ව්යාඝ්ර පුත්‍ර
අතීතයේ එක්තරා යුගයක මැද වයසේ මාතාවක්- ඇගේ නම චෙන් මා තම එකම පුත්‍රයා සමග වාසය කළාය. ඔවුන් දිවි ගෙවූයේ වනය ආශ්රිත ප්‍රදේශයකයි. මේ වනගත පෙදෙස පිහිටා තිබුණේ ෂාන්ක්සි ප්‍රදේශයේ පාලනයට යටත්වයි.
මහලු මාතාවගේ තරුණ පුත්‍රයා ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමට පළාත්බද අධිකරණයෙන් බලපත්‍රය ලැබූ අයෙක් විය. ඔහුගේ පියාත්, පියාගේ පියාත් මේ ව්යාඝ්ර දඩයමේ නිපුණයෝ වූහ.
මේ සතුන්ගේ සම් මස් ඇටකටු ආදිය විකිණීමෙන් ලබන ආදායම තරුණයාටත් මවටත් සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට තරම් සෑහුණේය.
මහලු මවගේත්, පුත්රයාගේත් මේ සාමාන්‍ය දිවි පැවැත්ම වෙනසක් නොවී පැවැතුණේ ඊළඟ කටුක ශීත ඍතුව දක්වා පමණි.
ශිත කාලයේ පැවැති තද හිම කුණාටු අවස්ථාවකදී චෙන් මාගේ පුත්‍රයා තම සහෝදර දඩයම්කරුවන්ගෙන් වෙන්වූවා පමණක් නොවේ. කුසගින්නෙන් පෙළුණු ව්යාඝ්ර දෙනකගේ ගොදුරක් බවටද පත් වූයේය.
මහලු මාතාව - චෙන් මා මේ සිද්ධිය නිසා බලවත් ලෙස කම්පාවට පත් වූවාය. තම සැමියාගේ වියෝවෙන් පසු තමාට තිබූ එකම ආරක්ෂාවත්, හව්හරණයත් නැති වීමෙන් ඇය දැඩිසේ සිත් තැවුලට පත් වූවාය. ජීවිතය ගෙන යන්නට තිබූ එකම මඟ ඇහිරීමෙන් ඇය බලවත් බලාපොරොත්තු කඩවීමකටද පත් වූවාය.
කවදා හෝ එළැඹෙන තම මරණය තෙක් තම ජීවිතයේ ඉතිරි කොටස ගෙවන්නේ කෙසේදැයි යනු දැන් ඇය ඉදිරියේ තිබූ බලවත්ම ප්රශ්නයයි.
මේ සම්බන්ධයෙන් විසඳුමක් පතා ඇය පළාතේ මහේස්ත්රාත්තැන හමු වන්නට ගියාය. තමාගේ එකම ආරක්ෂකයාවූ, තමන්ට ජීවත් වීමට හව්හරණක් සැපැයූ තම එකම පුත්‍රයාගේ හදිසි වියෝව ගැන ඇය ඔහුට දන්වා සිටියාය.
තමා දැන් බෙහෙවින් අසරණ බවත් ජීවත්වීම සඳහා කිසිදු නිශ්චිත පිළිවෙළක් තමාට දැනි නැති බවත් ඇය කියා සිටියාය.
තම ජීවිතය ගෙන යාම සඳහා තමන්ට වන්දියක් ලබා දෙන මෙන් මහලු චෙන් මා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.
මේ මහලු මවගේ දුක් ගැනවිල්ල අසා සිතට ගත් මහේස්ත්රාත්තැන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දුන්නේය. එයින් කියැවුණේ මින්මතු ව්‍යාඝ්‍රයන් දඩයම් කොට විකුණා උපයන ආදායමෙන් සුළු කොටසක් දඩයම්කරුවන් විසින් චෙන් මා මාතාවට ලබා දිය යුතු බවයි.
