අද දවසේ කවිය
"බිංගිරියට නව කර්මාන්ත පුරයක්." (පුවතක්)
රජයන් පහුගිය කාලෙම කම්හල් අමතක කරලානේ දැම්මේ
පෞද්ගලික අය කරනා දේටත් නොකැරෙන පැත්තට ඇම දැම්මේ
කම්හල් ඇති කොට රැකියා වැඩි කොට දුවනට ඕනෑ රට හැල්මේ
එහෙම තියෙද්දිත් ඒවා අමතක කොටනේ වෙන වෙන වැඩ දැම්මේ
ශ්‍රී ලංකාවේ අතීත ජීවන උරුමය ලෙස සැලැකෙන්නේ කෘෂිකර්මාන්තයයි. එහි අදටත් එතරම් විශාල වෙනසක් ඇතැයි කිව නොහැකිය. එහෙත් අතීතයේදී කෘෂිකර්මය ඉස්මතුව ආ තත්ත්වයක් තිබුණද අතීත ශ්‍රී ලංකාවේ කර්මාන්ත නොතිබුණු බවක් හෝ ඒ කර්මාන්ත අතිශය පහත් මට්ටමක තිබුණු බවක් හෝ ඉතිහාසයෙන් ඇඟවෙන්නේ නැත.
කිසියම්ම රටක කුමන ආකාරයක හෝ කර්මාන්තයක් තිබිය නොහැකියැයි කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කිරීම අසීරුය.
අප රට තුළ කෘෂිකර්මය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සැලකුවත් අතීත ශ්‍රී ලංකාවේ යකඩ නිෂ්පාදනය පවා තිබුණු බව නොක්ස් සිය කෘතියේ සඳහන් කොට ඇත්තේය. ඒ එදා තත්ත්වයයි.
රටක්, ලෝකයක් දියුණු වෙද්දී පැරැණි තත්ත්වයෙන්ම ඒ රට තියෙන්නට ඕනෑ බවට සම්මතයක් නැත. තම රටේ සම්පත් භාවිතයෙන් හෝ වෙනත් රටවල ආධාර උපකාර ඇතිව හෝ රටට අහිතකර නොවන කර්මාන්ත ඇති කිරීම පත් වන රජයන්ගේ යුතුකම මෙන්ම වගකීමද වන්නේය.
එවැනි ව්‍යාපෘති යම් යම් පාලන සමයන්හී ඇති නොවුණාම නොවේ. එහෙත් ඒ ඇතිවූ කාලයේ සිට වර්තමානය වන තුරු ඵලදායී ලෙස පවතින්නේ ඒ කර්මාන්ත ව්‍යාපෘති අතරින් කීයෙන් කීයක්ද?
එසේම පසුගිය මෑත අතීතයේදී අලුතින් කර්මාන්ත කීයක් බිහිවූණැදැයි මෙන්ම ඒවායේ වර්තමානයද විමසා බැලීම වටී. හැම ව්‍යාපෘතියක්ම රජය පිටට ගැනීමට අසීරු වන්නට පුළුවන. එසේ නම් ඒ කොටස කරන්නට පෞද්ගලික අංශය දිරි ගැන්වීම වැදගත්ය. එහෙත් ඒ කිසිවක් නිසි ලෙස සිදු වන්නේද යනු ප්‍රශ්නයකි.
ශ්‍රී ලංකාවේ සියලු සාම්ප්‍රදායික නිර්යාතයන් පරදාලමින් ඇඟලුම් ජාතික ආදායම් පිහිටවූ කාලයක් තිබිණි. එසේම ඇඟලුම් සඳහා රජය විසින් අනේක පහසුකම් සපයන ලද යුගයන්ද තිබිණි. එහෙත් ඒ සියල්ල අද වන විට දියාරු තත්ත්වකට පත්වී නැතැයි කිසිවකුට කිව නොහැකිය.
රටක ශ්‍රම හමුදාවේ ඉන්නා හැම කෙනෙකුටම රජයේ රැකියා ලබා දෙන්නට කිසිම රජයකට හැකියාවක් නැත.
ඒ නිසා අලුතින් කර්මාන්ත අවස්ථා බිහි කර ශ්‍රම හමුදාවට රැකියා සපයා දීමේ වගකීම පිළිබඳව වඩාත් සැලැකිල්ල යොමු කිරීම ඉතා වැදගත්ය.
No comments:
Post a Comment