සිදුහත් චරිතය - අසිත හෙවත් කාලදේවල තවුසාණන්
අසිත හෙවත් කාල දේවල යන නම බුදු දහම උගන්නා කුඩා දරුවන් පවා අසා ඇති ඇතැම් විට හොඳින් හඳුනා ගත් නමක්.
අසිත තවුසා යනු කවුරුන් ද යන්න කෙටියෙන් විමසා බැලීම අද සටහනේ අරමුණයි.
අසිත තවුසාණන් අප මුලින් ම හඳුනා ගත යුත්තේ සුදොවුන් - ශුද්ධෝදන නැති නම් සිදුහත් කුමරුගේ පියාගේ ගුරුවරයා ලෙසයි. ඒ නිසා ම දෝ සුදොවුන් රජතුමාගේ මාලිගයට නිතර යෑම ඒම අසිත තවුසාණන්ට සාමාන්‍ය දෙයක්. සුදොවුන් රජතුමාත් තවුසාණන්ට ඉතා ම ගෞරවයෙන් සැලකුම් කළා.
තවුසාණන් ගැන තවත් විශේෂ කරුණක් සිහිපත් කළ යුතුයි. එතුමා යම් තාක් දුරකට සිත දියුණු කර ගත් පුද්ගලයෙක්. අහසින් යෑම / නුවණින් අනාගතය ගැන විමසා බැලීම වැනි කටයුතු කරන්නට තවුසාණන් සමත්. දිව්‍ය ලෝකයට යෑම/ඒම, දෙවියන් හා කල් ගත කිරීම වැනි දේත් තවුසාණන් සැම දා නිතර කළ දෙයක්.
මෙතන දී අප විසින් සිතා තේරුම් ගත යුතු තව කරුණක් තියෙනවා. ඒ තමා බුදු කෙනෙකුන් ලොවට පහළ වීමට පෙරත් සිත නොයෙක් ආකාරයෙන් දියුණු කරගත් පුද්ගලයන් සිටි බව. ඒ අය තමන්ට හැකි ආකාරවලින් තමන්ට හැකි ලෙසින් සිත යම් දියුණු තත්ත්වයන්ට පත් කර ගෙන සිටි බව අප පැහැදිලි කර ගැනීම වැදගත්.
අසිත තවුසාත් එවැනි ම වූ අයෙක්.
බෝසත් කුමරුන් උපන් දවසේ උදෑසන ආහාරය සුදොවුන් රජුගේ මාලිගයෙන් ම වැළඳූ අසිත තවුසාණන් දහවල් වරුවේ තව්තිසා දෙව් ලොවට ගියා.
එදා තව්තිසා දෙව් ලොව වෙන කවරදාටත් වඩා අලංකාරව දැක ගන්නට හැකි වුණා. සක් දෙව් රජ ඇතුළු දිව්‍ය සමූහයා ඉතා ප්‍රීතියෙන් කාලය ගත කරන බවයි තවුසාණන්ට දැකිය හැකි වූයේ.
නිතර දෙව් ලොව දැක පුරුදු ඇති අසිත තවුසාණන්ට අද තමන් දකින මේ අතිශය ප්‍රීතිමත් පරිසරය ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා ම එතුමන් ඒ පිළිබඳව දෙවියන්ගෙන් ප්‍රශ්න කළා.
දෙවියන් තවුසාණන්ට බෝසත් කුමරුගේ උත්පත්තිය ගැන දන්වා සිටියා.
බෝසත් කුමරුගේ උපත ගැන දෙවියන්ගෙන් දැන ගත් අසිත තවුසාණන් දෙව් ලොව රැඳීම නවතා නැවතත් සුදොවුන් රජතුමාගේ මාලිගයට ගියා. රජතුමා සුපුරුදු ගෞරවයෙන් තවුසාණන් පිළිගෙන අසුන් ගැන්වූවා.
“මහරජ, ඔබට පුත් කුමරුකු උපන් බව දැන ගන්නට ලැබුණා. අප සතුටුයි කුමරුව දැක ගන්නට.” තවුසාණන් රජුට කීවා.
ඒ ඇසූ සුදොවුන් මහරජතුමා ඇතුළු ගෙට ගොස් බිළිඳු කුමරුන් තමා ම වඩා ගෙන අවුත් තවුසාණන්ට පෑවා.
“පුත, තවුසාණන් වැඳ පින් රැස් කර ගන්න." කියා රජතුමා පුත් කුමරුට කීවා. දිනක්වත් වයස නැති දරුවකුට යමක් කීමෙන් අදහස් කරන්නේ එය එසේ කරන බවට ඇති විශ්වාසයෙන් නොවේ. සාමාන්‍ය කෙනෙකු වුවත් කිසිවක් ම නොතේරෙන වයසේ ඇති දරුවකුට එවැනි දෙයක් කීම සාමාන්‍යයි. ඒ නිසා රජුත් එවැනි යමක් කියන්නට ඇති බව අපට සිතා ගත හැකියි.
