“ඈත කඳුකර හිමව් අරණේ” ගීතය බිහිවන්නේ මුද්‍රා නාට්‍යයක් ඇසුරින්. ඔබ මුද්‍රා නාටක ගැන අසා ඇති බොහෝ විට. එම වර්ගයේ නාට්‍ය හඳුන්වන ආකාරයෙන් ම ඔබට හැඟෙනවා ඇති මෙම නාට්‍ය සාමාන්‍ය අප දන්නා වේදිකා නාට්‍ය සම්ප්‍රදායෙන් වෙනස් වන බව.
මෙහිදී දෙබස් භාවිතයක් නැහැ. පසුබිම් ගීත, සංගීතය හා විශේෂයෙන් ම නර්තන භාවිතයෙන් තමා සම්පූර්ණ නාට්‍යය ම විකාශය වන්නේ. නාට්‍යයේ පූර්ණ අර්ථය ප්‍රේක්ෂකයා විඳගත යුත්තේ නාට්‍යයේ නළු නිළියන්ගේ අංග චලන හා නර්තන වින්‍යාසයන් ඇසුරින්.
මේ විදිහට කල්පනා කරන විට ඔබට දැනේවි මෙවැනි නාට්‍යයක් නිර්මාණය මෙන් ම ඉදිරිපත් කිරීමේදී ද මොන තරම් අසීරුතා විඳගත යුතු ද කියා.
මුද්‍රා නාට්‍ය සඳහා නුපුරුදු වටපිටාවක් තිබියදීත් චිත්‍රසේන නම් කලාකරුවා “නල දමයන්ති” මුද්‍රා නාට්‍යය නිර්මාණය කරන්නේ අලුත් අත්දැකීමක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින්.
“නල දමයන්ති” කියන්නේ අපේ රටට අයිති කතා මූලාශ්‍රයක් නෙවෙයි. මේ කතාව අපට ඇහෙන්නේ අපේ අසල්වැසි රටෙන්. ඉන්දියාවෙන්. මේ කතාවත් හරි අපූරුයි.
අපි කෙටියෙන් ඒ ගැනත් කතා කරලා ඉඳිමු.
දමයන්ති ඉතා ම රූමත් තරුණ රජ කුමරියක්. නල, නිෂධ නම් රාජ්‍යයේ රජු. ඔහු ඉතා ම කඩවසම් තරුණයෙක්. ඒ වගේ ම ඔහු අසුන් මෙහෙයවීමේ අති දක්ෂයෙක්.
මේ දෙදෙනා ඔවුනොවුන්ට ආදරය කරන්නට පෙළඹෙන්නේ එකිනෙකා නොදැකමයි. මේ අපූරු ආදරයට උදව් කරන්නේ හංසයෙක්. ඒ වගේ ම දෙවිවරුත් මේ කතාවට සම්බන්ධ වෙනවා. වෙනස් සහ කාටවත් හිතා ගන්නට අසීරු බොහෝ සිදුවීම් අතරින් මේ කතාව ගලා ගෙන යනවා.
අප මේ සටහනට උක්ත වශයෙන් තැබූ ගීතය මුද්‍රා නාට්‍යයේ යොදා ගෙන ඇත්තේ නල රජතුමන්ගේ රූපශ්‍රීය වර්ණනය කිරීම සඳහායි.
අපේ ගීත සාහිත්‍යයේ ගීත බොහෝමයක් ම අරමුණු කර ගන්නේ තරුණියගේ එහෙමත් නැති නම් පෙම්වතියගේ රූසිරු වර්ණනයයි. ඇයට ඇති පෙම ගැන කියන්නටයි. මේ බොහෝ ගීත ඉතා ම රසවත්. ඒ පිළිබඳ කිසිදු වාදයක් නැහැ.
“ඈත කඳුකර හිමව් අරණේ” ගීතය රචනා කොට ඇත්තේ නල නම් වූ තරුණ කඩවසම් රජතුමාගේ රූපය ගැන වර්ණනා කරන්නටයි. අපේ ගීත සාහිත්‍යයේ මේ ගීතයට සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ ඒ නිසයි. තරුණ ළඳකගේ රුව වර්ණයෙන් ඔබ්බට ගොස් ඒ වෙනුවට තරුණ පුරුෂයකුගේ රුව වර්ණනයට ගීතය යොදා ගැනීමයි.
