Monday, March 4, 2019

අද දවසේ කවිය - 2019/03/05

                            අද දවසේ කවිය

"කථිකාචාර්යතුමාගේ බීමත්කම ජීවිතයක් බිලිගත් බව."


රියැදුරු බීමත්වී     සිටි හින්දා         තවත් අනතුරක් සිදු වන්නේ
ත්‍රිරෝද රථ දෙක, යතුරු පැදියටත්   අලාභානිනේ සිදු වෙන්නේ
ඒවායේ  ගැටුණාවු    තව කතක්       රෝහල තුළදී මිය යන්නේ
උගතුන් කියනා අය මේ විලසද හැසිරෙන්නේ සැකයක් එන්නේ


මීට මාස කිහිපයකට පෙර වෛද්‍යවරියක විසින් පොලිස් නිලධාරියකුගේ ජීවිතය නැති කොට දමා දරුවකුව අකර්මණය තත්ත්වයට පත් කොට දැම්මේ තමා පැදවූ රිය හේතු කොට ගෙන සිදුවූ අනතුරකිනි. ඇය එවේලෙහි සිටියේ බීමතින් බව පොලීසිය විසින් තහවුරු කොට තිබිණි.  
ඒ දිනවල කවුරුත් මහත් උනන්දුවෙන් මේ ගැන කතා කළත් දැන් කාටත් ඒ ගැන අමතක පාටය.

ඒ වෛද්‍යවරියකි. මේ කථිකාචාර්යවරයෙකි. තොරතුරුවලට අනුව පණස්හය වියැතිය.

මේ අනතුරින්ද ජීවිත හානියක්වී ඇති බව සනාථ වේ. වාහනයකට වන අලාභානියක් නම් කුමන ක්‍රමයකින් හෝ ඉවසා දරා ගත හැකිය. එහෙත් මේ නැති වන ජීවිත ගැන වග කියන්නේ කවුදැයි දැන් දැන් ප්‍රශ්නයක් නැගේ.
දොස්තර නෝනාගේ සහ සියලු දොස්තරුන්ගේ කීර්ති කදම්බය හීන දීන නොවන්නට වෛද්‍ය ප්‍රජාව මහත් වෙහෙසක් දැරූහ. දැන් මේ කථිකාචාර්යතුමන් අතින් බීමත්කම හේතු කොට ගෙන වූ බවට සනාථවී ඇති වැරැද්ද වසා හංගන්නට කවුරු එනු ඇතිදැයි දැනට සිතා ගන්නට අපහසුය.

 සමාජයේ සාමාන්‍ය මහ ජනතාව ඉදිරියේත්, ශිෂ්‍ය පරම්පරාව ඉදිරියේත් උගතුන් ලෙස පෙනී සිටින, උගතුන් ලෙස අප හඳුනා ගනු ලබන උදවිය බීමතින් නටන මේ පිස්සුව කවදා කෙසේ කොතනකින් කෙළවර වනු ඇතිද?

No comments:

Post a Comment