ඒ එසේ වුවත් එතැන දී සිදු වුණේ කිසිවකුටත් සිතා ගත නොහැකි දෙයක්.
තවුසාණන්ට සමීප වූ බෝසත් බිළිඳාගේ දෙපා තවුසාණන්ගේ හිස මත ගැටී නතර වුණා.
බෝසත් බිළිඳාගේ දෙපා තවුස් හිසේ ගැටීමත්, තවුස් හිස මත නතර වීමත් කියන්නේ අවස්ථා දෙකක්.
යම් පුද්ගලයකු වාඩි වී සිටින වෙලාවක දී ඔහු අසලට වඩා ගත් දරුවකු රැගෙන ගියා කියා හිතන්න. එවැනි වෙලාවක දී දරුවාගේ දෙපා යම් අත්වැරදීමකින් හිඳ සිටින අයගේ හිසේ වදින්නට පුළුවන්. එය අසාමාන්‍ය දෙයක් නෙවෙයි.
ඒ වුනත් මේ කියැවෙන අවස්ථාවේ වූයේ ඒ හා සමාන දෙයක් නෙවෙයි. ඒ බව අප පැහැදිලි කර ගත යුතුයි. මෙහි දී සැබෑ සිදුවීම ලෙස අප පැහැදිලි කර ගත යුත්තේ බෝසත් බිළිඳාගේ දෙපා තවුසාණන්ගේ හිස මත පිහිටා නතර වූ බවයි.
වෙන අයෙකු තවුසා වෙනුවට එතැන හිටියා නම් කුමක් විය හැකි ද?
එසේ වූවා නම් බොහෝ විට විය හැකි වන්නේ එය බිළිඳා වඩා සිටින අයගේ අත්වැරැද්දකින් සිදු වූවක් බව සිතා එය අමතක කර දැමීමයි.
ඒත් අසිත හෙවත් කාලදේවල තවුසාණන් බෝසත් බිළිඳාගේ දෙපා තම හිස මත පිහිටීම ගැන සුළුවෙන් කල්පනා කොට නොසලකා හැරියේ නැහැ. ඔහු උගත් මෙන් ම බුද්ධිමත් පුද්ගලයෙක. ඒ වගේ ම සිත යම් තාක් දුරකට දියුණු කොට ගත් අයෙක්. යම් කෙනෙකුගේ ශරීර ලක්ෂණ බලා ඒ පුද්ගලයා ගැන දත්ත ඉදිරිපත් කිරීමට අදාළ ශාස්ත්‍රය ප්‍රගුණ කළ කෙනෙක්.
ඒ අනුව සිත මෙහෙය වූ තවුසාණන් බෝසත් බිළිඳාගේ ශරීර ලක්ෂණ විමසා බලන්නට වුණා. ඒ වගේ ම බිළිඳාගේ අනාගතය ගැන නුවණින් සොයා බලන්නට වුණා.
අසිත තවුසා තේරුම් ගත්තා මේ බිළිඳා මතු ශ්‍රේෂ්ඨයකු වන බව. මිනිසුන් අතරින් උතුම් ම තත්ත්වයකට පත් වන බව. තමන්ගේ ප්‍රකාශනයෙන් මිනිසුන් ධර්මානුකූලව හසුරුවා ගත හැකි බව. එසේ ම කිසි දා ගිහිගෙයි නොනවතින බව.
අසිත තවුසාණන් තවත් සිතමින් කාලය ගත කළේ නැහැ. වහා ම තම අසුනින් නැගිට සිටියා. සුදොවුන් රජතුමා ඇතුළු හැම දෙනා ම පුදුම කරවමින් බෝසත් බිළිඳාගේ දෙපා වැන්දා.
තමාත් වඳින පුදන ගෞරව කරන තම ගුරුවරයා තමන්ගේ බිළිඳු පුත්‍රයාට කළ වැඳීම ගැන සුදොවුන් රජතුමා වඩාත් ම උනන්දු වුණා. ඒ අනුව එතුමා කොහොමටත් වටහා ගන්නට ඇත්තේ තම බිළඳු දරුවා ගෞරවනීයයන්ගේ වැඳුම් පිදුම් ලබන්නට තරම් සුදුසු අයකු බවයි.
ඒ අනුව තමා සුදොවුන් රජතුමා තමන්ගේ ම පුත්‍රයාට වඳින්නට පෙළඹුනේ.
අසිත හෙවත් කාලදේවල තවුසාණන් මුලින් සිනාසුනා. පසුව හැඬුවා. එවැනි තත්ත්වයක් ඇති වූවාහම කවුරුත් කලබල වෙනවා. විමසුම් සහගත වෙනවා. ඒ අනුව රජතුමා ඒ ගැන විමසීමක් කළා.
ඒ වෙලාවේ දී අසිත තාපසතුමන් කළ ප්‍රකාශය තමා ඉතා ම වැදගත්. එතුමා තමා මුලින් සිනාසුනු හේතුව විස්තර කළා.
