Sunday, March 17, 2019

අද දවසේ කවිය - 2019/03/18 - ඩෙබිට් කාඞ් ගුරු හොරා

                               අද දවසේ කවිය

'ඩෙබිට් කාඞ් හොරකම් කර අරක්කු පාටි දැමූ පාසැල් ගුරා රිමාන්ඞ්.'  (පුවතක්)



ගම්පොළ පැත්තේ ගුරු භවතකුනේ කතාවේ මුල් තැන අර ගන්නේ
ඩෙබිට් කාඞ් පත හොරකම් කර ගෙන ඒකෙන් භාණ්ඩ අර ගන්නේ
මුදලුත් අර ගෙන අරක්කු අර ගෙන සාදය මිතුරකු හට දෙන්නේ
මෙහෙම ගියෝතින් අධ්‍යාපනයේ තත්ත්වය තව පහළට යන්නේ

මේ පුවත ඇසෙන්නේ ගම්පොළ ප්‍රදේශයෙනි. අන්සතු කාඞ් පතක් සොරා ගෙන ඇති මේ ගුරුතුමා  ක්‍රමයෙන් සොරා කෑම පටන් ගෙන ඇත. ඒ සඳහා ඔහු තම මිතුරකුද පටලවා ගෙන ඇත.
ගුරුවරු යනු කවරහුද යන ප්‍රශ්නය දැන අපට අපෙන්ම අසා ගන්නට ඇතිසේය. මේ කතා කරන්නේ සමස්ත ගුරුපරපුර ගැන නොවේ.  ගුරුවරයාද යනු මනුෂ්‍යයකු නිසා ඔහු අතින්ද වැරැදි සිදු විය හැකියැයි මතයක් ගොඩ නැගෙන්නට පුළුවන. එහෙත් එවැනි තර්කයක් වලංගු වන්නේ මනුෂයත්වය නිසා සිදුවිය හැකි වැරැදි සඳහා මිස සිතාමතා දැනුවත්ව කරන වැරැදි සඳහා නොවේ. 
මේ පුද්ගලයා කර ඇති හා සනාථවී ඇති වැරැද්ද සොර කමකි. ගුරුවරු තම සිසුවන්ට සාමාන්‍යයෙන් උගන්වන්නේ කිසිදා කිසි විට අනුන්ගේ දෙයක් සොර සිතින් නොගත යුතු බවයි.

එය එසේ නම් මෙවැනි ගුරුවරුන් උගන්වන්නේ කවරක් විය හැකිද?




ශීතකරණයේ දාන්නට එපා - අද - තක්කාලි 2019/03/18







                                   තක්කාලි 
තක්කාලිද පිටත ගබඩා කොට තැබීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙයි. ශිතකරණයක තැබීමෙන් සිදු වන්නේ අදාළ ස්වාභාවික රසය නැති වීමත් අන්තර්ගතය වඩාත් පිෂ්ටය සහිත වීමත්ය. 
ඔබ තෝරා ගත් තක්කාලි අමු ස්වභාවයක ඇති නම් හොඳින් හිරු එලිය ලැබෙන තැනක තබන්න.
ඔබ තෝරා ගත් තක්කාලි  වැඩියෙන් ඉදුණු ස්වභාවයක් පෙන්වයි නම් ඒවා පිසීම සඳහා සුදුසුය. අමතරව වේ නම් ඒ කොටස ශීතකරණයක තැන්පත් කරන්නට සිදු වේ.

Saturday, March 16, 2019

ශීතකරණයේ දාන්නට එපා - අද - කෝපි


                                                                     කෝපි 
ඔබ කෝපි පානය ප්‍රිය කරන අයකු නම් ‘හොඳ’ සහ ‘නරක’ කෝපිවල වෙනස ගැන අමුතුවෙන් කිව යුතු නැත. මේ ‘වර්ග දෙක’ අතර ඇත්තේ විශාල වෙනසකි.
කෝපි ඇට වශයෙන් හෝ කුඩු හෝ ලෙසින් ශීතකරණයේ තැබීමෙන් එහි ජලාශ්‍රීත ස්වභාවය වැඩි වේ. ඒ නිසාම එහි ගුණාත්මක බවට අහිතකර බලපෑමක් ඇති වේ. කෝපි වාතය නොයනසේ සකස් කර ගත් බඳුනක සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ ගබඩා කොට ප්‍රයෝජනයට ගැනීම සුදුසුය.

