Wednesday, August 19, 2020

අංගවිකල රජු සහ චිත්‍ර ශිල්පියා

 

අංගවිකල රජු සහ චිත්‍ර ශිල්පියා

 

        එක්තරා කාලයක එක්තරා රාජධානියක රජෙක් විසුවා. ඔහු බොහෝ බුද්ධිමත්. ඒ වගේම නිර්භිතයි. ඔහු බොහෝ යුද්ධවලට සහභාගීවූ කෙනෙක්. ඒ හැම අවස්ථාවකදීම ඒ යුද්ධවලින් ජයගත් ඔහු සතුරන්ගෙන් තමන්ගේ රාජධානිය බේරා ගත්තා.

 

       වතාවක් මේ රජතුමා දරුණු යුද්ධයකට සම්බන්ධ වුණා. යුද ජයග්‍රහණය ලැබීමට ආසන්නව සිටියත් රජතුමාගේ පිටුපස සිට පහර එල්ල කරන්නට වූ නිසා රජතුමා මඳක් අසීරු තත්ත්වයට පත් වුණා. එහෙත් අවසානයේ සතුරු රජ මරා දැමූ රජතුමා යුදයේ ජය ලබා ගත්තා. ඒ වුණත් රජතුමාට තමන්ගේ එක ඇසක් සහ එක පාදයක් අහිමි වුණා.

 

        කාලය ගතවී ගියා. රජතුමාට අවශ්‍ය වුණා තමන්ගේ චිත්‍රයක් ලස්සනට අන්දවා ගන්නට. රජු තම රාජධානියේ සියලුම චිත්‍ර ශිල්පීන් මැදුරට කැඳවා තමන්ගේ අවශ්‍යතාව ඔවුන්ට දැනුම් දුන්නා.

 

       චිත්‍ර ශිල්පීන් ඒ සඳහා උත්සාහ ගත්තත් ඒ කිසිවකුට ඒ කටයුත්ත නිසි ලෙසින් එය කළ හැකි වූයේ නැහැ. කෙසේ කරන්නද? රජතුමාගේ එක ඇසක් අන්ධවීමත්, එක පයක් නොමැති වීමත් ඊට මූලික වශයෙන්ම හේතු වුණා.

 

      එහෙත් පැමිණි එක චිත්‍ර ශිල්පියෙක් මේ තත්ත්වය ජය ගන්නට සමත් වුණා.

 

       ඔහු සිය චිත්‍රය නිර්මාණය කළේ රජතුමාගේ දඩයම් ඉරියව්වක් දක්වමින්. ඔහු සිය සිතුවමෙන් ඉදිරිපත් කළේ රජතුමා සිය එක ඇසක් පියා ගෙන දුනුදිය අදිමින් සතෙකුට ඉලක්කයක් ලබා ගන්නා ආකාරයයි. එසේම රජුගේ එක පයක් ඔහු නැග සිටි අශ්වයා මත නවා ගෙන සිටින ඉරියව්වයි. ඔහු සිය සිතුවම නිර්මාණය කළ ආකාරය නිසා රජතුමාගේ ශාරීරික දුර්වලතා කිසිවක්ම පිටතට නොපෙණෙන ලෙසින් යටපත්වී ගොස් තිබුණා.

 

        මේ සිතුවම දුටු හැම දෙනාම ඉතාම සතුටට මෙන්ම පුදුමයටත් පත් වුණා.

 

කිසිවකුගේ දුර්වලතාවක් ගැන සිතමින් ඒ ගැන හුවා දක්වමින් කතා නොකරන්නට පුරුදු වීම ඉතාම වැදගත්. ඒ වෙනුවට කළ යුත්තේ ඒ පුද්ගලයා සතු දක්ෂකමක් ඉස්මතු කර ඒ ගැන කතා කරන්නට, ඒ ගැන අගය කරන්නට හුරු වීමයි.

 

(මූලාශ්‍ර ඇසුරෙනි.) 

 

Monday, August 17, 2020

ඇස්. මහින්ද හිමි

 



                                                   ඇස්. මහින්ද හිමි


අප සාමාන්‍යයෙන් ජාතික වීරයන් සේ හඳුන්වන්නේ අපේ රටේ ඉපිද, අපේ රට

වෙනුවෙන් කැපවී රට සහ මිනිසුන් වෙනුවෙන් මහත් සේවාවක් කළ පුද්ගලයන්ය.

