Friday, February 15, 2019

ඉත්තෑ පාඩම







මේ ශීත ඍතුවයි. ඒත් වෙන වාරවලට වඩා මෙවර ශීතල බොහෝම වැඩියි. වනන්තරේ හුඟාක් සතුන් මේ දැඩි ශීත කාලගුණය ඉවසන්නට බැරිව මිය යන්නට පටන් ගත්තා.  

වනයේ වෙසෙන ඉත්තෑවුන්ටත් මේ දැඩි ශීත ඒ විදිහටම බලපෑවා. හැබැයි ඔවුන් නම් තීරණය කළේ  මේ තත්ත්වයට හොඳින් මුහුණ දිය යුතු බවයි. 
ඉත්තෑවුන් තීරණය කළා හැම දෙනාම එකට එකතු වෙලා අනෙක් කෙනාට ඉතාම සමීපව සිටිමෙන් හැම දෙනාටම උණුසුම ලැබිය හැකි බව.

ඒ අනුව ඔවුන් රංචු ගැහී හැම දෙනාම අනෙකාට හැකි තරම් සමීපව ඉඳිමින් ශීතල වළක්වා ගත්තා. 
ඒ වුනත් බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් ඇති වුණා එකිනෙකාට ළං වෙන හැම විටකදීම ඉත්තෑ සිරුරේ ඇති කූරු අනෙකාගේ ඇඟේ හැපීමෙන් තුවාල ඇති වෙන්නට පටන් ගත්තා. මෙන්න මේ හේතුව නිසා ඉත්තෑවුන් අතර නොසන්සුන්තාවක් ඇති වුණා. කවුරුවත් කැමති වුණේ නැහැ අනෙකා නිසා තුවාල හදා ගන්නට.
ඔන්න ඒ අය එකිනෙකාගෙන් ඈත්  වෙන්නට  පටන් ගත්තා. අනේ!  එහෙම වුණහම මොකද වුණේ ? තනි වෙන ඉත්තෑවුන් අධික ශීතල නිසා මියෙන්නට පටන් ගත්තා. 

දැන් නම් ඔවුන්ට තීරණයක් ගත යුතුම වුණා. තුවාල ඇති වුණත් එක ළඟටම වෙලා ඉඳලා ශීතලෙන් බේරෙනවද, නැතිනම්  වෙන් වෙන්ව ඉඳලා මිය යනවාද කියලා.

අවසානයේ ඉත්තෑවුන් තීරණය කළේ නැවතත් එකට හිඳිමින් ශීතලට මුහුණ දිය යුතු බවයි.
ඔවුන් තීරණය කළේ අනෙකාගේ සිරුරේ ඇති කූරු නිසා ඇතිවෙන සුළු තුවාලය ඉවසා දරා ගෙන ළංව හිඳිමින් හැම දෙනාම දැඩි ශීතලෙන් ආරක්‍ෂා විය යුතු බවයි. 
මේ පිළිවෙළ දිගටම අනුගමනය කළ නිසා ඉත්තෑවුන් සාර්ථකව දැඩි ශීතලට ඔරොත්තු දෙන තත්ත්වයකට පත් වෙලා දිවි ගලවා ගත්තා.

සුළු අඩුපාඩුකම් ඇති වුවත් ඒවා ඉවසා දරා ගෙන සහ ඒ සඳහා කුමන හෝ පිළියමක් යෙදීමෙන් ඒවාට මුහුණ දෙන්නට ලක ලැහැස්ති වීමෙන් ප්‍රශ්න සඳහා සාර්ථකව මුහුණ දිය හැකියි.

ඒ තමා ඉත්තෑ පාඩම.











(මූලාශ්‍ර ඇසුරෙනි.)

No comments:

Post a Comment