අද දවසේ කවිය - 2019/03/17 - ඇස්. මහින්ද හිමි සමරමු

                               අද දවසේ කවිය  
                         ඇස්. මහින්ද හිමි සමරමු.

ගිහියකු විලසින් මෙරටට ඇවිදින් පසුව පැවිද්දකු ලෙස උන්නේ
ටිබෙටයේ සිට ආ මේ ගිහි කුමරුන් මහින්ද හිමි ලෙස දැන ගන්නේ
පිටරටකින් මෙහි ආවත් එතුමන් අපට වඩා රට ගැන දන්නේ
රට වෙනුවෙන් රට තුළ උන් මිනිසුන් අවදි කරන්නට වෙහෙසෙන්නේ

මහින්ද මහ රහත් හිමි බුදු දහම නම්වූ මුල, මැද, අග සහිත වටිනා පණිවිවිඩය රැගෙන ලක්දිව වැඩියේ ඉන්දියාවේ සිටය. පසුව ඇස්. මහින්ද (සිකිම්  මහින්ද) ලෙසින් ශ්‍රී ලංකාවේදී පැවිදි වූයේ  ටිබෙට් දේශයේ සිට මෙහි පැමිණි තෂිනම්ගල්ය.

මේ දෙදෙනා වහන්සේම මූලික වශයෙන් අපේ රටේ උපත ලද අය නොවූහ. එහෙත් මේ දෙදෙනා වහන්සේම අපේ රටට මහඟු මෙහෙයන් ඉටු කළ අය ලෙස ඉතිහාස ගතවී හමාරය.



2019 මාර්තු මාසයේ 16 වැනිදා සමරනු ලැබූයේ ඇස්.මහින්ද  හිමියන්ගේ 68 වැනි ගුණ සමරුවයි.

උපතින් ශ්‍රී ලාංකිකයකු නොවූ ඇස්. මහින්ද හිමි පසුකාලීනව සිංහල, පාලි, සංස්කෘත සහ ඉංගිරිසි භාෂාව මෙන්ම බුද්ධ ධර්මයද මැනැවින් හැදෑරූහ.

1914දී ශ්‍රී ලංකාවට පැමිණි ඇස්. මහින්ද හිමිට කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්ය තනතුරක් හිමි වූයේ 1934දීය.

හිමියන්ගේ ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ ඒ කාලයේ ඉංගිරිසින්ගේ දරදඬු පාලනයට යටත්වී සිටි සිංහල ජනතාවගේ නිදහස පතා ඒ වෙනුවෙන් සටන් කිරී මට ඇප කැප වීමය. 

සිංහල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේ පසුබිම් කර ගත්තේ සාහිත්‍යයයි.

1921දී පළ කළ 'ඔවා මුතු දම' එතුමන්ගේ මුල්ම කෘතිය ලෙස සැලැකේ. නිදහසේ දැහැන, නිදහසේ මන්තරය, විදේශිකයකුගෙන් ලක්මවට, ලංකා මාතා, ජාතික තොටිල්ල ඇස්. මහින්ද හිමිගේ තවත් කෘතීන්ය. තම කෘති තුළින් උන්වහන්සේ දිරි ගත්තේ සිංහලයා තුළ ජාතික අනුරාගය වැඩි දියුණු කිරීමයි.

