Friday, September 25, 2020

“අප සහ අපේ බස”

 “අප සහ අපේ බස”

අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වෙමු. ඒ එසේ වුවත් අප අවශ්‍යම අවස්ථාවලදී හැර අපේ භාවිතය සඳහා යොදා ගන්නේ අපට ආවේණික භාෂාවන්ය. එහි කිසිදු ගැටලුවක් නැති බව පිළිගත්, එසේම පිළිගත හැකි කරුණකි. එයින් කිසිවකුට වන හානියක් හෝ අවමානයක් හෝ නැත. කතාබහ කරන හැම විටකදීම කවුරුත් උත්සාහ කරන්නේ අපේ අදහස අනෙකාට කියන්නටය. අපේ අවශ්‍යතාව අනෙකාට ඒත්තු ගන්වන්නටය.

 ලෝකයේ හැම රටකම ජීවත් වන විවිධ ජන කොටස්වලට ඔවුනට ආවේණික භාෂාවක් ඇත. ඔවුන් සිය කටයුතු සඳහා ඒ බස යොදා ගැනීම ශිෂ්ට ලෝකයේ සාමාන්‍ය දෙයකි. කිසියම් අවශ්‍යතාවක් මත ඔබ ඉංග්‍රීසි බස දේශීය බස ලෙස භාවිත නොකරන රටකට ගිය විට ඔබ නොදැනුවත්වම මුහුණ දෙන ගැටලුවක් ඇත්තේය. ඔබ එහිදී ඉංග්‍රීසි බස යොදා ගන්නේ ඔබ ඔවුන්ගේ ආවේණික බස නොදන්නා නිසාය. ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන් ඔබ ඉදිරියේ ඉංග්‍රීසි බසින් කතා කළත් ඔබ නොදැනුවත්වම ඔවුන් ඉංග්‍රීසි බස ප්‍රතික්ෂේප කරන බව ඔබ දැන සිටියාද? ඒ ඔවුන් ඉංග්‍රීසි බස හසුරුවන මිනිසුන් ගැන ඇති තරහකට නොවේ. ඉංග්‍රීසිය ගැන ඇති ද්වේෂයකින් ද නොවේ. ඔවුන් තමන්ගේ බසට වඩාත් ලැදි නිසාය. කිසියම් ලෙසකින් යම් තරමකින් හෝ ඔබට ඔවුන්ගේ බස කතා කළ හැකි නම් ඔවුන් වඩාත් සතුටක් දක්වන්නේ ඒ වෙනුවෙනි. 

 තමන්ගේ මව්බස තමන්ට මිහිරි විය යුතුය. විචිත්‍ර විය යුතුය. අදහස් ප්‍රකාශනයේදී වඩාත්ම තමන්ට අවනත විය යුතුය. එය ඕනෑම බසක් කතා කරන ඕනෑම රටක වැසියකුගේ සමාජීය  අනන්‍යතාවකි. 

අප මේ ලියන කියන බස එනම් සිංහල බසත් ඒ හා අනුකූල විය යුතුය. අපේ මේ ‘බස’ සිංහල ලෙසින් හඳුන්වන්නට පටන් ගෙන ඇත්තේ බොහෝ අතීත කලයක් සිට බව අපි අසා ඇත්තෙමු. ඒ සඳහා පසුබිම සපයන සාධක ද ඒ ගැන දන්නා කියන වියතුන් අත ඇත්තේය.

අතිතයේ විසූ රජවරු ඇතැම් අඥාවන්, නියම කිරීම්, පැවරුම් ආදිය අක්ෂර භාවිත කොට ගල්වල කෙටවූහ. අප ‘සෙල්ලිපි’ ලෙසින් හඳුන්වන්නේ එවැනි කෘතීන්ය. එහෙත් ඒ බස සාමාන්‍ය ඔබට මට පහසුවෙන් කියවා තේරුම්ගත නොහැකිය. ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබිය යුතුය. එසේ වන්නේ ඒ අක්ෂර අද භාවිතයේ ඇති අක්ෂර හා සර්ව සම නොවන නිසාය.

“අමල් මරුන් සහස්සයුන් - හස්සන්ජල්ලා” - මේ වැකිය ඔබට කියවිය හැකි බවට සැකයක් නැත. එහෙත් තේරුම් ගැනීම කළ නොහැකි වනු ඇත. ඒ තත්ත්වය මට ද එසේමය.   

