'සසුනට නිගා දෙන නිර්ලජ්ජිතයන්.'
සිවුරට රිංගා මහණ වෙසින් සිට ලද හැකි සම්පත් නිති ලබතේ
චීවරයේ ගෞරවය රකින්නට ඔවුනට කිසි මතකයක් නැතේ
සඟ පරපුරයැයි කියනා උත්තම කොටසට මේ අය අයත් නැතේ
මහ සඟ ගණ එක්වී නිතියෙන් මේ ගැන බැලුවෝතින් පලක් වෙතේ
බුදුන් වහන්සේ සඟ පරපුරක් ඇති කළේ සාමාන්‍ය ගිහි සමාජය දහම පැත්තෙන් දැනුවත් කිරීම සඳහාය. එසේම සංඝයා වහන්සේ නමක් ලෙස වැඩ වසන්නට අදාළ වන විනය නීති ආදියද උන්වහන්සේ පනවා වදාළේ භික්ෂුවක් හා සාමාන්‍ය ගිහියා අතර සදාචාරත්මක වෙනසක් සඳහාය.
අතීත ඉන්දියාවේ බුද්ධ පරිනිර්වාණය සිදුවූ ආසන්නයේම අසන්නට ලැබුණු සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචන පළමු ධර්ම සංගායනාව කිරීමට මූලිකම අවශ්‍යතාව සැපැයීය.
ඒ එදාය. අද? ඉන්දියාවේ නොව ලංකාවේ භික්ෂු සමාජය තුළ දකින්නට සහ අසන්නට ලැබෙන විෂමාචාර සහ විෂම හැසිරීම් බෞද්ධයන්ගේ පමණක් නොව සාමාන්‍ය මහජනයාගේද සිත් අවුල් සහගත තත්ත්වයකට පත් කරයි.
නුගේගොඩ පැත්තේ විහාරස්ථානයක හිමිනමක් එහි වැඩ වාසය කරන සාමණේර භික්ෂුවක් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ බවක් එක් පැත්තකින් අසන්නට ලැබේ. අනෙක් පැත්තෙන් දැන ගන්නට ලැබෙන්නේ මේ මාසයේ දොළොස්වැනිදා ගලේවෙල නගරයේ රාත්‍රීයේදී බීමතින් විකාර නැටූ චීවරධාරියකු ගැනයි.
අද සංඝ සමාජය තුළ මෙවැනි ව්‍යාකූලත්වයක් පවතින්නට හේතුව කුමක්දැයි එකවර වටහා ගන්නට නොහැකි වන්නටත් පුළුවන.
එහෙත් සමස්තයක් ලෙස ගතහොත් සිතා ගත හැක්කේ සංඝ සමාජය තුළ කිසියම් ශක්තිමත් පරිපාලනමය බැම්මක් නැති බවයි.
එක භික්ෂුවක් විසින් ත්‍රිපිටකය හෙළ බසට පරිවර්තනය කිරීමේදී යම් යම් දෝෂ ඇතැයි පෙන්වා දෙන ලද්දේ තවත් භික්ෂුවක විසිනි. ඒ පෙන්නා දුන් භික්ෂුවද යම් විශේෂිත හේතූන් නිසා සමජයේ කතාබහට පාත්‍ර වූවෙකි.
මෙයින් හැඟෙන්නේ සම්බුදු සසුන යන ධජය යටතේ සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලා තමන්ට කැමැති කැමති දේ කරන බවයි. මේ තත්ත්වය දිගටම පැවැතීම බෙහෙවින් අනර්ථකාරීය.
No comments:
Post a Comment