මේ කියන්නට උත්සාහ කරන්නේ ‘බුද්ධාගම’ කියන වචනය ගැනයි. අයින් කරන්න කියන්නේ බුද්ධාගම කියන වචනයයි. බුදු හාමුදුරුවන්ගේ දහමට අනුගත වූවන් බුදුන්ගේ ධර්මය හඳුන්වන්නේ ඔය විදිහටයි. හැම දෙනා ම නෙවෙයි. හැබැයි අතළොස්සකුත් නෙවෙයි. වැඩි දෙනා යොදන්නේ බුද්ධාගම කියන වචනය ම තමා. පුදුමේ කියන්නේ බොහෝ භික්ෂූන් වහන්සේලා පවා කියන්නේ බුද්ධාගම කියල ම තමයි.
දශක කිහිපයකට පෙර දරුවන්ට කියවන්නට ලැබෙන පොත් බොහොමයකත් තිබුණේ බුද්ධාගම කියන වචනයයි. මේ වචනය ලංකාවේ සමාජය තුළ සෑහෙන කාලයක ඉඳන් ම භාවිත වෙලා තියෙනවා. මේ වචනය මගින් බුදු හිමියන්ගේ ධර්මය හඳුන්වන්නට පටන් ගත් හේතුව නම් අපහැදිලියි.
‘බුද්ධාගම’ යන වදන සකස් වී ඇති අයුරු මඳක් විමසා බලමු.
බුද්ධාගම = බුද්ධ + ආගම විය යුතුයි. එයින් ගම්‍ය වන්නේ බුදුන් දේශනා කොට ඇත්තේ ආගමක් බවයි. මේ මතය සැබෑවක් ද? එසේ විය හැකි ද?
ආගමක් නම් ඇදහීමක් තිබිය යුතුයි. බුදු දහම පිළිගත් ජනතාව කෙටියෙන් කීවොත් බෞද්ධයන් යම් කිසි දෙයක් අදහනවා ද? අදහනවා නම් ඒ කුමක් විය හැකි ද? බුදුරුව / බෝධිය / චෛත්‍යය / ධාතූන් වහන්සේලා / වැඩ සිටි අරහත් සංඝ රත්නය / දේශිත ධර්මය / ධර්ම පුස්තක.
මේවා අතරින් කුමක් අදහනවා කියා ඔබ සිතනවා ද? එසේත් නැති නම් මෙහි සඳහන් නොවන වෙනත් කිසිවක් ඇදහිල්ලකට ලක් කරනවා ද?
අමතක කරන්නට එපා, ඇදහිල්ලක අවසන් ප්‍රතිඵලය කුමක් ද කියා. ඇදහිල්ලකට කෙනෙකුන් යොමු වන්නේ අවසානයේ තමන් ප්‍රාර්ථනා කරන කුමක් හෝ නිසා. එසේ තමන් ප්‍රාර්ථනා කරන තමන්ගේ දැඩි විශ්වාසය නිසා තමන්ට ලැබෙන බව සිතන කුමක් හෝ තමා කෙනෙකු ඇදහිල්ලකින් අපේක්ෂා කරන්නේ.
එසේ කිරීම වැරැද්දක් හැටියට දැකීම මේ සටහනේ අරමුණ නෙවෙයි. ඕනෑ ම සමාජයක ඕනෑ ම අයකුට තමන් කැමති දහමක්, දර්ශනයක් විශ්වාස කරන්නට හෝ එසේ නොකර ඉන්නට හෝ නිදහසක් තියෙනවා. ඒ නිසා අනුන්ගේ කටයුතු විවේචනාත්මකව දැකීම මෙහි අරමුණ නොවන බවත් වටහා ගත යුතුයි.
බෞද්ධයකු නම් පැහැදිලිව තේරුම්ගත යුත්තේ බෞද්ධයන්ට ‘අදහන්නට’ කිසිවක් ම නැති බවයි. එසේ ම ඇදහීම් සංකල්පයක ගැලී හිඳිමින් අවසානයේ ප්‍රාර්ථනා කරමින් පසුපස යන්නට ද කිසිවක් නැති බවයි.
මේ සටහන කියවන ඔබ මේ වන විට යම් අවිනිශ්චිත බවකට මුහුණ දී සිටින්නට පුළුවන්. අපි ඒ අවිනිශ්චිත බවෙන් මිදෙන්නට උත්සාහ කරමු.
බුද්ධ ධර්මයේ අදහන්නට දෙයක් නැහැ. බුදු දහමේ ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් විමසා පිළිගැනීම පමණයි. ඕනෑ ම දෙයක් නුවණින් විමසා බලන්නට තාර්කික වන්නට බුදු දහමේ ඉඩ සලසා තියෙනවා. අඩු ම වශයෙන් බුදුන් වහන්සේවත් දේශනා කරන්නේ නෑ, තමන් වහන්සේ කී පමණින් ම හැම දේ ම පිළිගත යුතු බවක්.