 එහෙත් ඇස්. මහින්ද චරිතය ඒ හැඳින්වීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් ඇති බෞද්ධ හිමි නමකි. එතුමන් උපතින් ශ්‍රී ලාංකිකයකු නොවීම මෙහි ඇති විශේෂත්වයයි.


පෙම්පා තෙන්ඩුපි සර්කයි චෙරින් උපන්නේ වර්ෂ 1901 දීය. ඒ ටිබෙට් දේශයේ

ගන්ග්ටොක්හි සික්කිම් ප්‍රදේශයේය. එහි ඔහුගේ වාසය වසර දහහතරකට

 පමණක් සීමා විය. යෞවනයට නෑකම් කියන වයසේ පසුවන සර්කයිට

ශ්‍රී ලංකාවට එන්නට අවස්ථාවක් ලැබෙන්නේ බුදු දහම ඉගෙනීම සඳහා

ශිෂ්‍යත්වයක් ලැබීම නිසාය. සර්කයි ලංකාවට එන්නේ ඒ වන විටත් බෞද්ධ

භික්ෂුවක බවට පත්වී සිටි තමන්ගේ වැඩිමහල් සහෝදරයකු සමගය.


උපන් දේශයෙන් බැහැරවී වෙනත් දේශයකට පැමිණි සර්කයි තමන් පිළිබඳ

 පැහැදිලි තීරණයකට එළඹෙමින් පැවිදි දිවියට ඇතුළු  වන්නේ වර්ෂ 1914 දීය.

 මේ පැවිදි උතුමන් එයින් මතු හඳුන්වන්නේ මහින්ද නමිනි. ඒ නමට ඉදිරියෙන්

ඇති ‘ඇස්‘ යන්නෙන් හැඳින්වෙන්නේ ‘සර්කයි‘ ද නැති නම් ‘සිකිම්’ ද යන්න ගැන නිශ්චිත නැත. කෙසේ වෙතත් ට්බෙට් දේශයේ සිට මෙහි පැමිණි සර්කයි’ ඉන්පසු ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනා දැන කියා ගන්නේ ඇස්. මහින්ද නමිනි.

  

 මහින්ද හිමියන් සහ එතුමාගේ සොහොයුරා යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විහාරස්ථානයක ඥානාලෝක නම් භික්ෂූන් වහන්සේ නමක් යටතේ බුදු දහම ඉගෙන ගන්නට පටන් ගත්හ. මහින්ද හිමියන් කොළඹ ප්‍රදේශයට වඩින්නේ තවත් පසු කාලයකදීය. ඒ,  කොළඹ මරදානේ පිරිවෙන් අධ්‍යාපනය ලබන්නටය. මහින්ද හිමියන් ඉංග්‍රීසි බස උගන්නේ එසේ කොළඹ ගත කළ අවදියේය.  පසුව නැවතත්

දකුණේ විහාරස්ථානයට පැමිණෙන මහින්ද හිමියෝ සිංහල සහ පාලි භාෂාවන් ඉගෙනීමෙහි යෙදුනාහ.   

                          

එක්දහස් නවසියතිස් ගණන්වලදී උපසම්පදා ලද භික්ෂුන් වහන්සේ නමක්වූ

මහින්ද තෙරුන් කලක් කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කටයුතු කොට ඇත්තාහ සිංහල බස ගැන මනා දැනුමැත්තකුවූ ඇස් මහින්ද හිමි සිංහලෙන් ලියන්නට කියන්නට හොඳ පුහුණුවක් ලබා ගත්හ ඒ කාලයේ පැවැති විදේශීය පාලනයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සටන් වෙනුවෙන් මහින්ද හිමි සිය රචනා උපයෝගී කොට ගත්තේ ස්වදේශිකයන් වඩාත් උද්යෝගීමත්  කරන්නටය


සිංහල භාෂාව මනා ලෙස හසුරුවමින් ලියූ පොත් හතළිහකට වැඩි ප්‍රමාණයක් මහින්ද හිමියන් විසින් ජාතියට දායාද කොට ඇත්තාහ. ඒ අතර කවි පොත් මෙන්ම ළමුන් සඳහා ලියූ පොත් ද ඇත. ඒ බොහෝ රචනාවලින්  උන්වහන්සේ උත්සාහ දරා ඇත්තේ ස්වදේශිකයන්ගේ ජාතික අනුරාගය වර්ධනය කිරීමයඊට පසුබිමවී ඇත්තේ එකල අප රට තුළ පැවැති විදේශීය පාලනයයි.

