Sunday, September 27, 2020

බුදු හාමුදුරුවන් පසු කොට යෑම

 

බුදු හාමුදුරුවන් පසු කොට යෑම

හිටපු ජනාධිපතිවරයකුවූ ජේ. ආර්. ජයවර්ධන මහතා වරක් රජයේ රෝහල්වල හෙද ප්‍රශ්නයක් මතුවූ අවස්ථාවකදී එම වෘත්තිය සංගමයේ සභාපති ධූරය දැරූ හිමි නම සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු වශයෙන් ජනාධිපතිතුමා සඳහන් කොට තිබුණේ හෙදියන්ගේ සමිතියක සභාපති ධූරයකට හිමිනමක් සුදුසු නැති බවයි. සාකච්ඡාව සඳහා රජය නියෝජනය කිරීමට ජනාධිපතිතුමා පත් කළේ එවකට විදේශ ඇමති ධූරය දැරූ ඒ. සී. එස්. හමීඞ් මහතාය. ජේ ආර් පාලය ගැන නොයෙක් කතිකා තියෙන්නට පුළුවන. එහෙත් මේ ප්‍රශ්නයේදී ජනාධිපතිතුමා දැරූ ස්ථාවරය පිළිබඳ සැලකිලිමත්වීම සුදුසුය.

දේශපාලනය සමග භික්ෂූන් වහන්සේ නමකගේ නම ගෑවෙන්නේ අතිශය බිහිසුණු මිනීමැරුමක කොටස්කරුවකු ලෙසයි. ඒ, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණාඩාරනායක මහතාගේ ඝාතනයයි. පසු කාලයක පෙළපාලියකට සහභාගීවූ හිමි නමක් වෙඩි පහරකින් මිය ගිය බව වාර්තා වෙයි. 

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ අවුරුදු කිහිපයක්ම ගෙවී යනතුරු මන්ත්‍රී හිමිවරු ගැන වාර්තා වන්නේ නැත එවැනි පළමු පත්වීම වාර්තාවීමත් සමග භික්ෂූන් වහන්සේලා, ගිහි මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ලක් වැසියන්හට අරුමයක් නොවන්නට වූයේය.

 පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් රට තුළ දැල්වූ සදහම් ආලෝකයේ උදව්වෙන් කරළියට පැමිණි තවත් හිමිවරු කිහිප නමකගේ ‘ධාර්මික ගමන’ අවසන් වූයේ පාර්ලිමේන්තුවෙනි. එසේ පැමිණි එක හිමිනමක් අවසානයේ සිය පාර්ලිමේන්තු ගමන අවසන් කළේ ගුටිබැට කෑමෙන් පසුවය.

භික්ෂු දේශපාලන නාටකයේ අලුත්ම විගඩම වන්නේ පාර්ලිමේන්තුවේ එක අසුනක් සඳහා චිර ප්‍රසිද්ධ ‘හිමිවරු‘ මෙන්ම දැන් දැන් නම කියැවෙන ‘භික්ෂූන් වහන්සේ නමක්’ නිර්ලජ්ජිත විවෘත තරගයකට අවතීර්ණවී සිටීමයි.

මේ ’උන්නාන්සේලා’ මේ අවතීර්ණවී සිටින්නේ තරගයකටයි. එය එසේ මෙසේ තරගයක් නොවේ. රටේ උත්තරීතර මණ්ඩලයේ ගිහි පිරිස හා සමව වාඩි වෙන්නට ඇති අසුනක් සඳහායි. සැබැවින්ම මෙවැනි තරග සහ කතිකා බුදු පියාණන් වහන්සේගේ සසුනේ පැවිදිවී එහි වත්පිළිවෙත් පුරන බවට එකඟවී සිටින භික්ෂූන් වහන්සේලාහට කැප දෙයක් ද? 

“තරග කුමකට බුදුන් පුදනට?” කියා සුනිල් එදිරිසිංහයන් මීට කලකට පෙර ගැයූ තම ගීතයකින් අසන්නේ පන්සලේ සල්පිලේ මල් වට්ටි වෙන්දේසියේ යෙදෙන ගිහියන්ගෙනි. ඒ සියල්ල ඉවසා වදාරන පන්සලේ භික්ෂූන් වහන්සේලාගෙනි. පන්සලක් ඉදි වන්නේ බුදුන් වහන්සේ උදෙසාය. පන්සලකට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය වන්නේ ධර්ම රත්නය සහ සංඝ රත්නය නියෝජනය කරන්නටය. 