මහේස්ත්‍රාත් නියෝගය එසේ වුවත් දඩයම්කරුවන් එය එතරම්ම යහපත් ලෙසින් පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.ඊට හේතුව වූයේ ඔවුනටත් රැක ගන්නට තම දරු පවුල් තිබූ නිසාය.
පසුව ආ දිනෙක චෙන් මාගේ පුත්‍රයා මරා දැමූ ව්යාඝ්ර දෙන මරා දමන්නට දඩයක්කරුවෝ සමත් වූහ. ඉන්පසු ඔවුන් තීරණය කළේ මහේස්ත්‍රාත් නියමය අනුව මින්මතු ඇයට ලාබයෙන් කොටසක් නොදිය යුතු බවයි. ඒ වෙනුවට ඔව්හු වෙනත් කටයුත්තක යෙදුණෝය.කුමක්ද ඒ?
ඒ කටයුත්තේ නම් යම්කිසි වෙනසක් දකින්නට තිබිණි. තමන් විසින් මරා දැමුණු ව්යාඝ්ර දෙනට අයත්වූ ඇගේ අලුත උපන් පැටවා ගෙනැවිත් චෙන් මා මාතාවට බාර දීමයි.
මේ පැටවා සැලෙන සිරුරක් ඇති රන්වන් පාටින් පෙනෙන ලොම් සහිත කුඩා එකෙක් විය.
තම මව අහිමිවූ මේ පැටවාගේ කටේ එක දතක්වත් තිබුණේ නැත. පැටවා කැටුව ඒමේදී උගේ ගෙල වටා තදින් ගැට ගසා තිබුණු රැහැන නිසා පැටවා වෙතින් දකින්නට ලැබුණේ දැඩි අපහසුතාවකි. ඌ පළ කළේ හුස්ම සිරවූ ස්වභාවයකි.
පැටවා වෙතින් පළවන අපහසුතාව තේරුම් ගත් චෙන් මාගේ සිතට දැනුණේ හදිසි ශෝකයකි. මව අහිමිව අසරණවූ මේ පැටවාගේ කොළ පැහැයෙන් පෙනෙන කුඩා දනෛතේ කඳුළු දිලිසෙනු චෙන් මා දුටුවාය.
චෙන් මාට පැටවා බාර දුන් දඩයක්කරුවෝ පිටවී ගියහ. පැටවා සැලෙන ගතින් යුතුව සෙමෙන් ගමන් කොට චෙන් මාගේ දෙපා අසල වැතිරුණේය.
මහලු මාතාව පහළට නැමී උගේ කන් අත ගෑවාය. එහි උණුසුමින් යම් පණක් ලැබූ පැටවා උගේ මෘදු දිවෙන් චෙන් මාගේ දෙපා වසා ගත් පාවහන් ලෙව කෑවේය. මේ මහලු වැන්දඹු කාන්තාව ඉතා උවමනාවෙන් පැටවා දෙස බැලුවාය. ඇගෙන් නැගුණේ සුසුමක්. පැටවා ගැන ඇය තුළ වූයේ ශෝකයකි.
"ඒ අය කිව්වේ උඹව මරා ගන්න කියලයි. ලුණු දාලා, දුම් ගහලා උඹේ මස් මගේ කෑමට ගන්න. උඹේ හමෙන් මගේ කකුල් දෙකට උණුහුම ගන්න සපත්තු දෙකක් හදා ගන්න. උඹේ ඇටකටුවලින් හදා ගන්න වයින්වලින් පුළුවන් මේ නාකි මගේ ඇඟේ හන්දිපත් රුදාවට සහනයක් ගන්න. ඒත් පැටියෝ ඒ හැම එකකටම මම හිත හදා ගෙන උඹව මරා දාන්නේ කොහොමද? උඹ තාම පොඩියි. උඹට ජීවත් වෙන්න තව කල් තියේවි. ඒත් මං දැන් වයසට ගිහින්. ඒ වගේම දුර්වලයි." මහලු මාතාව පැටවා ගැන ඇතිවූ ආදරයකින්, ශෝකයකින් තනිවම කතා කළාය.