ඇස්. මහින්ද හිමිගේ චරිතය වැදගත් වන්නේ පොත් ලියමින් සිංහලයා තුළ ජාතිකත්වය වැඩි දියුණු කරන්නට උත්සාහ ගත් නිසාම නොවේ. භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස දිවි ගෙවමින් රටටත්,ජාතියටත් යම් විශිෂ්ට  සේවාවක් කරන්නට වෙර දැරීමයි. එසේ කළේ ලාභාපේක්‍ෂාවකින් තොරව බව පැහැදිලිය 

අද සඟ පරපුරට එතුමාගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝ වෙතැයි නොපැකිළ සඳහන් කළ හැකිය.  






Friday, March 15, 2019

අද දවසේ කවිය - 2019/03/16 - සසුනට නිගා දෙන නිර්ලජ්ජිතයන්

                                      අද දවසේ කවිය  
'සසුනට නිගා දෙන නිර්ලජ්ජිතයන්.' 
සිවුරට රිංගා මහණ වෙසින් සිට ලද හැකි සම්පත් නිති ලබතේ
චීවරයේ ගෞරවය රකින්නට ඔවුනට කිසි මතකයක් නැතේ
සඟ පරපුරයැයි කියනා උත්තම කොටසට මේ අය අයත් නැතේ

මහ සඟ ගණ එක්වී නිතියෙන් මේ ගැන  බැලුවෝතින් පලක් වෙතේ

බුදුන් වහන්සේ සඟ පරපුරක් ඇති කළේ සාමාන්‍ය ගිහි සමාජය දහම පැත්තෙන් දැනුවත් කිරීම සඳහාය. එසේම සංඝයා වහන්සේ නමක් ලෙස වැඩ වසන්නට අදාළ වන විනය නීති ආදියද උන්වහන්සේ පනවා වදාළේ භික්‍ෂුවක් හා සාමාන්‍ය ගිහියා අතර සදාචාරත්මක වෙනසක් සඳහාය.
අතීත ඉන්දියාවේ බුද්ධ පරිනිර්වාණය සිදුවූ ආසන්නයේම අසන්නට ලැබුණු සුභද්‍ර භික්‍ෂුවගේ අභද්‍ර වචන පළමු ධර්ම සංගායනාව කිරීමට මූලිකම අවශ්‍යතාව සැපැයීය.

ඒ එදාය. අද? ඉන්දියාවේ නොව ලංකාවේ භික්‍ෂු සමාජය තුළ දකින්නට සහ අසන්නට ලැබෙන විෂමාචාර සහ විෂම හැසිරීම් බෞද්ධයන්ගේ පමණක් නොව සාමාන්‍ය මහජනයාගේද සිත් අවුල්   සහගත තත්ත්වයකට පත් කරයි.

නුගේගොඩ පැත්තේ විහාරස්ථානයක හිමිනමක් එහි වැඩ වාසය කරන සාමණේර භික්‍ෂුවක් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ බවක් එක් පැත්තකින් අසන්නට ලැබේ.  අනෙක් පැත්තෙන් දැන ගන්නට ලැබෙන්නේ මේ මාසයේ දොළොස්වැනිදා  ගලේවෙල නගරයේ රාත්‍රීයේදී බීමතින් විකාර නැටූ චීවරධාරියකු ගැනයි.

අද සංඝ සමාජය තුළ මෙවැනි ව්‍යාකූලත්වයක් පවතින්නට හේතුව කුමක්දැයි එකවර වටහා ගන්නට නොහැකි වන්නටත් පුළුවන.
එහෙත් සමස්තයක් ලෙස ගතහොත් සිතා ගත හැක්කේ සංඝ සමාජය තුළ කිසියම් ශක්තිමත් පරිපාලනමය බැම්මක් නැති බවයි. 

එක භික්‍ෂුවක් විසින් ත්‍රිපිටකය හෙළ බසට පරිවර්තනය කිරීමේදී යම් යම් දෝෂ ඇතැයි පෙන්වා දෙන ලද්දේ තවත් භික්‍ෂුවක විසිනි. ඒ පෙන්නා දුන් භික්‍ෂුවද යම් විශේෂිත හේතූන් නිසා සමජයේ කතාබහට පාත්‍ර වූවෙකි.
මෙයින් හැඟෙන්නේ සම්බුදු සසුන යන ධජය යටතේ සිටින ඇතැම් භික්‍ෂූන් වහන්සේලා තමන්ට කැමැති කැමති දේ කරන බවයි. මේ තත්ත්වය දිගටම පැවැතීම බෙහෙවින් අනර්ථකාරීය.

