Sunday, February 3, 2019

මධුමතී - MADHUMATHI











දේවේන්ද්‍ර තම මිතුරු වෛද්‍යවරයකුද සමග සිය බිරිය හා දරුවා කැඳවාගෙන ඒමට දුම්රිය පොළට යයි. අතරමඟදී බලාපොරොත්තු රහිත අකරතැබ්බයකට මුහුණ පායි. තද  සුළඟද මුසුව නොනවත්වා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා පාරට වැටුණු රූස්ස ගසක් කරණ කොට ගෙන ඔවුන්ගේ ගමනට අවහිර පැමිණෙයි. තව දුරටත් යා නොහැකි තත්ත්වය හමුවේ දෙදෙනා අසල පිහිටි  ගරා වැටුණු පැරැණි මන්දිරයකට ගොඩ වෙයි. (වාහනයේ රියැදුරු උදව් සොයා ගෙන යයි.) ප්‍රදේශයේ ඉඩම් හිමි අවසන් ධනවතා සතුව ඇති පැවැති මෙය දැන් පාළුවට ගොස් ඇති බවක් පෙනෙයි.

මන්දිරය තුළට පිවිසි දේවේන්ද්‍රට තමා මීට පෙර මෙහි පැමිණ ඇති වගක් හැඟෙයි. ඔහු එහි තිබිය යුතු පින්තූරයක් ගැන මුරකරුගෙන් අසයි.  පුදුමයකට මෙන් එවැන්නක් තිබූ බව ගෘහය බලා ගන්නා මහලු මුරකරු පිළිගනියි. දොස්තර හිතවතාගේ නිගමනය මේ සියල්ලක්ම දේවේන්ද්‍රගේ සිත චංචල වීම නිසා මතුවූ කල්පනාවන් බවයි. එහෙත් දේවේන්ද්‍ර තමා විසින්ම අඳින ලද චිත්‍රයක් ඔහු තිබූ පරිද්දෙන්ම එතැන තිබෙනු දකියි.

නිමේෂයකින් දේවේන්ද්‍රට සිය අතීතය මතකයට නැගෙයි. ඒ සමගින් පෙර භවයක අමරණීය ආදරයක විශිෂ්ටත්වය විදහා දක්වන සිදුවීම් මාලාව එකිනෙක තිරයේ ඇඳෙයි.

උග්‍ර නාරායන් සහ සමාගම දැව කර්මාන්තයේ යෙදෙන ප්‍රබල ආයතනයක් වෙයි. ප්‍රදේශයේ පාරම්පරික ගෝත්‍රික ජනතාවට හිරිහැර කරන මෙහි අධිපති උග්‍ර නාරායන් සල්ලාලයෙක් ලෙස ප්‍රකටයි. මෙම සමාගමේ කළමනාකරුවකු හැටියට ආනන්ද නමින් ඔහු එම ප්‍රදේශයට පැමිණෙයි. එසේ සිටින අතර චිත්‍ර ඇඳීම ඔහුගේ විනෝදාංශයක් කර ගනියි. මෙම ප්‍රදේශයේ ගෝත්‍රික නායකයාගේ එකම දියණිය මධුමතී හමුවන්නේ මේ අතරතුරයි. 
ආනන්ද් හා මධුමතී අතර පෙම් සම්බන්ධයක් හට ගනියි. සොබාදහමේ දායාදයන් පරිසරය කොට ගෙන ඔවුන්ගේ පෙම දිනෙන් දින මෝරා වැඩෙයි. දැව සමාගමේ අධිපති උග්‍ර නාරායන් එයට එරෙහිව ව්‍යාජ හේතුවක මුවාවෙන් ආනන්ද් දින කිහිපයකට වෙනත් පෙදෙසක සේවයේ යොදවයි. එහෙත් ආනන්ද යටතේ සේවය කරන බර්සින් නම් බේබද්දා මධුමතී වෙත ගොස් පෙම්වතා පෙම්වතා හදිසි අනතුරකට ලක්ව මන්දිරයේ සිටින බව පවසයි. පියාද නිවසේ නොසිටි මේ මොහොතේ ඇය එහි දිව යයි. එය ආනන්ද්ගේ ප්‍රධානියාවූ උග්‍ර නාරායන් ඇටවූ උගුලක් බව ඇයට වැටහුණේ පසුවයි. 
පෙරළා දැව සමාගමේ ප්‍රධාන ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ආනන්ද සිය පෙම්වතිය වූ මධුමතීගේ  නිවසට යයි. ඇය දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව පියා ඔහුට විස්තර කරයි. ඇයව සොයන ඔවුන්ට මධුමතී මීට දින කිහිපයකට කලින් උග්‍ර නාරායන්ගේ මන්දිරය දෙසට ගිය බවට හෝඩුවාවක් ලැබෙයි. එහි යන ආනන්ද්ට මන්දිරයේ සේවකයෝ පහරදී අසල වතු යායකට දමති.

