ඇත්තටම ශිෂ්‍යත්වය අහෝසිද? නැද්ද?
රටම අවුස්සන සිසු දණ ගස්සන ශිෂ්‍යත්වෙට කිමදෝ වෙන්නේ
ශීෂ්‍යත්වය මතු අහෝසි කරනට තීරණයක් ගෙන දෝ ඉන්නේ
එහෙම කතාවක් ජනපති පවසා ඇති බවනේ දැන් දැන ගන්නේ
ඒකත් නරකම නැති බව තේරේ ඉන්පසුවට මොනවද වෙන්නේ
පහ වසරේ සිසුන් පෙනී සිටින ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනතාවට දන්වා සිටින්නේ ජනාධිපතිතුමාය. පොළෙන්නරුවේදී එතුමා මේ ප්‍රකාශය කර ඇත්තේ පාසැලක උත්සවයකට සහභාගී වෙමිනි. ඒ මාර්තු මාසයේ විසිපස් වැනිදාය.
ශිෂ්‍යත්ව විභාගය නිසා මව්පියන් හා දරුවන් මුහුණ දෙන දුෂ්කරතා සලකා බලා මේ තීරණය ගෙන ඇති බව එතුමා ප්‍රකාශ කොට ඇත.
දැනට පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ මූලිකම අරමුණ වන්නේ එයින් සමත් වන දරුවන්ට වඩා හොඳ පාසැලකට යන්නට අවකාශ සලසා දීමය. එසේ නම් එයින් ගම්‍ය වන්නේ අධ්‍යාපනික වශයෙන් පහසුකම් අසම්පූර්ණ පාසැල් ඕනෑ තරම් පාසැල් තවමත් රට තුළ ඇති බවය. එසේ නම් රජයක ප්‍රධානතම අරමුණ විය යුත්තේ හුදෙක් පාසැල් බිහි කිරීමම නොව ඒ ඇති කරන පාසැල වැඩදායී ලෙස ස්ථාපිත කිරීමය. එවිට කොයි දරුවාටත් සමාන අධ්‍යාපනයක් ලැබිය හැකි වනු ඇත.
සිතා බැලිය යුතු අනෙක් කරුණ වන්නේ ශිෂ්‍යත්වය සමත්වූ පමණින්ම සිසු දෙමව්පිය දෙපක්ෂයටම සෑහීමකට පත් විය හැකිද යන්නයි. ඊට හේතුවක් ලෙස දැක්විය හැක්කේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලාභීන්ගේ සහභාගීත්වය ඉතාම අවම මට්ටමක පැවතීමයි. ඒ නිසා ශිෂ්‍යත්වය ඉහළින් සමත්වී වඩා හොඳ පාසැලකට ගොස් එහි උගත් පමණින්ම ඊට පසුව ඇති සාමාන්‍ය සහ උසස් පෙළ විභාගවලින්ද හොඳින් සමත් විය හැකි බවට පූර්ව නිගමනවලට ඒමේදී වඩාත් පරිස්සම් සහගත විය යුතු බව පෙනේ.
'ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කරයි.' - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පොළොන්නරුවේදී. -2019/03/25 වැනිදා |
'ශිෂ්‍යත්ව විභාගය නවත්වන එක තාම ස්ථිර නැහැ.' අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී. -2019/03/26 වැනිදා |
No comments:
Post a Comment