 

 අඩ සියවසකට වැඩි කාලයක් ආයු වළඳා ඇස් මහින්ද හිමියන් අපවත් වුණේ

1951 වඊෂයේදී ය.

තමා උපන් දේශයෙන් පිට දේශයකට පැමිණ බුදු දහම හදාරා

පසුව සිය ජීවිතය බුදු සසුන කෙරෙහි කැප කරමින් තමන්ට නුහුරු භාෂා ප්‍රගුණ  කරමින් ඒ උගත් භාෂාවලින් පොත් ලියමින් දේශීය ජනතාවගේ දේශානුරාගය වඩවන්නට උත්සුක වූ ඇස් මහින්ද හිමියන් ජාතික වීරයකු ලෙසින් සැලැකීම පුදුමයක් නොවන්නේය.

                                          

  






(සියලුම ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

 

Sunday, August 9, 2020

ඇත්තටම අප එදාට වඩා දියුණු ද?

 ඇත්තටම අප එදාට වඩා දියුණු ද? 


හැට හැත්තෑ දශක වල යම් කෙනෙකු රන් භාණ්ඩයක් උකස් කරන්නට අරන් ගියේ හැකි තරම් අප්‍රසිද්ධියේයි. ඒ කාලවකවානුවල රන් භාණ්ඩ උකස් ගන්නා මධ්‍යස්ථාන නගරාශ්‍රිතව පිහිටා තිබුණේත් අතළොස්සයි. ඒ කාලයේ රන් භාණ්ඩයක් උකස් කිරීම යනු අත්‍යවශ්‍ය වුවත් හැකි තරම් පරිස්සමින් කළ   දෙයක්.

ඒත් අද තත්ත්වය පැහැදිලිවම වෙනස්. රට පුරා ඇති විවිධාකාර ආයතන රන් භාණ්ඩ තමන්ගේ ආයතනයේ උකස් තබ්බවා ගන්නට ලක්ෂ ගණන් විය පැහැදම් කරති. රූපවාහිනී නාළිකා ඔස්සේ වෙළඳ දැන්වීම් පළ කරති. එවැනි ඇතැම් දැන්වීම්වල රඟ පාන්නේ රටේ සුප්‍රසිද්ධ උදවියය. වත්මනෙහි නොයෙක් හේතූන් නිසා ආර්ථිකය සමතුලිත කර ගැනීම නොකළ හැකි වූ නොයෙක් තලවල ජනතාව රන් භාණ්ඩ උකස් කිරීම එදිනෙදා  ජීවිතයට ඉතාම සමීප, නොකර සිටින්නට නොහැකි දෙයක් ලෙස සිතන තත්ත්වයට පත්වී සිටිතැයි සිතේ.

එදා සිදුවූ දේම අද එදාටත් වඩා සාරෙට සිද්ධ වේ.

හැබැයි අප දියුණුයැයි කියන්නේ අදය. ඇත්තටම අප එදාට වඩා දියුණු ද? 

Wednesday, July 22, 2020

ලොන්තලන්තේ - Lonthalanthe by Podi Arachchila



ලොන්තලන්තේ

මේ දවස්වල  ලොන්තලන්තේ තත්ත්වය එතරම්ම හොඳ නෑ නෙව. හැමෝම ඉන්නේ මාර අප්සැට් එකේය. කවුදෝ ඇමති උත්තමයෙක් හෙණ  අප්සැට් ටෝකාවක් දීම ඊට හේතුවයි. ඒ ටෝකාවෙන් කියැවෙන්නේ අවුරුදු දහයකට කලින් බෝල් තරගයක් විකුණා දැමූ බවක් නිසයි. 
එහෙව් දෙයක් වුණා නම් අවුරුදු දහයක් තිස්සේ ඔය කියන උත්තමයා හිටියේ කොහේදැයි ලන්තේ කට්ටිය ඇහුවත් අර උත්තමයාට හරි උත්තරයක් දෙන්නට බැරි වුණා නෙව. උන්නැහේ උත්තර දෙන්නට පමා වුනත් ආරක්ෂක උත්තම කට්ටිය පරීස්සණයක් හෙම පටන් ගත්තේ උජාරුවට.  