ශිතකරණයක දමන්නට එපා - අද - කජු - 2019/03/16







කජු සහ ඒ වර්ගයේ වෙනත් කුඩා ගෙඩි වර්ග 

කජු සහ එවැනි දෑ ශීතකරණයේ තැබීමෙන් එහි ඇති තෙල් වර්ග පිළුණු නොවී තබා ගත හැකි බව සැබෑය. එහෙත් ශීත තත්ත්වයේ ඇති කජු ආහාරයට නුසුදුසු වන්නේ ඒවායේ ඇති සුවිශේෂී රසය හීන වීමසේම ශීතකරණයේ ඇති අනෙක් ආහර ද්‍රව්‍යවල ගඳ සුවඳ සියල්ල අදාළ ආහාරයට අවශෝෂණයවී තිබීම නිසාය.  

ඒ නිසා කජු ගබඩා කළ යුත්තේ වාතය නොයනසේ පියන වැසිය හැකි බඳුනක කාමර උෂ්ණත්වය යටතේය. ශිතකරණයක තැබීමෙන් පසු කජු එකවර ආහාරයට නොගෙන තැටියක තබා කර, කර ගැනීමෙන් ආහාරයට වඩාත් සුදුසු ලෙස සකසා ගත හැකිය.   
  

Thursday, March 14, 2019

අද දවසේ කවිය - 2019/03/15 - ශල්‍ය වෛද්‍යවරයා හෙදියගේ හිස තුවාල කරයි.

                            අද දවසේ කවිය 
     ශල්‍ය වෛද්‍යවරයා හෙදියගේ හිස තුවාල කරයි.
සැත්කම අතරදි වෛද්‍යවරයා අමුතුම ලෙසකිනි හැසිරෙන්නේ

'බෝන් කටරයෙන්' හෙදියගෙ ඔළුවට පහරක් දීලයි සැනැසෙන්නේ
ශල්‍ය වෛද්‍යවී හිටියට විනයක් සදාචාරයක් නැති වැන්නේ
මේවැනි අයදෝ සමාජයේ අද වැදගත් තැන් වල වැජඹෙන්නේ

මේ අපූරු පුවත අපට අසන්නට ලැබෙන්නේ කුරුණෑගල මහ රෝහලෙනි. සැත්කමක් සිදු කැරෙන අවස්ථාවකදී  බෝන් කටරය නමැති උපකරණය රෝගියාගේ ඇඳ මත තැබූ ශල්‍ය වෛද්‍යවරයා එහි සිටි හෙදියකට කියා ඇත්තේ එය ඉවත් කරන ලෙසයි. හෙදිය බෝන් කටරය ඇඳ මතින් ඉවත් කොට ගෙන බන්දේසියක තබා ඇත.  ශල්‍ය වෛද්‍යවරයා කෝපවී ඇත්තේ මේ හේතුව නිසා බව කියනු ලැබේ.  ඒ උපකරණය බන්දේසියෙන් ඉවත් කර ගත් වෛද්‍යවරයා එයින් හෙදියගේ හිසට පහරදී ඇත. හෙදියගේ හිසෙන් ලේ ගලන තුවාලයක් ඇතිවී ඇති අතර ඇය වහාම ශල්‍ය කර්මයකට භාජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයා කියා ඇත්තේ අදාළ ශල්‍ය වෛද්‍යවරයා කිසියම් මානසික රෝගයකට ගොදුරුවී ඇති බවට සැක කරන බවයි. අපි එසේ නොවේවායි පතමු. බැරි වීමකින් හෝ එවැනි තත්ත්වයක් ඇතිවී නම් එහි පසුබිමේ ඇති භයානක බව සිතා ගැනීමටවත් අසීරු වනු ඇත.