ඒ වැකිය උපුටා ගත්තේ ගුරුදෙවි සුනිල් ශාන්තයන්ගේ ගීතයකිනි. එතුමන් සිය ගීතයකට ඒ යොදා ගත්තේ සීගිරි කුරුටු ගීතයකිනි. සීගිරි යුගයේ ලියැවුණු අක්ෂර පවා අපට එකවර එසේ කියවීමත් තේරුම් ගැනීමත් අසීරුය. සීගිරියේ ලියැවුණු ‘කුරුටු ගීත’ ලෙසින් හඳුන්වන නිර්මාණ සමුච්චය පසුකාලීනව සෙනරත් පරණවිතාන වැනි පුරාවිද්‍යා වියතුන් විසින් තේරෙන බසින් පොත්පත්වල ලියන ලදී.

ඒ තවත් එක්තරා යුගයක බසේ පැවැත්මයි.

ඒ බොහෝ දේ සිදු වූයේ අප නොදන්නා යුගයන්හිදීය. පසුකාලීනව මෑත අතීතයේදී සිංහල බස කිසියම් පිළිවෙළකට සකසා ගන්නට, බසේ වියරණ පිළිබඳ පැහැදිලි තත්ත්වයක් සකසන්නට සහ ඒ තත්ත්වයන් එලෙසින්ම පවත්වා ගෙන යන්නට හෙළ බස ගැන අවබෝධයෙන් යුතු විධිමත් ලෙස කටයුතු කළ හැකි පිරිසක් කටයුතු කළහ. ‘හෙළ හවුල‘ නම්වූ  සංවිධානය එවැනි සම්මා ව්‍යායාමයක ප්‍රතිඵලයකි.

ඒ එසේ වුවත් කාලය ගෙවී ගොස් සමාජීයය අදහස් උදහස් වෙනස් වෙද්දී භාෂාවට ද යම් බලපෑම් ඇතිවීම වැළැක්විය නොහැකි විය. 

කාලය නොයෙක් ආකාරවල විපර්යාස සඳහා බඳුන් වෙද්දී සිංහල භාෂාව ද සමගාමීව වෙනස්කම්වලට ගොදුරු වූවා විය යුතුය. ‘අක්ෂර වින්‍යාසය' -'වචනයක අකුරු නිවැරැදිව සකස් විය යුතු පිළිවෙළ' ගැන නොයෙක් මතිමතාන්තර ඇති විය. බොහෝ අයට න, ණ, ල, ළ විකාරයක් විය. මතක තියා ගන්නට නොහැකි බව හෝ නොසලකා හැරීම හෝ නිසා අක්ෂර වින්‍යාසය යම් සීමාවල නතර විය. තනි නිපාත පද එක්කොට හෝ වෙන් කොට හෝ ලිවීම පිළිබඳ රීති නව්‍යකරණය විය. අද්‍යතන සිංහල උගතුන් නිවැරැදි සිංහල සඳහා පොත්පත් ලිවීමෙන් පමණක් තෘප්තිමත්වූ බවක් පෑහ.  

සිංහල බසේ ඇති ගරුත්වයට තදින්ම හෙණ වදින්නට පටන් ගත්තේ සාමාන්‍ය සිංහල බසවත් හරියට හසුරුවන්නට නොදන්නා නිවේදක නිවේදිකාවන් පිරිසක් බිහි වෙන්නටවූ නිසාය. මේ සිංහල බස නිසි ලෙස හසුරුවා ගන්නට බැරි බලකාය බිහි වූයේ බොහෝ පෞද්ගලික ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා හරහාය. ඔවුන් බොහෝ දෙනෙකුට උවමනා වන්නේ තමන්ට/ තම සමාගමට අවශ්‍ය දේ අසන්නන්ට, නරඹන්නන්ට සමීප කිරීම පමණි. එය කෙසේ සරලව නිවැරැදිව කරන්නේදැයි ඔවුන් දන්නා බවක් පෙනෙන්නට නැත. මේ තත්ත්වය ඔවුන්ගේම තනි වරදක් නොවුනත් ඔවුන්ට එයින් මිදෙන්නට නොහැකි වන්නේ සන්නිවේදනය ඔවුන් හරහා සිදුවන බැවිනි.  