ඒ වුනත් ඒ පරීස්සණේත් දන්නෙම නැතිව දිය වෙලා ගියයි කියහංකෝ. ඔන්න පරීස්සණේ හා හූ කියා ගෙන පටන් ගත්තා කියමු. ඒ පරීස්සණේට ලොන්තලන්තේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පරසිද්ද බෝල් ගහන දස්සයන්වත් ගෙන්නුවා. කියන්නත් නිකං මොකද්දෝ වගේ. ඒ වුනත් ඉතිං නොකියා කොහොමද? කට කෑවත් කියන්න එපැයි.
ලොන්තලන්තේ දේසපාලු කට්ටියට වඩා මුළු ලෝකෙම අඳුනන්නේ බෝල් ගහන කට්ටියයි. ඒ හන්දා මුළු ලෝකෙම කට්ටිය බලා හිටියා අන්දුන්කුන්දුන් වෙලා මේ වෙන්නේ මොන ආකාරයක වින්නැහියක්දැයි බලා ගෙන.  ඉතින් ආයුබෝන් මොකක්වත්ම වුණේ නැහැ නොවැ. ඒ පරීස්සණ කරාපු උත්තමයෝ අවසානෙදි කිව්වේ එව්වා මෙව්වා වුණයි කියා සාක්කි නැති බවයි.
ඔව්වා ගැන දන්න කියන උදවිය නම් කියන්නේ ඒ වාගේ පරීස්සණ කටයුතු පටන් ගන්න කලියෙන් බොහෝ දේවල් හොයලා දැන කියා ගන්න ඕනේ කියාලයි. කෝ ඉතින් මෙතන එහෙම දෙයක් වුණේ නැහැනේ. ඒ කතන්දරෙත් ඒ විදිහට වුණේ ඇයි කියන්න කවුරුවත් දන්නෙත් නැහැනේ. කොයි කරමෙන් හරි ඔය කාරණාව ඔය විදිහට වුණයි කියමු.
අර බෝල් ගහන උදවිය පරීස්සණ මණ්ඩලේට කැඳවලා දිගින් දිගටම ප්‍රශ්න කළා නෙව. පැය ගණන් ප්‍රශ්න කොළා. අන්තිමට වුණේ මොකද්ද දන්නවැයි? මොකුත්ම නෑ නෙව. නිකම්ම පුස්ස බින්දා වගේ නෙව.
ඔන්න තීන්දුවකුත් ආපි. තීන්දුව මොකක් කියලද ආයිබෝං හිතන්නේ? තීන්දුවෙන් කිව්වේ එහෙම කිසිම අලකලංචියක් වෙච්ච විත්තියක් දැන ගන්න නැති බවයි. එහෙව් දෙයක් වෙච්ච බවක් කියන්න සාක්කියක් හොයා ගන්නවත් නැතෙයි කියලයි.
ඒ කතාව ඒ විදිහට වුණාමයි කියමු. අනෙක් පැත්තේ ඉඳන් ඇමති උත්තමයා  මොනවද කියන්නේ කියලද හිතන්නේ? ඒ උත්තමයා නම් කියන්නේ උන්නැහේ කියාපු කතාව ඇත්තක්ම කියලයි. උන්නැහේ ඒ කතාව කියන්න පටන් ගත්තු දවස්වල නම් ඒ ගැන කවුරු කවුරුත් උනන්දුවක් පැවා. ඒ උනත් ආයිබෝන්ඩ දැන් කවුරුවත්ම ඒ ගැන උනන්දු නැති පාටයි.
දැන් කිසි කෙනෙක් ඒ ගැන කතා කොරන්නේවත් නෑ නෙව. ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද කියලා මේ අපි වගේ හුදී ජනතාවට හොයා ගන්න හරි හමං කෙරේමයක් නැති එක නොවැ කරුමේ කියන්නේ.
ඇමති උත්තමයා ඔය කතාව මුලින්ම ටැලිවිසොන් පෙට්ටියෙන් රටට කියා පාද්දී තමන්ගේ පපුවටත් ගහලා නොවැ කිව්වේ. ඒ වෙලාවේ එහෙම වුණාට පස්සෙත් තමන් කීව දේ නිවැරදිමයි කිව්වත් දැන් ඒ ගැන කතාවක්වත් නෑ නෙව.
ඇත්තටම මොකක් වුණාදැයි කියන්නට දන්න කෙනෙක් ඉන්නවැයි? ඉන්නවා නම් කියමුකෝ බලන්න සිද්ද වුණේ අහවල් දේ කියලා. එක්කෝ ඒ ඇමති උත්තමයා යං දේකට කලබල වෙලා කී දෙයක් ද? නැති නං ඒ ලොන්තලන්තේ හැටි සුබාවද? 
ආයෙත් වෙලාවක එඤ්ඤං. ඩිං ටොං ඩුං.  
- පොඩි ආරච්චිල.