ශීතකරණයේ දමන්නට එපා - අද - පැණි






                                    පැණි 
                                                                                 
පැණි ශිතකරණයේ තැබීමෙන් සිදු වන්නේ කැටි ගැසීමයි. ඝන වීමයි. මේ ස්ඵටික ස්වභාවය භාවිතය අපහසු කරවයි. එසේම අප්‍රසන්න බවක් ඇති කරයි.
සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ ගබඩා කොට තැබීමෙන් පැණි බොහෝ කාලයක් තබා ගත හැකිය. කැටි ගැසීමේ ස්වභාවයක් පෙන්නුම් කරයි නම් පැණි සහිත බෝතලය යම්තමින් උණු ජලයේ බහාලීමෙන් නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකිය.







Wednesday, March 13, 2019

ශීතකරණයේ දාන්නට එපා - අද - පාන්






                                    පාන් 
 පාන් යනු සාමාන්‍යයෙන් කලක් තබා ගත නොහැකි ආහාරයකි. එහෙත් ඇතැමුන් පාන් ශීතකරණයේ තබන්නට පුරුදුවී සිටින්නේ නරක්වීම තරමක් දුරට හෝ වළක්වා ගන්නටය. එහෙත් එයින් වන්නේ පාන් වියලි ස්වභාවයට ඉක්මනින් පත් වීම සහ ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයකට පත් වීමයි.

ඔබගේ මුළුතැන්ගෙයි ඇති කබඩයක ලාච්චුවක් වැනි තැනක පාන් ගබඩා කොට තැබීම වඩාත් සුදුසුය. ඔබට වඩාත් කල් තබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති නම් පෙති කපා ශීත කොට නැවත කර, කර ගෙන භාවිත කළ හැකිය.





Tuesday, March 12, 2019

ශීතකරණයේ දාන්නට එපා - අද 'කොමඩු'










                                  කොමඩු 
සියලුම කොමඩු වර්ග වඩාත් හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීමට ඉතාම සුදුසුම වාතාවරණය වන්නේ සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ තැබීමයි. ශීතකරණයක තැබීම යෝග්‍ය නොවන්නේ එමඟින් කොමඩු ගෙඩියේ ස්වාභාවික ගති ලක්‍ෂණ වෙනස් වන නිසාය. ඒ නිසා කාමර උෂ්ණත්වයේ තබා ආහාරයට ගන්නා කොමඩුවල ඇති හිතකර බව වැඩිය.

කොමඩු ගෙඩිය කැපීමෙන් පසු කැපූ කොටස් දින තුනේ සිට හතර දක්වා කාලයක් ශීතකරණය තුළ තැබීම අයහපත් නොවේ.



අද දවසේ කවිය - 2019/03/13 - පුස්තකාල මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය නවතී

                          අද දවසේ කවිය
පුස්තකාල මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය අතරමඟ නතරවී ඇතැයි වාර්තා වේ.



පුස්තකාල මණ්ඩලයේ ගැටළුව තවමත් විසඳෙනු නැති පැත්තේ
පොත් මුද්‍රණයට ආධාරත් දෙන කටයුතු නැවතීලා ඇත්තේ
පොත් ලියනා අය විමසුම් කෙරුවත් උත්තරයක් නම් නැහැ ඇත්තේ