ඒ තත්ත්වයන් මොනවා වූවත් බසේ පරිහානියේ ගමනට ඔබත් මාත් දෙපාර්ශවයම පරම්පරා ගණනක් තිස්සේ වගකිව යුතු කාර්ය භාරයක් ඉටු කරමින් සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. ඒ තත්ත්වයෙන් මිදෙන්නට ඔබට නොහැකිය. මට ද නොහැකිය. ‘ඊයේ එවැන්නක් කළ නොහැකි විය. අද ද එවැන්නක් කළ නොහැකිය. අනිවාර්යයෙන්ම හෙට ද එවැන්නක් කළ නොහැකි වනු ඇත.’ ඉතින් තවත් කතා කුමට ද? 

කලකට පෙර මෑත අතිතයේ කිසියම් බලගතු රටක පැවැත්වූ ඔලිම්පික් තරගයේ සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාළියේ ගමන්ගත් අපේ රටේ කණ්ඩායමේ දෙපාර්ශවයම සැරැසී සිටියේ ‘මිශ්‍ර’ ඇඟලුම් වලිනි. අනෙක් රටවල්වල සියලු කණ්ඩායම් තමන්ගේ රටට ආවේණික කුමන හෝ සුදුසු  ඇඟලුමකින් සැරැසී සිටිනු දැකගත හැකි විය.  

ඇත්තටම අපට කියා ආවේණික ඇඳුමක් ඇති ද? එවැනි ඇඳුම් ඇති බව කියා ඔබ පිළිතුරු කිහිපයක්ම දෙනු ඇති. එය එසේ නම් අප කීයෙන් කී දෙනෙකු ඒ ඇඳුම එලෙසින්ම භාවිත කරනු ලබයි ද?

ඇඳුමේ තත්ත්වය එසේ නම් අපේ බස අප භාවිත කරන්නේ කෙසේදැයි කෙටියෙන් සලකා බැලීමේ කිසිදු දොසක් නොවන්නේය. 

“මචං උඹේ කෝල් එක එන කොට මම හිටියේ බස් එකේ. ඒකයි මට ඒ වෙලාවේ හරියට ආන්සර් කරන්න බැරි වුණේ සොරි මචං.”

“අපි බස් එකේ නොගිහින් ට්රේන් එකේ යමු. ඒක ගොඩක් කම්ෆටබල්.”

“එයා ටිකක් ලේට් වෙලා ආවේ මාව මීට් වෙන්න. ඒත් අපට ටයිම් තිබුණා කතා කර ගන්න.”

මියුසිකල් ෂෝ එකේ ටිකට් ඔක්කොම කලින් බුක් වෙලා බං.”

“අපි කැබ් එකකින් අම්මව හොස්පිට්ල් අරං යමු. අපේ වෙහිකල් එක දැම්ම ගෙන්න ගන්න බෑ.”

මෙලෙසින් සිතා බැලූ විට අප, අපේ බස ලෙස සාමාන්‍යයෙන් නිතරම යොදා ගන්නේ මිශ්‍ර බසක් බව වැටහී යනු ඇත. ඒ අනුව කල්පනා කිරීමේදී හැඟී යන්නේ අපට කියා ආවේණික භාෂා වින්‍යාසයක් අප සතුව දැන් නැති බවයි. අපේ මේ භාවිතයෙන් අත් මිදෙන්නට අපට කිසිදා හැකි වේයැයි සිතන්නට කිසිදු ඉඩකඩක් පේනතෙක් මානයකවත් නැත.

ඊටත් ප්‍රබල භාෂාමය හේතුවක් ඇත. ඒ අපේ සාමාන්‍ය සරල භාවිතයේදී නිවැරැදි සිංහල යොදා ගන්නට ඇති අපහසුවයි. මේ ගැන සිතා බලන්න. අඩුම වශයෙන් සිංහලෙන් කතා කරද්දී හැකි තරම් සිංහල වචන යොදා ගෙන කතා කරන්නට උත්සාහයකවත් යෙදෙන්න. ඉංග්‍රීසියෙන් කතා කරද්දී අප සිංහල වචන යොදා ගන්නේ නැති බව සිහිපත් කර ගන්න. 


No comments:

Post a Comment