ඈත කඳුකර හිමව් අරණේ - සීත චන්දන ළපළු සෙවණේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ ළදැලියන්ගේ හීන අතරේ මැවේ ඒ රූපේ
රනින් කළ වන් පුළුල් උරයෙන් - හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරන ආදරේ සඳේ සොමිගුණ යා කෙරේ සරාගී නිල් නුවණ් බඳුනින් නුරා ඉතිරෙන්නේ
මේ ගීතයේ රචකයා වූයේ මහගම සේකරයි. සේකරයන්ගේ කවි ගීත රචනා ගැන අප අමුතුවෙන් ටීකා ලිවිය යුතු නැහැ. ඒ තරමට ම ඔහුගේ ප්‍රබන්ධ සාරවත්. ගුණවත්
ඒ සියල්ල අමතක කොට මේ ගී පද දිහා බලන්න. නල රජුගේ රූපය ගැන මෙන් ම ඔහු නොදැක ම ඔහු හා පෙමින් බැඳුණු දමයන්තියගේ සිතැඟි සේකරයන් විසින් කදිමට සිය ගී පද අතරේ සඟවා තියෙනවා. ගීතයේ හැම වචනයක ම ඔහු අඩංගු කොට ඇත්තේ යොවුන් ආදරය හා සබැඳි ආකර්ෂණිය බවයි. මිහිරියාවයි.
‘ඈත කඳුකර හිමව් අරණේ - සීත චන්දන ළපළු සෙවණේ’ ගීතයේ මුලින් ම යෙදෙන මේ ගී පද අපට සිහිපත් කරන්නේ ඉතා ම නිසංසල එමෙන් ම සොඳුරු බවක් දනවන පිටාවක්. එවැනි පරිසරයක් අප කෙදිනවත් දැක නැතත් ගීතයේ පද සහ ගායනය තුළින් අප සිත ඇතුළත එවැනි පරිසරයක් ගැන හැඟීමක් ඇති කරනවා.
‘සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ’
සොඳුරු මතක සටහන් අවදි කරන පරිසරය හරහා හමා යන සුළඟ රැගෙන එන්නේ ඔහුගේ (නල රජුගේ) මතකය බව සේකරයන් ඒ සමග ම අපට මතක් කරයි.
‘සඳැල්ල’ යන වදන සාමාන්‍යයෙන් යොදන්නේ සඳළුතලය (balcony) නැති නම් උඩුමහලක ඉදිරිපස විවෘත කොටස හඳුන්වන්නටයි. ගීතයේ සඳැල්ල යන වදනින් අරුත් ගන්වන්නේ ඉහළ අහසයි. ‘මිණි තලාව’ ‘තාරකා පිපි වෙලාව’ ආදී යෙදුම් මගින් සේකරයන් උත්සාහ කරන්නේ විසිතුරු රාත්‍රී අහස ගැන කියන්නටයි. ඒ විසිතුරු මැදින් මැවී පෙණෙන්නේත් තරුණ ලඳුන්ගේ ආදරණීය සිහින රූප කාය වූ නල රජුයි.
මේ ගීතයෙන් දනවන ආදරයේ ආදරණීය බව සංගීත ස්වර සමග කදිමට මුසු කරන්නේ සංගීතවේදී ලයනල් අල්ගමයි. සංගීත විෂයය පිළිබඳ මනා පරිචයක් ඇති අල්ගමයන් චිත්‍රසේනයන් නර්තන මුද්‍රාවෙන් හඟවන දේ මෙන් ම මහගම සේකර වචනයෙන් කියන දේ ද මනා ලෙස ග්‍රහණය කොට ගෙන තිබෙනවා. එසේ නොවූවා නම් මේ ගීතය මෙතරම් සංවේදී බවකින් යුතුව නිර්මාණය නොවන්නට තිබුණා.
චිත්‍රසේන, මහගම සේකර සහ ලයනල් අල්ගම යන තිදෙනාගේ ම නර්තන, ගේය පද සහ සංගීතමය දායකත්වයේ අවසන් අග්‍ර ඵලය ලෙස සැලකෙන්නේ ගායනයයි. ඒ කටයුත්ත ඉතා ම සංයමයකින් හා හඬ අලංකරන ආදියෙන් යුතුව මනා ලෙස ඉටු කරන්නේ පණ්ඩිත් අමරදේවයන්. ඔහුගේ ළයාන්විත ගායනය මුද්‍රා නර්තනයෙන් තොරව වුවත් ඉතා හොඳින් රස විඳිය හැකියි.
මේ වන විටත් දශක හතකටත් වඩා පැරණි එසේ ම තවත් දශක කිහිපයක් ම පැවැතිය හැකි මෙම ගීතය ඒ තත්ත්වයේ පවතින්නේ ඒ සඳහා දායකවී ඇති සියලු කලාකරුවන්ගේ නිර්ව්‍යාජත්වය නිසා විය යුතුයි.
පසු සටහන : මේ ගීතය ඔබට අන්තර්ජාලයෙන් සොයා ගෙන රස විඳිය හැකියි.
නොඑසේ නම් මෙම ලින්කුවෙන් යූටියුබයට පිවිසෙන්න.
https://youtu.be/ytg0oz_eXH4
No comments:
Post a Comment