මහලු මාතාව පැටවාට බලවත් හිරිහැරයක්ව ඇති උගේ ගෙල වටාවූ රැහැන මුදා හැරියාය.
අල පිස ගත් ඇය එය පාප්පයක්සේ සකස් කොට තම ඇඟලිවලින් ඌට කැව්වාය. සපා ගිලින්නට ව්යාඝ්ර පැටියාට පහසු නොවූයේ ඌට දත් නොතිබුණු නිසාය.
චෙන් මාගේ පුත්‍රයා ජීවත්ව සිටි කාලයේදී ඔහු සෑහෙන තරම් ධාන්‍ය සහ අල වර්ග නිවස අසල මඩුවේ රැස් කොට තිබුණේය. චෙන් මා සිතා ගත්තේ මෙසේ රැස් කොට තිබූ ආහාර ද්‍රව්‍ය ශීත කාලය නිමා වන තුරුම කෙසේ හෝ පිරිමසා ගන්නටය.
එහෙත් ඒ සිතූ ලෙසින් ශීත කාලය ගෙවා ගැනීම පහසු වූයේ නැත.
නිවස අසල තිබූ මඩුවේ ගබඩා කොට තිබූ දර ශීඝ්‍රයෙන් නිමා වීම චෙන් මාට තවත් ප්‍රශ්නයක් වූයේය. නිදන යහන උණුසුම්ව තබා ගැනීම පවා ඇයට ගැටළුවක් විය.
ඔවුන්ගේ යහන් සකස් කැරුනේ පොළෝ මට්ටමෙන් මඳක් උස්ව තනා ගත් ගඩොලින් සැදි බැම්මක් මතයි. පොළා් මට්ටමේ දර දමා ගිනි දල්වා මඳක් ඉහළින්වූ යහන උණුසුම් කැරිණි.
දර හිඟය නිසා ශීතලෙන් අපහසුතාවට පත් චෙන් මා නිදා ගත්තේ දිවි පැටවා අසලින් වැතිරෙමිනි. උගේ ලෝම වඩා සුව පහසුවක් හා උණුසුමක් චෙන් මාට ලබා දුනි.
මැහුම් කටයුතු සඳහා චෙන් මා දැක්වූ හැකියාව නිසා අසල ගම්මානවල ගැහැනු තමන්ගේ මැහුම් කටයුතු චෙන් මා ලවා කර ගන්නට ඇය වෙත පැමිණෙන්නට පුරුදුව සිටියහ. තම සේවාව සඳහා චෙන්මාට කුලිය ලෙස ලැබුණේ වියලි මුව මස් සහ කුඩා මළුවල දැමූ ධාන්‍ය ආදියයි. මේ නිසා තම ජීවිතය ගෙවා ගන්නට කිසියම් මාවතක් සුළුවෙන් හෝ චෙන් මා වෙනුවෙන් විවරව තිබිණි.
චෙන් මාට ශ්‍රමය ගෙවා ඇගෙන් සේවාවක් ලබා ගැනීමට ඇගේ නිවසට පැමිණෙන ගම්වාසීන්ට මුල් කාලයේදී නම් ව්යාඝ්ර පැටවා ගැන එතරම් තැකීමක් කරන්නට අවශ්‍ය වූයේ නැත.එම කාලයේදී උගේ ස්වභාවය කුඩා ඌරු පැටියකුට සමාන විය.
එසේ වුවත් ඊළඟ වසන්ත සමය උදා වන විට ඌ වසු පැටවුකු තරම් උසට වැඩී සිටියේය. තමන්ට ආවේණික දත් සමූහයත්, පා වල නිය පඳුරුත් මේ වන විට වැඩී තිබිණි.
ව්යාඝ්ර පැටියා තම තාරුණ්‍යයට පිවිසෙමින් සිටියේය.