එවැනි උත්තතර වගකිමක් ඇතිව පැමිණෙන භික්ෂූන් වහන්සේලා පන්සලේ නතරවී සිය ශාසනික යුතුකම් ඉටු කරන්නට පෙළැඹෙන්නේ නැත. ඒ වෙනුවට ‘සමාජ’ හදති. එයින් කියැවෙන්නේ පොදු සමාජය වෙනුවෙන් ශාසනිකව කැප වීම නොවේ. තමන් වහන්සේ විසින් තමන් වහන්සේගේ පන්සලට තමන් වහන්සේගේ දායකයන්ට සම්බන්ධ විය හැකි ‘සංගම්’/‘සංසද’ සෑදීමයි. වෙන ලෙසකින් කිව හොත් තමන් වහන්සේගේ නම ප්‍රචලිත වීමට පහසු වන සේ වෙන් කොටගත් 'මිනිස් කව’ සාදා ගැනීමයි.    

ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙවැනි ‘දහම් සංසද’ සාදා ගැනීම සද්භාවයෙන් යුතුව කරන්නක් විය හැකිය. එහෙත් එවැනි ‘කොටු කර ගැනීම්’ නිසා සිදු වන්නේ බෞද්ධ දායක පිරිස් එක් එක් සමාජ ධාරා ඔස්සේ පෙළ ගැසීම නොවේ ද? එයින් සිදු වන සුවිශේෂී ශාසනික මෙහෙවරක් වේද? එවැන්නක් ගැන නම් දැන ගන්නට තරම් දෙයක් නැත. 

ඇතැම් භික්ෂූන් වහන්සේ නමක් තමන් වහන්සේට වඳින ගාථාවක් සාදා ගනිති. එයින් තමන් වන්දනය කරන්නට තම පන්සලට යන එන දායකයන් පොළඹවති. අප දන්නා ලෙසින් සඟ ගුණ ගැයෙන්නේ “සුපටිපන්නෝ ... ” ලෙසිනි. එයින් මතු වෙන වෙනම සංඝයා නැමදීමට ගාථා අුැත්තේ නැත. ඇත්තේ බුදු පියාණන් නමදින ගාථා පමණි.

එසේ තමන් වහන්සේ නමදින ගාථාවක් හදා ගෙන භාවිත කරන්නට කිසියම් භික්ෂුවක් පෙළඹෙන්නේ ඇයි? තමන් වහන්සේ බුදුන් වහන්සේ හා සමාන කර ගන්නට ද? 

සඟ සමාජයේ එක් කොටසක් බුදු දහම පෙරටු කොට තබා ගෙන එයින් අනිසි ඵල නෙළා ගැනීමට වෙර දරන්නාහ. තව කොටසක් චීවරය උර මත දමා ගෙන ජනතාවගේ කර මතින් දේශපාලන ඵල නෙළා ගෙන භුක්ති විඳින්නට වෙර දරති.

මේ හැම දෙනාම යත්න දරන්නේ සමාජයේ කොටස් හට නිර්මල බුදු දහම දේශනා කරමින් නිවනට මඟ පෙන්වන්නටද? එවැන්නක් සිදු වන බවක් අවබෝධ කර ගන්නට තරම් අපට නුවණක් නැති වීම කෙතරම් අභාග්‍යයක් ද? 

 එවැනි නුවණක් අපට නැති වීම නිසා එයින් ඵල ලබන්නට කවර තරම් භික්ෂු පිරිසක් විවිධ තරග ඉසව්වලට යොමු වී සිටිති. එහෙත් ඒ කිසිවක් නිවැරැදිව තේරුම් ගන්නට තරම් සම්මා වායාමයක් අපට ඇත්තේ ද? නැත්තේ ද?  

බුදු දහම යනු තමන් විසින් මනා සේ අවබෝධ කරගත යුතු දහමකි. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන අපට නොතේරෙන බුදු දහමේ හරය වටහා දීමේ මහඟු වගකීම පැවරෙන්නේ භික්ෂූන් වහන්සේලාටය. ඒ වගකීම අමතක කොට ඇති බොහෝ භික්ෂූන් කරන්නේ තමන්ට දහම විසින් කැප කොට දී නැති වෙනත් න්‍යායන් පසුපස යමින් සසර දිගු කර ගැනීමට උන්වහන්සේලාගේ හැටියට ‘සම්මා වායාමයන්හී’ යෙදෙන්නටය.


No comments:

Post a Comment