Friday, April 5, 2019

අද දවසේ කවිය - 2019/04/06 - 'ප' යන්නේ භාවිතය

                             අද දවසේ කවිය 
                           'ප' යන්නේ භාවිතය.

හෝඩියේ ඇති 'ප' යන්නට දැන් අලුත් ඉස්තානෙකි ලැබෙන්නේ
මහා ඇමතින් ප්‍රභූ උදවිය 'ප' යන්නම දිව අගට ගන්නේ
අසැබි වචනද නොනිසි තාලෙන් තැන නොතැන නොබලා කියන්නේ
එහෙම කවුරුද දුන්නේ අවසර අපම නේදෝ බිය දැනෙන්නේ 

භාෂාවක හෝඩියක් කියා දෙයක් ඇත්තේ මූලික වශයෙන්ම අදාළ සියලු අකුරු හඳුන්වා දීමටය. පසුකාලීනව ඒ අකුරු එකතු කොට අවශ්‍ය වචන සාදා ගන්නට උගන්නේ ඇවැසි විට කතා කරන්නටය. ලියන්නටය. කියවන්නටය. 
භාවිතයේ වචන කොතෙක් තිබිය හැකි වුවත් සාමාන්‍ය ශිෂ්ටයැයි සම්මත ව්‍යවහාරයේදී ඒ සියලුම වචන භාවිත කරන්නේ නැත. වචන භාවිතයේදී කතා කරන්නේ කුමක්ද, කා සමගද, කවර වටාපිටාවක් ඇතිද ආදී සියලු කරුණු ඒ කතා කරන උදවිය දැන සිටීම අනිවාර්ය වේ.

එසේ නොදැන රටක පාර්ලිමේන්තුව වැනි උසස්ම ආයතනයක් තුළ විශාල පිරිසක් ඉදිරිපිට 'ප' යන්න ඉදිරියට දමා අසැබියැයි සම්මත වචන භාවිත කිරීමෙන් පළ වන්නේ ඒ ඒ අයගේ කවර ගතිගුණාංගදැයි සිතා ගත හැකිය. එහෙත් සටහන් කළ යුතු මට්ටමේ නැත. එවැනි වචන නැතිව කතා කරන්නට නොහැකිදැයි අප තුළ ප්‍රශ්නයක් මතු වන්නේ නිරායාසයෙනි 
අප පාර්ලිමේන්තුව ගැන දන්නේ රටේ ඇති උත්තරීතර ආයතනය ලෙසිනි. එසේම එහි සිටින අය කරන්නේ ජනතාවගේ පරමාධිපත්වය රැක ගැනීමය.

රටක අසම්මත අසැබි වදන්වලින් තවත් අයෙකු අමතා කරන උදවිය ඇති පාර්ලිමේන්තුවක් කෙසේ හැඳින්විය යුතුදැයි ඇත්තටම ප්‍රශ්නයක් ඇත.

තවත් අවසථාවක එම පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ උතුමකුගෙන් අසන්නට  ලැබුණේ තවත් 'ප' යන්න ඉදිරියට දමා කරන බැණුමක් භික්ක්‍ෂුවක් වෙත එල්ල කිරීමය. මේ තත්ත්වය ඇති  වූයේ දුරකථන සංවාදයක් හරහාය. ඒ නිසා තමන් පුද්ගලයා නුදුටු බවත් කතා කළ පුද්ගලයා තමන් කවුදැයි හඳුන්වා නුදුන් බවත් ඒ නිසා තමන් එසේ කළ බවත් අදාළ ජ්‍යෙෂ්ඪ උතුමානෝ පසු අවස්ථාවක කීහ.
 හොඳයි. අපි ඒ විදිහටත් සිතමු. එයින් ගම්‍ය වන්නේ කුමක්ද? පුද්ගලයා කවුරු වූවත් තමාගේ  ඇමතීමේ වෙනසක් විය නොහැකි බවය.

රටේ සාමාන්‍ය මහජනතාව කාලයක් බලා සිට මැතිවරණයකට මුහුණදී නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කොට යවන්නේ එහි යන්නන්ගෙන් නුසුදුසු දේ ප්‍රසිද්ධියේම අසන්නට නොවන බව අවබෝධ කොට ගෙන සිටීම වැදගත්ය.  

නිසි දේ නිසි තැන වටපිට බලා කතා කිරීමේ දැන උගත්කම ලබන්නට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය යුතු නැත. එවැනි හැඟීමක් මිනිසුනට ලැබෙන්නේ තමන් විසින්ම සමාජය ඇසුරු කිරීමෙන් ලබන සාමාන්‍ය දැනීම තුළිනි. අවම වශයෙන් එවැනි හැඟීමක්වත් නැති උදවිය රටක් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් තුළට යවන්නට ඉක්මන්වී ඇත්තේ අපමය. ඒ නිසා අනුන් ගැන සිතන්නට පෙර තමන්ගේ දැනීම් මට්ටම ගැන සොයා බලා ඇගැයීමක් ලැබුම දැන්වත් කළ යුතුය. 
   

No comments:

Post a Comment