හොඳින් කල්පනා කොට බලන්න. බුදු දහමේ මූලික හරය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෝකෝත්තර ලෝකය තේරුමක් ඇතිව ගොඩ නගාගත යුතු ආකාරය මේ තුළින් විස්තර කරනු ලබනවා. අවශ්‍ය කෙනෙකුට ලෞකික වශයෙන් යහපත් ජීවිතයක් ගත කරන්නටත් වගේ ම අවශ්‍ය කෙනෙකුට ලෝකෝත්තර ජීවිතයක් ගත කරන හැටිත් බුදු බණේ හොඳින් ම විස්තර කැරෙනවා.
බුදු දහමේ ඇදහිය යුතු කිසිවක් මෙන් ම අන්ධ භක්තියෙන් කළ යුතු කිසිවක් ම නැති බව සිහිපත් කර ගැනීම ඉතා ම වැදගත්. කළ යුතු වන්නේ බුදුන් වදාළ ධර්මය පැහැදිලිව තේරුම් ගැනීමයි. ඒ මාර්ගයේ ගමන් කිරීමයි. ඒ මාර්ගය ඉතා ම පැහැදිලියි. ලෝකෝත්තර ජීවිතයක් නියමාකාරයෙන් ගෙවීම අසීරු වන්නට පුළුවන්. එහෙත් එහි අවසානය වන්නේ සංසාර ගමනින් එතෙර වන්නට ලැබීමයි. ඒ සඳහා කැපවීම් කළ යුතුයි. එය සැබෑවක්. ඒත් එහි ප්‍රතිඵලය පුදුමාකාරයි. එවැනි ජීවිතයක් ගත කළ යුතු වෙන්නේ අවබෝධයෙන් යුතුවයි. ඇදහීම් වලින් ඒ කිසිවක් කරන්නට බැහැ.
කළ යුත්තේ නියමාකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. බුදුන් ජීවමාන කාලයේ දඹදිව වෙනත් ලබ්ධීන් හැටහතරක් තිබුණා. එයින් අප තේරුම්ගත යුත්තේ බුදු සසුන ගැන පැහැදුනු අය මෙන් ම වෙනත් ආගම් වැළඳ ගත් අයත් අතීතයේ බුදුන් වැඩ සිටි සමයේ සිටි බවයි. බුදුන් වැඩ සිටි සමයේ රහතුන් හිටි බව අප දන්නවා. ඒ තත්ත්වය ඉතා ම පැහැදිලියි. එහෙම රහතුන් වහන්සේලා බිහිවීම එතැනින් අවසන් වන්නේ නැහැ.
බුද්ධෝත්පාදයක් නැති කාලවලත් රහතන් වහන්සේලා බිහි වෙන්නට පුළුවන්. ඉතා ම සුලබ නොවුනත් එය එසේ විය හැකියි. එහෙම වෙන්නේ කොහොම ද? නැවතත් හිතා බලන්න. එතැන පවතින්නේ ධර්ම මාර්ගයේ අපූර්වත්වයයි. වටිනාබවයි.
මාර්ග ඵල ලබන්නට අවසානයේ රහත් බව ලබන්නට බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිය යුතු ම නැහැ. බුද්ධ දේශනාව අනුගමනය කිරීම පමණක් ම ඇති. මේ තමා බුදු දහමේ ඇති වෙනස වගේ ම ඇති වැදගත්කම.
මාර්ග ඵල කිසිවක් ම උත්සාහයෙන් තොරව ලබන්නට බැහැ. ඒ කිසිදු උතුම් තත්ත්වයක් කාගෙන්වත් ඉල්ලා ගන්නට බැහැ. එසේ ලබා දෙන කෙනෙකුන් හෝ ලබා දිය හැකි කෙනෙකුන් හෝ බුදු දහම තුළ හෝ සසුනේ හෝ නැහැ. කවමදාවත් එවැනි කෙනෙකු හිටියේ නැහැ වගේ ම ඉදිරියට ඉන්නටත් බැහැ. අවම වශයෙන් බුදුන්ටවත් කෙනෙකුට මාර්ග ඵල ලබා දෙන්නට බැහැ. ඒ ලබන මාර්ගය කියා දෙන්නට හැකියි. බුදුවරයකුගේ උතුම් කාර්යභාරයත් ඒක ම තමා.
තේරුම් ගන්න. බුදු දහම තුළ අදහන්නට දෙයක් නැහැ. දේශිත මාර්ගය පිළිගැනීම සහ අනුගමනය කිරීමයි කළ යුතු. ඇදහීම් ඇති තැන තමා ආගමක් කියා දෙයක් පැවතිය හැක්කේ. ඒ නැති තැන ආගමක් නැහැ.
ඒ නිසා බුද්ධාගම කියන වචනය අත හරින්න. භාවිතයෙන් ඈත් කරන්න. ඔබ වැඩිහිටියකු නම් දරුවන්ටත් ඔවුන්ට තේරෙන ආකාරයෙන් කියා දෙන්න.
අප යෝජනා කරන නිසා ම නෙවේ. ඔබත් මේ ගැන නිදහස් මනසින් යුතුව කල්පනා කොට බලන්න.
නිවැරැදි දේ කරන්න.
No comments:
Post a Comment