රැකියා විරහිත තරුණයකු සමාගමක කාර්යාල කාර්ය සහායක තනතුරකට අයදුම් කළා. සමාගමේ හිමිකරු මේ තරුණයාව සම්මුඛ පරීක්ෂණයකට යොමු කළා. ඉන්පසු කාර්යාල බිම ඔහු ලවා පිරිසිදු කරවා ගත්තේ ඔහුගේ ප්‍රායෝගික ශක්‍යතා පරීක්ෂා කරන්නටයි.
“අප ඔබව තෝරා ගන්නවා.” සමාගමේ හිමිකරු තරුණයාට කීවා. “මට ඔබේ ඊ මේල් ලිපිනය දෙන්න. මම ඒ ලිපිනයට ඔබ පුරවා අපට බාර දිය යුතු පෝරමය එවන්නම්. ඒ වගේ ම ඔබ මෙහි කටයුතු පටන් ගත යුතු දිනයත් දන්වා එවන්නම්.”
තරුණයා කිසියම් ප්‍රශ්නයකට මුහුණ දුන්නාක් වැනි වුණා. ඒත් ඔහු පිළිතුරක් ලබා දුන්නා.
“මට පරිගණකයක් නැහැ. ඒ වගේ ම ඊ මේල් ලිපිනයකුත් නැහැ.” ඔහු කීවා.
“ඒ ගැන කනගාටුයි.” සමාගමේ හිමිකරු කීවා. “ඔබට ඊ මේල් ලිපිනයක් නැති නම් අපේ සමාගමට සම්බන්ධ වෙන්නට බැහැ. ඒ නිසා ම ඔබට මෙහේ රැකියාවට බඳවා ගන්නට හැකියාවකුත් නැහැ.” හිමිකරු දන්වා සිටියා.
ජීවිතය පිළිබඳ අපේක්ෂා සිතින් රැස් කරමින් තරුණයාට ඒ සියල්ලෙන් බැහැර වන්නට වුණා. කිසිදු බලාපොරොත්තුවකින් තොරව ම ඔහු මඟට බැස්සා. තමන් ඊළඟට කුමක් කළ යුතුදැයි ඔහු දැන සිටියේ නැහැ. ඔහු සන්තකව ම තිබුණේ ඩොලර දහයක් පමණයි.
මේ මුදලින් කුමක් කරන්න ද? ඔහු කල්පනාවක යෙදුනා. යම් තීරණයකට එළඹි තරුණයා පොදු වෙළඳ පොළට ගියා. තමන් අත ඇති මුළු මුදල ම වියදම් කළ ඔහු තක්කාලි ඇසිරූ පෙට්ටියක් මිලට ගත්තා. ගෙයින් ගෙයට, දොරින් දොරට ගියා. පෙට්ටියේ වූ තක්කාලි සියල්ල ම අලෙවි කර ගත්තා. දෙපැයක්වත් යන්නට පෙර ඔහු තමා අතේ මුලින් ම තිබූ මුදල මේ වන විට දෙගුණ කර ගෙන තිබුණා.
එතැනින් නතර නොවූ ඔහු තව දෙවතාවක් ම මෙසේ තක්කාලි මිලට ගැනීමත් අලෙවි කිරීමත් නොකඩවා ම කළා. තරුණයා තම නිවසට ගියේ ඩොලර හැටක මුදලක් අතැතිවයි.
ඒ අනුව තරුණයා එක කරුණක් පිළිබඳව තීරණයකට ආවා. ඒ, තමාට මේ ක්‍රමයෙන් යම් දියුණුවක් ලැබීම කළ හැකි බවයි. පසුවදා සිට උදෑසනින් ම තම තක්කාලි අලෙවි කටයුතු සඳහා පිටත්ව යන්නට පුරුදු වූ ඔහු නිවසට ආවේ බොහෝ සවස්වීයි.
තරුණයා ක්‍රමයෙන් දියුණුව කරා පා නගමින් සිටියා. තම වෙළඳ කටයුතු සඳහා ඔහු කරත්තයක් මිල දී ගත්තා. ඒ මුල් ම පියවරයි. දෙවැනි පියවර වූයේ වඩා විශාල භාණ්ඩ ප්‍රවාහනය කරන රථයක් මිල දී ගැනීමයි. පසුව තමන්ගේ අලෙවි භාණ්ඩ තමන් විසින් ම ප්‍රවාහනය කළ හැකි ආකාරයේ රථ සමූහයක ම හිමිකරුවකු බවට පත් වුණා.
පස් වසරක් ගත වන විට මේ තරුණයාගේ සමාගම නගරයේ ප්‍රධානත ම ආහාර ද්‍රව්‍ය අලෙවිකරන සමාගම්වලින් එකක් බවට පත් වී තිබුණා.
තමාගේත් තම පවුලේත් ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව ගැන කල්පනා කළ ඔහු රක්ෂණාවරණයක් ගැනීමට කල්පනා කළා.
රක්ෂණ සමාගමක නියෝජිතයකු කැඳ වූ ඔහු තමන්ට ගැළපෙන රක්ෂණ සැලසුමක් තෝරා ගත්තා. මූලික සාකච්ඡාව අවසන් වූ පසු රක්ෂණ නියෝජිතයා තරුණයාගෙන් ඔහුගේ ඊ මේල් ලිපිනය ඉල්ලා සිටියා. තරුණයා එනම් වර්තමාන සමාගම් හිමිකරු කියා සිටියේ තමන්ට ඊ මේල් ලිපිනයක් නැති බවයි.
රක්ෂණ නියෝජිතයා ඔහු දෙස බැලුවේ කුතූහලයෙන්. ඒ කී දේ විශ්වාස කිරීමට අපහසු ලෙසින්.
“ඔබට ඊ මේල් ලිපිනයක් නැති ද?” රක්ෂණ නියෝජිතයා ප්‍රශ්න කළේ පුදුමයෙන්. “එවැන්නක් නැතිව වුවත් ඔබ මේ සා විශාල දියුණුවක් ලබා තියෙනවා. ඔබට නිකමටවත් හිතෙනව ද ඔබටත් ඊ මේල් ලිපිනයක් තිබුණා නම් ඔබේ තත්ත්වය කුමක් වේද කියා?”
මඳක් නිහඬව සිටි තරුණයා පසුව පිළිතුරක් දුන්නා.
“ඔව්. කාර්යාල කාර්ය සහායකයෙක්.”
(මූලාශ්‍ර ඇසුරිනි. කර්තෘ අඥාතයි.)
No comments:
Post a Comment