Monday, February 18, 2019

නවම් දහම් පඬුර - 2019


                           නවම් දහම් පඬුර

       
2019 නවම් මස දහනවවැනිදා  - පුර පසළොස්වක පොහෝදා 

             
                                                    බුදු බණ කෙටියෙන්




“අත්තනා කුරුතෙ ලක්ඛිං අලක්ඛිං අපි අත්තනා”


‘තමාගේ භාග්‍යයත්, අභාග්‍යයත් සලසා ගන්නේ තමාමය.
’ 

'ලක්ඛි' යන්නෙන් මෙහි අදහස් කළේ භාග්‍යයයි. සාමාන්‍ය මහජනයාගේ වචනයෙන් කියතොත් වාසනාවයි. තමාගේ භාග්‍යය හෝ අභාග්‍යය හෝ රඳා ඇත්තේ තමා අතේමය. උපතින්ම භාග්‍යය හෝ අභාග්‍යය හෝ එක්තරා පමණකට අපට නැතැයි කිව නොහැකිය. එහෙත් ඇතැම්විට ඒ භාග්‍යය නැති කැරැගැනීම හෝ දියුණු කැරැගැනීමත් අප අතේමය. 

බොහෝ භාග්‍යය ඇතිව ඉපැදුණු අය ඉතාම අභාග්‍ය ලෙස කල් ගෙවන හැටි දක්නට ලැබේ. ඇතැම්විට උත්පත්තියෙන් එතරම් භාග්‍යයක් නොලත් අය දැඩි උත්සාහයෙන්, දුර දක්නා නුවණින්, ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීම නිසා භාග්‍ය සම්පන්නව යෙහෙන් කල් ගෙවන අයුරුද දැක ගත හැකිය.


උපන් මිනිසා සියල්ලම පෙර පවට හෝ පිනට හෝ හෙවත් පූර්ව කර්මයට භාර කොට නිකම් සිටියොත් ඇති භාග්‍යය වැඩෙන්නේවත් නැති භාග්‍යය ළං වන්නෙවත් නැති බව අප විසින් තේරුම් ගත යුතුය.

 යමක් බලාපොරොත්තු වන තැනැත්තාට ඒ බලාපොරොත්තු වනදේම නැකතය. නැකැත් තරු කුමක් කරන්නද? පිටස්තර කෙනෙකු හෝ බලයක් අපට භාග්‍යය සලසා දෙතැයි නිතර දෙවේලේ මන්ත්‍රයක් මෙන් ජප කළ පමණින්ද එය නොසිදුවේ.

 අභාග්‍යයෙන් ඈත්ව භාග්‍යය ළංකර ගැනීමට බෙහෙවින් වෑයම් කළ යුතුය. මෙලොව දෙව් ලොවත්, නිරයත් මිනිසා අතේමය. භාග්‍යයේ දොර වැසීමට හෝ ඇරීමට අවශ්‍ය යතුර තමා ළඟමය. එහෙයින් නොකළකිරී ඉක්මනටම ප්‍රතිඵල බලාපොරොත්තු නොවී තමා කෙරෙහි විශ්වාසය තබා ගෙන හැකි නම් අනුන්ගේ උපදෙස් මෙන්ම උපකාරත් ලබා ගෙන අනලස්ව ක්‍රියා කළ යුතුව තිබේ.

- බම්බලපිටියේ වජිරාරාමවාසීව වැඩ විසූ පූජ්‍ය පියදස්සී හිමි.




“සෙය්යෝ අමිත්තෝ මතියා උපේතෝ”

'නුවණ ඇති සතුරා වුවත් හොඳය.'

මෙය කල්පනාවෙන් තේරුම් ගත යුතු කීමෙකි. සතුරා හොඳයැයි නුවණැත්තෝ නොකියති. මිතුරාමය හොඳ. එසේ නම් නුවණ ඇති සතුරා වුවත් හොඳයැයි කීමේ අදහස කුමක්දැයි සොයා බලමු.


මිතුරාට හෝ සතුරාට හෝ නුවණක්, දැනීමක් නොමැති නම් හේ මෝඩ මිතුරෙකි. මෝඩ සතුරෙකි. මිතුරු වුවත් සතුරු වුවත් මෝඩකම නිසා, නොදැනීම නිසා නපුරක් වරදක් සිදු වන්නට කොතෙකුත් ඉඩ තිබේ. 

මෝඩ මිතුරන් නිසා සිදුවුණු වැරදීම්, නරක නපුරු දෑ, අලාභහානි කොතරම්දැයි යටගියාව දෙස විමැසීමෙන් බලන්නකුට පෙනී යනවා ඇත. මෝඩ සතුරන්ගෙන් සිදුවූ විපත් ගැන කවර කතාද? එබැවින් මෝඩ සතුරාට වඩා නුවණ ඇති සතුරා හොඳය. සතුරා වුවත් නුවණ ඇතිනම් මෝඩ සතුරා තරම් බිහිසුණු  දෑ නොකරනවා ඇත. මෝඩ සතුරා තරම් ඕළාරික (ගොරෝසු) ලෙස යම් යම් දේ නුවණැති සතුරා නොකියනවා ඇත. නොකරනවා ඇත.

 සතුරා වුවත් නුවණ ඇත්නම්, ඒ නිසාම තරමක හැදීමක් ඇත්නම් හොඳය. මෝඩ මිතුරාටත් වඩා හොඳ විය හැකිය. මිතුරා වුවත් මෝඩ නම්, හැදීමෙන් අඩුනම් සිදුවන්නේ අවැඩමය. සතුරු වුවත් වැටහෙන නුවණ ඇත්නම් එතරම් බිහිසුණු දෑ සිදු නොවනු ඇත. නුවණ ඇත්නම් සතුරු කම් කොහින්ද? නුවණැතියා මිතුරෙක්මය කියා තර්ක නොකළ යුතුය. 

පෘථග්ජනයන් අතර සර්ව නිර්දෝෂ, සර්වතෝභද්‍ර (හැම අතින්ම හොඳ) අය නොදැක්ක හැකිය. මිනිසුන් තුළ හොඳ - නරක දෙක මිශ්‍රව පවතී. විමුක්තිය ගෙන දෙන උසස් නුවණත්, ලෞකික ඥානයත් දෙකක් මිස එකක් නොවේ. 

- බම්බලපිටියේ වජිරාරාමවාසීව වැඩ විසූ පූජ්‍ය පියදස්සී හිමි.




“මහණෙනි, මවිසින් දෙසන ලද ධර්මය පහුරට උපමා කළ හැකියි. එය එතෙර යෑම සඳහාය. දැඩි කොට ගැනීම සඳහා නොවේ. මහණෙනි, ධර්මය පහුරක් වැනියැයි දන්නා ඔබ විසින් හොඳ දේ (ධම්ම) පවා හළ යුතුය. නරක දේ (අධම්ම) ගැන කියනුම කවරේද?”

-ගෞතම සම්මා සම්බුදු හිමි  
(‘බුදුන් වදාළ ධර්මය’- වල්පොළ රාහුල හිමි)

No comments:

Post a Comment