Wednesday, February 13, 2019

"විදෙස් රටින්" - විකිණිමට තිබේ, දූපතක්.


                                       

                                       දූපතක් විකිණිමට ඇත.



අප අවට සමාජයේ බොහෝ දේ විකුණන්නට තිබේ. එදිනෙදා ජීවිතයට අවශ්‍යදේ මෙන්ම එසේ නොවන යම් විශේෂදේද විකුණන්නට තබා ඇති අවස්ථා අපට දකින්නට ලැබේ. එසේම අසන්නට ලැබේ.
මේ එවැනි විශේෂ අවස්ථාවක් පිළිබඳව අන්තර්ජාලයෙන් උපුටා ගත් සටහනකි.
එක්සත් අරාබි එමීර්  රාජ්‍යයෙන් මේ අපූරු පුවත අසන්නට ලැබේ. එහිදී ඔබට මිලදී ලබා ගත හැක්කේ දූපතකි. ඒ දූපතත් අප සාමාන්‍යයෙන් දන්නා පරිදි ස්වාභාවිකව සකස්වූ බිම් කොටසක් නොවේ. මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කළ දූපතකි.
තවත් විසතර කරනවා නම් ඇත්තටම එහි ඇත්තේ දූපත් හතරකි. සිහින දූපත(Dream Island), පවන් දූපත(Breeze Island), නිදන් දූපත                ( Treasure Island) සහ දැකුම් දූපත (View Island) ලෙසින් ඒ     දූපත් හතර නම් කොට ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උතුරු දෙසට වන්නට පිහිටා ඇති මේ දූපත් එකතුව අක්කර හයසිය හැටක බිම් ප්‍රමාණයකින් යුතුය. වර්ග අඩි ප්‍රමාණය මිලියන පහකි.
මේ අපූරු දූපත නම් කොට ඇත්තේ “අල් මර්ජාන්” ලෙසය.    ‘අල් මර්ජාන් ’ සිට බැලූ විට අරාබි ගල්ෆ් කලාපයේ අති මනරම් දසුන් දැකිය හැකි බවයි කියැවෙන්නේ. එසේම ඇතැම් විට දකින දේ නිසා කිසියම් ත්‍රාසජනක බවක්ද ලැබිය හැකියි. කෙසේ වෙතත් මේ දූපතේ අරමුණ වන්නේ එහි ජීවත් වන අයට උපරිමයෙන්ම අධි සුඛෝපභොගී ජීවන අත්දැකීමක් ලබා දෙන්නටය.
සුන්දර වෙරළ තීර,  සුඛෝපභොගී නාන තටාක මෙහිදී හමු වන අතර අධි  සුඛෝපභෝගී ජීවන රටාව මෙහි වසන්නන්නට උරුම වනු ඇත.

‘අල් මර්ජාන්’ මිල කොට ඇත්තේ පවුම් මිලියන තුන්සිය හැටකටය. ඩොලර් නම් මිලියන හාරසිය හැට දෙකකි.
මේ තත්ත්වය අපට නම් අනන්තය දිහා ඇති සිහිනයක් මෙන් වුවත් මේ තත්ත්වයට ඔරොත්ත දිය හැකි ධනවතුන් ලෝකයේ ඕනෑ තරම් සිටිය හැකිය. ඔවුන්ගෙන් කිසිවකු නුදුරේදීම ‘අල් මර්ජාන්’ මිලට ගනු ඇත. 



(තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි.)

No comments:

Post a Comment