් ඉටු වන්නට පුළුවන්. 

මිදුලේ ගමන් කරන තලගොයකුට ගලකින් ගහන්නට පෙළඹීම/නිවස ඇතුළේ දුව යන කැරපොත්තකු හඹා යෑම දරුවන් අතින් විය හැකි සාමාන්‍ය ක්‍රියාකාරකම් ලෙසින් හඳුන්වන්නට හැකියි.

එහෙත් අහළ පහළින් යන කිසිවකුට ගලකින් ගසන්නට පෙළඹීම/අල්ලපු වත්තේ ගමන් කරන සතෙකුට ගලකින් ගසන්නට උනන්දු වීම වැනි දෑ සාමාන්‍ය තත්ත්වය ඉක්මවමින් සිදු කරන දෑ හැටියට සැලකිය හැකියි. 

දරුවකු අතින් සිදු ව්ය හැකි කුමන ආකාරයක හිංසා කිරීමේ කටයුත්තක් දුටු වහා ම එය වළක්වාලීමේ සහ එහි අහිතකර පැත්ත දරුවාගේ වයසේ හැටියට ඔහුට අවබෝධ කර දීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටියනටයි. 
‘ඔන්න ඔහෙ කමක් නෑ. තාම පොඩියි නේ’ කියා සිතා ඒ කිසිවක් නොසලකා හැරීම පසු කාලීනව ඉතා ම නරක ප්‍රතිඵල ගෙන දෙන දේ බවට පත් විය හැකි බව මුලින් ම පැහැදිලිව ම සිතට ගත යුත්තේ වැඩිහිටියන්.  
 
’නිය පොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කපා දමන තත්ත්වයට‘ පත් නොකර ගත යුත්තේ වැඩිහිටියන්මයි. 

අමතක කරන්නට එපා. දරුවන් පාසලට ගෙන යන්නේ  තමන්ට  නිවසේ හුරුපුරුදු දේයි. ඒ වගේ ම තමන්ගේ පරිසරයේ තමන් නිතර දකින සහ අසන්නට ලැබෙන දේයි. ළදරු මනසේ තැන්පත් වන දඟකාරකම්/තමන් කොට අත්හදා බලන්නට රිසි දේ ආදිය ඔහුගේ ක්‍රියාකාරකම් මෙහෙය වන බව අමතක කොකළ යුතුයි.

පාසලේ දී අනෙක් දරුවන් හා ගුරුවරුන් ඉදිරියේ දරුවාගේ හැසිරීම් ඔහුට නොදැනීම මෙන් ඔහුව මෙහෙය වන්නේ ඔහුගේ මනසේ තැන්පත් වී පවතින ඔහුගේ හුරුපුරුදුයි. 

ඇතැම් විට නිවසේ ඔහුට කරන්නට වැඩිහිටියන් ඉඩ නොදෙන යමක් ඔහු පාසලේ දී සිදු කොට අත්හදා බලන්නට යොමු විය හැකියි. පාසලේ දී   දෙමව්පියන්  නැති නිසා එවැනි තත්ත්වයක් ඔවුන්ට කෙසේවත් පාලනය කළ නොහැකි බව ඇත්තක්. 
ඒත් ඒ වන විට දරුවා තමන් කළ වැරැද්ද නිසා ගුරුවරන්ගේ අප්‍රසාදයට ලක්වීමත් වැළැක්විය නොහැකියි.
ඊට හේතු වන්නේ හෙළා දැකිය යුතු වරදක් දරුවකු අතින් ඉටු වුවහොත් එය නැවත සිදු වීම වැළැක්වීම සඳහා ගුරුවරුන් දරුවාට දඬුවම් කිරීමට පෙළඹීම අපේක්ෂා කළ හැකි දෙයක් නිසයි.

දරුවකු නිවසේ දී කරන ‘වැරදි’ යැයි ඔබ අප පිළිගන්නා ක්‍රියා ගැන අපි මොහොතකට අමතක කරමු. හේතුව, ඒවා නිවසේ දී ම ඔබට නිවැරැදි කළ හැකි නිසයි.

දරුවා පසලේ දී කරතැයි අනුමාන කළ හැකි වැරදි මොනවා ද? 
1. පන්තියේ දී/පාසල් මිදුලේ දී හඬ නගා කතා කිරීම. (කෑ ගැසීම)
2. පන්තියේ දී සිය පාඩම් කටයුතු අතපසු කරමින් හැසිරීම.
3. පන්තියේ අනෙක් දරුවන්ට පහර දීම/කෙනිත්තීම/බැණ වැදීම.
4. ගුරුවරුන්ගේ අවවාද ගණන් නොගෙන හැසිරීම.
5. පාසැලට පැමිණීමේ/පාසල් කටයුතු කිරීමේ අපිළිවෙළක් තිබීම.
6. පාසැල අපිරිසිදු වන සේ හැසිරීම.

ඉහත දැක්වෙන්නේ දරුවකු කරන / දරුවකු වෙතින් අපේක්ෂා කළ හැකි වැරදි ලෙසින් සැලැකිය හැකි අවස්ථා කිහිපයක්.

මේ වැරදි ගැන මඳක් සිත යොමු කරන්න.

මේ සියල්ල වැරදි ලෙසින් පිළිගත හැකි නම් මේ සියල්ලේ වගකීම ඇත්තේ කාට ද?

දරුවන්ට ද? ගුරුවරුන්ට ද? 

ගුරුවරුන්ට යම් තත්ත්වයන් යටතේ යම් ආකාර වගකීම් පැවරෙන බව පිළිගත යුතුයි.
ඒත් ඒ හැමට ම වඩා මූලික වන්නේ  මව්පිය සහ වැඩිහිටි වගකීම බව පිළිනොගෙන සිටින්නට උත්සාහ නොකළ යුතුයි.

ගුරුවරුන් කියන්නේ කවුරු ද? ඔවුන් නිවසින් පිටස්තර අයයි. ඔවුන් දරුවාට/ඔබට මුණ ගැහෙන්නේ පාසලේ දී යි.
 පාසල කියන්නේ නිවස නොවේ. ඒකත් පිටස්තර ස්ථානයක්. 
පිටස්තර තැනක දී ඔබට හමු වන පිටස්තර අයෙකුගේ උදහසට/අප්‍රසන්න බවට/අකමැත්තට/ප්‍රතික්‍ෂෙප කිරීමකට ඔබේ දරුවා ලක්වනු දකින්නට/ඒ ගැන අසන්නට ඔබ කැමති වනවා ද?  

කවිය හොඳින් කියවන්න. කවියෙන් ඉලක්ක කොට ඇත්තේ දරුවන්.
 ඒත් මූලික වගකීම ඇත්තේ ඔබ අත බව අමතක නොකළ යුතුයි.

ගුරුවරු කිසි ම                    විට
සතුටු නොම වෙති        තැළුමට
හොඳිින් එය සිහි              කොට
වැරදි නො කරන් තැළුම්  කෑමට

කාගෙන් හෝ (ගුරුවරුන් විය යුතු ම නැහැ. පිටස්තර වෙනත් ඕනෑ ම අයෙකු විය හැකියි.   ඒත් එහි මූලික වගකීම පවරා ගත යුත්තේ දෙමව්පිය වැඩිහිටි වන ඔබයි.
 තැළුම් කෑමට දරුවා බඳුන් වීම අවම කරගත හැකි වන්නේ එසේ ම වළක්වාගත හැකි වන්නේ ඔබට ම බව හොඳින් වටහා ගැනීම ඉතා ම වැදගත්.