ලැබුණු දේත් නැත පොත් ලියනා අය මඟ නැවතීලා දිරි නැත්තේ

ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණඩලයේ ව්‍යාපෘතියක් ලෙස පවත්වා ගෙන ගියේ ලේඛක ලේඛිකාවන්ට දිරි දීමක් ලෙස මුද්‍රණය සඳහා අදාළ වනසේ නිහ්චිත මුදල් ආධාරයක් ලබා දීමයි. මේ ආධාර මුදල නිකම්ම ලැබෙන්නේ නැත. ඒ සඳහා ඉදිරිපත් කරන පිටපත් ක්‍රමානුකූල සහ විධිමත් සමීක්‍ෂ ණයකින් අනුමත විය යුතුය. තවත් අනුගත විය යුතු කොන්දේසි ඇතත්  කිසිවක් ලේඛක ප්‍රගමනයට බාධා කරන්නේ නැත. ඇතැම් අවස්ථාවල ලේඛකයා තුළ යම් ප්‍රශ්නයක් ඇති වුවත් ඒ ක්‍රමයේ දෝෂයක් නිසා නොව ලේඛකයාගේ පැත්තෙන් පෞද්ගලිකව  බලපාන ප්‍රශ්නයක් නිසා විය හැකිය.
මේ ආධාර ලබා දීමේ ව්‍යාපෘතිය දැන් මාස කිහිපයක සිට සම්පූර්ණයෙන්මබ වාගේ නතරවී ඇති බවට වාර්තා වේ.එසේවී ඇති පාදක හේතුව ගැන නිශ්චයක් නැත. තිබුණත් ප්‍රශ්නය විසඳන්නට පියවර ගන්නා බවක්ද පෙනෙන්නට නැත. ඇතැම් විට උත්සාහයන් ගෙන ඇතත් ඒ කිසිවක්ම සාර්ථකවී නැති වෙන්නටත් පුළුවන


කෙසේ වෙතත් මේ ‘කඩා වැටීම’ තුළ ඇත්තේ බොහෝ විට ලේඛක ලේඛිකාවන් අතරමං වීම පමණි. ලංකාවේ පොත් ලියන හැම දෙනාටම එසේ නොවූවත් මේ ව්‍යාපෘතියේ අගය දන්නා අයට නම් එය එසේය. වගකීමක් ඇති උදවිය එකතුවී මේ ප්‍රශ්නය හොඳ ලෙසකින් විසඳා දේනම් එය රටේම වාසනාවකි. 
  

අද දවසේ කවිය - 2019/03/14 - රාවතාවත්තේ මධුෂ්ගේ කුඩු මාළිගය වටලයි .

                           අද දවසේ කවිය 
'රාවතාවත්තේ මධුෂ්ගේ කුඩු මාළිගය වටලයි.' (පුවතක්)
මධුෂ් තවමත් මුල් පෙළේ ඇත පුවත් තවමත් පැතිර යන්නේ
ඔහුගේ කුඩු මාළිගය වැටලූ බවයි පොලිසිය හෙළි කරන්නේ
කෝටි ගණනක් වටින කුඩු තොග එහි තිබූ බව දැනුම් දෙන්නේ
මෙපණක්දේ රැස් කරන තුරු කිසිම කෙනෙකුන් නැතිය දන්නේ? 

මාකඳුරේ මධූෂ් ගැන තොරතුරු සමාජය තුළ පැතිරෙන්නට පටන් ගෙන දැන් සෑහෙන කාලයකි. ඔහු ගැන වඩාත්ම උණුසුම් පුවත වූයේ ඔහු ඇතුළු පිරිසක් විදේශයකදී අත් අඩංගුවට පත් වීමය. ඒ සිදුවීමත් සමගම රටේ නොයෙක් දෙසින් නොයෙක් වර නොයෙක් ආකාර පුවත් මධූෂ් සම්බන්ධ කොට ගෙන අසන්නට කියවන්නට ලැබිණි.  
මාර්තු මස එකොළොස්වැනිදා මොරටුව රාවතාවත්තේ දෙමහල් නිවසක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය එහිවූ රුපියල් කෝටි එකසිය හැත්තෑවක් තරම්  වටිනා කමකින් යුතු හෙරොයින් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.

