Sunday, April 14, 2019

ශ්‍රී දළදා මාළිගාව - මහනුවර

ශ්‍රී දළදා මාළිගාව

බුදු හිමිමියන්ගේ දන්ත ධාතුවයි මහනුවරදි අප වැඳ ගන්නේ
ජීවමාන හිමි වැඩි බව සිතලා නිති බැති ගතියයි වඩවන්නේ
ලෝකේ හැම තැන මෙහෙම දේම නැත ලෝක උරුමයක් දැන ගන්නේ
දොහොත් මුදුන්දී වැඳ පින් ගන්නේ අසිරිය මනසට කැන්දන්නේ 

ශ්‍රී දළදා මාළිගාව පිහිටා ඇත්තේ මහනුවර නගරයේය. මහනුවර යනු  ශ්‍රී  ලාංකීය රාජ වංශයේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ රාජධානියයි. සෙංකඩගල පුරවරය ලෙස  නම් කර ඇත්තේත් මහනුවරමයි. ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් ලාංකීය රාජ වංශයේ අවසන් රජුගේ ධූර කාලය වසර දහහතක් පමණක් වීය.

අපේ රට තුළ පමණක් නොව සමස්ත ලෝකවාසී බොදු දනන්ගේ ගෞරව බහුමානයට පත් මුදුන් මල්කඩක්වූ සෙංකඩගල නුවර පිහිටි ශ්‍රී දළදා මාළිගාව එසේ පූජනීයත්වයට පත්වී ඇත්තේ සම්මා සම්බුදු පියාණන්ගේ වම් දන්ත ධාතූන් වහන්සේ නමක් එහි වැඩ වාසය කරන බැවිනි. එය හුදු විශ්වාසයක් පමණක් නොව සැබෑවකි. 

ක්‍රි. ව .1592 -1604 කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍යය හෙබවූ පළමුවැනි විමලධර්මසූරිය රජතුමන් විසින් මුල්ම වරට ශ්‍රී දළදා මාළිගා ගොඩනැගිල්ල සාදවා පූජා කරන ලදී. 
වත්මනෙහි අප දකින ශ්‍රී දන්ත ධාතු මන්දිරය සාදවා සසුනට පූජා කරන ලද්දේ ක්‍රි. ව .1707 - 1739 කාලය තුළ රාජ්‍යය කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමන් විසිනි.
දළදා මැදුර - පහත මාළය 


දළදා මැදුර - පහත මාළය - උදෑසන තේවාව
පසුකාලීනව ශ්‍රී ලංකාවේ වරින්වර  රාජ්‍යයත්වයට පත්වූ  නායක්කාර වංශික රජුන් බවා ශ්‍රී දන්ත ධාතු මන්දිරය වැඩි දියුණු කොට ආරක්‍ෂා කිරීමට පෙළැඹුනහ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ සංරක්‍ෂණය කැරුනේ කාලිංග දේශයේය. තම පියාණන්වූ ගුහාසීව රජුගේ උපදෙස් පරිදි එම වම් දන්ත ධාතූන් වහන්සේ සැමට හොරෙන් ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ හේමමාලී කුමරිය හා ඇගේ සැමියාවූ දන්ත කුමරුන් විසිනි.
   
 හේමමාලා කුමරිය සහ දන්ත කුමරු සිරිලකට දළදාව වැඩමවීම (දළදා මැදුරේ සිතුවමකි.)
දන්ත ධාතූන් වහන්සේ රැගත් මේ යුවළ ලංකා දේශයට සැපත් වූයේ 'ලංකා පට්ටාන' ලෙසින් එවකදී හැඳින්වූ ස්ථානයෙනි. ඒ සමයේ ශ්‍රී ලංකාවේ රජකම් කළේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුය. හේමමාලී, දන්ත යුවළ ශ්‍රී දන්ත ධාතූන්  වහන්සේ පවරන ලද්දේ එතුමන්ටය.


කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා බුදු පියාණන්ගේ වම් දන්ත ධාතූන් වහන්සේ මහත් ගෞරවයෙන් තැන්පත් කොට තැබුවේ අනුරාධපුර මේඝගිරි (වර්තමාන ඉසුරුමුණිය) විහාරයේය.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව මහ රජුගේ මූලිකම වගකීමක්සේ සැලැකූ නිසා වරින්වර දන්ත ධාතූන් වහන්සේ; අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණැගල යන රාජධානිවල තැන්පත් කරන්නට යෙදුනි.
ගම්පොළ යුගයේදී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබුණේ නියගම්පාය විහාරයේය. සඳෙස් කව්වලට අනුව වරෙකදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට තිබී ඇත්තේ කෝට්ටේ නගරයේය.

දන්ත ධාතූන් වහන්සේ, සොර සතුරු ආක්‍රමණ සමයන්හිදී බේරා ආරක්‍ෂා කොට ගැනීමට ගිහියන් මෙන්ම සංඝයා වහන්සේද මහත් බැතියෙන් කැප කිරීම් කොට ඇත්තාහ.
පසුකාලීනව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ නිත්‍ය විසුම් පෙදෙස වූයේ ඓතිහාසික සෙංගඩගල නුවරයි.
පසුකාලීනව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ නිත්‍ය විසුම් පෙදෙස වූයේ ඓතිහාසික සෙංගඩගල නුවරයි.
දළදා මාළිගය- ඉහළ මාළය - දන්ත  ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ වසා ඇති කුටිය තුළ තැන්පත් කොටඇති  විශේෂ කරඬු සංයුක්තයක් තුළය. 
තිලෝගුරු බුදු හිමියන්ගේ වම් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති අති පූජනීය දළදා මැදුර ආශ්‍රිතව වසරක් පාසා පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර එදා අද සහ හෙටටත් ශ්‍රී ලංකා වාසීන් පමණක් නොව මුළු ලොවම තම වසඟයට ගත් මහා සංස්කෘතික පෙළහරකි.



  

No comments:

Post a Comment