“මේ කුමරු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයකු වෙනවා. මිනිසුන් අතරින් උතුම් ම වූ තත්ත්වයකට පැමිණෙනවා. ගිහිගෙය අත හරිනවා. පැවිදි වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මා සිනාසුනේ ඒ උතුම් පදවිය මේ කුමරු ලබන බව සහතික කර ගත් නිසයි. මා හැඬුවේ ඒ සම්බුද්ධත්වය දකින්නට තරම් ආයුෂ නැති මා ඊට පෙර මරණයට පත් වන බව දැකීමෙන්.”
අසිත තවුසාණන්ගේ මේ ප්‍රකාශය තමා බෝසත් කුමරු වෙනුවෙන් කළ පළමු අනාවැකි පළ කිරීම ලෙස සැලකිය හැකි වන්නේ. ඒ හේතුවෙන් ම අසිත හෙවත් කාලදේවල තවුසාණන් සිදුහත් චරිතයේ අතිශය වැදගත් තැනක ලා සැලකිය හැකි වනවා.
මූලික වශයෙන් ඒ සඳහා හේතූන් දෙකක් ඉදිරිපත් කළ හැකියි.
1) අසිත තවුසාණන් ගේ වැඳීම හේතුවෙන් සුදොවුන් රජතුමා ද කුමරු වැඳීමට පෙළඹීම.
2) බෝසතුන් ගිහි ගෙයි නොරැඳී පිට වන බව හා මතු බුදු වන බවට කළ ප්‍රකාශය.
බෝසත් කුමරුන් උපන් දවසේ ම සිදුවන මේ අනාවැකි ප්‍රකාශය හැම අතින් ම වැදගත් වෙනවා. සුදොවුන් රජතුමා තම පුත්‍රයාගේ අනාගතය ගැන යම් අදහසක් දරා ගන්නේ මේ අනාවැකි ප්‍රකාශයත් සමගයි.
එහෙත් මේ සියලු දේට වඩා තවත් වැදගත් යම් කටයුත්තක් අසිත හෙවත් කාලදේවල තවුසාණන් වෙතින් ඉෂ්ට වෙනවා.
ඒ තමා තමන්ගේ නැගණියගේ පුත් නාලක මතු බුද්ධත්වය ලබන උතුමන් වෙනුවෙන් පැවිදි වීමට පෙළඹවීම.
සුදොවුන් රජතුමන්ගේ මාලිගයෙන් පිට වූ අසිත තවුසාණන් තම නැගණියගේ නිවසට යන්නේ ඇගේ පුතණුවන් වූ නාලක සොයා ගෙනයි.
“පුත, නාලක. සුදොවුන් රජතුමන්ගේ පුත් කුමරු මතු යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඔබ ඒ උතුමන් වෙනුවෙන් පැවිදි වන්න. මතු දා එතුමා සම්බුද්ධත්වයට පත් වූ පසු එතුමන් වෙත ගොස් පිළිවෙත හදාරා සසර දුකින් මිදෙන්න” මේ තමා අසිත තවුසාණන් නාලකට කළ අවවාදය.
ඒ අවවාදය පිළිගත් නාලක එවේලේ ම වනගත වන්නට තීරණය කළේ පැවිදි ජීවිතයක් ගත කිරීම සඳහායි.
ගෞතම බුදු පියාණන් වෙනුවෙන් මේ ලෝකයේ පැවිදි දිවියට පත් පළමු තැනැත්තා වෙන්නේ නාළක තරුණයායි.
තම නෑයා වූ අසිත තවුසාණන්ගේ ඉල්ලීම නාළක එකවර පිළිගැනීමත් යම් තරමකින් විමසා බැලිය යුතුයි.
එහි දී ද මූලික වන්නේ ඥාතීත්වයටත් වඩා තවුසාණන්ගේ අනාගත දැක්මට ගරු කිරීමයි. තවමත් සිදුහත් කුමරු උපන්නා පමණයි. එතුමාගේ ජීවිතය පටන් ගත්තා පමණයි. එසේ තිබිය දීත් අසිත තවුසාණන්ගේ අනාවැකිය ප්‍රබල බවට නාළක තැබූ විශ්වාසය යම් තරමකින් පුදුම සහගතයි.
කෙසේ වුවත් තවුසාණන්ගේ ඉල්ලීම පිළිගත් නාළක ගිහි ජීවිතයෙන් ඈත් වුණා. වනගත වුණා. පැවිදි ජීවිතයකට හුරු වුණා.
සිදුහත් තවුසාණන් සම්බුද්ධත්වයට පැමිණි පසු නාළක පැවිදි උතුමන් බුදුරදුන් වෙත පැමිණ අවශ්‍ය පිළිවෙත සම්පාදනය කර ගෙන නැවත වන ගත වී ධර්මානුකූලව පිළිවෙත් රැක රහත් භාවයට පත් වුණා. ඉන් හත්මසකට පසුව පිරිනිවන් පෑවා.
No comments:
Post a Comment