ව්යාඝ්ර පැටියාගේ මේ තාරුණයයේ තතු චෙන් මාගේ නිවෙසට පැමිණෙන බිරින්දෑවරු දඩයම්ශීලී තම ස්වාමිවරුන්ට දන්වා සිටියහ.
ඒ තොරතුරු අනුව දඩයම්කරුවන් එහි පැමිණියේ තරුණ ව්‍යාඝ්‍රයාව මරා දැමීමටය.
එහෙත් තරුණ ව්‍යාඝ්‍රයා දඩයම් කිරීම ඒ කිසිවකු සිතූ තරම් පහසු වූයේ නැත.චෙන් මා ඒ සඳහා තම බලවත් විරෝධය පළ කොට සිටියාය. තම පුත්‍රයාගේ දඩයම් හෙල්ල අතට ගත් ඇය තමා දැඩි ලෙස ආදරය කරන ව්‍යාඝ්‍රයා මරා දැමීමට පැමිණි සැමට එසේ නොකරන ලෙස අණ කොට සිටින්නට තරම් නිර්භීත බවක් පළ කළාය.
"මගේ ස්වාමියාත්, පුතාත් දෙන්නාම මට නැති වුණා.මගේ තනි නොතනියට දැන් ඉන්න එකම කෙනා මේ ව්‍යාඝ්‍රයා විතරයි. මේ සතාව විනාස කරන්න ඉඩ දෙන්න මට කොහෙත්ම පුළුවන් කමක් නෑ."
"මං යනවා නඩුකාර උන්නාන්සේ ළඟට. ගිහින් උන්නාන්සේට කියනවා මේ සතාව මට දරු කමට හදා ගන්න නීතියෙන් පවරලා දෙන්න කියලා. එතකොට කාටවත් මේ සතාට අනතුරක් කරන්න ලැබෙන්නේ නෑනේ."
චෙන් මා මහලු මාතාවගේ මේ ප්‍රකාශය ඇසූ දඩයක්කරුවන් කල්පනා කළේ ඇය කිසියම් උමතු ස්වභාවයකටවත් පත්වී ඇද්ද කියායි. මේ නිසා ඔවුන් උත්සාහ කළේ මහලු මාතාව සමච්චලයට ලක් කිරීමටයි.
ඒ කෙසේ වෙතත් මහලු මාතාවගෙන් පළවූ දැඩි සහ මුරණ්ඩු ස්වභාවය දඩයක්කරුවන් යම් ලෙසකින් හෝ නිහඬ කරන්නට සමත් විය.මහේස්ත්‍රාත් නියෝගයකින් අවසර නොලබා ව්‍යඝ්‍රයා මරා දමන්නට තරම් කොහොමටත් ඔවුන් දැන් නම් පසුබට වන තත්ත්වයක් පෙනෙන්නට තිබිණි.
ව්‍යාඝ්‍රයා සම්බන්ධයෙන් මේ උද්ගතව ඇති ප්‍රශ්නයට ඉක්මනින්ම විසඳුමක් තිබිය යුතු බව හැම දෙනාගේම කල්පනාව විය. ඒ නිසා චෙන් මා සහ ව්‍යාඝ්‍රයා පසු පස දඩයම්කරුවන් සියලු දෙනාද මහේස්ත්රාත්තුමා සිය විනිශ්චයන් ලබා දෙන අධිකරණ ශාලාව වෙත ගමන් කළහ.
එහි ගිය චෙන් මා තම ඉල්ලීම මහේස්ත්‍රාත් තැන වෙත ඉදිරිපත් කොට සිටියාය.ඇගේ ඉල්ලීමට හොඳින් ඇහුම් කන්දී සිටි මහේස්ත්රාත්තුමා ඇය ඇමතීය.
