ඇස්. මහින්ද හිමි
අප සාමාන්‍යයෙන් ජාතික වීරයන් සේ හඳුන්වන්නේ අපේ රටේ ඉපිද, අපේ රට
වෙනුවෙන් කැපවී රට සහ මිනිසුන් වෙනුවෙන් මහත් සේවාවක් කළ පුද්ගලයන්ය.
එහෙත් ඇස්. මහින්ද චරිතය ඒ හැඳින්වීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් ඇති බෞද්ධ හිමි නමකි. එතුමන් උපතින් ශ්‍රී ලාංකිකයකු නොවීම මෙහි ඇති විශේෂත්වයයි.
පෙම්පා තෙන්ඩුපි සර්කයි චෙරින් උපන්නේ වර්ෂ 1901 දීය. ඒ ටිබෙට් දේශයේ
ගන්ග්ටොක්හි සික්කිම් ප්රදේශයේය. එහි ඔහුගේ වාසය වසර දහහතරකට
පමණක් සීමා විය. යෞවනයට නෑකම් කියන වයසේ පසුවන සර්කයිට
ශ්‍රී ලංකාවට එන්නට අවස්ථාවක් ලැබෙන්නේ බුදු දහම ඉගෙනීම සඳහා
ශිෂ්‍යත්වයක් ලැබීම නිසාය. සර්කයි ලංකාවට එන්නේ ඒ වන විටත් බෞද්ධ
භික්ෂුවක බවට පත්වී සිටි තමන්ගේ වැඩිමහල් සහෝදරයකු සමගය.
උපන් දේශයෙන් බැහැරවී වෙනත් දේශයකට පැමිණි සර්කයි තමන් පිළිබඳ
පැහැදිලි තීරණයකට එළඹෙමින් පැවිදි දිවියට ඇතුළු වන්නේ වර්ෂ 1914 දීය.
මේ පැවිදි උතුමන් එයින් මතු හඳුන්වන්නේ මහින්ද නමිනි. ඒ නමට ඉදිරියෙන්
ඇති ‘ඇස්‘ යන්නෙන් හැඳින්වෙන්නේ ‘සර්කයි‘ ද නැති නම් ‘සිකිම්’ ද යන්න ගැන නිශ්චිත නැත. කෙසේ වෙතත් ට්බෙට් දේශයේ සිට මෙහි පැමිණි සර්කයි’ ඉන්පසු ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනා දැන කියා ගන්නේ ඇස්. මහින්ද නමිනි.
මහින්ද හිමියන් සහ එතුමාගේ සොහොයුරා යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විහාරස්ථානයක ඥානාලෝක නම් භික්ෂූන් වහන්සේ නමක් යටතේ බුදු දහම ඉගෙන ගන්නට පටන් ගත්හ. මහින්ද හිමියන් කොළඹ ප්‍රදේශයට වඩින්නේ තවත් පසු කාලයකදීය. ඒ, කොළඹ මරදානේ පිරිවෙන් අධ්‍යාපනය ලබන්නටය. මහින්ද හිමියන් ඉංග්‍රීසි බස උගන්නේ එසේ කොළඹ ගත කළ අවදියේය. පසුව නැවතත්
දකුණේ විහාරස්ථානයට පැමිණෙන මහින්ද හිමියෝ සිංහල සහ පාලි භාෂාවන් ඉගෙනීමෙහි යෙදුනාහ.
එක්දහස් නවසියතිස් ගණන්වලදී උපසම්පදා ලද භික්ෂුන් වහන්සේ නමක්වූ
මහින්ද තෙරුන් කලක් කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කටයුතු කොට ඇත්තාහ සිංහල බස ගැන මනා දැනුමැත්තකුවූ ඇස් මහින්ද හිමි සිංහලෙන් ලියන්නට කියන්නට හොඳ පුහුණුවක් ලබා ගත්හ ඒ කාලයේ පැවැති විදේශීය පාලනයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සටන් වෙනුවෙන් මහින්ද හිමි සිය රචනා උපයෝගී කොට ගත්තේ ස්වදේශිකයන් වඩාත් උද්යෝගීමත් කරන්නටය
සිංහල භාෂාව මනා ලෙස හසුරුවමින් ලියූ පොත් හතළිහකට වැඩි ප්‍රමාණයක් මහින්ද හිමියන් විසින් ජාතියට දායාද කොට ඇත්තාහ. ඒ අතර කවි පොත් මෙන්ම ළමුන් සඳහා ලියූ පොත් ද ඇත. ඒ බොහෝ රචනාවලින් උන්වහන්සේ උත්සාහ දරා ඇත්තේ ස්වදේශිකයන්ගේ ජාතික අනුරාගය වර්ධනය කිරීමය. ඊට පසුබිමවී ඇත්තේ එකල අප රට තුළ පැවැති විදේශීය පාලනයයි.
අඩ සියවසකට වැඩි කාලයක් ආයු වළඳා ඇස් මහින්ද හිමියන් අපවත් වුණේ
1951 වඊෂයේදී ය.
තමා උපන් දේශයෙන් පිට දේශයකට පැමිණ බුදු දහම හදාරා
පසුව සිය ජීවිතය බුදු සසුන කෙරෙහි කැප කරමින් තමන්ට නුහුරු භාෂා ප්‍රගුණ කරමින් ඒ උගත් භාෂාවලින් පොත් ලියමින් දේශීය ජනතාවගේ දේශානුරාගය වඩවන්නට උත්සුක වූ ඇස් මහින්ද හිමියන් ජාතික වීරයකු ලෙසින් සැලැකීම පුදුමයක් නොවන්නේය.
(සියලුම ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
No comments:
Post a Comment