ඔහුට අවුරුදු විසිහතයි. ඒ වුනත් අමුතුයි.
අමුතුයි කිව්වේ ස්වරූපය නෙවෙයි. ඔහුගේ හැසිරීමේ විශාල අමුත්තක් ඇති බව මේ වෙන කොට පැහැදිලි වෙලා තියෙනවා. ඒ අමුත්ත නිසාමදෝ ඔහු මිනිමරුවකු බවට පත්වී සිටිනවා.
ඔහුගේ සම්පූර්ණ නම ඇලෙක්සැන්ඩර් ලුවිස් රැන්වේල්. රට එක්සත් රාජධානියයි. ඔහු මේ වන විට මිනීමැරුම් තුනක් සඳහා නිශ්චිත සැකකරුවකුවී සිටිනවා.
එසේ රැන්වේල් අතින් මරණයට පත්වී ඇත්තේ විශ්රාමිකයන් තිදෙනෙක්. එතනත් වෙනසක් හැඟෙනවා නේද?
ඔහු අතින් මරණයට පත්වී ඇති එක් අයෙකුගේ නම ඇන්තනි පේන්. ඇන්තනි මහතාගේ වයස අවුරුදු අසූවයි. රැන්වේල් මරා දමා ඇති අනෙක් දෙදෙනා නිවුන් සොහොයුරන්. එක්කෙනෙක් ඩික් කාටර්. අනෙක් පුද්ගලයා රොජර් කාටර්. ඔවුන්ගේ වයස අවුරුදු අසූ හතරයි.
මේ තිදෙනාගේ මරණ සඳහා තමා රැන්වේල් සැක පිට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ.
රැන්වේල් මේ වන විට මිනීමරුම් තුනකම සැකකරු බවට පත්වී සිටියාට ඔහු ගැන දන්නා අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් නම් කියන්නේ ඔහු ඉතාම හොඳ පෝලෝ ක්රීඩකයකු වගේම පෝලෝ ක්රීඩා රසිකයකු බවයි. ඔහු පොලෝ ක්රීඩාවේ යෙදෙන්නේ ඔහුගේ පියා ඔහු වෙනුවෙන් මිලදී ගත් අශ්වයන්ගේ පිටේයි.
අනෙක් කරුණ ඔහු නේවාසිකව සිය ඉගෙනීම් කටයුතු කර ඇත්තේ වසරකට අධික මුදලක් ගාස්තු වශයෙන් ගන්නා පාසැලකයි. පාසැලේ ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ඔහු ඉතාම යහපත් කාරුණික සිසුවකුව සිටි බවයි.
මේ අතරේ තවත් අපූරු පුවතක් 'ද සන්' පත්රය වාර්තා කළා. ඒ රැන්වේල්ගේ පෙම්වතියක් ගැනයි. ඒ පෙම්වතියගේ වයස කීයද දන්නවාද? ඇයට අවුරුදු හැට හතරක්. ඒකත් අපූරුයි නේද?
අසූ වියැති පේන් මහතාගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ මේ ගෙවී යන සතියේ සඳුදා මද්දහනේයි. එයින් පැය විසිහතරක් ඉක්ම යන්නටත් පෙර වියපත් අනෙක් නිඹුල්ලන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා. මෙසේ මරා දැමුණු වයස්ගත පුද්ගලයන් තිදෙනාම අවිවාහක අයයි. මේ මළ සිරුරු තුනේමවූ පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ හිස පෙදෙසේ දැකිය හැකි වන තුවාලයි.
රැන්වේල් අතින් මරා දැමුණු බවට සැක කැරෙන වියපත් මහත්වරු තිදෙනාම ඉතා අහිංසක ලෙස තම දිවිය පවත්වා ගෙන ගිය අය බවට අවටවාසීන් සාක්ෂි දරනවා. ඔවුන්ද මේ මිනීමැරුම් ගැන තමන්ගේ ශෝකය පළ කර සිටිනවා.
රැන්වේල්ගෙන් ප්රශ්න කිරීම සඳහා පොලීසියට අමතර වෙහෙසක් මෙන්ම අමතර කාලයක්ද දරන්නට සිදුවී තිබෙනවා. එයට හේතුවවී ඇත්තේ රැන්වේල් කිසිවක්ම ප්රකාශ කරන්නට මනාපයක් නොදැක්වීමයි.ඉදිරියේ සියල්ල හෙළි වනු ඇති.
(අන්තර්ජාලය ඇසුරිනි.)
No comments:
Post a Comment