Wednesday, March 20, 2019

රොබින්සන් කෲසෝ - හතරවැනි කොටස


කෲසෝගේ ජීවිතය දුක්ඛිත විය. ඔහු කොල්ලකරුවන්ගේ වහලකු විය. තමන්ට ලැබෙන සියලු දුක් කම්කටොළු  සියල්ල නිහඬව විඳ දරා ගන්නට ඔහුට සිදු විය. ඒ එසේ වුවත් ඔහුගේ සිතේ සැඟවී ඇති එකම බලාපොරොත්තුවක් තිබිණි. ඒ ලැබෙන පළමු අවස්ථාවේදීම මේ ස්ථානයෙන් ගැළැවී පලා යන්නටය. 
කෲසෝ තමන්ගේම වචනයෙන් කමන් මුහුණ දෙන තත්ත්වය විස්තර කරන්නේ මෙසේය. 
"මගේ ස්වාමියා මා ඔහුගේ නිවසට කැටුව ගියේය. ඔහු මුහුදු යන අවස්ථාවලදී මටද ඔහු හා යන්නට ලැබෙනු ඇතැයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ විශ්වාසය තුළ සැඟැවුණු අදහසක් තිබිණි. එවැනි දීර්ඝ මුහුදු චාරිකාවකදී ස්පාඤ්ඤ හෝ පෘතුගීසි හෝ නැවකට අප හමුවනු  ඇතැයි මම සිතුවෙමි.  


එවැනි අවස්ථාවකදී මට නියත වශයෙන්ම නිදහස ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි. 
එහෙත් මගේ ඒ අපේක්‍ෂාව එතරම් ඉක්මනකින් ඉටු වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඔහු මුහුදු යන  විට මා වෙරළේ රඳවා තැබීය. මට ඔහුගේ නිවසේ වහලකුසේ  කටයුතු කරන්නට සිදුවිය. ඔහු සිය මුහුදු ගමන නිමා කොට නිවසට පැමිණි පසු මා ඔහුගේ නැවේ කුඩා කාමරයට යැවූයේ නැව ආරක්‍ෂා කිරීමේ  වගකීම මට පවරමිනි.

මේ වහල්බවින් හා මේ ස්ථානයෙන් ගැළැවී යාම සඳහා ප්‍රතිඵලදායී ලෙස කුමක් කළ යුතුදැයි මම නැවත නැවතත් කල්පනා කරන්නට වූයෙමි.   අනෙක් වහලුන් අතරේ මට මිත්‍රයන් සිටියේ නැත.  ඉංගිරිසි, අයර්ලන්ත, ස්කොට්ලන්ත ජාකිකයන් කිසිවකු සිටියේ නැත.මට සිටියේ මා පමණකි.සෑහෙන කාලයක් තිස්සේ ගැළැවී පලා යාමේ සිතිවිල්ල මට මා තුළම සිර කර ගෙන සිටිය යුතු විය. එසේම ඒ අදහස ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්නට තරම් ධෛර්යයක්ද මා තුළ තිබුණේ නැත.

දෙවර්ෂයක කාලයකින් පසු වහල් බවින් මිදී යාමේ අදහස මගේ සිත තුළ තදින් බලපවත්වන්නට වූයේ කිසියම් නිශ්චිත නොවූ තත්ත්වයක් උදාවූ නිසාය. 
මගේ ස්වාමියා සතියකට වතාවක් දෙකක් හෝ ඇතැම් විට ඊට වැඩි වතාවක් හෝ මුහුදේ මාළු බාන්නට යන සිරිතක් විය. මෙසේ මාළු බාන්නට යන්නට ඔහු යොදා ගන්නේ කුඩා යාත්‍රාවකි. සාමාන්‍යයෙන් එවැනි යාත්‍රෘ යොදා ගන්නේ නැවක් සහ ගොඩ බිමක් අතර සම්බන්ධතාව රැකීම සඳහාය. මාළු බාන්නට යන මෙවැනි ගමන් සඳහා සූරී නම් තරුණයාද කැටුව යයි. 
සූරී සහ මා එක්ව බෝට්ටුව පැද යන්නේ සතුටිනි. අපේ ස්වාමියාද අප හා එක්ව සතුටු වෙයි. මුහුදේ මාළු ඇල්ලීම පිළිබඳව මා දක්‍ෂයකු බව මේ වන විට මම සනාථ කොට ඇත්තෙමි. ස්වාමියා මාළු බෑමට එක් නොවන්නේ නම් ඒ වෙනුවට ඔහුගේ හිතෛෂියකු සූරී  සහ මා සමග එවනු ලබයි.

අප කිසිසේත් නොසිතූ තත්ත්වයකට මුහුණු දුන්නේ මුහුද ශාන්ත බවක් පෑ එක් උදෑසනකදීය.  එදාද අප මුහුදු ගියේ සුපුරුදු ලෙස මාළු බාන්නටය. ගන සැරේට මීදුම නැග හාත්පස පැතිරී තිබූ අතර අප යාත්‍රා කරමින් සිටියේ මුහුදු වෙරළේ සිට අඩ ලීගයක තරම් දුරින්යැයි දුරින්යැයි මම සිතුවෙමි. 

මීදුම අප හිතුවාටත් වඩා ගන වෙමින් තිබිණි. අපට වෙරළ තීරය පවා නොපෙනෙන තරම් විය. යන්නේ කොයි දෙසටද යා යුත්තේ කොයි දෙසටදැයි සිතා ගන්නටවත් බැරි තරම් විය.  

කෲසෝ සහ පිරිසට මුහුණ දෙන්නට වූයේ කවරාකාර තත්ත්වයකටද? ඊළඟ කොටසින් කියවන්න.  































No comments:

Post a Comment