Thursday, May 21, 2020

අපට සොබා දහම පැරද විය හැකි ද?


                      අපට සොබා දහම පැරද විය හැකි ද? 

          මිනිසුන් වන අප සිතා සිටින්නේ මේ ලෝකය නම්වූ සීමාකාරී වපසරිය ඇතුළත අපට කළ නොහැක්කක් නැති බවයි. යම්තාක් දුරකට එහි සත්‍යයක් ඇත. 
        
       හේතුව ලෝකයේ මිනිස් වාසය ඇතිවූ කාල වකවානුවට වඩා අද දියුණු ලෝකයේ මිනිසා බෙහෙවින් ඉදිරියෙන් සිටින බැවිනි. ඒ දියුණුව බොහෝ මාධ්‍යයන් හරහා පැතිරී තිබීම ද විශේෂත්වයකි. 

       සන්නිවේදනය, වෛද්‍ය , තාක්ෂණික ආදී වශයෙන් ගත්විට මේ දියුණුව පිළිබඳ සාක්ෂි ජන සමාජයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ඉතාම පැහැදිලිව දැකගත හැකිය.  

      මේ තත්ත්වය ඉතාම හොඳ ප්‍රවණතාවක් ලෙස මුළු ලෝකයම අනුමත කරන්නේ මිනිස් සමාජයේ ඉදිරි ගමනට ඒ සෑම දියුණු අංගයක්ම කුමන ආකාරයකින් හෝ ඉවහල් වන බැවිනි. මිනිසා ඒ කුමන ඉසව්ව ජය ගත්තත් තවමත් අභිභවනය කළ නොහැකිවූ ඉසව්වක් වන්නේ සොබා දහමයි.

     සොබා දහමේ නීති වෙනස්ය. ඒ නීති මෙන්ම සොබා දහමේ සාමාන්‍ය ඇවතුම් පැවතුම් ද වෙනස්ය.  ඒවා ඉටු කිරීමේ මෙන්ම ඉටු නොකිරීමේ ද වගකීම දරන්නේ සොබා දහමය. එසේම ඇවතුම් පැවතුම් පවත්වා ගැනීමේ හෝ පවත්වා නොගැනීමේ වගකීම දරන්නේ ද සොබා දහමයි.

    













සොබා දහමේ හැසිරීම් රටාව හරිම අපූරුය. සූර්යා ලෝකය නැති නම් හිරු රැස් නැතිව ගස් හෙවත් ශාක සිය ආහාර නිෂ්පාදනය කරන්නේ නැත. ගස්වැල් එසේ නොකරන්නේ නම් මූලික වශයෙන් මිනිසුන්ට තම ආහාර සපයා ගැනීමේ හැකියාවක් නැත.

    ශාකවල ඇති කොල පැහැති පත්‍ර ඇතුළත සිදු වන මේ අපූරු ආහාර නිපදවීමේ ක්‍රියාවලියට කාබන් ඩයොක්සයිඞ් (අංගාරිකම්ල) වායුව උපයොගී කොට ගෙන එහි අවසන් ප්‍රතිඵලයක් ලෙස මිනිසාට ශ්වසනය සඳහා වැදගත් වන ඔක්සිජන් (අම්ලකර) වායුව ගස්වැල් මඟින් වායු ගෝලයට මුදා හරිනු ලබයි. 

    



   කිසිම කෙනෙකුගේ අනුදැනුමක් මෙහෙයවීමක් හසුරුවාලීමක් නොමැතිව ස්වභාවධර්මය තමන් විසින්ම නිර්මාණය කරනු ලබන මෙවැනි අපූර්ව ක්‍රියාකාරීකම් මුළු ලෝකය පුරා තව කොතෙකුත් ඇත.මෙවැනි තත්ත්වයන් කිසිම අවස්ථාවක මිනිස් අතකින් පාලනය කිරීම කළ නොහැකිය. 

   
 

         එසේම ස්වභාවධර්මය විසින් කරනු ලබන ස්වකීය අපූර්ව නිර්මාණ සාමාන්‍යයෙන් ගත් කල ලෝකයේ දියුණු මිනිසුන් වන කිසිවකුට හෝ නැවත කළ නොහැකිය. මේ නිසා සාමාන්‍යයෙන් අප සලකනු ලබන්නේ ස්වභාවධර්මය විසින් පවත්වාගෙන යනු ලබන ඇවතුම් පැවතුම් වල වෙනස්කම් දියුණුයැයි සම්මත මිනිසුන් හට කළ නොහැකි බවයි.

   
 

      ගිනිකන්දක් යනු වසර දහස් ගණනක ස්වාභාවික හේතූන් නිසා ඇතිවන ප්‍රතිඵලයක් බව විද්‍යාඥයෝ පවසති. එහෙත් ඒ රසායනික විපර්යාස නිසා ඇතිවන අවසන් බිහිසුණු ප්‍රතිඵලය වන ගිනිකන්ද  කිසියම් දිනෙක පුපුරා යෑම වළක්වාලන්නට මෙතෙක් ක්‍රමයක් සොයා ගෙන නැත. දැනට දියුණු කොට ඇති ක්‍රම අනුව ගිනිකන්ද සක්‍රිය වන කාල සීමාව ගැන පූර්ව හඳුනා ගැනීමක් කළ හැකිය. ඒ අනුව කටයුතු කිරීමෙන් මිනිසුන්ට ඇති විය හැකි හානි වළක්වා ගන්නට හෝ හානි අවම කර ගැනීම හෝ කළ හැකිය. 