රෝහලකදී ප්‍රකෘති සිහිය ලබන ආනන්ද් ආපසු ගොස් උග්‍ර නාරායන් ඇතුළු  පිරිසගෙන් පළිගැනීමට සිතයි. එවිටම මධුමතීගේ වැනි රුවක් ඇති තරුණියක් ඔහුට හමුවෙයි. ඇගේ උපකාරයෙන් මධුමතී අතුරුදන් වීමේ රහස හෙළි කර ගැනීමේ වැඩ පීළිවෙළක් සකසා ගනියි. ඒ අනුව ඇය මධුමතී මෙන් සැරැසී මන්දිරයට පැමිණීමට දිනයක් යොදා ගනියි. 
එදිනම ඇයට පළමු ආනන්ද් මන්දිරයට ගොස්  උග්‍රනාරායන්ගෙන් තමා අතින් වරදක් වූවා නම් සමාව අයැද සිටියි.

හදිසියේම මන්දිරය අඳුරු වෙයි. නැවත ආලෝකවත් වන විටම මධුමතී සල්ලාල උග්‍රනාරායන් ඉදිරියේ පෙනී සිටියි. තමාව රවටා මන්දිරයට ගෙන්වා අතවරයක් කිරීමට සැරැසෙද්දී  තමා ඉන් බේරීමට උඩුමහලෙන් පහළට පැන්න බවත්, තම සිරුර වත්තේ වළලා ඇති බවත්  අනාවරණය කරයි. උග්‍රනාරායන් වියරුවෙන් තුවක්කුවක් අතට ගෙන තමා යළිත් මධුමතී විනාශ කර දමන බව හඬගා ප්‍රකාශ කරයි. සැඟව සිටි පොලිස් නිලධාරීන් උග්‍රනාරායන් අත් අඩංගුවට ගනියි.

මේ සියල්ල දෙස උපේක්‍ෂාවනේ බලා සිටින මධුමතී සිනාසෙයි. කිසිවත් නොදොඩා උඩුමහලට දිව යයි. ඇය පසුපස හඹා යන ආනන්ද් උඩුමහලෙන් බිමට වැටී මියැදෙයි. මේ මොහොතේ මධුමතීගේ අතුරුදන් වීමේ රහස හෙළි කර ගැනීමට එකඟව සිටි තරුණියත් පැමිණෙයි. ඇයට කලින් මිය ගිය මධුමතීගේ ආත්මය රහස හෙළි කර
අපරාධකරුවා නීතියේ රැහැනට හසු කරදී අවසානයි.