"මහලු මාතාවනි. ඔබගේ ඉල්ලීම ඉතාම අසාමාන්‍යයි. ඔබටම බියක් දැනෙන්නේ නැද්ද මේ ගැන? මේ සතා කවදාම හෝ දවසක උගේ සාමාන්‍ය ගති පැවතුම්වලට යාවි. ඒ ගති ස්වභාවයම කවදා හෝ දිනක ඔබේ අවසානය ඔබට ලබා දේවි කියා ඔබට හිතෙන්නේ නැද්ද?" මහේස්ත්‍රාත්තුමාගේ කතාව අසා සිටි චෙන් මා - මහලු මාතාව යළි කතා කළාය.
"ගෞරවනීය මහතාණෙනි." ඇගේ දෙනෙත කඳුළින් පිරී තිබිණි. "කුමක් සඳහා බිය විය යුතුද? මං දැන් සෑහෙන කාලයක් ජීවත් වෙලා හමාරයි. මට ඇති එකම කනස්සල්ල තමා මගේ ජීවිතයේදී මාව සම්පූර්ණයෙන්ම තනි වීම. කවුරුම හෝ මගේ ළඟ රැඳෙන්න ඕනෙ කාලෙදි මා ළඟ රැඳෙන්න කවුරුවත්ම නෑ."
"ඒ නිසා කරුණාකරලා මට මේ තරුණ ව්‍යාඝ්‍රයා මගේ දරුවකු හැටියට මගේ බාරයට පත් කරන්න. ජීවිතේ ඉදිරි කාලෙදි මගේ ආදරයටයි, තනි කමටයි හවුල් කරුවකු හැටියට එයා ඉඳීවි කියලයි මම හිතන්නේ."
ඉල්ලීම අසාමාන්‍ය වුවද එය ඉවත දමා මහලු මාතාව අසරණ කර දමන්නට තරම් මහේස්ත්රාත්තුමා අකාරුණික වූයේ නැත. ඒ අනුව ඔහු මේ ඉල්ලීම සම්බන්ධයෙන් අවසාන තීරණයකට ආවේය.
තම සහායකයකු ලවා තරුණ ව්‍යාඝ්‍රයා චෙන් මාගේ දරුවකු ලෙස හදා ගැනීමට නීතිමය වශයෙන් බලය පවරන ලියවිල්ලක් සකස් කර වීය. එසේම ඔහු තවත් වැදගත් කටයුත්තක් ඉටු කළේය.
ව්‍යාඝ්‍රයන් දඩයම් කරන්නන්ගේ හී සහ හෙල්ල පහරින් මේ ව්‍යාඝ්‍රයා මුදා ගැනීම සඳහා විශාල තඹ තහඩු කැබැල්ලක් මේ සතාගේ බෙල්ලේ එල්ලන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම තහඩු කැබැල්ලේ 'ෆූ චී' යන අකුරු කොටනු ලැබීය.
එහි අරුත 'ව්යාඝ්ර පුත්‍ර' යනුයි.
තම බැගෑපත් ඉල්ලීමට නිසි ප්‍රතිචාරය දැක්වූ මහේස්ත්රාත්තුමා ඉදිරියේ දණ ගැසූ චෙන් මා තුන් වරක්ම තම නළල පොළොව මත තබා තම හදවතින්ම නැගුණු ගැඹුරු කෘතඥතාව ඔහු වෙත පුද කොට සිටියාය.
ඉන්පසු තම ව්යාඝ්ර පුතු සමගින් තම නිවහව බලා පිටත්වී ගියාය.
ඊළඟ ශීත කාලය වන විට ව්‍යඝ්‍ර පුත්‍ර සම්පූර්ණ සතෙකුව වැඩුණේය. මේ නිසා චෙන් මා අලුත් ප්‍රශ්නයකට මුහුණ පෑවාය. මේ තරුණ ව්යාඝ්රයාගේ කෙළි සෙල්ලම් සඳහා තමාගේ නිවස ප්‍රමාණවත් නොවීමයි. ඌ ක්‍රියාශීලී වීමේදී නිවස කඩා වැටෙන තරමට තර්ජනයක් ඇති වීම වැළැක්විය නොහැකි දෙයක් බවට පත් වෙමින් තිබිණි.