      

         මහ සයුරේ ඇති වන සුනාමි තත්ත්වයක් යනු සාගර පතුලේ ඇති වන දැඩි කම්පනයක් නිසා බිහි වන සයුරේ අස්වාභාවික රළ නැගීමකි. මෙවැනි අහිතකර පාරිසරික තත්ත්වයක් සම්පූර්ණයෙන්ම වළක්වාලිය නොහැකිය. හේතුව සාගර පතුලේ එවැනි තත්ත්වයක් ඇති වීමට පෙර කලින් හඳුනා ගැනීම අසීරු නිසාය. එහෙත් සයුරු පතුලේ ඇති වන එවැනි චලන ඇති වන බව දැන ගැනීමට දැන් ක්‍රමවේද සකසා ඇති නිසා සුනාමි තත්ත්වයන් ඇති වීම ගැන පූර්ව දැනුම් දීමේ පහසුකම් ලොව පුරා පවතී.   
     
     පෘථිවිය මත ජීවය පවත්වා ගෙන යෑමට සූර්යාලෝකය අත්‍යවශ්‍යවේ.  එහෙත් චණ්ඩ හිරු රැස් පොලොව වසා ගෙන දිගු කාලයක් පවතින විට ජනතාව පීඩාවට පත් වීම නතර කළ නොහැකිය.

   ජීවිතය පවත්වා ගෙන යෑමට ජලය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් අනවරත මහ වැසි වසිද්දී ජලාශ උතුරා ජලය පිටාර ගලා යද්දී ජන ජීවිතය පීඩාවට පත් වීම නතර කළ නොහැකිය. මහ වැසි වැටී කඳු කඩා ගෙන නාය යද්දී ඇති වන ජීවිත විනාශ වීම් පවා ඇතැම් විට නතර කළ නොහැකිය.
     මේ අනුව පෙනී යන්නේ කුමක් ද? මිනිසා විසින් සොබා දහමට එරෙහිව විනාශ කිරීම් දියත් කර ඇතිසේම සොබා දහම ද ඇතැම් විට යම් ක්‍රමවේද යොදා ගනිමින් පෘථිවි ජීවිතවලට බලපෑම් ඇති කරන බවයි.  
    
       සාමාන්‍ය සුළි සුලං මෙන්ම ඊටත් වඩා දරුණුවූ මහා චණ්ඩ කුණාටු රටවල් හරහා හමා යද්දී ඒ සඳහා ඔරොත්තු දීමේ පිළිවෙත් අනුගමනය කරනු හැර මිනිසාට දැනට වෙන කරන්නට දෙයක් නැත. එවැනි දරුණු කාලගුණික විපර්යාස වැළැක්වීමේ ක්‍රමවේද සකස් කිරීම කළ නොහැකි දෙයක් බවට පත්වී තිබේ. 

      ඉතා දරුණු නියග හමුවේ යම් ප්‍රමාණයක වැසි උපදවා ගැනීමක් හැරුණු කොට සොබා දහම ඉක්මවා යන තරමේ පියවර ගැනීමට මිනිසා තවමත් අසමත්ය.

      මේ හැම කරුණකින්ම පෙනී යන්නේ වර්තාමානයේ නොයෙක් ආකාර දියුණුවේ හිනි පෙත්තටම නැග සිටින මිනිසා තවමත් සොබා දහම ඉදිරියේ අසරණ බවය. සොබා දහමේ විවිධ චර්යා රටා ඉක්මවා යෑමට මෙන්ම ඒවා තමන්ගේ හැටියට හසුරුවා ගන්නටත් තමන් අසමත් බවයි.
           
       මේ නිසා මිනිසා විසින් දියුණු කළ යුත්තේ සොබා දහමට හැකි තරම් අනුකූලව කටයුතු කිරීමය. එහෙත් ඒ වෙනුවට මිනිසා කරන්නේ සොබා දහම සම්පූර්ණයෙන්ම අමතක කොට තමන්ගේ අද දවසේ ජීවිතය සැපවත් කරගත හැකි මං සෙවීමය. ඒ සඳහා සොබා දහම අමතක කිරීමට පමණක් නොව පයින් පාගා දැමීමට වුවත් මිනිසා පැකිළෙන්නේ නැත.

     විද්‍යාඥයන් දැනටමත් අනතුරු අඟවා ඇති පරිදි  නුදුරේදී ඇති වන ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම ලෝකවාසීන්ට සුබදායී තත්ත්වයක් උදා කරන්නේ නැත. එවැන්නකට මුල පුරා ඇත්තේ ද ලෝකවාසීන්ම වීම එක අතකට සරදමකි.  

      මිනිසකු පෘථිවිවිය මත ජීවත්වී සිටින්නේ කෙටි කාලයකි. බොහෝ විට ඒ කාලය අවුරුදු සියයකටත් අඩුය. එසේ ජීවත්වී සිටින කාලයේදී තම ජීවිතය තමන්ට හැකි උපරිමයෙන් සැපවත්ව ගෙවීමට ඒ මිනිසාට අයිතියක් ඇත. ඒ ගැන තර්කයක් ද නැත.

      එහෙත් තම ජීවිතය සැපවත්ව ගෙවන්නට සිතා අනාගතයේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙන්නට සිතන්නේ නම් ඒ අදහසේ සාධාරණ බවක් නැත.
මිනිසුන් වැඩිපුරම සිතිය යුත්තේ ඒ ගැනය.
   
    

No comments:

Post a Comment