මුදල් සහ මරණය
(Photo from the Internet)
මෑතක දිනකදී කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකින් අපට අසන්නට ලැබුණේ අප කිසිසේත්ම ඇසිය යුතු ආකාරයක පුවතක් නොවේ. මුදල් ආධාර බෙදද්දී තිදෙනෙකු සිය ජීවිත ව්‍යසනයට මුහුණ පෑ ආකාරයකි ඒ පුවතෙන් කියැවුනේ.
ශ්‍රී ලංකාව ඇතුළුව මුළු ලෝකයම මේ දිනවල මුහුණදී සිටින්නේ කිසිවකුත් කිසි කලෙක අපේක්ෂා නොකළ අන්දමේ වසංගත උවදුරු තත්ත්වයකටය. ලොව පුරා විවිධ රටවල ජනතාව මුහුණදී සිටින මේ රුදුරු වසංගත රෝගී තත්ත්වය නිසා ලෝකයේ කොයි රටේත් ඒ රටට අනුකුළව මිනිසුන් නෙක ආකාරයේ දුෂ්කරතාවලට මුහුණදී සිටී.
මෙම වසංගත රෝගී තත්ත්වය නිසා කොයි රටේත් ජනතාවගේ එදිනෙදා ජීවිතය සාමාන්‍ය ලෙසින් ගත කිරීමේ අවස්ථාව ඒ සැමටම අහිමිවී ගොසිනි. ඒ නිසා තමන්ගේ එදිනෙදා ජීවිතය අවම මට්ටමකින් හෝ පවත්වා ගෙන යෑමට ජනතාවට තවත් කාගේ හෝ ආධාර උපකාර අවශ්‍ය වීම මෙවැනි ආපදා තත්ත්වයක් යටතේ ස්වාභාවිකය.
එවැනි හදිසි ආධාර ලබා දීම මෙවැනි හදිසි අවස්ථාවන්හිදීි පවරා ගන්නේ රටේ පවතින රජයය. නැති නම් එවැනි කටයුතු කිරීමෙහි සමත්කම් සහ පළපුරුද්ද ඇති සංවිධානය. පෞද්ගලිකව ද එවැනි කටයුත්තක් ඉටු කළ හැකිය. එහෙත් එවැන්නක් කළ යුත්තේ හොඳින් සංවිධානය වීමෙන් පසුවය.
මෑතකදී වාර්තා වූ අවාසනාවන්ත සිදු වීමට මුල්වී ඇත්තේ පෞද්ගලිකව ඉටු කරන්නට ගිය මුදල් ආධාර බෙදා දීමකි. එසේ බෙදනු ලැබූ මුදල් ආධාරයේ වටිනාකම රුපියල් දෙදහස්පන්සියයක් බව කියනු ලැබේ. ප්‍රශ්නය ඇත්තේ මුදලේ වටිනාකමේ නොවේ. එය බෙදීමේදී භාවිත කොට ඇති බවට අනුමාන කළ හැකි බෙදීමේ ක්‍රමවේදයේයි.
වාර්තා වන පරිදි ඒ මුදල් බෙදූ තැනැත්තා හැම වසරකම තම ආගමික උත්සවයක් අරමුණු කොට එසේ බෙදනු ලබන බව ද වාර්තා වෙයි. එහෙත් අනෙක් වසරවල මෙන් නොව මේ වසරේ සමාන්‍ය ජන ජීවිතය බොහෝ දුරට අඩාලවී ඇතැයි යන්න නිසි සැලකිල්ලට නොගැනීම මෙහි ඇතිවී ඇතැයි සිතෙන බරපතළ තත්ත්වයයි.
ආධාර බෙදූ පුද්ගලයාට තම ප්‍රදේශයේ සිට එන්නට බලපත්‍රයක් තිබුණු බව සඳහන් කරන අදාළ අනතුර සිදුවූ ප්‍රදේශයේ පොලීසිය ඊළඟට කියා සිටින්නේ මෙවැනි ආධාර බෙදීමක් සම්බන්ධයෙන් තමන්ව කලින් දැනුවත් කොට නැති බවයි. කෙසේ වෙතත් අනතුරෙන් පසු ආධාර බෙදූ පුද්ගලයා ඇතුළු තවත් කිහිප දෙනෙකු මේ වන විට ඇත්තේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේය.
මේ ඉතාම අවසානාවන්ත සිදුවීම පිටුපස සැඟවුණු දේ බොහෝ ඇති බව පෙනේ. එයින් මුල්ම කරුණ වන්නේ ජනතාව රැස්වීම තහනම් කොට ඇති මෙවැනි කාලයක තෙරපී මැරෙන්නට තරම් ජනතාවක් එකම තැනකට එක් රැස්වීමයි. එවැනි වාතාවරණයක් පාලනය කරන්නට කිසිවකුම ඉදිරිපත් නොවීම මෙහි ඇති බරපතළම තත්ත්වයයි.
ජනතා රැස්වීම් තහනම් කොට ඇති විටෙක සෞඛ්‍ය බලධාරීන්ගේ කොන්දේසි පිළිබඳව නිසි සැලකිල්ලකින් තොරව ජනතාව රැස් කිරීමට කෙනෙකු කටයුතු කළා නම් එවැනි තත්ත්වයක් ගැන ද සොයා බැලීම කළ යුතුය.
මේ සියලුම කරුණු අභිබවමින් ඉහළට මතු වෙන කරුණ වන්නේ මුදල් සඳහාවූ මිනිස් අවශ්‍යතාවයි. රුපියල් දෙදහස්පන්සියයක මුදලින් මහා ලොකු දේ කළ නොහැකි වුවත් ඒ මුදලවත් මේ වසංගත රෝගී තත්ත්වය යටතේ නොලබන කොටස්වලට ඒ මුදල කිව නොහැකි තරමේ වටිනාකමකින් සමන්විත විය යුතුය.
මිනිසුන් එන්නට ඇත්තේ එසේ තමන්ට ලැබෙන මුදල අතමිට මොළවා ගෙන එයින් කළ හැකි උපරිමය කරන්නට සිත තබා ගෙනය. එහෙත් ආධර මුදල දෙන්නට පැමිණි අයටත්, ආධාරය ලබන්න පැමිණි අයටත් කොතැනක හෝ විශාල වැරැද්දක් වන්නට ඇත.
ඒ වැරැද්ද දැන් නැවත නිවැරැදි කළ හැකි එකක් නොවේ. වැරැද්ද කොහේ තිබුණත් ඒ නිසා දැන් මිනිස් ජීවිත හානි තුනක් හානිවී අවසානය. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා හමාරය.
ජීවිත හානිය සංස්කෘතික, ආගමික හෝ භාෂාමය හෝ වශයෙන් හෝ තක්සේරු කළ නොහැක්කකි. කාගේ ජීවිතයත් සමාජයකට වටින නිසාය.
ඒ නිසා මින්මතුව හෝ ‘දීමේදී’ මෙන්ම ‘ගැනීමේදී’ ද පිළිගත් ක්‍රමවේදයකට අනුව කටයුතු කර ගන්නට සිතා ගැනීම පාඩමක් ඉගෙනීමට කැමති කොයි කවුරුත් කළ යුතු අගනා කටයුත්තකි.
No comments:
Post a Comment