මේ ගොඩනැගිල්ල ඔවුන් යොදා ගෙන ඇත්තේ මත්කුඩු ගබඩාවක් ලෙස බව දැන් ප්‍රකට වෙමින් පවතී. මේ තරම් මත්කුඩු ප්‍රමාණයක් එක වාරයකදී අසුවී  නම් හා ඔවුන් මේ ජාවාරම කලක සිටම කර ගෙන ආ බවක්ද කියැවේ නම් කෙතරම් කාලයක් කෙතරම් ප්‍රමාණයක් මේ පිරිස අපේ මේ රට තුළ මත්කුඩු 
බෙදා හැර ඇතිදැයි කියන්නට කිසිවකුටත් හැකියාවක් නැති වනු ඇත.
මේ ස්ථානය පොලිසිය මඟින් සොයා නොවැටලුවා නම් ඔවුන් සිය කටයුතු තව දුරටත් නිදහසේ කර ගෙන යනු ඇත. මේසා උවදුරක් රට තුළ පවතින බව අපට දැනෙන්නේ දැන්ය. 
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ යොමුව සහ උත්සාහය දිගටම පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන්නේ ඒ මඟින් ඉතා වෙසෙස් සේවාවක් ඉටු වන බව පෙනෙන්නට ඇති නිසාය.

Monday, March 11, 2019

අද දවසේ කවිය - 2019/03/12 විශ්‍රාම ගිය විදුහල්පතිගේ වෙලාව හොඳ මදි.......

අද දවසේ කවිය
'පැන්ෂන් ගිය ප්‍රින්සිපල් කෝටියක කුඩු ඇදලා  මාට්ටු.' - පුවතක්


සැප ඇති මෝටර්  රථයක යන්නේ මත් කුඩු ඇත එහි සඟවාලා
විදුහල්පති ඇත තව කෙනෙකුන් හා කුඩු ගෙන යන්නට උර දීලා
පැන්ෂන් ගොස් ඇත විදුහල්පති නම් අවුරුදු හැට අටකුත් වීලා

කරන්නෙ මොනවද හොඳද නරකදැයි තේරුම් ගන්නට බැරි වීලා

බොහෝ අයගේ විශ්‍රාම දිවිය ගෙවෙන්නේ හුදෙකලාවමය. ඇතැම් විට තමන්ගේ දරුවන්ගෙන් හෝ නෑදෑයන්ගෙන්වත් හෝ සහනයක් නැතිවය. රජයේ සේවාවේ සිටියා නම් අඩු වශයෙන් මාසයකට වරක් ලබන දීමනාවට හිමිකම් කියයි. පෞද්ගලික අංශයේ සිටි සේවකයකු නම් එකවර ලබා ගත හැකි මුදලෙන් යැපිය යුතුය.

අවසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ විශ්‍රාම ගිය රජයේ සේවකයකු සම්බන්ධවය.මේ  අදාළ පුද්ගලයා විශ්‍රාම ගොස් ඇත්තේ විදුහල්පතිවරයකුවී සිටියදී බව තේරුම් ගැනීම අපහසු නැත.

එවැනි ගෞරවනීය සේවාවක යුතුකම් ඉටු කළ වගකීම් දැරූ අයෙකු මුළු රටක් කතා කරන,මුළු රටේම බහුතරයක් ජනයා ප්‍රතික්‍ෂෙප කරන මත්කුඩු ජාවාරමකට සම්බන්ධවී කෙසේ කටයුතු කරන්නේදැයි සිතා ගැනීම පවා අපහසුය.

බොහෝ විට ඊට පාදක වන්නාවූ හේතුව මුදල් විය හැකිය. තමන්ගේ විශ්‍රාම දිවිය දැන් ගත කරනවාට වඩා උසස් ලෙසකින් ගත කරන්නට ඒ පුද්ගලයා සිතුවා විය හැකිය. 

ඒ පසුබිම් හේතුව කුමක් වුවත් දැන් සමාජ විරෝධී කටයුත්තක් තමන් අතින් සිදුවී ඇතැයි ඔහුට පිළිගන්නට සිදුවේ. එය එසේ නම් ඒ සඳහා නීතිය යටතේ ඔහුට වන්දි ගෙවන්නටද සිදු වනු ඇතිය.