Tuesday, October 1, 2019

ධම්මපදයට පිටුපාලා ද?



නහී වේරෙන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්තී
ඒස ධම්මෝ සනන්තනෝ

මේ ලෝකයේ කිසිවිටෙකත් වෛර කිරීමෙන් වෛරය සංසිඳෙන්නේ නැත. වෛර කරන පුද්ගලයා කෙරෙහි වෛර නොකිරීමෙන් - නොකර සිටීමෙන් වෛරය සංසිඳේ. මේ සත්‍ය ධර්මය කිසිදු කලෙක වෙනස් නොවන්නේය.

මේ ගාථාව සඳහන් වන්නේ ධම්ම පදයේ’,  යමක වග්ගයේ. එසේම මේ ගාථාව මෑත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ කිසියම් ආකාරයක අනන්‍යතාවක් දක්වන ගාථවක් ලෙස හැඳින්වීමේ ද දොසක් තිබිය නොහැකිය. ජාත්‍යන්තර සමුළුවකදී ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා මේ ගාථාව  ප්‍රකාශ කොට එහි අරුත ද විස්තර කොට දී ඇත්තේය. අපේ අසල්වැසි රටක් වන ජපානයට නිදහස ලැබීමට බල පෑ අතිශය වැදගත් කරුණක් වී ඇත්තේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශයයි.

ශ්‍රී ජයවර්ධන පුර රෝහල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන මෙන්ම ගොඩනැගිලි හා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ද ජපානය විසින් මෙරටට පරිත්‍යාග කොට ඇත්තේ එදා ඒ ජනපතිතුමා බුදු දහමට අනුව කතා කොට වෛරය නුසුදුසු දෙයක් බව ජාත්‍යන්තරයටම පෙන්වා දුන් නිසාය.

එහෙත් අද බහුල වශයෙන් සිදු වන්නේ කුමක් ද? එකිනෙකා කෙරෙහි වෛරය පතුරුවමින් කෑකෝ ගැසීමයි. මේ තත්ත්වය තත්කාලීන ශ්‍රී ලාංකීය ජන සමාජයේ දකින්නට, අසන්නට ලැබෙන ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

අනුන්ගේ සොරකම් ගැන කතා කිරීම, අනුන් මිනීමැරූ හැටි කතා කිරීම තුළින් යම් ජන කොටසක් බලාපොරොත්තු වන්නේ තමන් එහෙම නොකළ බව හෝ නෙකාරන බව හෝ කියාපෑම ද? ඒ එසේ නම් ඒ කියාපෑම තුළ අන්තර්ගත වන්නේ තමන් එසේ නොවන නිසා තමන්ට ජනතාවගේ කැමැත්ත ලබා දෙන ලෙස ද?  මේ කතා කියා පාමින් ජන හදවත් තුළ තව කවුරු හෝ කෙරෙහි වෛරය ඇති කරන්නට අපේක්‍ෂා කරන්නේ සාමාන්‍ය  මහජනතාවම නොවේ. රටේ බලගතුම තැන්වල සිටින ඇතැම් උත්තමයන්ය.

සිංහල බෞද්ධ ලෙසින් අපම හඳුන්වා ගන්නා අපේ රටේ සාමාන්‍ය මහජනතාවට වඩා උසකින් වෙසෙන තවත් කොටසක් විසින් බෞද්ධකමටත් නිගා දෙමින් මේ එකිනෙකාට කියා ගන්නා හිස් නිෂ්ඵල කතා කවරක් ද? කුමක් සඳහා ද?

මේ සියල්ල දෙසමින් ඍජුව හෝ ව්‍යංගයෙන් හෝ මහජනතාවගෙන් අයැද සිටින්නේ  කුමක් ද?  බලයයි. මහජනතාව ස්ව කැමැත්තෙන් ලබා දෙන බලය ලබා ගැනීමට වෛරී බව සිත්සතන් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගන්නා අපේ රටේ අය; අපේම අය, අපටම උගස් තියති.

එහෙම උගස් කරමින් අපෙන්ම බලය ඉල්ලති

මහජනතාව සතු බලය තමන්ට ලබා දෙන මෙන් ඉල්ලන උදවිය කළ යුතුව ඇත්තේ එකිනෙකාට දොස් පවරමින් වෛරී බව සිත් තුළට ඇතුළු කිරීම නොව තමන්ගේ ඉදිරි දර්ශනය කාටත් තේරෙන භාෂාවෙන් විනයක් ඇතිව මහජනතාවට අවබෝධ කිරීමට උත්සාහ කිරීමයි. මහජනතාව ඉදිරිපිට අනාගතය ගැන කිසියම්ම ආකාරයක හෝ  චිත්‍රයක් මැවෙන්නේ එවිටය. 

කාට බලය දිය යුතුදැයි විමර්ශනාත්මකව සිතා කටයුතු කිරීමේ මානව නිදහස ඒ සැමටම ලැබෙන්නේ එවිටය. එසේ වන්නේ වෛරී බවකින් තොරව යමක් ගැන සිතන්නට තරම් සුදුසු වාතාවරණයක් තම සිත තුළ සකස් වන නිසාය.
මහජනතාවට තමන් සිතා ක්‍රියා කිරීමේ නිදහස ඔවුන්ට ලබා දීමට මං සැලැස්වීම කාගේත් යුතුකමකි.

කවුරු හෝ කිසියම් දේශ විරෝධී කටයුත්තක් කර ඇති නම් ඒ සඳහා අදාළ නීති අනුව යමින් වරදකරුවන් නීතිය ඉදිරිපිටට කැඳවා ගන්නට තරම් ශක්තිමත් බල මණ්ඩලයක් වැනි ආයතනයක් ක්‍රියාත්මක කිරීම වගකිව යුත්තන්ගේ අයිතියකි. ඒ ගැන නිතර නිතර සඳහන් කරන්නට පෙළඹුනත් ඒ ගැන නිසි සේ ක්‍රියාත්මක නොවීමක් වන්නේ නම් ඒ ගැන වගකීම ද අදාළ උදවිය බාර ගත යුතුය. ක්‍රියාවෙන් තොර නිරන්තර සඳහනකින් පමණක් කිසිවක්ම සිදු නොවන බව ද වටහා ගැනීම වැදගත්ය.

No comments:

Post a Comment