Thursday, April 28, 2022

දුප්පත් දරුවා හා කුසගින්න


 දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණි මා මගේ ගුවන් ගමන නිමා කළේ බොම්බායේ ගුවන් තොටුපළිනි. එතැනින් කුලී රථයකට ගොඩ වූ මා රියැදුරුට දන්වා සිටියේ බොම්බායේ දකුණු දිග ඇති මගේ ගමනාන්තයට මා රැගෙන යන ලෙසයි.

හොඳින් හිරු එළිය ඇති දවසේ දිවා කාලයේ නගරයේ දැකිය හැකි වූයේ ජනතාව හා වාහන තදබදය ඇති වීදියි. අපේ ගමන මඳ වේලාවකට නතර වූයේ මං සන්ධියක ඇති ආලෝක සංඥා පුවරුවේ රතු පැහැය දකින්නට හැකි වූ නිසයි.

නතර වී ඇති වාහනයේ සිට අවට බලමින් සිටි මගේ දෙනෙත් එකවර ම මෙන් නතර වූයේ පෙනුමෙන් ම දුප්පත් බව ඇඟවෙන දරුවකු වෙතයි. ඔහුගේ ස්වභාවය හැඳ සිටි ස්වරූපය ආදී හැම පැත්තකින් ම මා හට සනාථ වූයේ ඔහු දුප්පත් දරුවකු බවයි. ඔහුගේ වයස අවුරුදු දොළහක් පමණවීයැයි මම අනුමාන කළෙමි. 

තම සාක්කුවෙන් පිටතට ගත් පාන් කැබැල්ලකින් කොටසක් වෙන් කොට ගෙන භුක්ති විඳිනු මම බලා සිටියෙමි. 

තම අතේ ඉතිරිව ඇති පාන් කැබැල්ලෙන් තවත් කොටසක් කඩා ගන්නට මුවට ළං කළ ඔහු මොහොතක් නතර වුයේ තමා සිටි දිශාවට එමින් සිටි බල්ලකු දුටු නිසා ය. දඩාවතේ හැසිරෙන බල්ලකුයැයි සිතිය හැකි  ඒ සතා දරුවා දෙසට ආවේ වලිගය වනමින් හිතවත්කමක් පාමිනි.

බල්ලා දරුවා දෙස බලා කළ ආයාචනය හඳුනා ගත් නිසාදෝ දරුවා මඟ අයිනේ වාඩිවී තමන් අත ඇති පාන් කැබැල්ල බල්ලා දෙසට දැම්මේ තමාගේ කුසගින්න අමතක කළ නිසාදැයි මට සිතිනි. 

පාන් කැබැල්ල මුවින් ඩැහැගත් බල්ලා තමා වෙතින් මෑත්වී ඉවතට යනු දරුවා බලා සිටියේ ය. ඉවතට ගිය බල්ලා දරුවා වෙතින් ලද පාන් කැබැල්ල ආහාරයට ගනු දරුවා බලා සිටිනු මම දුටුවෙමි.

මගේ හදවත කම්පාවට පත් වූයේ මේ මුළු සිදුවීම මා දුටු හෙයිනි. තම ආහාරය සඳහා තමා සතුව තිබූ දේ තවත් අසරණයකුගේ කුසගින්න වෙනුවෙන් කැප කිරීම කොතරම් අගනේදැයි මම කල්පනා කළෙමි. 

ඒ දරුවා හමුවී කතා කළ යුතුයැයි මම සිතුවෙමි. වාහනයේ දොර හැර ගෙන පිටතට යන්නට උත්සාහ කළත් එයින් පළක් නොවූයේ කොළ සංඥාව ලැබීම නිසා රියැදුරා වාහනය පැදවීමට යළිත් පටන් ගත් නිසා ය.

නවාතැනට ගියත් මට ඒ අපූරු එසේ ම සිත සසල කරන තරම් වූ දසුන අමතක කළ නොහැකි තරම් විය. මට කොතෙකුත් සිතුනේ මට ඒ දරුවා මුණ නොගැසීම නොකළ යුතු වූ බවයි.

ඒ දරුවා අත රැඳුනේ ඒ පාන් කැබැල්ල ම පමණක් විය හැකියි. එහෙත් බල්ලාගේ කුසගින්න තමාගේ කුසගින්නට වඩා වැදගත් වූ බව දරුවා එවේලෙහි කල්පනාවට ගත් බව පැහැදිලි ය.

තමාත් බල්ලාත් යන දෙදෙනා ම කුසගින්නේ සිටියත් තම කුසගින්නට වඩා අසරණ සතාගේ කුසගින්න ගැන සිතීම වඩාත් වැදගත් බව දරුවා සිතන්නට ඇත. 

ඒ දරුවා සමග වචනයක්වත් කතා නොකළත් ඔහු මගේ ජීවිතයට ම අමතක නොවන ආකාරයේ පාඩමක් ඉගැන්වූ බවක් මම සිතමි. 

මා නොහඳුනන මේ ‘කුඩා ගුරුවරයා’ මට කියා දුන්නේ ආදරයත්, සතුටත් බෙදාහදාගත යුතු බවයි.

මේ ලෝකය ජීවත් වීමට සුදුසු සිත්කළු තැනක් බවට මට නැවත් නැවතත් පසක් කොට දුන් ඒ කුඩා මිතුරාට මගේ ප්‍රණාමය!


වෛද්‍ය ඩෙරික් ඇන්හෙල්ස්, ඉන්දියාව.

No comments:

Post a Comment