අද දවසේ කවිය
විදුලිය කැපීම සහ කොමිස් ගැහිල්ල
රට අඳුරට ගෙන ප්‍රශ්න රැසක් මත අර්බුද නිතියෙන් සදමින්නේ
කොමිස් ගැහිල්ලක් ගැන නිති කියැවෙයි ප්රශ්නය ඉහළට නැග එන්නේ
කොමිස් ගැහිල්ලයි විදුලිය කැපුමයි කොහොමද එකිනෙක ගැළපෙන්නේ
අහනට බලනට කවුරුත් නැතිවද රට නම් එක තැන පල් වෙන්නේ
අප රටේ වර්තමානයේ විදුලි අර්බුදය ලෙස හඳුන්වන්නේ දවසක් ඇතුළත වරින් වර විදුලිය කැපීමයි. සාමාන්‍ය මහජනතාව වන අපට විදුලිය යනු අර්බුදයක් ලෙස හැඟෙන එක අවස්ථාවකි, එය. අනෙක් අතට විදුලි බිල වැඩිවීමත් අපට දැනෙන්නේ විශාල අර්බුදයක් ලෙසිනි. ඒ ඇරුණු කොට අපට විදුලිය අර්බුදයක් ලෙස සිතන්නට සිදු වන්නේ රටේ නොයෙක් පළාත්වලට විවිධ අවස්ථාවලදී නොදන්වා කරන විදුලිය තප්පාදුවය.
රටක විදුලිය යනු පාරිභෝගික භාණ්ඩයකි. වඩාත් තේරෙන ලෙසින් කීවොත් විදුලිය යනු වෙළෙඳ භාණ්ඩයකි. සාමාන්‍ය මහජනතාවට විදුලිය නිකම් ලැබෙන්නේ නැත. ඒ සඳහා තමන් භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව මුදල් ගෙවන්නට ජනතාවට සිදුවේ.
ඒ අනුව නොමිලේ ලබා දෙන භාණ්ඩයක්වූ විදුලිය තමන්ට අවශ්‍යවූ විට දන්වා හෝ නොදන්වා හෝ කප්පාදු කිරීමට කවර රජයකට හෝ සදාචාරාත්මක අයිතියක් ඇද්දැයි ප්‍රශ්නයක් මතුවේ.
විදුලිය වරන්වර කැපීමට සිදු වන බාහිර හේතූන් තියෙන්නට පුළුවන. එහෙත් පැය ගණන් කරනු ලබන විදුලි කප්පාදුවට හේතුව ලෙසින් දැන් වැඩිපුරම අසන්නට ලැබෙන්නේ නිසි නිරන්තර පාරිභෝජනය සඳහා අවශ්‍ය විදුලි ප්‍රමාණය ලබා දීමට විදුලිබල මණ්ඩලය සහ රජය අපොහොසත්වී ඇති බවයි. එයින් කියැවෙන්නේ වැඩි වන විදුලි පාරිභෝජනය සඳහා සඳහා රජය විසින් නිසි සැලුසුම් කිරීමට අසමත්වී ඇති බවයි. අනෙක් පැත්තෙන් කියැවෙන්නේ එවැනි දේ සිදු වන්නේ හෝ සිදු කරන්නේ හෝ උවමනාවෙන් බවයි.
මේ තත්ත්වය සත්‍යයක් විය හැකිද? අසත්‍යයක් නම් එවැනි චෝදනා ප්රතික්ෂෙප කළ හැකිය. එහෙත් එසේ ප්රතික්ෂෙප වන බවක්ද දකින්නට ඇත. එසේ නම් ඒ කියැවෙන තත්ත්වය සත්‍යයක් විය යුතුය.
රටට නිසි ලෙස විදුලිය සම්පාදනය කොට නොදී ඒ සඳහා සැලසුම් නොසාදා සිට වැඩි මුදල් ගෙවා පෞද්ගලික මූලාශ්‍ර කරා යොමු වන්නේ නම් හා ඒ මඟින් තමන්ගේ මඩි තර කර ගන්නේ නම් ඒ කරන්නේ ජාතික අපරාධයක් විය යුතුය. එහෙත් ඒ කිසිවක් ගැන සොයන්නට බලන්නට කිසිවකු හෝ යොමු නොවන්නේ නම් එය ඊට වඩා ජාතික අපරාධයක් බව සඳහන් කළ හැකිය.
No comments:
Post a Comment