මේ වූ කලී 1959 ෆිල්ම් ෆෙයාර් සම්මාන නවයක් එනම් හොඳම අධ්‍යක්‍ෂ බිමල් රෝයි, හොඳම සංගීත අධ්‍යක්‍ෂ සලීල් චෞද්රි, හොඳම කැමරා ශිල්පී දිලිප් ගුප්තා, හොඳම සංස්කරණ ශිල්පී හරික්‍ෂිකේෂ් මුකර්ජි, හොඳම දෙබස් රචක රාජේන්ද්‍රසිංහ බේඩි,  හොඳම කලා අධ්‍යක්‍ෂ සුරේන්ද්‍ර රෝයි, හොඳම පසුබිම්  ගායනය ලතා මංගේෂ්කාර්, හොඳම සහාය නළුවා ජොනී වෝකර් සමග හොඳම චිත්‍රපටියවූ මධුමතී කතාවයි. එමඟින් ඉදිරිපත් කළ කතා පුවත එතෙක් සිනමාවෙන් කතා නොකළ පැති කඩකි. ඉන් ආත්ම දෙකක කතාවක් කියැවිණි. ඊට පුනරුත්පත්තියයැයි කියත හැකිය.
පුනරුත්පතිය යනු යළි ඉපදීම බව බුදු දහම අනුව ප්‍රකාශිතයි. පන්සිය පනස් ජාතකයෙන් එය මනාව සනාථ කර තිබේ. බටහිර රටවල එතරම් ප්‍රබලව පිළි නොගන්නා මේ සත්‍යය ප්‍රබලව සිනමා මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කිරීමේ  ගෞරවය නිතැතින්ම කීර්තිමත් ඉන්දියානු සිනමා කරුවකුව සිටි රිත්වික් ඝටක් වෙත හිමි විය යුතුය. සිනමාවේ වාණිජ අංග හැටියට සලකන නැටුම්, ගැයුම්, විහිළු සංකලනයෙන් ප්‍රබල සත්‍යයක් ජනතාව අතරට ගෙන ඒමට ඔහුගේ කතා පිටපත සමත් විය. එහි ආත්ම දෙකක අමරණී පෙම්වතුන් (ආනන්ද්-දේවේන්ද්‍ර) දිලිප් කුමාර් හා (මධුමතී-බිරිය) වෛජයන්ති මාලා වූහ. සෙසු චරිතයන් ප්‍රාන්, ජොනි වෝකර්, ජයන්ත් තිවාරි, මිස්රා, බායිජ් ශර්මා, බහදුර්  අද්වානි, ජගදිස්, රංජිත් සූඞ්, තරුන් බොස් දායකව සිටියහ.


 බුදු දහමින් වඩාත් පෝෂණය වන අප රටේ බුදු වදනට අනුව පුනරුත්පත්තිය කෙරෙහි විශ්වසනීය පැහැදීමක් ඇත. අනෙක් අතට වරින්වර තමන්ගේ පෙර භවය ගැන පාපෝච්චාරණය කරන සිදුවීම් ඊට කදිම නිදසුන් වෙති. මේ නිසාදෝ මධුමතී චිත්‍රපටිය මෙරටේ  අමතක නොවන විදෙස් චිත්‍රපටි අතරට වැටී මේ වන විට වසර 57ක් ගෙවී අවසානය. 
1960 මසංගස් හන්දියේ කැපිටල් සිනමාහලෙන් ප්‍රදර්ශනයට පැමිණි  මධුමතී චිත්‍රපටිය ඉන් වසර 25කට පසු යළිත් බොරැල්ලේ ලිඩෝ සිනමාහලේ පෙන්වූයේ නොසිඳෙන ජනප්‍රියත්වය නිසාය. තවද මධුමතී කතාව අනුකරණය කරමින් සිංහල චිත්‍රපට දෙකක්ද නිපදවා ඇති බව නොරහසකි, ඉන් එකක් 'වසන්ති' (1961) වෙයි අනෙක 'යළි ඉපදේ' නමින් 1977 තිරගත විය.  
සංයුක්ත තැටි හඳුනා ගැනීමත් සමගම මධුමතී විත්‍රපටිය නිවසේ සිට නැරඹීමේ අවස්ථාව ලක් ජනතාවට උදා වූයේ 90 දශකයේදීය. එහි තවත් පියවරක් තබමින් ඉංග්‍රීසි සහ සිංහල උපශීර්ෂ සමගින් නැරැඹීමටත් හැකි විය.  දැන් එහි සිංහල හඬ කැවූ සංඛ්‍යාන තැටිය (DVD) ' ආත්ම දෙකක පෙම්වතිය' නමින් නිකුත්ව තිබීමද නොසිතූ සිදුවීමකි. ඩබ්ලිව්. ජයසේන ද අල්විස් නිෂ්පාදිත මෙය දෙබස් පරිවර්තනය කරමින්  සිංහල හඬ කවා ඇත්තේ ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා විසිනි. 








Madhumati

First released on 12 th September, 1958.
Salil Chaudri - Music Director
Dilip Kumar (Dr. Devendra- Anand)
Film Director


Shailendra - Song Lyricist
                                                                  
Vijayanthimala- Madhumati
Praan - Ugranarayan
Johanny Walker - Barsingh
       

No comments:

Post a Comment