පෑන මේසය මත - කෙටිකතාකරු සිරගෙට
කෙටි කතාවක් ලියා හොඳ හැටි මුහුණු පොතටයි ඔහු යොමන්නේ
ඒක කියවා භික්ෂු පිරිසක් පොලිසියට පැමිණිලි කරන්නේ
පොලිසියේ නිලධාරි පන්තිය අතට නීතිය අරන් එන්නේ
උසාවියේ තීරණය හින්දා කතු තුමා සිර ගෙට යැවෙන්නේ
මෑත අතීතයේ එළිදැක්වූ 'බුදුන්ගේ රස්තියාදුව' නම් ග්‍රන්ථය මහත්වූ ආන්දෝලනයකට තුඩු දුන්නේය. ගිහි සහ පැවිදි දෙපක්ෂයෙන්ම බලවත් ප්‍රහාර එල්ල විය. අවසානයේ කිසිවක්ම සිදු නොවූ ගණනට උණුසුම මැකී ගියේය. තතු දන්නා අය කියන පරිදි ප්රශ්නය ඇත්තේ යොදා තිබූ නමේ පමණි. පොතේ අන්තර්ගතයේ බුදු පියාණන් වහන්සේට නිගරු කොට තිබුණේ නැත.
මේ ඊයේ පෙරේදා තවත් ප්‍රශ්නයක් කරළියට පැමිණ ඇත. ඒ ලේඛකයකු විසින් රචිත කෙටි කතාවක් නිසා බුදුන් වහන්සේට අවමානයක් වෙතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බැවිනි. ඒ පැමිණිල්ල ඉදිරිපත් කොට තිබුණේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් බවයි වාර්තා වන්නේ. අදාළ ලේඛකයා සිය කෙටි කතාව පළ කොට ඇත්තේ මුහුණු පොතේය.
එසේවී නම් භික්ෂූන් වහන්සේලා කෙටි කතාව කියවන්නට ඇත්තේ මුහුණු පොතෙන් විය යුතුය. භික්ෂූන් වහන්සේලා හා මුහුණු පොත අතර ඇති සම්බන්ධය කවරේදැයි යන අතුරු ප්‍රශ්නයත් මෙහිදී මතු නොවනවා නොවේ. ඒ ගැන සිතීම පසුවට කල් තබමු. කෙසේ හෝ මේ පැමිණිල්ල ඉදිරිපත්වීමෙන් පසු ලේඛකයා පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත. තම රචනයෙන් කවර හෝ නිගාවක්වේ නම් තමා ඒ රචනය ඉවත් කර ගන්නා බව කතුවරයා කියා ඇත. භික්ෂූන් වහන්සේලා ඒ සඳහා එකඟ වූවත් පොලීසියේ ස්ථානාධිපතිතුමා ඊට එකඟත්වය පළ කොට නැත. ඒ නිසා මේ සිද්ධිය උසාවිය තෙක් දුර දිග ගොස් ඇති අතර ලේඛකයා සිරබාරයට පත් කොට ඇත.
තව දුරටත් වාර්තා වන පරිදි ජයතිලක කම්මැල්වීර නම්වූ සාහිත්‍යධරයා පවසා ඇත්තේ මේ කෙටි කතාවේ අන්තර්ගතයේ බුදුන් වහන්සේට නිගා වන අන්දමේ කිසිවක්ම නැති බවයි.
සාහිත්‍ය කෘතියක අන්තර්ගතය පිළිබඳ කිසියම්ම හෝ සැකයක්, විචිකිච්ඡාවක් ඇති නම් ඒ ගැන විමසිය යුත්තේ සාහිත්‍යය ගැන දන්නා කියනා අයගෙන් වීම කිසිසේත්ම අසාධාරණ කොවන්නේය. ඒ සඳහා යම් ආකාරයක උපදේශක කමිටුවක අවශ්‍යතාව වර්තමානයේ තදින්ම දැනෙයි.
කෙනෙකු නිර්මාණයක් කරන්නේ දැඩි ශ්‍රමයක් දැරීමෙන් පසුවය. නිර්මාණයේ කොතෙකුත් අඩුපාඩු කම් තිබිය හැකි නමුදු එවැන්නක් කියවූ පමණින් කලබල විය යුතු නැති බව මේ සිදු වීමෙන්ම පැහැදිලි වේ.
No comments:
Post a Comment