මේ තත්ත්වය එතරම් යහපත් නොවූ නිසා නිවසට නොදුරු ගුහාවක තම ව්යාඝ්ර පුතුට ඉන්නට සැලැස්වීමට චෙන් මා තීරණය කළාය.
වෙන වාසස්ථානයක ලැගුම් ගත්තද මේ දයාබරවූත්, ආදරණීයවූත් ව්යාඝ්ර පුත්‍ර තමන් හදා වඩා ගත් මව බලන්නට නිතර පැමිණියේය. ඒ එන හැම අවස්ථාවකදීම තම මවට 'තෑග්ගක්' ලෙසින් කිසිවක් ගෙන ඒමට කිසි විට අතපසු කළේ නැත.
ෆූ චී - ව්යාඝ්ර පුතුගේ මුවේ රැඳුණේ මිය ගිය මුවෙකුගේ කුණකි. නැති නම් අතු කැබැල්ලකි.
තමාට හැකි ලෙසින් හැම පැත්තකින්ම තම මවට උපකාර කරන්නට ෆූ චී නිතර වග බලා ගත්තේය. චෙන් මාට දැනුණේ තම සැබෑ පුතු තමන් ඇසුරේ හිඳිමින් තමා සැබෑවට බලා කියා ගන්නා වැනි හැඟීමකි.
කාලය ගෙවී ගියේය
වසර සියයකටත් වඩා ආයු කාලයක් මෙලොව ගත කළ චෙන් මා තම ජීවිතයෙන් සමු ගත්තාය.
තමාව ආදරයෙක් හදා වඩා ගත් තම මව දැන් තමන් ඇසුරේ නැති බව තරුණ ව්‍යාඝ්‍රයා තේරුම් ගත්තා වෙන්නට ඇති.
දඩයම්කරුවන්ගේ සෙවුම් බැලුම්වලට අනුව නම් ෆූ චී සෑම රාත්‍රියකම පැමිණ චෙන් මාගේ සොහොන ආරක්ෂා කළේය.
කිසිම දඩයම්කරුවකු කිසිම ලෙසකින් ෆූ චීට හිරිහැරයක් කරදරයක් කළේ නැත. එසේම ෆූ චී කිසිම කෙනෙකුට හෝ නිවෙස්වල ඇති කරන කිසිදු සතෙකුට හෝ කෙදිනවත් හිරිහැරයක් කළේ නැත.
මේ ලෙසින්ම තවත් වසර ගණනාවක් ගතවී ගියේය.
යම් දිනකට පසු ෆූ චී මිනිස් ඇසෙන් වසන්වී ගියේය. ඉන්පසු කිසිවකුට කවදාකවත් ෆූ චීව දකින්නට ලැබුණේ නැත.
මේ අපූරු සතා කෙරෙහි දඩයම්කරුවන් දැක්වූයේ ගෞරවයකි. මිනිස් මාතාවකගේ දරුවකු ලෙසින් මිනිස් ඇසුරේම සිට කිසිවකුටම හානියක් නොකොට තම සත්ත්ව ගතිය කිසිවකුට නොපෑ ෆූ චීගේ ගූණය ඔව්හු අගය කළහ.
දඩයම්කරුවෝ මේ සතා වෙනුවෙන් මතක ස්මාරකයක් ගොඩ නැගූහ. චෙන් මා සහ ෆූ චී අතරවූ අපූරු සම්බන්ධය ගලක අකුරින් කෙටූහ.
මේ ශෛලමය මතක ස්මාරකය චෙන් මාගේ සොහොන මත තැන්පත් කළහ.
ඉන් අනතුරුව ෆූ චීගේ කතා පුවත ෂන්ක්සි ප්‍රදේශයේ දොරින් දොරට පැතිර ගත් පුරා වෘත්තයක් බවට පත් විය.
(සියලු චිත්‍ර සටහන් අන්තර්ජාලයෙනි.)
No comments:
Post a Comment