අද දවසේ කවිය
මතට එරෙහිව හඬ නැගෙන වග.....
තැන තැන 'මත' ඇත නිති කරදර ඇත ඒ ගැන තොරතුරු පළ වෙන්නේ
නැග එන 'මත' වෙත විරුදුව එන්නට මහජන මතයක් ළඟ එන්නේ
මේ මස තිස්එක රිවිදින උදයේ පූජාවෙන් පසු හමු වන්නේ
'මත' වෙත තිත දෙන මහ රැස්වීමක බලයෙන් මහජන හඬ එන්නේ
මත්ද්‍රව්‍ය පිළිබඳ දිනපතාම දැකිය හැකි නොයෙක් තොරුතුරු අතරේ ඒ සඳහා එරෙහිව හඬ නගන්නට පොදු මතයක් ගොඩ නැගෙන අවස්ථාවක් පිළිබඳවද වාර්තා වේ.
මේ පොදු මතය ගොඩ නැගීම සඳහා කටයුතු කරන්නේ අතිගරු කොළඹ රදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන්ය. එතුමාගේ සැලැස්මේ හැටියට මේ මාසයේ අවසන් ඉරිදාවූ තිස්එක් වැනිදා උදෑසන දිව්‍ය පූජාවෙන් පසු මත් ද්‍රව්‍යවලට එරෙහි මහජන පෙළපාළි කිහිපයක් දිවයිනේ විවිධ ස්ථානවලින් පටන් ගෙන අවසානයේ මෝදර විස්ටිවයික් ක්‍රීඩාංගනයට සැපැත්වීම සිදුවේ.
රාජ්‍ය නායකයන්ද සහභාගී වීමට නියමිත මේ මහා රැස්වීමට සියලු ආගමික නායකයන්ද සහභාගී වීමට නියමිතය.
සැලැසුම් කර ඇති මේ කටයුත්ත පැසසුමට ලක් විය යුතුය. මෙහි මූලිකම අරමුණක් ලෙස හුවා දක්වන්නේ පාසැල් දරුවන් මතින් බේරා ගැනීම වෙනුවෙන් හඬ නැගීමය.
ආගම් කුලකවලට වෙන්නොවී පොදුවේ මෙවැනි තත්ත්වයක් සඳහා එකතුවීමද යහපත්ය.
එහෙත් ප්රශ්නය ඇත්තේ ඇත්තටම සාමාන්‍ය මහජනතාව අතරේ පමණක්ද වීම ගැන නම් ප්‍රශ්නයක් පවතී. දකින, අසන වාර්තාවලට අනුව මත් ද්‍රව්‍ය නම් නීතියෙන් තහනම් දේ රටට ගෙන එන්නේත්,ගබඩා කරන්නේත්, බෙදා හරින්නේත් කල්ලි වාදයකට අනුවය.
තහනම් ද්‍රව්‍යයක් මෙසේ රට පුරා සංසරණය වන්නේත් කිසියම් පැහැදිලි විධි ක්‍රමයකට විය යුතුය. එවැනි සියුම් තොරතුරු අදාළ රාජ්‍ය ආරක්ෂක අංශවලට ලබා ගත හැකි ක්‍රමවේදයක් පිළිබඳවද පොදු කතිකාවතක් ඔවැනි සහයෝගීතා මතින් ගොඩ නැගේ නම් තවත් යහපත්ය.
No comments:
Post a Comment